විනිවිද ශ්‍රී ලංකා ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.29, පෙ.ව.3.45) ඕනම රටක ජනතාව එන්න එන්න බෙදෙන එක ඕනම පාලකයෙකුට පහසුයි. රජවරු රට පාලනය කරන කාලේ පටන් යොදාගත්ත උපක්‍රමයක් ඒක. ඒ කාලේ බෙදුවේ උඩරට, පහතරට, කරාව, දුරාව ආදී ලෙස. රාජාන්ඩු යුගය පහුවෙලාත් මේ ආශික්ලන්තෙ දුවන්නේ තාම ඒ කන්සෙප්ට් එක උඩම තමා. ඒකට තව අඩුම කුඩුම විදියට මිථ්‍යාවත් එකතු කර ගන්නවා. මේ මිථ්‍යාවන්ගේ එල්ලිලා ඉන්න මිනිස්සු, පාලකයාගේ නොහැකියාව ගොඩක් වෙලාවට "කර්මය, දෙවියන්ගේ කැමැත්ත, අපේ නොලැබීම, අවාසනාව" වගේ දේකට ලගු කරගන්නවා. මේක අහන්නත් දෙයක් නෙවෙයි, රටේ ඉහළම පුටු වල ඉන්නේ, වශී බෝල මිරිකන, මොනව හරි උන ගමන් තිරුපති දුවන, ශිව ලිංග නාවන, දේවාල ගානේ පූජ වට්ටි අරන් දුවන, භාර හාර වෙනුවෙන් ඇත් දළ පූජා කරන ගැන්සියක්නේ.
කොරෝනාව උනත් එහෙමයි. මන් හිතන්නේ ඔය දූපතේ විතර බෙහෙත් සොයා ගත්තෙ නැහැ වෙන මොනම රටකවත්. ඒ වගේම "මීඩියා" කියන ලේබලේ බෙල්ලෙ එල්ලගත්තම තමන් පොරවල් කියලා සිතා ඉන්න බොහෝ මාජ්ජ වේදීන් කරන්නෙත් ඒකමයි. ඒකට විකල්පයක් ලෙස ආපු සමාජ මාධ්‍ය එහෙම නැත්නම් "ශෝෂල් මීඩියා" වල හැසිරීමත් ඊට නොදෙවෙනියි. එනිසා අද වෙද්දි ඇත්ත බොරුව මොකක්ද කියලා සොයන්න බැරි තරමට විකාරයක් බවට පත් වෙලා තියෙන්නේ.
බලන්න, මේ මට පහු ගිය ටිකේ දූපතේ මීඩියා බලන කොට කොරෝනාවට එරෙහිව සොයාගත්තා කියලා හමු උන බෙහෙත් ගොඩ. ඒවා බටහිර, නැගෙනහිර, දේශීය, විජාතික, පජාත ඕන දෙයක් වෙන්න පුලුවන්. මේ ටික ගොඩ දා ගත්තා නම්, රටේ ණය එක රැයින් ගෙවලා ඉවර කරන්න පුළුවන්.
1. කොරෝනාවට බය වෙන්න එපා - බෙහෙත් මං ළඟ තියෙනවා - අබේවර්ධන හෙට්ටිආරච්චි
2. ජනපති අවසර දෙනවා නම් වෛරසයට බෙහෙත මං දෙන්නම් - පස්යාලෙ වෙද හාමුදුරුවෝ
3. කොරෝනා මඩින බෙහෙත තියෙනවා. ඒක රහසක් - වියත් මගේ වෛද්‍ය සීතා අරඹෙපොල
4. කනගාටුයි.. ජනපති තියා කවුරුත් කතා කළේ නෑ.. මං බෙහෙත පිට රටකට විකුණනවා - සෙන්ජිත් රාජගුරු
5. ජපානයට අභියෝග කරමින් හෙල ඔසුවක් අනුරපුරෙන් - අනුරාධපුරේ වෙද මහතා
6. විනාඩි 10 න් කොරෝනා විනාශයි - මැෂිම ලෝකෙටම දෙනවා - ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක්
7. කොරෝනාවට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බෙහෙත - කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්
8. කිසිදු බෙහෙත් ගැල්වීමක්.. බීමක් නැත, කොරෝනා සුව කරමි - විශ්වනාත් වෙද මහතා
9. කොරෝනාවලට මේ රහස් ඖෂධ හතර තම්බා බොන්න - ගල් ලෙන් වාසි හිමි නමක්
10. කොරෝනා නසන විශ්වීය රහස මා සතුයි - උදේශා ගංගා මැණියෝ
11. දුමක් අල්ලා කැඳක් පොවා කොරෝනා සුව කළ හැකියි - හෙළ සුවය, පාදෙනිය ඇතුළු කණ්ඩායම
12. හිමාලයෙන් ආ හිමිනමක් කොරෝනා වලට කිවූ රහස් බෙහෙත
13. හෙළ ඖෂධ වලින් කොරෝනා මඩින හැටි ලොව පතල ඖෂධවේදියෙක් හෙලි කරයි - මහාචාර්ය චන්න ජයසුමන
14. කොරෝනා වලින් වලකින්න ගෙදරදීම බෙහෙතක් - ලංකේශ්වර වෙද මහතා
15. ලංකාවේ පළමු රෝගියා සුව කළ දුම - ඖෂධය ලංකාවටම බෙදන්න සූදානම් - වෛද්‍ය මලිත් බටගොඩ
16. මං ගාව කොරෝනා වලට බෙහෙත් තියෙනවා, දැන් බයවෙන්න දෙයක් නැහැ - මෙහෙනින් වහන්සේ නමක්
17. කොරෝනා වලට ආයුර්වේදයෙන් විසඳුමක් - වෛද්‍ය සම්පත් අත්තනායක
18. කොරෝනා මඩින්න විශ්වයෙන් ලැබුන පනිවුඩය - ශ්‍රී රාජි
19. දවස් දහයෙන් මං මුළු ලංකාවම සුවපත් කරනවා - වික්‍රමාරච්චි වෙද මහතා
ඇමරිකන් ජනාධිපති මේ වෛරසේ හඳුන්වන්නේ "චයිනීස් කොමියුනිස්ට් වෛරස්" කියලා. ඔවුන් මෙය චීනේ නිපදවපු එකක් බවටත් චෝදනා කළා. ඉන්දියාවේ විද්‍යාඥයන් පිරිසක් මෙය "මෑන් මේඩ්" වෛරසයක් වන බව පැවසුවා. නමුත් චීනය මේ චෝදනා ප්‍රතික්ෂේප කළා.
