~

චීනයෙන් ගත් පරීක්ෂණ කට්ටල මිලියනයකට වඩා ඩැනියුබ් ගඟට..! බලපත්‍ර නැති චීන සමාගම් පරීක්ෂණ කට්ටල රට පටවලා..!

කොරෝනාවට ගොදුරු වූ යුරෝපයට චීනය දක්වන කපටි සහාය

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.28, ප.ව.11.00) කොරෝනා වයිරස් ගෝලීය වසංගතය සමග පොර බදමින් සිටින රටවල් කිහිපයකට මෑත සතිවල දී චීනය විසින් පර්යේෂණ සහ වෛද්‍ය උපකරණ ලබා දී ඇත. මුහුණු ආවරණ බිලියන 4කට ආසන්න ප්‍රමාණයක්, වෙන්ටිලේටර 16,000ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 37.5ක්, සහ කොරෝනා වයිරස් පරීක්ෂණ කට්ටල (testing kits) මිලියන 2.84ක් මාර්තු 1 වනදා සිට රටවල් 50 කට වැඩි ගණනකට අපනයනය කර ඇති බව චීන රේගු නිලධාරියෙකු වන ජින් හායි පැවසුවේ යයි AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ නෙදර්ලන්තය, ස්ලොවැකියාව හා ස්පාඤ්ඤය වැනි යුරෝපීය රටවල් චීන වෛද්‍ය උපකරණ අතිශයින් දැඩි පරීක්ෂාවට ලක් කරන අතරේය. වඩාත්ම රෝගයට ගොදුරු වූ රටක් වන ස්පාඤ්ඤය මාර්තු 27 වන දින චීන සමාගමකින් මිල දී ගත් කොරෝනා වයිරස් පරීක්ෂණ කට්ටල 58,000 ක් ඉවත් කර ගත්තේ ඒවායේ ඇත්තේ යාන්තම් සියයට-30 ක අනාවරණ සීග්‍රතාවයක් බව හෙළිදරව් වූ පසුවය.

බලපත්‍ර නැති චීන සමාගම් පරීක්ෂණ කට්ටල රට පටවලා.. බඩු රිටර්න්..

ස්පාඤ්ඤයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ කට්ටල සැපයූ Shenzhen Bioeasy Biotechnology සමූහායතනයට තම නිෂ්පාදන විකිණීම සඳහා චීනයේ වෛද්‍ය බලධාරීන්ගෙන් ලබා ගත් කිසිදු නිල බලපත්‍රයක් නොමැති බවයි. මාර්තු 31 වන දින චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනය (NMPA) කියා සිටියේ කොරෝනා වයිරස් පරීක්ෂණ (කට්ටල) අපනයනකරුවන් තම නිෂ්පාදන විකිණීමට පෙර ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතු බවයි.

මුහුණ නිසියාකාරව නොවැසෙන හෝ සදෝෂී පෙරහන් සහිත මුහුණු ආවරණ දස දහස් ගණනක් නෙදර්ලන්තය විසින් මෑතකදී ආපසු යවන ලදී. චීනයට වෙනත් රටවලට වඩා වෙනස් ‘ප්‍රමිති සහ භාවිතා පුරුදු’ ඇති බව වටහා ගැනීම වැදගත් බව ඉරිදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන ජියැං ෆෑන් කියා සිටියේ උපකරණ අනිසි ලෙස භාවිතා කළේ නම් නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ සැකයක් වැපිරිය හැකි යයි අනතුරු හඟවමින් යයි AFP වාර්තා කළේය.

චීනයෙන් ගත් පරීක්ෂණ කට්ටල මිලියනයකට වඩා ඩැනියුබ් ගඟට...

ස්ලොවැකියානු අගමැති ඊගෝර් මැටොවික් පසු ගිය මාසයේ කියා සිටියේ තම රට චීනයෙන් ලබා ගත් පරීක්ෂණ (කට්ටල) මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් “කෙළින්ම ඩැනියුබ් ගඟට දැමිය යුතු” බවයි.

ගැටළු “නිසියාකාරව විසඳා ගත යුත්තේ කරුණු මත පදනම්ව මිස දේශපාලන අර්ථ නිරූපණ අනුව නොවේ,” යයි කියමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින්ග් ඊට ප්‍රතිචාර දැක්වූ බව බ්ලූම්බර්ග් වාර්තා කළේය. "ඇත්ත වශයෙන්ම, අපේ චීනය තුළ Covid-19 සමග සටන මුලින්ම පටන් ගත් විට, අපට ලැබුණු සමහර ආධාර දෝෂ සහිත විය; නමුත් අප තීරණය කළේ එම රටවල කාරුණික අභිප්‍රායයන් විශ්වාස කිරීමට හා ඒවාට ගරු කිරීමටය."

චීනයේ හුබෙයි පළාතේ අගනුවර වන වුහාන් තුළ කොරෝනා වයිරස් ආසාදනය පැතිර ගිය විට තුර්කිය, ප්‍රංශය ඇතුළු රටවල් දුසිමකට අධික සංඛ්‍යාවක් මානුෂීය හා වෛද්‍ය ආධාර යැවීය.

චීනය තම වැරදි හදා ගත යුතුයි..

හාවඩ් කෙනඩි පාසලේ දේශපාලන ආර්ථික විද්‍යාඥවරියක සහ  ආසියානු සම්මාන සාමාජිකාවක වන ෂර්ලි ෂේ යූ කියන පරිදි විවේචන සම්බන්ධයෙන් චීනය වඩාත් සවන් යොමු කළ  යුතුය; අඩුවෙන් සටන් කළ යුතුය. “යුරෝපීය රටවල චෝදනා ‘ඛණ්ඩනය කිරීම’ වෙනුවට චීනය තම රටේ වෛද්‍ය උපකරණ නිෂ්පාදකයින් පිළිබඳව විමර්ශනය කළ යුතු අතර රට තුළ ප්‍රමිතියෙන් තොර හෝ බලපත්‍ර රහිත නිෂ්පාදනවල පැවැත්ම තුරන් කළ යුතුය,” යනුවෙන් ඇය පැවසුවාය.

පසු ගිය දශක තුනක කාලය තුළ චීනය ‘ලෝකයේ කර්මාන්ත ශාලාව’ බවට පත්වී ඇති අතර, වෙනත් ඕනෑම රටකට එහි නිෂ්පාදන කාර්යක්ෂමතාවය සමග තරඟ කිරීම අභියෝගයක් වනු ඇතැයි ද ඇය පැවසුවාය.

“චීනය මෙම අවස්ථාව භාවිතා කළ යුත්තේ මිනිස් ජීවිත පමණක් නොව චීනයේ ගෝලීය නිෂ්පාදන කීර්තිය අවදානමට ලක් කරන, ලාභ අරමුණු කර ගත් ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් ශුද්ධ කිරීමටය. ගෝලීය වසංගතය අවසානයේ ලෝක නායකයින් පමණක් නොව ලොව පුරා සිටින සියලු දෙනා චීනය පිළිබඳව ඉතා පෞද්ගලික මතයක් ගොඩනගනු ඇත. චීනය තේරුම් ගත යුත්තේ නායකත්වය යනු ... ‘මිතුරන්ට’ හා සගයන්ට පමණක් උදව් කිරීම නොව, දුක් විඳිමින් සිටින සියල්ලන්ටම උදව් කිරීම බවයි.”

යුරෝපීය විදේශ සම්බන්ධතා කවුන්සිලයේ ආසියා වැඩසටහනේ අධ්‍යක්ෂ ජන්කා ඕර්ටෙල්, අල් ජසීරා සමග  පැවසුවේ “මෙම අර්බුදය යුරෝපා සංගම්-චීන සබඳතාවල අනාගතය සඳහා තීරණාත්මක අවස්ථාවක් වනු ඇත - හොඳ හෝ නරක දැක ගත හැකි වනු ඇත,” යනුවෙනි.

'හෙළා දකින්නන්ගෙන් යුරෝපය ආරක්ෂා කිරීමට අපට ඕනෑ'

චීනය ක්‍රියා කරන්නේ මානුෂීය ස්වභාවයෙන් නොව භූදේශපාලනික දැක්මක් ක්‍රියාත්මක කිරීමට බව ඉහළ පෙළේ පුද්ගලයන් ගණනාවක් චෝදනා කරයි.

ස්පාඤ්ඤය සහ චෙක් ජනරජය චීන පරීක්ෂණ කට්ටල ආපසු යැවූ අතර යුරෝපා සංගමයේ විදේශ කටයුතු අමාත්‍ය ජොසෙප් බොරෙල් කියා සිටියේ, එක්සත් ජනපදය මෙන් නොව චීනය යනු “වගකිවයුතු සහ විශ්වාසදායක හවුල්කරුවෙකි” යන අදහස චීනය විසින් ආක්‍රමණශීලී ලෙස ‘ඔළුවට දමමින්’ සිටින බවයි. "(කතා) ගෙතීම සහ ‘සුලභ දේශපාලනය’ තුළින් බලපෑම සඳහා අරගලයක් ඇතුළත් වූ භූදේශපාලනික අංගයක් ඇති බව අප දැන සිටිය යුතුය," බොරෙල් පැවසීය. "යුරෝපය හෙළා දකින්නන්ට එරෙහිව කරුණු කාරණාවලින් සන්නද්ධව, අප යුරෝපය ආරක්ෂා කළ යුතුය."

ඕර්ටෙල්ට අනුව, බොරෙල්ගේ මතය “ප්‍රායෝගික තක්සේරුවක්” විය.

"යුරෝපය ඊටත් වඩා විශාල අභ්‍යන්තර සහයෝගීතාවයක් පෙන්විය යුතුය,” ඇය පැවසීය. “එහෙත් ඇත්ත වශයෙන්ම දැනටමත් ලබා දෙන සහ සම්බන්ධීකරණය කරන සහයෝගය කොයි තරම් විය යුතු ද යන්න වඩාත් පැහැදිලි විය යුතුය."

එහෙත් ඉස්ලාමාබාද්හි වෙසෙන මහජන හා ආර්ථික ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන හසාන් කවාර් කියා සිටියේ, චීනය නැගී එන ලෝක නායකයෙකු ලෙස ස්ථාපිත වී ඇති අතර, බටහිර රටවල්වලට මෙම නව යථාර්ථයට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ පූර්ණ විශ්වාසයක් නොමැති බවයි. 

"මෙම ගැටළුව සම්බන්ධයෙන් [බොරෙල්ගේ] අදහස් ‘ඕනෑවට වැඩි’ හා අසාධාරණ යැයි මට හැඟේ," ඔහු අල් ජසීරා සමග පැවසීය. "වැදගත්ම දෙය නම්, මෙම අදහස් [සියලුම] සාමාජික රටවල අදහස් පිළිබිඹු නොකිරීමයි, මන්ද චීනය විසින් උදව් කරන ලද රටවල් ඒවා අතිශයින් අගය කොට ඇත." නිදසුනක් වශයෙන්, අර්බුදකාරී කාලයක අසාමාන්‍ය මිත්‍ර රාජ්‍යයන් වන චීනයෙන් සහ කියුබාවෙන් ඉතාලිය සහයෝගය ලබා ගෙන තිබූ අතරතුර, ජර්මනිය වැනි යුරෝපා සංගම් සාමාජිකයින් තමන්ගේම පුරවැසියන්ට අවශ්‍ය උපකරණ යැවීම ප්‍රතික්ෂේප කළහ.

වෛද්‍ය උපකරණ සහ වෛද්‍යවරුන් යැවීම පිළිබඳව ඉතාලි විදේශ අමාත්‍ය ලුයිගි ඩි මායෝ චීනයට ප්‍රශංසා කළ අතර, ඉතාලි දේශපාලකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ගේ සමීපතම අසල්වැසියන් විසින් පෙන්නුම් කරන ලද සහයෝගීතාවයේ ඌනතාවය පිළිබඳව කනස්සල්ල පළ කළහ.

ඉතාලියේ යුරෝපා සංගම් තානාපති මොරිසියෝ මසාරි මාර්තු 10 වන දින මෙසේ ලිව්වේය: වෛද්‍ය උපකරණ සැපයීම සඳහා යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස ඉතාලිය ඉල්ලා සිටිය ද, “එකදු යුරෝපා සංගම් රටක්වත් කොමිසමේ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීය”. "චීනය පමණක් ද්විපාර්ශ්විකව ප්‍රතිචාර දැක්වීය. ඇත්ත වශයෙන්ම මෙය යුරෝපීය සහයෝගීතාවයේ හොඳ සලකුණක් නොවේ," ඔහු තව දුරටත් පැවසීය.

-2020 අප්‍රේල් 6 දිනැති Why China's support to coronavirus-hit Europe stirs controversy නම් අල් ජසීරා ඉංග්‍රිසි වාර්තාව සිංහලට නැගුවේ, 

- ආනන්ද

---------------------------
by     (2020-04-28 20:10:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links