~

“කොරොනා-5000”..! ජනාධිපතිතුමනි, ව්‍යසනයකදී රජයේ ආධාරයක් දෙනවිට ජනයා මෙලෙස පෝලිම් ගස්සා රස්තියාදු කරවනවා ඔබ ඇමරිකාවේදී දැක තිබේද? මෙය සෞභාග්‍යයේ දැක්මද? හිඟන දැක්මද?

-විශේෂ ලියුම්කරුවෙක් විසිනි-

(ලංකා ඊ නිව්ස් -2020.මැයි.03, ප.ව.11.00) ඉකුත් අප්‍රේල් 7 දින අගමැතිවරයා ජාතිය අමතා බැරෑරුම් කථාවක් කළේය. කථාවේ හැටියට දරුපැටියාගේ සිට එතුමා තරම්ම වයස් ගත වු වැඩිහිටියාට පවා මුදලින් ආධාර කරන බව කීවේය. ඒත් අද වෙන කොට තත්වය බරපතලය. ගුවන් විදුලියේ ඇසෙන කොරොනා සින්දු වලින් කියැවෙන “කොරෝනාව” දැන් රටටම බෝ වී ඇත. ඒ අතර අගමැති අප්පච්චි දෙනවා කියපු රුපියල් 5000 ගන්න දඟලන මිනිස්සුන්ට කොරොනා මතක නැත! අතිතයේ ද අප මේ රටේ අපදාවට පත් ජනතාවට ආධාර දුන් හැටි දනිමු. ව්‍යසනයක් ආ විට රජය සහ නිලධාරීන් වැඩ අල කර අනන හැටි මේ රටේ මධ්‍යස්ථව හිතන ජනතාවට පුදුමයක් නෙවේ. ඒත් මේ අවස්ථාව බරපතලව සැලකියුත්තේ මේ ව්‍යසනය අනිත් එවාට වඩා සංකිර්ණ මානුෂිය ගැටලු ඇති කරන හෙයිනි, හානිය දිනෙන් දින වැඩිවන අතර අවසන් වන දිනයක් නැත. 

දුර්වල පරිපාලනය..

රජයේ පරිපාලන සේවාවන් ග්‍රාමීය මට්ටමින් ඉටු කරන්නේ ග්‍රාම නිළධාරි කොට්ඨාශයයි. රටේ දිස්ත්‍රික්ක 25 ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ක් ඇත. ඒවාට අදාල ග්‍රාම නිලධාරි වසම් 14022 ක් රට පුරා ඇත. මෙම සියලුම ග්‍රාමසේවා වසම් වලින්  රට පුරාම ආවරණ කරන්නේ පවුල් ලක්ෂ 70 කට ආසන්න ප්‍රමාණයකි. මෙම පරිපාලන ව්‍යුහය ඉතා පහසු වුවත් එය නිසි ආකාරයෙන් කළමණාකරනය කරගන්නට රජයට හැකියාවක් නැත. අද වන විට රජයෙන් දීමට යෝජනා කළ රුපියල් 5000 පිලිවෙලකට ජනතාවට ලබාදීමට තරම්වත් මෙම ග්‍රාම සේවක වසම් ප්‍රමාණය කලමණාකරණය කිරීමට රජයට හැකියාවක් නැත. අතීතයේ අප අත් දුටු රාජ්‍ය නොහැකියාව, නොදැනුවත් බව සහ කුපාඩි දේශපාලනය අප මේ ව්‍යසනයේදී මාස දෙකක් තිස්සේ අත් විඳිමින් සිටිමු.

ඡන්ද පෝර්ම් එකට දෙන අවධානය ආධාර මුදලට නැ..

මැතිවරණයක් ආසන්න වත්ම පතරංග ජාතකේ ලිවිය හැකි ප්‍රමානයේ පෝර්ම් කොලයක් අරගෙන ග්‍රාමසේවක තම වසමේ ගෙයක් ගෙයක් ගානේ දුවයි. එක ගෙයක් හෝ මග නොහැර, මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්නේ නැතුව පෝර්ම් එක  පුරවා ගනියි. ඒත් රජයෙන් මිනිසුන්ට කිසියම් සහනයක් දීමට උත්සාහ කිරීමේදී රජයට මේ “තදියම” හෝ “පිලිවෙල” නැත. අද වෙන කොට ජනතාවට රජයෙන් රුපියල් 5000 සහනාධාරයක් දීමට පටන්ගෙන ඇත. එය ද පටන් ගත්ත තැනම අල කරගත්තේය. "ගන්න පුලුවන් එකා ගන්නවා - බැරි එකාට බැ, - නැති එකාට නෑ". මේ ඇතැම් ගම්වල ඇසෙන මැසිවිලිය. 

ලංකාවේ සිටින රාජ්‍ය පරිපාලනයේ සිටින බොහෝ නිළධාරීන්ට ඇත්තේ ඉතා අවම වෘත්තිය දැනුමකි, ඔවුන් වැඩ කරන්නේ පුරුද්දටය. ඇතැම් විට ඔවුන්ට තීරණගත නොහැක. ඔවුන්ට චක්‍රලේකය කටපාඩම්ය, එහෙත් එය නිර්මාණශීලිව හෝ වර්ධනාත්මක අවබෝධකරගෙන තම රාජකාරිය කාර්යක්ෂමව සහ මානුෂීයව ඉටු කළ නොහැක. සෑම ග්‍රාම සේවක වසමකටම අයිති වන්නේ පවුල් හාර-පන්සියක් වැනි ප්‍රමානයකි. ජනඝනත්වය සහ භූමි ප්‍රදේශය අනුව එය වෙනස් විය හැක. අවශ්‍ය නම් ග්‍රාම නිළධාරියාට, තම වසම තුල දින දෙක තුනක් ඇතුලත ගෙයින් ගෙට ගොස්  සිය රාජකාරිය කළ හැක. තම වසමේ සිටින සැම වැසියෙකුගේම තොරතුරු ඡන්ද නාම ලේඛනයේ ඇත, තම වසමේ පවුල් ගණන ග්‍රාම නිළධාරීයාට කටපාඩම්ය. මෙම රුපියල් 5000 ඉතා පහසුවෙන් බෙදීමට හැකියාව තිබිය දි. එසේ නොකරන්නේ ඇයි? ග්‍රාම නිළධාරී කාර්යාල අසල මිනිසුන් රැස් කරන්නේ ඇයි? රටටම වසංගතේ වැළඳිලා තියෙද්දි ග්‍රාම නිළධාරීන් ලඟ මිනිස්සු පෝලිම් වල ගාල් කරන එක ප්‍රශ්නයක් නොවන්නේ කොයි රාජ්‍ය නායකයාටද?

කෝවිඩ්-19 සහ අභියාචනා..

අද වන විට කෝවිඩ් -19 කියන වචනය නොකියා මාධ්‍යයේ කිසිවකුට රටේ ආපදාව ගැන කථා කළ නොහැක. රජයේ මාධ්‍ය ඔස්තාර්ලා රටේ ආපදා තත්වය ගැන වචන 10 ක් කථා කරන විට එයින් වචන 7 ක්ම කෝවිඩ්-19 යයි. ඊට අමතරව ඇති වචනය “අභියාචනය” යි. කොරෝනා -5000 ලැබෙන්නේ එක එක ග්‍රාම සේවක වසම් වල එක එක ආකාරයටය. කොයිම ආකාරයටවත් නොලැබෙන අය අභියාචනයක් ඉදිරිපත් කළ යුතුය. එය ලිඛිතව හිඟාකැමක් විය යුතුයි. මේ නිසා මිනිස්සු අභියාචනා කියා විවිධ බොරු ලියාගෙන යයි..

ඇතැම් ග්‍රාමසේවක වසම්වල මොකද වෙන්නේ කියා ඒ ප්‍රදේශයේ මිනිස්සු දන්නේ නැත. ග්‍රාම සේවක කුමක් කරන්නේ ද කියා ප්‍රාදේශීය ලේකම් දන්නේ නැත. ප්‍රාදේශීය ලේකම් කුමක් කරන්නේද කියා දිසාපති දන්නේ නැත, මේ සෙට් එක මොනවා කරනවාද කියා රටේ අප්පොච්චිලා දන්නේ නැත. ඇතැම් ග්‍රාම සේවා වසම් වල ග්‍රාම සේවක නැත. ඒ වෙනුවට වෙන “ගෝලයෙක්ව” පත් කර ඇත. මෙම ගෝලයා බොහෝවිට ග්‍රාමසේවකට හිතවත් නූගත් ගම් වැසියෙකි. ඇතැම් අවස්ථාවල ග්‍රාම නිළධාරියට වඩා මෙම ගෝලයා බලවත්ය. බොහෝවිට මෙම ගෝලයාගේ තීරණය අවසන් තීරණයයි - “දැන් ආධාර බෙදල ඉවරයි”-  “ප්‍රාදේශීය ලේකම්ට අභියාචනයක් දාන්න” -  “ග්‍රාමසේවක අද නිවාඩු කියන දෙයක් මට කියන්න” – “මම ඔයාලව අඳුරන්නෙ නෑ” – “ඡන්ද නාම ලේඛනයේ නම නැ”.  ඇතැම් ග්‍රාම සේවක වසම් වල ආධාර දෙන්නේ එය ලබාදෙන්නේ ද තෝරාගත් පවුල් වලටය. මේ ආකාරයේ ඉතා ප්‍රායෝගික අපහසුතා බොහෝමයකට රටේ ජනතාවට මුහුණදීමට සිදුව ඇත. 

ජනතාවගේ නූගත්කම සහ අසරණකම තේරුම් නොගැනීම..

අපේ රටේ බොහෝමයක් ජනතාව ඉතා නොදියුනු සමාජ ගති ගැමියන්ය. මෙවැනි අය ග්‍රාමසේවා කාර්යාල අසල රැස් වූ විට විවිධ ප්‍රශ්න ඇති වේ. ඇතැම් අයට දෙන්න එපා යැයි, ඒ පෝලීමේ ඉන්න තව කොටසක් කියයි. මේ ගොල්ලෝ කුලියට ඉන්නේ, අපි ගමේ  ස්ථීර පදිංචිකාරයෝ අපිට ඉස්සරවෙලා දෙන්න! කුලියට ඉන්න කට්ටිය ප්‍රාදේශීය ලේකම්ට අභියාචනයක් දාන්න! - මේ වැනි දෙවල් 5000 හේ පෝලීම්වල අසන්නට ලැබෙන කථාය. මේ වැනි දේට මුහුණදීමට නොහැකි තම ආත්ම ගරුත්වය ගැන සංවේදි මිනිස්සු මෙවැනි තැන්වල සිටින්නේ නැත. අද මෙම රුපියල් 5000 ලබා දීම ඉතාම අක්‍රමවත්වය..! ලැබිය යුතු බොහෝ දෙනෙකුට එය ලැබි නැත. ඇතැම් විට පුද්ගලික අංශයේ රැකියා කරන අයට එය ලබා දී නැත. කුලී නිවැසියන්ට ලබා දී නැත. ඇතැම් ආබාධිත හෝ අංගවිකල වැසියන්ට ලබා දී නැත. කිසිම දෙයක් කර කියා ගත නොහැකි වැඩිහිටියන්ට ලබා දී නැත. එකම පවුලේ දෙතුන් දෙනා ලබාගෙන ඇත. මෙහිදී අවධාරණය කළ යුත්තේ, අද රටේ පවතින තත්ත්වය යටතේ මේ රුපියල් 5000 සොච්චම පවා ලබාගැනීමට නොහැකි පවුල් රටේ බොහෝ ඇති බවයි. 

ඇමරිකාවෙන් ඉගෙන ගනිමු..

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇමරිකානු රට වැසියෙකි. ව්‍යසනයක දී එම රටේ ජනතාවට රජය උදව් කරන ආකාරය එතුමා දැක ඇත. ව්‍යසනයක දී,  ඩොලර් සීයක් දෙසීයක් ගන්න ඇමරිකානුවන් පෝලිමේ සිටින බව එතුමා දැක නැති බව මා විශ්වාස කරමි. එතුමා ඇමරිකානු පුරවැසිකම ලබාගනිද්දී දුව්රුම් දුන්නා නම් එතුමාට එය ද මතක ඇත, එය තම රට ගැන ඉතා බැරැරුම් ප්‍රකාශයකි. දියුණු රටවල, රට වැසියන්ට අපහසුතාවයක් වු විට ඔවුන්ගේ ආත්ම ගරුත්වයට හානියක් නොවන ලෙස අවශ්‍ය උපකාර ලබා දේ. ඔවුන් ඒවා ඉතාම ක්‍රමවත්ව කාර්යක්ෂම ආකාරයට කරති. ඒ දියුනු රටක හැදියාවය. ජනාධිපතිතුමා ඇමරිකානුවෙකු සේ අත්දුටු දේ ක්‍රියාත්මක කරන්න දැන් කාලය එලැඹ ඇත. ඒවා ලංකාවේ බයියන් දන්නේ නැත! කොරොනා වසංගතය කලමනාකරනය කිරීම සඳහා ඇමරිකානු  කොංග්‍රසය ඩොලර් ට්‍රිලියන දෙකක් අනුමත කළේය. එයින් රටවැසියෙකු ඩොලර් 1200 ක් දීමට තීරනය විය. එය චෙක් පතකින් ලැබෙන්නට සලස්වන බව සඳහන් විය, මිනිසුන් එය ගන්න පෝලිමේ සිටියේ නැත. අපේ බයි-වියතුන් ඇමරිකාවට බැන්නාට, අපිට ඇමරිකාව කරන දේ කිරීමට බැරිය. අවම වශයෙන් අපේ බයි-වියතුන්ට එසේ හිතන්නටවත් බැරිය. 

ජනතාව හිඟන්නන් කිරීම..

සියල්ලටම පෙර රටක ජනතාවගේ හැදියාව දියුණු කරමින් ඔවුන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කළ යුතුය. ආපදා අවස්ථාවක දී, රජයෙන් යමක් ජනතාවට ලබාදීමට තීරණය කර, ඊට පසුව කරන්නේ මිනිස්සුන්ට එය එපා කරවා මිනිසුන්ව හෙම්බත් කරන එකය.  “ගන්න එකා ගනිල්ලා බැරි එකා නිකා හිටපල්ල” කියන තත්වයට ජනතාව ඇද දමති. කොරෝනා 5000 නො ලැබෙන මිනිස්සුන්ව තවත් අසරණ කරන්නට අභියාචන් ඉදිරිපත් කරන්නට කියයි. රුපියල් 5000 ආධාරයක් ජනතාවට ලබා දීමට රාජ්‍ය තීරණයක් ගත් පසුව දැන් ජනතාව අභියාචනා ඉදිරිපත් කරන්නේ කුමකට ද? රජයට අවශ්‍ය නම් ගෙයින් ගෙට ගොස් මිනිසුන්ට සුහදව කථා කරමින්, ඔවුන් ගේ දැන් ජීවන තත්වය අවබෝධ කරගනිමින්  මේ රුපියල් 5000 ලබා දිය හැක. ඒත්, එය නොකරන්නේ ඇයි? එසේ නොකර “අභියාචනා” කියමින් මිනිස්සුන්ට බොරු ලියාගෙන එන්න කියන්නේ ඇයි?. මිනිසුන් හිඟන්නන් සේ රජයේ කන්තෝරුවල පෝලිම් ගස්සවමින් ඔවුන්ව මේ ආකාරයට අසරණ කිරීටම ග්‍රාම නිළධාරීන්ට උපදෙස් දෙන්නෙ කවුද? රජයේ දැක්ම “සෞභාගය නම්” රටේ ජනතාවගේ ආත්ම ගරුත්වය කෙළෙසමින් සොච්චම් රුපියල් 5000 කට ඔවුන්ව මේ ආකාරයට “පීචං” කිරීම සුදුසුද?

රට වැසියෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන්  මෙසේ ඉල්ලීමක් කරමි, අදාල රාජ්‍ය නිළධාරින්ට මේ වචන මේ ටික කියන්න “අයිසේ ඔය අහිංසක මිනිස්සුන්ට ඔච්චර කරදර නොකර ඔය රුපියල් 5000 ගෙයින් ගෙට ගිහිල්ල දීල ඉවර කරනවකෝ”

මෙම ලිපිය ලියු මා මගේ රටේ හිඟන්නකු වීමට අකමැති රටවැසියෙක් වෙමි..!

-විශේෂ ලියුම්කරුවෙක් විසිනි-

---------------------------
by     (2020-05-03 20:04:54)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links