නමුත් ලංකාවේ මේකට බෙහෙත් සොයා ගත්ත කෙනෙක් කියනවා, "මම ඉතා භයානක වෛරසයක් හැදුවා, මම ඒකෙන් තමා පරීක්ෂණ කළේ" කියලා. තමන් මොකක් හෝ කරපු දේ අතිශෝක්තිය දාලා කියන්න ගියාම වෙන අවුල මේක. ඒකට ඔය "පචබිම" පත්තරේ සහ "කොම්බු වාහිනිය" එහෙම ප්‍රචාරයකුත් දුන්නා. සාමාන්‍ය මනුස්සයො හිතන්නේ වෛරසයක් කියන්නේ, මේ ගෙදර බල්ලෙක්, පූසෙක් හදනවා වගේ, එහෙම නැත්නම් ත්‍රීපෝෂ ගුලියක් හදනවා වගේ දෙයක් කියලා. අර මීඩියා අයිඩෙන්ටිය වගේම මේකට අයථා සේවයේ යොදවන්නේ "නව නිපයුම් හැඳුනුම්පත" වීම කනගාටුවක්. මම කියන්නේ ඔහු කියන බෙහෙත ගැන නෙවෙයි, ගෙදර ඇති දැඩි කළ වෛරසේ. මොකද ඒ පුද්ගලයා කියලා තිබ්බා, 'කවුරුවත් අවධානයක් නැහැ, මම ඒක විකුණනවා පිට රටකට' කියලා. එහෙම වෛරස් හදන්න පුළුවන් නම් සොයන්න ඕන ඒ ගැන. මොකද ඕන වෙලාවක රටටම කෙළවෙයන් කියලා එකක් අත අරින්නත් පුළුවන්නේ. ඒ නිසා හරි නම් ආරක්ෂක අංශ ඒ ගැන අවධානය යොමු කරන ඕන. ට්‍රම්ප් ලොක්කා දන්නවා නම් කියාවි "චීනේ උවමනාවට ආශික්ලන්තයෙන් හදපු වෛරසයක් කියලා".
කොහොම උනත් ඔය මොනව උනත් අදාල ආයතන වලට වගේ වගක් නෑ. පසු ගිය දා, දොස්තරලා සෙට් එකක්, හෙළ සුවේ කැඳ ප්‍රමෝෂන් එකක් ගැන කරපු විගඩමක් ගැන අපි අනාවරනය කරපු එකට ප්‍රතිචාර දක්වමින් "ජාතික විද්‍යා සභාව" කිව්වේ, "අප ඒ පර්යේෂණය සඳහා මුදල් දීලා නැත, අප සොයන්නේ අප මුදල් යෙදවූ පර්යේෂණ ගැන පමනයි" කියලා. අපරාදේ ඔය ආයතනයේ නමට ඉස්සරහින් "ජාතික" කියන නමක් දාගෙන ඉන්නේ. "ණය දෙන සමිතිය" වගේ එකක් දා ගන්න තිබ්බේ. ඒක නිසා මේ වගේ විද්‍යාව ව්‍යාභිචාරයේ යොදවන අය (fraud article පල කළ අය) වෙනුවෙන් ජනාධිපති සම්මාන උනත් දෙන්න එයාලා යෝජනා කළොත් පුදුම වෙන්න දේකුත් නැහැ. මොකද වරක් එහෙම කෙනෙක්ට සම්මාන දෙන්න එයාල ට්‍රයි කළා කියලත් ආරංචියි. නමුත් මේ ජාතික ආයතනය එදත් වගකීම පැහැර හරිද්දි, අදාල විශ්ව විද්‍යාලය පරීක්ෂණයක් කරලා, වරද ඔප්පු වීම නිසා, ආයතනයෙන් ඉවත් කළා. තම ජාතික වගකීම පැහැර හරින පාලකයනුත්, ඒ හා සමානව බෝල පාස් කරන නිළධාරි පන්තියත්, පිස්සු කෙළිමින් මේ රට ගෙන යන්නේ කොතැනටද? එන්න සංවර්ධනයෙන් ඇස් නිලංකාර උන අපි, කොරෝනාවෙනුත් ඇස් නිලංකාර කර ගනිමු. බල්ටි නැතත් විසිල් රස විඳිමු. අවසානේ කියන්න තියෙන්නෙ, පණ්ඩිත් අමරදේව ශූරීන් කියන විදියට,
"මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි" කියලා තමයි.
ලියුම්කරුගේ පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/65
---------------------------
by (2020-04-28 23:00:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි