(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.29, පෙ.ව.3.05) වැඩ (අල) කරන විරුවා විසින් භයානක වසංගතයක් මර්දනයට කියා හමුදාව යොදවා ගැනීමෙන් මේ වන විට රට පුරා වසංගතය මර්දනය කිරීම වෙනුවට වසංගතය පැතිරවීමට හමුදා සෙබලුන් දායක වී තිබීම අතිශය කණගාටුදායක ය. මෙහි තවත් බරපතල සිද්ධියක් වී ඇත්තේ නාවික හමුදා සෙබලුන් නිසා මිනුවන්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලය වෛරසයට ගොදුරු වීමයි. මේ සම්බන්ධයෙන් බස්නාහිර සෞඛ්‍ය ලේකම්ට ලිපියක් යවන සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් මැදිවත්ත කියන්නේ ගොදුරු වූ කාර්ය මණ්ඩලයෙනුත් තෝරා ගත් පිරිසකට පමණක් පරීක්ෂණ සිදුකරන බවයි. මෙය බරපතල චෝදනාවකි. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
බස්නාහිර පලාත් සෞඛ්‍ය ලේකම්තුමා
පලාත් සෞඛ්‍ය අමාත්‍යංශය,
අංක 175, ස්ටැන්ලි තිලකරත්න මාවත,
නුගේගොඩ.
"කොවිඩ්- 19 රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදෙන රෝහලක් බවට පත් කර තිබෙන මිනුවන්ගොඩ මූලික රෝහලේ අත්‍යාවශ්‍ය අළුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් කොවිඩ්- 19 වෛරසයේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් රෝහල තුල ඔවුන්ගේ දෛනික රාජකාරී කිරීමේදී මෙම නාවික හමුදා නිලධාරීන් සමග සමීපව කටයුතු කර තිබේ. එනිසා තමන්ට ද වෛරසය අසාදනය වී ඇති බවට වූ දැඩි භීතියක් කාර්ය මණ්ඩලය අතර පැතිර ගොස් ඇත.
ඒ අනුව ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආසාදිතයන් සමග ගැටුනු පිරිස් හඳුනාගෙන ඔවුන් විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව වර්ගීකරණය කර ඇත.
එහිදී අවදානම් කාණ්ඩයට අයත් බවට හඳුනාගත් පිරිසට PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත. පසුව කිසියම් බලපෑමක් මත එම PCR පරීක්ෂණ සිදුකිරීම නවතා දමා ඇත. නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි ඉල්ලීම මත අද දින (2020. 04. 27) රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ සහ තවත් රෝහල් සේවකයින් කිහිප දෙනෙකුගේ පමණක් PCR පරීක්ෂණ සිදු කර ඇත. මේ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ඔවුහු පවසා සිටිති.
තම ජීවිත අවදානම පවා නොතකා රාජකාරියේ නිරත වී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් දක්වා ඇති අඩු සැලකිල්ල පිළිබඳව අපගේ බලවත් අප‍්‍රසාදය පලකරමු. කෙසේ වූවද හෙද හෙදියන්ගේ ආරක්ෂාව සම්බන්ධව මැදිහත්වීමට වෘත්තීය සමිතියක් ලෙස අපටද වගකීමක් ඇති බව අවධාරණය කරමු.
එබැවින් ඉහත සිදුවීම නිසා තම සෞඛ්‍ය තත්වය පිළිබඳ අවිනිශ්චිත තත්වයකට මුහුණ පා ඇති හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කල යුතු PCR පරීක්ෂණ ප‍්‍රමාදයකින් තොරව සිදුකර ඔවුන්ට නිදහස් මනසකින් සේවය කිරීමට අවශ්‍ය පරිසරය රෝහල තුල ඇති කරන ලෙස ඉල්ලමු.
ප්රධාන ලේකම්
සමස්ත ලංකා හෙද සංගමය.
පිටපත්
01. සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන මහත්මිය (අ.ක.ස)
02. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා (අ.ක.ස)
03. බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා (අ.ක.ස)
04. කර්තෘ ලංකා ඊ නිව්ස්
---------------------------
by (2020-04-28 21:48:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි