නිව්යෝර්ක් ටයිම්ස් හි ලිපියක පරිවර්තනයකි
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.29, පෙ.ව.5.40) මතවාදීමය වශයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දෙමගක ගමන් කරන දෙරට අතර, වෛරසය පිටුදැකීමේ අරමුණ වෙනුවෙන් කැපී පෙනෙන එකමුතුවක් සිදුවෙමින් තිබේ. දේශපාලනික නොවන ඔවුන්ගේ ප්‍රවේශය ඇති කරවන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව බලාපොරොත්තුවකි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රහාරාත්මක ප්‍රවෘත්ති නිවේදනයන්ගෙන් සැතපුම් දහස් ගණනකට ඔබ්බෙන් වෙසෙන ඕස්ට්‍රේලියාවේ මධ්‍යස්ථ මතධාරී නායකයා සහ නවසීලන්තයේ ප්‍රගතිශීලී අගමැතිනිය වෛරසය පැතිරීම දැඩි ලෙස මර්ධනය කිරීමට ඔවුන්ගේ රටවල් මෙහෙයවමින් සිටිති.
ජාතීන් දෙක ම මේ වන විට සිටින්නේ, මාර්තුවෙහි සිය ගණනින් වාර්තා වූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව අතළොස්සකට සීමා කර ගනිමිනි. ඔවුහු දැන් තවත් සුවිශේෂී අරමුණක් කෙරෙහි යොමු වී සිටිති. ඒ ඔවුන්ගේ දිවයින්වලින් වෛරසය මුළුමනින් ම තුරන් කර දැමීම ය.
ආසාදිතයන් සංඛ්‍යාව බින්දුව දක්වා අවම කිරීමේ අදහස ඉටු වුවත් නැතත්, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ අත්පත් කරගෙන තිබෙන දෙය නම්, මහත් සේ බලාපොරොත්තු දල්වන සුළු ය. මධ්‍යස්ථ මතධාරි කිතුණුවෙකු වූ ඕස්ට්‍රේලියාවේ ස්කොට් මොරිසන් සහ නවසීලන්ත වැසියන්ගේ හදවත් දිනාගත් වමට බර ජසින්ඩා ආර්ඩෙන්, ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය ජයගෙන තිබේ. එයින් ඉස්මතු කෙරෙන්නේ, මේ වැඩ පිළිවෙළට වෙඩි තබා පළවා හැරීමට වඩා, භේදභින්නතා අඩු වී යාමත්, සුවිශිෂ්ඨ නායකත්වයත්, සන්සුන් එකමුතු භාවයත් පදනම් කර ගැනෙන බව ය.
කලක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කළ, වෛද්‍යවරයෙකු සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා මහාචාර්යවරයෙකු වූ, පීටර් කොලිංනන් පැවසුවේ මෙය සැබවින් ම එක්සත් ජනපදය පැත්තෙන් කැපී පෙනෙන්නක් බව ය. "මේක දේශපාලනය කරන්ඩ වෙලාවක් නෙවෙයි. මේක, තොරතුරු දිහා බලල, වඩාත් ම සංව්දී දෙයක් අපි කරමු යයි සිතිය යුතු වෙලාවක්."
සාමාන්‍ය තත්වයට ආසන්න වෙමින් තිබෙන සිහිනමය අපේක්ෂාව වන්නේ, වෛරස පරාජය වීමත් සමග, අවන්හල්වල පාරිභෝගිකයන් රංචු ගැසීම ය. සෑම දරුවෙකු ම ආපසු පාසැල් යාම ය. පරීක්ෂණ ප්‍රමාණවත් ව නොකෙරෙන, ට්‍රම්ප් මහතාගේ ප්‍රමාදය නිසා ම රෝගය පැතිරී ජනයා මරණයට පත්වීම ඉහළ යාමටත් කටයුතු සැළසුණ එක්සත් ජනපදයෙහි නම් මෙය සිතා ගැනීමටවත් නොහැකි දෙයකි. එය නිම වනු ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්යෙහි මිරිඟුවක් හෝ තාවකාලික ජයග්‍රහණයක් වශයෙනි. වසංගතයක් අතුගා දැමීම යනු, අලුත් රෝගීන් බිහි නොවන සේ, දිගින් දිගට ම නොකඩවා පවත්වා ගෙන යන ක්‍රියාමාර්ග මගින් කිසියම් භූගෝලීය ප්‍රදේශයකින් එය පැතිරීම මුළුමනින් ම නැතිකර දැමීම ය. රටවල් අතර ගමනාගමනය දිගින් දිගට ම අත්හිටුවා තබා ගැනීම එහිලා අවශ්‍ය ම දෙයකි. චීනය, සිංගප්පූරුව, හොංකොං වෛරසය පැතිරීම වළක්වා තිබෙන බවක් පෙනුණ ද, එයට විදේශයන්හි සිට පැමිණීමට ඉඩ සලසා දී තිබේ.
එසේ තිබිය දී, මානය යටපත් කරවා නිපුණත්වය ඔසවා තැබෙන, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිළිබඳ විශ්වාසය නැවත තහවුරු කෙරෙමින් රෝගයෙන් අත්මිදීම පිළිබඳ ලොවට ම ආදර්ශයක් සපයන, මුළුමනින් ම මුද්‍රා තැබූ ජයග්‍රහණයක් අත්පත් කර ගතහැකි දෙරටක් වේ නම් ඒ, අඩු ජනගහණයක් සහිත, ප්‍රායෝගික විසඳුම් සෙවීම අතින් ඉතිහාස ගත වූ, පිළිගැනීමක් ඇති කරවා ගැනීමේ ආශාවෙන් පෙළෙන පීඩාවට පත් වූවන්ගෙන් ගහණ දිවයින් වූ, මේ ශාන්තිකර කලාපීය අසල්වැසියන් දෙදෙනා ය.
කවර හෝ ගෝලීය උණුසුම් ස්ථානයකට වඩා, ඔවුනට කාලයේ වාසිය අත්විය. ඕස්ට්‍රේලියාව ජනවාරි 25 වන දා පළමුවන ආසාදිතයා වාර්තා කරන අතර, නවසීලන්තය වාර්තා කරන්නේ, පෙබරවාරි 28 ය. එහෙත්, ට්‍රම්ප් මහතාට හෝ වෙනත් යුරෝපීය නායකයෙකු හා සැසඳීමේ දී, මොරිසන් මහතා සහ ආර්ඩෙන් මහත්මිය කටයුතු මෙහෙයවූ උද්‍යෝගය සහ නියෝග ඉතාමත් දැඩි ය.
මොරිසන් මහතා පෙබරවාරි 1 දා, චීන සංචාරකයන්ට ඕස්ට්‍රේලියාව තහනම් කළේ, ඇමරිකාව තහනමක් පැනවීමට දිනකට කලින් ය. රෝහල් ධාරිතාව ඉහළ නැංවීම සහ රෝගයට ප්‍රතිචාර දැක්වීම් කටයුතු නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත ප්‍රධානීන් ඇතුළත් කරවා ජාතික විධායක සභාවක් පෙබරවාරි මස හත්වෙනි දින පත් කෙරුණේ, රෝගයේ පැතිරීම වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කිරීමට දෙසතියකට පෙර ය.
නවසීලන්තයේ, රජය සිටින්නේ වඩාත් මධ්‍යගත ව ය. ආර්ඩෙන් මහත්මිය හඳුන්වා දුන් සෝදිසි ක්‍රමය රට වසා තැබෙන තැනට යොමු වන්නේ, රටෙහි මුල් ම රෝගියා හමු වූ දින සිට මසකටත් අඩු කාලයකි.
"අප දැඩි සේ සටන් කළ යුත්තේ, ඉතාමත් කල් ඇති ව ය" ආර්ඩෙන් මහත්මිය පැවසුවා ය.
මුල දී ම විරෝධතා දැක්වූ දෙරටෙහි ම මහජනතාව සෑම මට්ටමක ම නිලධාරීන්ගෙන් ගලා ආ තොරතුරු නිවැරදි නිසා ම, පසුව එකඟ වූහ. ප්‍රධාන ම කරුණු පැහැදිළි කරන්නා වශයෙන් එකිනෙකා විසින් තෝරා ගැනුණේ ඔවුනොවුන්ගේ ම මාර්ග ය. මොරිසන් මහතා සාම්ප්‍රදායික ගුවන්විදුලියට වැඩි නැඹුරුවක් දැක්වූ අතර, ආර්ඩෙන් මහත්මිය තෝරා ගත්තේ සජීවී මුහුණු පොත ය. එහෙත්, විද්‍යාඥයන්ට සවන් දීම සහ ලැබෙන තොරතුරුවලට අනුගත වීම සම්බන්ධයෙන් ඒ දෙපළට ම ලැබුණේ පැසසුම් ය.
"එක විදිහකට ඉන්නෙ නැතිකම දේශපාලනඥයන්ගෙ හැටියක්." වසංගතයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය සැළසුම් කිරීමට සම්බන්ධ ව සිටි, ක්වීන්ස්ලන්ඩ් සරසවියේ වෛරස විද්‍යාඥ ඉයන් මැකායි පැවසී ය. "දේශපාලනඥයා එක එක දේවල්වල මිශ්‍රණයක් නෙ. ඒත්, එයා අදාළ විශේෂඥයන්ගෙ අදහස් විමසන්න පහළට ම එනව." එහි ප්‍රතිඵල පිළිකෙව් කළ නොහැක. ඕස්ට්‍රේලියාවත් නවසීලන්තයත් වක්‍රය තලා දමා තිබේ. ජනගහනය මිලියන 25කගේ රටක් වූ (ලංකාවේ ජනගහනයට සමානය) ඕස්ට්‍රේලියාව ඊස්ටර් දිනය වනවිට වාර්තා කර තිබුණේ, රෝගීන් 6,670 ක් සහ මරණ 78 කි. ලෝකයේ ඉහළ ම ඒක පුද්ගල පරීක්ෂණ අනුපාතයක් පවත්වා ගෙන ගිය එහි පැවති වර්ධන වේගය 1% කි.
මාර්තුවෙහි ඉහළට ම නැගුණ පසු ද, තහවුරු කෙරුණ රෝගීන් සංඛ්‍යාව 1,456 ක් සහ මරණ සංඛ්‍යාව 17 ක්ව තිබිය දී, නවසීලන්තයේ දෛනික වර්ධන මට්ටම පැවතියේ එකට අඩු ප්‍රතිශතයක ය. දශ ලක්ෂ පහක ජනගහණයක් සහිත එරට ඇත්තේ රෝගීන් 361 දෙනෙකි.
මේ දත්ත, දෙරට ම, සාර්ථකත්වය පිළිබඳ පුවත් පළ කර සිටින ජර්මනිය පවා තිබිය දී, එක්සත් ජනපදයටත් යුරෝපයටත් වඩා, සමීප කෙරෙන්නේ දැනට වෛරසය පාලනය කර තිබෙන තායිවානයට සහ දකුණු කොරියාවටයි.
මේ සියල්ල ඇරඹෙන්නේ, විද්‍යාඥයන් සමග ය. චීනය වෛරසයේ කේතය ප්‍රසිද්ධ කළ පසුගිය ජනවාරියේ මුල් භාගයේ දී ම ඕස්ට්‍රේලියානු මහජන සෞඛ්‍ය පර්යේෂණායතනයන්හි ව්‍යාධි වේදඥයින් පර්යේෂණ සඳහා වූ සැළසුම් බෙදා හදා ගත්හ. එයින්, හැම ප්‍රාන්තයක මෙන් ම, දේශ සීමාවක ද, ඔවුන් සිටියේ දේශපාලනඥයන්ට වඩා ඉදිරියෙනි. "එයින් අදහස් වන්නේ හැම තැනක් සමග ම දත්ත සසඳා බැලිය හැකි නිසා, පර්යේෂණයක් අවසන් කරන අපට යුහුව ඉදිරියට යාමේ හැකියාව තිබුණ බව යි" වෛද්‍ය කොලිංග්ටන් පැවසී ය.
ඒ සමග ම රජය, වෙහෙස වන සේවකයන්ට සහායක් වශයෙන් මූල්‍යමය මාර්ග විවර කර, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සංඛ්‍යාව ඉහළ නැංවී ය. ආසාදනය ඉහළ නැගීම ඇරඹෙන විට, පර්යේෂණාගාර සහ රෝහල් දෙවන තුන්වන වටවල විද්‍යාඥයන් සේවා සහායට කැඳවී ය.
හඬ නැගුණේ ඒ සාමුහිකත්වයෙනි. මොරිසන් මහතා කල් ඇතිව ම ගත් පියවරයන් නිරතුරු ව ම අන්තර් සම්බන්ධතා පවත්වා ගත් බැවින්, වෛරසයේ පැතිරීම පිළිබඳ ආදර්ශයන් තැනීමට යොමුව සිටි ස්වාධීන විද්වතුන් රාජ්‍ය සහ පලාත්බද කාර්ය සාධක බලකායන් ඉක්මනින් ම ක්‍රියාත්මක විය. ඊමේල්, පණිවිඩ හෝ සමූහ දුරකථන සංවාද මගින් ඒ මේ අත විසුරුණ ඔවුන්ගේ සොයා ගැනීම්, ජාතික මට්ටමේ තීරණ ගන්නවුන් අතට පත්විය.
අළුතින් පිහිට වූ නව ජාතික කැබිනෙට්ටුව, ඇමරිකානු ආණ්ඩුකාරවරුන් අතර සේ නොගැළපීම් බහුල ඒ ඒ ජනපදයන්හි අගමැතිවරුන් වැනි දේශපාලනඥයන්ගෙන් සමන්විත ඉහිල් මධ්‍යගත පාලන ක්‍රමයක් තිබෙන රටක් සඳහා වූ බොහෝ දෙනාගේ අදහස් බෙදාහැර තිබුණ ආකාරය විස්මය දනවන සුලූ ය.
නිදසුනක් වශයෙන්, අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත නොවන සියලු ඕස්ට්‍රේලියානුවන්ට නිවෙස්වල රැඳී සිටින මෙන් දන්වා අන්තර් ජාතික ගමනාගමනය දැඩි ලෙස පාලනය කළ තහනම් නියෝග සහිත එකඟතාවක් මාර්තු අග දී මොරිසන් මහතා ප්‍රකාශයට පත් කළේ ය. බොහෝ දුරට, පාසැල්වල කටයුතු වැනි අවස්ථා සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් සිදුවුව ද, ප්‍රාදේශීය නායකයින් ද්විපාර්ශවීය අනොන්‍ය සහයෝගය ප්‍රකාශ කළ අතර, සිදුවීම් සංඛ්‍යා පහත වැටෙද්දී පවා, එම තීරණවල ම රැඳී සිටියහ.
නවසීලන්තයෙහි, මහජන සෞඛ්‍ය සේවකයෝ වඩාත් එඩිතර මගකට පිළිපන්හ.
වෙලිංටන් ඔටාගෝ සරසවියේ මහාචාර්යවරයෙකු වූ වෛද්‍ය මයිකල් බේකර් රජයෙන් පරිබාහිර ව හුදෙක් වෛරසය මැඩ පැවැත්වීමට නොව, තුරන් කර දැමීම සඳහා නැගූ හඬ ඉතාමත් ප්‍රබල ය. ඔහු වාද කළේ, සීමිත රෝගීන් සංඛ්‍යාවක් සහිත දිවයිනක් වූ නවසීලන්තය වෛරසය සැළකිය යුත්තේ සරම්ප වෛරසයට වඩා දුර්ලභ වෙනස්කම් සහිත ව එකවර ම අතුරුදන් වී යා හැකි ඉන්ෆ්ලූවෙන්සා වෛරසයක් ලෙස යනුවෙනි.
"වෛරසයේ ආකෘතීන් නිපදවූවන් පැවසූයේ, මුළුමනින් ම වෛරසය අතු ගා දැමීමේ හැකියාව ඇත්තේ කෙසේ ද? යි විමසා බැලීමට රට දෙමසකට අගුළු දැමිය යුතු බව යි." ඔහු පැවසී ය.
"සංඛ්‍යාවන් ඉතාමත් පහළට වැටෙන තෙක් ඔබට බලා සිටීමට සිදුවේ. පැතිරීමක් වේ නම්, වෛරසය මුද්‍රා තැබිය හැකි වනු ඇත්තේ එවිට ය."
වෛරසය වේගයෙන් පැතිරෙනු ඇතැයි කනස්සලූ වූ වෛද්‍ය බේකර් පැවසුවේ, වෛරසය නවසීලන්තය ආක්‍රමණය කළ මුල් සති කිහිපයෙහි නොසන්සුන් බව ඔහුව බෙහෙවින් වෙහෙස කරවූ බව ය. "අප සිටියේ පිහි තුඩකය" ඔහු පැවසී ය. "අප ඇත්තෙන් ම ඉන්නෙ කැපවීමෙන් ද?" ඔහු ප්‍රශ්න කෙළේය.
ආර්ඩෙන් මහත්මිය නවසීලන්තයෙන් වෛරසය තුරන් කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේ මාර්තු 23 දින ය. වෛරසය තුරන් කර දැමීමක් සහතික විය නොහැකි කාරණා රාශියක් තිබිය දී එය කළහැක්කක් වනු ඇත් දැයි විචාරකයෝ ප්‍රශ්න කළහ.
තායිවානය නිදසුන් ලෙස දක්වමින්, එයට පිළිතුරු දුන්නේ වෛද්‍ය බේකර් ය. සමාජයීය වශයෙන් දුරස්ථ භාවය පවත්වා ගනිමින් සාමාන්‍ය ජන ජීවිතයට ආපසු ආ හැකි පරිදි දශ ලක්ෂ 23 ක දැඩි තදබදයක් සහිත ජන ගහනයක් සහිත දූපතක් මතු කරවමින් තායිවානය වෛරසය පැතිරීම පාලනය කර තිබේ.
"ඒක දේශ සීමා, සබඳතා පැවැත්වූවන් හඹා යාම, සෙවිල්ලෙන් සිටීම ආදි හැම වැඩ පිළිවෙළක් ම ක්‍රියාත්මක වීම පිළිබඳ කාරණයක්." වෛද්‍ය බේකර් පැවසී ය.
ඕස්ට්‍රේලියාවෙහි, නිලධාරීන් බොහෝ වේලාවන්වල සිටියේ පෞද්ගලික ව වෛරසය නැතිකර දමන ආකාරය ගැන කතා කරමිනි. මර්දනය ඒ වැඩ පිළිවෙළෙහි සැඟව තිබෙන අතුරු කාරණයකි. ඕස්ට්‍රේලියාවෙහි ප්‍රධාන වෛද්‍ය අධිකාරිවරයා වූ වෛද්‍ය බ්‍රැන්ඩන් මර්ෆි නවසීලන්ත පාර්ලිමේන්තු කමිටුවකට පසුගිය සතියේ පැවසුවේ, වෛරසය නැතිකර දැමීම, එන්නතක් සොයා ගැනෙන තෙක්, දින නියමයක් නොමැති ව අන්තර් ජාතික ගමනාගමනය තහනම් කෙරෙමින් හෝ දින දාහතරක් නිරෝධායනයට ලක් වෙමින් දුක සේ ලැබිය යුතු නිවන් දැකීමක් වැනි සිද්ධියක් බව ය.
එහෙත්, එය සිදුවන්නේ නම්, අත්‍යන්ත ගෞරවයට පාත්‍ර වන්නේ වෛද්‍ය මර්ෆි සහ ඔහුගේ නිව්සීලන්ත සහායකයා වන වෛද්‍ය ඈෂ්ලි බ්ලුම්ෆීල්ඩ් ය. ඇමරිකානු රජයේ විද්‍යාත්මක ප්‍රතිචාරයන් එළිදක්වන මුහුණ වූ වෛද්‍ය ඇන්තනි ෆවුසි මෙන්, සන්සුන් හැසිරීමක් සහ විකාර නොදොඩවන ඔවුනට මහජන සෞඛ්‍ය පිළිබඳ දිගුකාලීන උරුමයක් තිබේ. දිනපතා අන්තර්ජාලය ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වැඩ සටහනක් පවත්වමින් සහතික වශයෙන් කියන දෙය කෙළින් කියන පුද්ගලයෙකු වශයෙන් කීර්තියක් අත් කරගෙන තිබෙන, ටයි පටියක් නොපළඳින, බොකුටු කෙස් සහිත වෛද්‍ය බ්ලුම්ෆීල්ඩ්ගේ මුහුණ වටකරගත් හදවත් රූප මුද්‍රණය කළ තුවායක් විකිණීමට වෙලින්ටන්හි කලාකරුවෙකු පටන් ගෙන තිබේ.
ඔහු සහ ඔහු වැනි ම වූ අනෙක් තැනැත්තන්, ඡන්දයකින් පත් ව නැවත ඡන්දයකට යාමට සූදානමින් සිටින රජයේ ප්‍රතිරූපය ප්‍රාදේශීය මට්ටමෙන් ඉහළ නංවන ප්‍රධාන සාධක බවට පත් වී තිබේ. රටවල් දෙකක් වශයෙන් වුව ද, ආර්ථිකයන් සකසුරුවම් ලෙස පාලනය කර තිබෙන අතර, එදිනෙදා ජන ජීවිතයට දැඩි ලෙස විලංගු දම්මවා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරවා තිබේ.
ගැටළුව වන්නේ, එම තත්වය ඇති කරවන අනාගත ආරාවුල් කවරේ ද යන්නයි.
ආර්ඩේන් මහත්මිය සහ මොරිසන් මහත්මා දෙරට අතර සංචාරක දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර තිබේ. හොඳ කළමනාකරණයක් යටතේ වෛරසය තුරන් කිරීම මගින්, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පමණක් නොව, දක්ෂ පුද්ගලයන්ගේ වටිනාකම පිළිබඳ ව ද යම් විශ්වාසයක් ගොඩ නගා ගැනීමට හැකිවනු ඇතැ'යි ඒ අතර විද්‍යාඥයෝ කල්පනා කරති. "මේ අවස්ථාවෙහි පෙනෙන්නේ අප හැම දෙන ම එක් ව, එක ම දිසාවකට ඇදගෙන යන බව යි." ක්වීන්ලන්ඩ් සරසවියේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය මැකායි පැවසී ය.
"මං හිතනව, ඒක අපිට කරගෙන යන්න පුලුවන් කියල. විද්‍යාවේ පුනරාගමනයක් සමහර විට, අපට දකින්න පුලුවන් වෙයි. ඒ ගැන මට සැකයකුත් තියෙනව. ඒත්, කවුද දන්නෙ?" වෛද්‍ය මැකායි එක් කළේ ය.
(පසුගිය අප්‍රේල් 24 දා නිව්යෝර්ක් ටයිම්ස් හි පළ වූ Damien Cave විසින් ලියූ Vanquish the Virus? Australia and New Zealand Aim to Show the Way නමැති ලිපියේ සිංහල පරිවර්තනයකි)
-තම වටිනා කාලය මිඩංගු කරමින් ලංකා ඊ නිව්ස් සිංහල පාඨකයන් වෙනුවෙන් සිංහලට පරිවර්තනය කෙළේ,
---------------------------
by (2020-04-29 00:29:20)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි