~

චීනයේ ණය උගුල් පිළිවෙත කොරෝනාවට තල්ලුවක්..! උදාහරණයට ලංකාව..! බීජිං මට්ටු කිරීමට 'ත්‍යාගශීලී ලෝක බලවතෙක්' ඕනෑ..!

ෆොරීන් පොලිසි වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්තනය

(ලංකා ඊ නිව්ස් -2020.මැයි.15, පෙ.ව.7.05) කෝවිඩ් 19 අර්බුදය ආරම්භයේ චීනය විසින් ගන්නා ලද දේශපාලනික තීන්දු තීරණ නිසා, පාලනය කළ හැකිව තිබූ තත්වයක් අද වන විට නොනවතින ලෝක වසංගතයක් බවට වර්ධනය කොට ඇත. ආසන්න  සමාජ, දේශපාලන හා  ආර්ථික ගැටළු ඉදිරි වසර දෙක තුල දකින්නට ලැබෙනු ඇති නමුත් වක්‍ර බලපෑම් මතින් ලෝකය ස්ථිරවම වෙනස් කෙරෙනු ඇත.   

ණය මත පදනම් වූ යටත් විජිත ආකාරයේ පාලන මොඩලයක් සහිතව  වර්ධනය වෙමින් පවතින චීන බල ව්‍යාප්තිය තුල මෙම බලපෑම ඍජුව සහ ප්‍රබල වශයෙන් දැනෙනු ඇත. පශ්චාත් වසංගත ආර්ථික සහ මුල්‍ය අවබලපෑම් පාලනය කරගැනීමට වෙර දරන අතරතුර ණය වාරික ගෙවීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවන එම රටවලින් ණය සහන සඳහා හිලව්වට තව තවත් අනිසි උපකාර සහ සිය ස්වෛරීත්වය තව තවත් තමන් වෙත පාවාදීම බීජින් පරිපාලනය බලාපොරොතු වනු ඇත. මෙවැනි දුෂ්කර අවස්ථාවක  තවදුරටත් එම රටවල ගෙල සිර කිරීම හරහා සිදුවිය හැකි අනිසි විපාක පිලිබඳ බීජින් පරිපාලනය නැවතිල්ලේ සිතනු ඇතැයි  සිතිය නොහැක. මෙම මොහොතේ ගරු කටයුතු බ්‍රෙටන් වූඩ්ස් සැකසුම හරහා (Bretton Woods  Infrastructure) අන්තර්ජාතික ණය සහන සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම මගින් වඩාත් ත්‍යාගශීලි ලෝක බලවතා ලෙස ගිලිහී යමින් පවතින සදාචාරාත්මක නායකත්වය චීනය අභිබවා  නැවත හිමිකර ගැනීමට නුදුරු අනාගතයේ බිහි විය හැකි නව ඇමරිකානු පරිපාලනයකට  මහඟු අවස්ථාවක් උදා  කර ඇත. සිය රට තුල වර්ධනය වෙමින් පවතින තත්වය පාලනය කර ගැනීම පිණිස තවමත් සැරසෙමින් සිටින ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහි මෙම මෘදු බල අරගලයේ වැඩි වාසි ලබාගැනීමට සිය සහන ගුවන් සේවා සහ වෛද්‍යමය මැදිහත්වීම් හරහා මේ මෙහොතේ චීනය සමත්ව ඇත. වෛරසය පාලනය කිරීම සඳහා සිය ආර්ථිකය සහ සමාජය ප්‍රති සැකසුම් කරමින් සිටින ඇමරිකානු  දේශපාලකයෝ අනාගතය ගැනද සිතිය යුතුව තිබේ.

චීනය නමැති ණය පොලී කරුවා හමුවේ අසරණ වන්නෝ..

වසංගතයේ පිරි වැය ගණනය කිරීම සඳහා තවමත් කාලය පැමිණ නැති අතර රෝගය තවදුරටත් කෙසේ පරිණාමය වෙමින් ලෝක ජනගහනය පුරා පැතිර යනු ඇත්ද යන්න හෝ තත්වය පාලනය කිරීම සඳහා අපසාරණය කරන ලද ජාතික ප්‍රතිපත්ති තුලින් වන ඉදිරි බලපෑම කවරේද යන්නද තවමත් පැහැදිලි නැත. කෙසේවෙතත් අරම්භක අගයක්  වශයෙන් ඩොලර් ට්‍රිලියන 2.8ක  ($2.8T) මිලක් සැලකිල්ලට ගෙන ඇත.

රැකියා වියුක්තිය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින අතර කුඩා පරිමාණ ව්‍යාපාර බංකොලොත් තත්වය අබියස තිබියදී ආර්ථික වේදනාව නොවැලක්විය හැකිය. යම් රටවල් අභියෝග හමුවේ වඩාත් නම්‍යශීලි වුවත්, දියුණුවෙමින් පවතින ලිබියාව හෝ නයිජීරියාව වැනි යැපුම් රටවල් විශේෂයෙන්ම අනතුරුදායක තත්වයකට පත්වනු ඇත. ඔවුන්  සතු සීමිත සම්පත් හමුවේ වසංගතයට සාර්ථක ලෙස මුහුණ දීමේ හැකියාව අවම වනු ඇත. දැනටමත් ණය බරින් මිරිකී සිටින තත්වයක් යටතේ සිය රට වැසියන්ගේ ජීවිත රැකගැනීම හෝ තවදුරටත් චීනය වැනි බලවත් ණය පොලී කරුවන්ගේ ග්‍රහණයට නතුවන්නේද යන දෙකින් එක් අන්තයක් තෝරාගැනීමට සිදුවීම මගින් ඔවුන් තවදුරටත් ඉතා අපහසු තත්වයකට පත්කරනු ඇත.

චීනය ලංකාවට සිදු කළ විනාශය තවත් රටවලටත්..

චීන 'Belt and Road' (බඳ පටිය හා මාර්ගය) බල ව්‍යාපෘතිය තුල උපක්‍රමික ණය භාවිතය ඉතා හොඳින් වාර්තා ගතව ඇති අතර මනාව අවබෝධ කොට ඇත. ඊනියා ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රික භාවය (Debt trap Diplomacy) හරහා  ශ්‍රී ලංකාව සතුව ඉන්දීය සාගරයේ පිහිටි වරායක ස්වෛරී පාලනය දැනටමත් අහිමිව ගොස් තිබේ. 'Belt and Road' ව්‍යාපෘති යටතේ සිය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතලිස්පහකට (45%) වඩා දැනටමත් බීජිං වෙත ණය වී ඇති ජිබූති, ටජිකිස්ටාන්, කිර්ගිස්ටාන්, ලාඕස්, මාලදිවයින, මොන්ගෝලියාව, පාකිස්තානය, සහ මොන්ටිනීග්රෝ  වැනි රටවල්ද මෙසේම තම භූමියේ කොටස් වල ස්වෛරී පාලනය චීනය වෙත පවා දීමේ අනතුරට මුහුණ පා සිටිති.

චීන, යුරෝපීය සහ ඇමෙරිකානු ආර්ථිකයන්ද  අඩු වැඩි වශයෙන් වසංගතයේ  පිරිවැය හමුවේ අපහසුවට පත්ව ඇති නමුත්, ඔවුන් සතු අති විශාල, විවිධාන්ගික ශක්තිමත් ආර්ථික පදනම මත ඔවුන්ගේ සමූහ අභ්‍යන්තර ව්‍යුහයන් හා භූ දේශපාලනික ධූරාවලියේ ඔවුන් සතු ස්ථානයන් බලපෑමට හසුවීමට ඇති හැකියාව අවම වේ. කුඩා, විවිධාන්ගික නොවූ දුර්වල ආර්ථික මොඩලයන් සතු දිළිඳු රටවල් ලෝක ආර්ථික කම්පනය හමුවේ කුඩු පට්ටම් වීමට වැඩි ඉඩක් පවතී. මෙම තත්වය යටතේ ඔවුන්ගේ පැවැත්ම තීරණය වනුයේ හුදෙක් චීනයේ දයානුකම්පාව මතම පමණි.

ණය පොලී හිලව්වට දේපල සින්න කර ගැනීමේ චීන කලාවේ කුප්‍රකට උදාහරණය ලංකාවයි..

චීනය සිය ණය පොලී සඳහා හිලව්වට දේපල සින්න කර ගැනීමේ කලාවේ කෙල පැමිණෙමින් සිටින අතර මේ සඳහා වන කුප්‍රකට උදාහරණය වන්නේ ශ්‍රී ලංකාව සතුවූ හම්බන්තොට වරාය ව්‍යාපෘතියි. සියලුම ශක්‍යතා අධ්‍යයන මෙම ව්‍යාපෘතිය අසාර්ථක වන බව පෙන්වද්දී සහ ඉන්දියාව සහ ලෝක බැංකුව වැනි සම්ප්‍රදායික ණය දෙන්නන් වෙතින් ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය වෙත යොමු වූ අතර, ඕනෑම ඉල්ලීමකට කොළ එලිය දැල්වීමට චීනය නොපැකිලව ඉදිරිපත් විය. නියමිත පරිදි ව්‍යාපෘතිය අසාර්ථක වී ණය වාරික ගෙවීමට ශ්‍රී ලංකා රජය අසමත් වූ මොහොතේ, 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේ වරාය සහ ඒ  ආශ්‍රිත අක්කර 1,50,000 ක භූමිය තමා  සතු කර ගැනීමට චීනය ඉතා සතුටින් කටයුතු කළේය.

ඉදිරියේදී ජිබූතිහි  චීන කඳවුර අවට ස්වෛරී පාලනය චීනය සතුවීම අනුමාන කළ හැකි අතර හම්බන්තොට  ආකාරයේ අත් පත්  කරගැනීම් පකිස්ථානයේ  සහ මාලදිවයිනේද, එක්සත් ජනපදය නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් කැරිබියන් දූපත් තුලද සිදුවේ යයි අනුමාන කළ හැකිය. පසුගිය ශතවර්ෂය තුල මකාවෝ සහ හොංකොං පරිපාලනය අතහැරීම් තුලින් පාඩම් ඉගෙන ඇති චීනය, සිය අධිරාජ්‍යවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙවන් උපාය මාර්ගික මර්මස්ථානයන්හි පාලනය තමා සතු කර ගැනීමේ වටිනාකම ඉතා හොඳින් වටහාගෙන ඇතිවාට සැක නැත. කෝවිඩ් 19 වසංගතය ලොවපුරා පැතිරීමට හැරීමේ සදාචාරාත්මක වගකීමේ බර හිසින් දරාගෙන වූවත් මෙම අවස්ථාව පැහැර හැරීමට චීන බලධාරීන් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. 

මාර්ෂල් සැලැස්ම සහ බ්‍රේටන් වුඩ්  ක්‍රමය.. 

එසේ වුව ද පශ්චාත් දෙවන ලෝක යුද විනාශය හමුවේ ලෝක නායකත්වයට පැමිණි එක්සත් ජනපදය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැපයීමේ මොඩලයක් හඳුන්වා දුන්නේය. සීතල යුද්ධය වර්ධනය වීමත් සමගම, සෝවියට් ආධිපත්‍ය පාලනය කිරීමට සිද්ධවීම හමුවේ මෙම නායකත්ව මොඩලය දැඩි අධිරාජ්‍යවාදී ස්වරූපයක් ගත්තද මාර්ෂල් සැලැස්මේ හා බ්‍රේටන් වුඩ්  ක්‍රමයේ (Marshall  Plan & Bretton Wood System) සාර්ථකත්වය අමතක නොකළ යුතුය. එක්සත් ජනපද ආර්ථික බලපරාක්‍රමය හමුවේ මහද්වීපයකට වුවද ආර්ථික විනාශයෙන් එතෙර වීමට පහසුකම් සැපයීම අපහසු නොවන අතර, දිගු කාලීන ආර්ථික සහ  ආරක්ෂණ ප්‍රතිලාභ ජනනය කිරීමට හේතු වනු ඇත.

මේ අතර මෙම වසංගතය මගින් ඉස්මතු කරන අනෙත් වැදගත් කරුණ වන්නේ මාර්ෂල් සැලසුම ආකාරයේ මොඩලයක් හරහා එක්සත් ජනපදය අන්තර් ජාතික කටයුතු කෙරෙහි සක්‍රීයව යොමු වීමේ දැඩි අවශ්‍යතාවයි. අද්‍යතන ගෝලීය සමාජය  තුල ලෝකය එක් පසෙක සිදුවන සෞඛ්‍යමය, ආර්ථිකමය හෝ දේශපාලනික ඕනෑම සිදුවීමක ක්ෂණික හා ප්‍රබල ප්‍රතිපල තම රට වෙත නිරතුරුවම ලඟාවනු ඇත. උදාහරණයක් වශයෙන් අද වෛරසයට එරෙහි සටන මෙහෙයවන දකුණු කොරියාවේ සිදුකළ පරිදි, විවෘත සමාජ ක්‍රමයක් ලොව පුරා  පැතිරවීමට ඇමරිකාවට ද හැකි වී නම් ඇමරිකාවේ සෞඛ්‍ය සහ ආර්ථිකය මේ වන විට වඩාත් හොඳ තත්වයක තිබෙන්නට ඉඩ තිබිණ.

චීනයේ මදාවි ස්වරයට එරෙහිව 'ණය සමාව' නම් අවිය..

තවදුරටත් 'Belt and Road' ව්‍යාපෘතියේ සාමාජික රටවල් කෙරෙහි වන වසංගතයේ අධික බලපෑම නිසි ආකාරයෙන් අවබෝධ  කර ගැනීමට චීනය උත්සුක නොවනු ඇති නමුත් ණය අවිය භාවිත කරමින් තමන් සතු මෘදු  බලය ලොව පුරා  තව බොහෝ කලාප තුල අවභාවිතා කරනු ඇත. චීනය අභිබවා අන් රටවල වර්ධනය වන ආසාදිතයන් සංඛ්‍යාව පිළිබඳව (කඩදාසියට සීමා වී) Peoples Daily චීන පුවත්පත  හඬ තලන අතර, තම නිෂ්පාදන හැකියාව උපයෝගී කරගනිමින් අන්රටවලින් අනියම් වාසි ලබා ගැනීමට බලකිරීම මගින් සෙසු ලෝකය සමග ගනුදෙනුවේදී චීනය අනුගමනය කරන මදාවි ස්වරය ඉතා හොඳින් ශ්‍රවනය වීමට සලස්වා ඇත.

තව දුරටත් චීනය මේ ආකාරයෙන් කටයුතු කළහොත්, "ණය සමාව" නම් අවිය භාවිතා කිරීමේ අවස්ථාව එක්සත් ජනපදය වෙත උදාවනු ඇත. මෙය බොහෝ දුරට බ්‍රෙටන් වූඩ් ආයතන වන අන්තර් ජාතික මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව හරහා සිදුවිය හැකි අතර මෙමගින් චීන ණය  බර නිසා දනින් වැටී සිටින ජාතීන් වෙත ණය  සහන හෝ ණය ප්‍රති ව්‍යුහගත කිරීමේ අවස්ථාව උදාකරලීමට සමත් වනු ඇත. මෙම මාර්ගය තෝරා  ගතහොත්, දශක දෙකක් පුරාවට මිලිටරි බලය හරහා තම ආධිපත්‍ය පතුරුවාලීමට යෙදුනු අසමත් උත්සාහයකට පසුව, "ත්‍යාගශීලී ලෝක බලවතා" වශයෙන් අමෙරිකාවේ දෙවන නැගිටීම සනිටුහන් කිරීමට හැකි වනු ඇත.

"ත්‍යාගශීලී ලෝක බලවතා" ලෙස ඇමරිකාවට ලැබෙන දෙවන අවස්ථාව..

කෙසේවෙතත් මේ සඳහා වොෂින්ටනය නව පරිපාලනයකට හුවමාරු වීම අනිවාර්ය වනු ඇත. ට්‍රම්ප්  පරිපාලනය පිලිබඳ ඔබේ මතය කුමක් වුවත්, එය තමන්ම හඳුන්වා ගන්නා  පරිදි පළමුව ඇමරිකාව ප්‍රතිපත්තියේ සිටින අතර, මෙය පස්චාත් දෙවන ලෝක යුද සමයේ හඳුන්වාදුන්  'ත්‍යාගශීලී ලෝක බලවතා' මොඩලයට නොගැලපෙන අතරම, මෙම අර්බුදයෙන් අනතුරුවද  සදාචාරාත්මක  ලෝක නායකත්වය සඳහා හිමිකම් කීමට සුදුසු නොවනු ඇත.

පසුගිය දශක දෙක තුලම එක්සත් ජනපදය තම අසම සම මිලිටරි බලපරාක්‍රමය හමුවේ ලොව අනෙත් සංකූලතා කෙරෙහි අවධානය යොමු කිරීම අනවශ්‍යය යන මානසික ආරක්ෂණ පොරෝනාව තුල සැඟවී සිටි අතර, චීනය තමා සමග ගනුදෙනු කිරීමට කැමති වන ඕනෑම පාර්ශවයක් සමග මිතුරු වෙමින් ආර්ථික සහයෝගීතාවයම පමණක් උපයෝගීකර ගනිමින් ලෝක සංසදය තුල කටයුතු කළේය. නමුත් මෑත කාලීනව චීනය අත් පත් කොට ගනිමින් සිටින අසීමිත මිලිටරි  බලයත්, ණය සහන අවි ආයුද ලෙස භාවිත කිරීමත් හරහා චීනයේ යථා ස්වරූපය ලෝකය හමුවේ නිරාවරණය වෙමින් පවතී. එක්සත් ජනපදය තම මිලිටරි  බලය ලොව පුරා  පතුරුවමින් තමාගේම ලොවක තනි වෙද්දී, ලෝකයා සොයමින් සිටි සහයෝගයෙන් කටයුතු කරන 'ත්‍යාගශීලී ලෝක බලවතා' චීනය නොවන බව දැන් දැන් ඉතා පැහැදිලිය.

ලෝකයා සොයමින් සිටින විශ්වාසදායක ලෝක නායකත්වය බවට පත්වීම සඳහා එක්සත් ජනපදය වෙත දෙවන අවස්ථාවක් උදාවී ඇත. මෙම අවස්ථාව රැක ගැනීම සඳහා  අවශ්‍ය ප්‍රඥාව ඒ සතු වන්නේ නම් ඉතාම බලගතු 'ණය කරුණාවකින්' ලෝකය තමා වෙත ඇද බැඳ ගැනීමට එක්සත් ජනපදය වෙත අවස්ථාව උදාවනු ඇත. එනම් ලෝජන කෘතවේදීත්වය යි ෴

-2020 මාර්තු 23 දා ෆොරීන් පොලිසි වෙබ් අඩවියට අසීම් ඊබ්‍රාහිම් සැපයූ China’s Debt Diplomacy Will Get a Coronavirus Boost නම් ලිපිය ලංකා ඊ නිව්ස් වෙනුවෙන් සිංහලට නැගුවේ,

-ඉන්දික

---------------------------
by     (2020-05-15 01:37:50)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links