~

මේ මොහොතේ ගෝඨාභයට සහයෝගය දෙන්න දඟලන්නේ පයිත්තියන් ද‍..? ගොබ්බ පක්ෂ නායකයන්ගෙන් ආනුභාවනන්ද අසයි

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.28, පෙ.ව.9.15)  ගෝලීය කෝවිඩ් 19 වසංගතයට මුහුණ දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබූ පළමු පියවරක් වූයේ "සාක්" කොරෝනා අරමුදලට රුපියල් කෝටි 100 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ප්‍රදානයක් කිරීමය. දකුණු ආසියානු සාක් කලාපයේ රටවල කෝවිඩ් 19 වසංගතය පැතිර යෑමට  එරෙහිව සටන් කිරීම මේ අරමුදල පිහිටුවීමේ අරමුණ විය. මේ අරමුදලට ලැබෙන මුදලින් සාක් කලාපයේ රටවල කොරෝනා වසංගත සටන ජය ගත නොහැකි නමුත් මෙය කලාපීය සහයෝගය ප්‍රදර්ශනය කරන සංකේතාත්මක අරමුදලකි.

දකුණු ආසියානු කලාපයේ ආර්ථික සහ දේශපාලන බලවතා ඉන්දියාවයි. සාක් කලාපයේ සමස්ත ආර්ථිකයට 80% ක දායකත්වයක් ලබාදෙන්නේ ඉන්දියාවයි. නැගී එන ලෝක ආර්ථික බලවතා ඉන්දියාවයි. මිලදී ගැනීමේ ශක්තිය අනුව ලෝකයේ තුන්වන ස්ථානයත්, ලෝකයේ පස්වන ශක්තිමත්ම ආර්ථිකය හිමිවන්නේ ඉන්දියාවට ය. ඉන්දීයාව G 20 ලෝක ආර්ථික බලවතුන් අතර ද සිටියි. එවැනි ආර්ථික බලවතකු වන ඉන්දීයාව සාක් කොරෝනා අරමුදලට ලබාදුන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 10 කි. ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4 කි. ඒ අනුව ඉන්දියාවේ ජනගහනයෙන් මිලියනයක් මේ අරමුදලට ඇමරිකානු ඩොලර් 7142 ක් බැගින් ලබා දී තිබේ.

බංගලිදේශය යනු වර්තමානයේ නැගී එන ආසියාවේ ආර්ථික බලවතෙකි. දකුණු ආසියාවේ ඉන්දියාව පසුපසින් සිටින ආර්ථික බලවතා බංගලිදේශයයි. වසර 2018 දී එහි ආර්ථික වර්ධනය 8% කි. ඔවුන් සාක් අරමුදලට ලබා දුන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5 කි. එහි ජනගහනය මිලියන 161 කි. ඒ අනුව බංගලිදේශයේ ජනගහනයෙන් මිලියනයක් මේ අරමුදලට ඇමරිකානු ඩොලර් 9317,ක් බැගින් ලබාදී තිබේ. 

නේපාලය සාක් අරමුදලට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ලබාදුන්නේ ය. නේපාලයේ ජනගහනයෙන් මිලිනයක් මේ අරමුදලට ඇමරිකානු ඩොලර් 3413 ලබාදී ඇත. 

ගෝඨාභයගේ පුහු මමංකාරය..

මිලියන 21 ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් මේ අරමුදලට ලබාදුන්නේ චීනයෙන් විශාල ණයක් ලබා ගෙන පැය 48 ක් යෑමටත් පෙරය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයක් මේ අරමුදලට ඇමරිකානු ඩොලර් 238,095 ක් ලබාදී තිබේ. ජනගහනය සමඟ සංසන්දනය කරන විට විශාලම ප්‍රදාන සාක් කොරෝනා අරමුදලට සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. එහෙත් එවැනි ප්‍රදානයක් කිරීමේ ආර්ථික ශක්තියක් අපට නැත. නැත. නැත. 

ශ්‍රී ලංකාව යනු ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ණය උගුලක සිරවී සිටින රටකි. වාර්ෂික ආර්ථික වර්ධනය අනෙකුත් කලාපයේ රටවල් සමඟ සංසන්දනය කරන විට නොසැලකිය හැකි තරම්ය. ශක්තිමත් ආර්ථිකයක් පවතින ඉන්දියාව පවා එවැනි විශාල ප්‍රදානයක් නොකරන්නේ එය අනවශ්‍ය මූල්‍ය පිරිවැයක් බැවිනි. මෙවැනි අරමුදල්වලට ඇත්තේ සංකේතාත්මක වටිනාකමක් පමණි. 

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට දැරිය නොහැකි මුදලක් තම පෞද්ගලික අභිමතය පරිදි මෙසේ ප්‍රදානය කරන්නේ මන්ද? මේවා මමංකාර කේන්ද්‍රීය  (egocentric) තීරණය. මෙවැනි පුද්ගලයන් මෙහෙයවනු ලබන්නේ හුදු මමංකාරය විසිනි. ඕනෑම අවස්ථාවක තමන්ගේ මතුවීම ගැන සිතනවා හැරෙන්නට සාමූහිකව කටයුතු කිරීමට මෙවැනි පුද්ගලයන්ට අවශ්‍යතාවයක් නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන මුදල් රුපියල් කෝටි 100 ක් ප්‍රදාන කරනුයේ සිය මමත්වය ඉහළ දමා ගැනීමටය. සාක් කලාපයේ රටවල් අතරින් වැඩිම ප්‍රදානය කළ රාජ්‍ය නායකයා වීමේ ආශාව සහ ඒ පසුපස තිබෙන පුහු මාන්නය රඳවා ගැනීමේ අවශ්‍යතාව නිසාය.

ගෝඨාගේ මමංකාරයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරය..

ඕස්ට්‍රේලියානු lCMA (lnstiute of Chartered Accountant Association) විසින් ප‍්‍රසිද්ධ කළ සමීක්ෂණ වාර්තාවක් අනුව කොවිඞ්-19 පාලනයට ගත් පියවර අනුව ලංකාව ලොව හොඳම රටවල් අතර 9 වැනි ස්ථානයට පත්ව ඇති බවට බයි මාධ්‍ය ගෙන ගිය ප්‍රචාරය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  හුදු මමංකාරය තෘප්තිමත් කිරීමට දියත් වූ ව්‍යාපෘතියකි. 

පළමු කෝවිඩ්-19 රෝගියා මුණගැසුණු මොහොතේ සිට බයි මාධ්‍ය සිය බයි ජනතාව ගොනාට ඇන්ද වූයේ පළමු ලෝකයේ ධනවත් රටවලට වඩා විශිෂ්ට ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ කොරෝනා වෙෙරසය මර්දනය කරන බව කියමිනි. ‘ස්වෝත්තමවාද වෙෙරසය’ දැඩිව වැළඳී සිටි දේශීය සහ විදේශීය බයියන් ඒ දිනවල යුරෝපා සහ උතුරු ඇමරිකාවේ ජනතාව දහස් ගණනින් මිය යන ආකාරය දකිමින් ප්‍රීතියෙන් ඉපිලී ගියහ. එහෙත් ලෝකයේ ප්‍රකට Forbes සඟරාව අප්‍රේල් මාසයේ මුල් සතියේ පල කළ සමීක්ෂණ වාර්තාවකින් බයි ජනතාවගේ සිහින ලෝකය බිඳ වැටුණි. කොවිඩ් 19 වසංගතයෙන් සෞඛ්‍යමය, ආර්ථිකමය හා සමාජමය වශයෙන් ඇතිවිය හැකි බලපෑම අනුව වැඩිම අවදානමක් ඇති රටවල් 20 අතරින් ශ්‍රී ලංකාව 16 ස්ථානයේ සිටියි. 

මේ සමීක්ෂණ සිදු කරනු ලැබූවේ Deep Knowledge Group ආයතනය විසිනි. එම ආයතනය අවධානයට යොමු කළ ලෝකයේ රටවල් 150 කට වැඩි ප‍්‍රමාණයක් අතරින් වැඩිම අවදානමක සිටින රටවල් අතර 16 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. ලෝක ප්‍රකට Forbes සඟරාව උපුටා දැක්වූ සමීක්ෂණ වාර්තාව හේතුවෙන් ඒ වන තෙක් බයි මාධ්‍ය නිර්මාණය කළ ගොබෙල්ස් මිථ්‍යාව බිඳ වැටුණි.

අමුඩයේ කැත කර ගත් ආචාර්ය නාලක ගොඩහේවා..

මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් ICMA ඕස්ට්‍රේලියානු සමීක්ෂණය නිර්මාණය කළේය. lCMA ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වන්නේ කුප්‍රකට චරිකයක් වන ආචාර්ය නාලක ගොඩහේවා ය. ඔහු රාජපක්ෂ රෙජීමය සමයේ රුපියල් මිලියන ගණනාවක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින චුදිතයෙකි. ඉදිරි මහ මැතිවරණ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරඟ කරන අපේක්ෂකයෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම ආධාරකරුවෙකි. ලංකාවේ කොරෝනා මර්දනයේ සාර්ථකත්වය පිළිබඳ ඔස්ට්‍රේලියානු ශාඛාවට අදාළ නිර්දේශ ලබාදී ඇත්තේ නාලක ගොඩහේවා ය. ඔහු ඒ සඳහා මූලාශ්‍ර වශයෙන් භාවිතා කර ඇත්තේ බයි මාධ්‍ය වාර්තාය. 

කොවිඩ් 19 පාලනයට ගත් පියවර අනුව ලංකාව ලොව හොඳම රටවල් අතර 9 වැනි ස්ථානයට නම් කර තිබෙන එම සමීක්ෂණ පිළිබඳ ගූගල් කළ විට දක්නට ලැබෙන්නේ ලෝකයේ කිසිදු ප්‍රකට මාධ්‍ය ආයතනයක් මේ සමීක්ෂණ වාර්තාව උපුටා දක්වා නැති බවයි. ඒ වාර්තාව උපුටා දක්වා ඇත්තේ ලංකාවේ බයි මාධ්‍ය පමණි. මේ සමීක්ෂණ වාර්තාවට  නාලක ගොඩහේවාගේ සම්බන්ධතාව හෙළිවීමත් සමඟ එය තවත් ගොබෙල්ස් මාදිලියේ මාධ්‍ය මෙහෙයුමක් බව තහවුරු වෙමින් පවතියි. 

මමංකාර ව්‍යාධිය දිගටම...

ගෝඨාභය රාජපක්ෂගේ මෙම මමංකාර ව්‍යාධිය කොරෝනා මර්දනයට පමණක් අදාළ වන්නක් නොවෙයි. එය ඔහු තුළ ජන්මගතව තිබෙන ව්‍යාධියකි. රජයේ හමුදා සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර තීරණාත්මක ගැටුම් ඇතිවූ අසූව දශකයේ අගභාගයේ දී ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයෙන් ඉල්ලා අස්වී ඇමරිකාවේ ස්ථිර පදිංචිය සඳහා සිය පවුල සමඟ නික්ම ගියේය. ඉන්පසුව ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගන්නා ඔහු නැවත ශ්‍රී ලංකාව දෙස හැරී බලන්නේ සිය සොහොයුරා වන මහින්ද රාජපක්ෂ වසර 2005 දී ජනාධිපතිධූරයට පත්වීමත් සමඟය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගත්තේය. එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමේ වැඩපිළිවෙළේ දී ඔහු විශේෂ වැඩකොටසක් ඉටු කළේය. ඒ යුද්ධයට අවශ්‍ය අවි ආයුධ ඇතුළු සම්පත් අඛණ්ඩව සැපයීම සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අතර අවශ්‍ය සම්බන්ධීකරණ ඇති කිරීම මගිනි. ඒ ගෞරවය ඔහුට හිමිවිය යුතුය. එහෙත් යුද්ධය මෙහෙයවූයෙත් යුධ සැලසුම් නිර්මාණය කළේත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ය. 

යුද්ධයේ විශාල වැඩ කොටසක් පැවරුණේ යුධ හමුදාවටය. එබැවින් යුද්ධය මෙහෙයවීමට මෙන්ම එහි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩි වගකීම පැවරුණේ යුධහමුදාපති සරත් ෆොන්සේකාට ය. යුද්ධය ජයගත් පසුව එහි ජයග්‍රාහී පොදු ජන ප්‍රශංසාව හිමිවූයේ සරත් ෆොන්සේකාටය. මෙය ගෝඨාභය රාජපක්ෂගේ  මමංකාරයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් විය. එල්.ටී.ටී.ඊ යට එරෙහි යුධ ජයග්‍රහණයේ අයිතිය තනි භුක්තියට නතු කර ගැනීමට ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කළේය. සරත් ෆොන්සේකා  දේශද්‍රෝහියෙක් කර සිර ගත කළේය. අවසානයේ කුලී ලියන්නෙකු ලවා "Gotas' War" (ගෝඨාගේ යුද්ධය) නමින් පොතක් රචනා කර එල්.ටී.ටී.ඊ යට එරෙහි යුධ ජයග්‍රහණය තම ගිණුමට බැර කර ගත්තේය. එම ග්‍රන්ථයට අනුව යුද්ධය මෙහෙයවා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂය..!!! 

රාජ්‍යය යනු මමයි...ගෝඨාගේ නෛසර්ගික රෝගය..

ප්‍රංශයේ 14 වන ලුවී රජු  "රාජ්‍ය යනු මමයි" යන්න තරයේ ඇදහූයේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැඩි මමංකාරය ගෙන ගොස් ඇත්තේ  ද  "රාජ්‍ය යනු මමයි" යන අහංකාර, උද්දච්ඡ, ඒකාධිපති  ස්වරූපයටය. මේ තත්ත්වය කොරෝනා වසංගතය හේතුවෙන් මතුවූවක් නොවේ. මෙය ගෝඨාභය රාජපක්ෂගේ නෙෙසර්ගික ගති ලක්ෂණයකි. ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් අවස්ථාවේ සිට ඔහු අධිකරණයට සහ ව්‍යවස්ථාදායකට කිහිපවිටක්ම තර්ජනය කළේ තමන්ගේ වැඩ කටයුතුවලට බාධා නොකරන ලෙස කියමිනි. මේ අතර පැමිණි කොරෝනා වසංගතය ඔහුට වෙස්වලාගෙන පැමිණි ආශීර්වාදයක් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ලැබෙන පළමු අවස්ථාවේදීම ඔහු පාර්ලිමේන්තු විසුරුවා හැරියේය. කොරෝනා වසංගතය පිහිටෙන් ඔහු අධිකරණ ද වසා දැම්මේය. දැන් "රාජ්‍ය යනු මමයි" කියමින් සිය ඇම්බැට්ටයන් සමඟ විවිධ ‘කාර්ය සාධක බලකා’ නමින් රට පාලනය කරන්නේය.

2005 මැයි මස 13 දින පාර්ලිමේන්තුවේ සම්මත කල 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කලමනාකරණ පනත මගින් මෙවැනි වසංගතයක් හෝ ස්වාභාවික විපතකදී ස්ථාපිත කළ යුතු ආයතනික ව්‍යුහයක් හඳුන්වා දී ඇත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ඒ සියල්ල නොසලකා හැර හමුදාව සහ සිය ඇම්බැට්ටයන් එක්ව කෝවිඩ් 19 වසංගතය මර්දන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. ආරම්භයේ දී අගමැතිවරයාට හෝ එහි භූමිකාවක් නොවීය. ඔහු සිය ස්ථානය තහවුරු කරගත්තේ බලහත්කාරයෙනි. කැබිනට් ඇමතිවරුන්ට අදටත් තැනක් නැත. මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වීමට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නමින් ආයතනයක් ඇත. එහි ශාඛා දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කර තිබේ. එහි නිළධාරීහු දෙස් විදෙස් පුහුණුව ලැබූවෝ වෙති. ගෝඨාභය රාජපක්ෂ එම නිළධාරීන්ගේ සහයෝගය ලබාගන්නවා වෙනුවට එම ආයතනය යුධහමුදාවේ ආධිපත්‍යයට යටත් කළේය. ආපදා කළමනාකරණ ගැන දැනුමක් ඇති නිලධාරිහු යුධහමුදා නිළධාරීන් අනුගමනය කරන වැරදි ප්‍රවේශ පෙන්වාදීමට උත්සාහ කළහ. එහෙත් හමුදා නිලධාරීහු සුපුරුදු තර්ජනය භාවිතා කරමින් ඔවුන් නිහඬ කළහ. අත්දැකීම් සහිත එම නිලධාරීහු දැන් "දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ" ප්‍රතිපත්ති අනුගමනය කරති.

කොරෝනා වැළඳුනු සැනින් දේශද්‍රෝහී වූ රණවිරුවා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ වහල් බයි ජනතාවත් ඔවුන්ව ගොනාට අන්දවන බයි මාධ්‍යයත් සිතා සිටියේ හමුදාවේ බාහු බලයෙන් කොරෝනා වසංගතය මර්දනය කළ හැකි බවයි. හමුදාවට කළ හැකි සුවිශේෂී කාර්යයක් තිබුණ ද මූලිකත්වය දිය යුත්තේ ප්‍රජා සෞඛ්‍ය සේවකයන්ට බව අපි දිගින් දිගටම පෙන්වා දුන්නෙමු. 

දැන් වැඩේ "අල" වී තිබේ. නොදන්නා ප්‍රජා සෞඛ්‍ය කටයුතු වලට යොදා ගැනීම හේතුවෙන් නාවික හමුදා භටයන් විශාල පිරිසකගේ ජීවිත අවදානමකට ලක් කර ඇත. රටක් වටිනා නාවික නිළධාරියකුගේ ජීවිතය අහිමි වීය. පසුගිය කාලය පුරා කොරෝනා මර්දනය කරන "රණවිරුවන්" වශයෙන් බයි ජනතාව සහ බයි මාධ්‍ය උත්කර්ෂයට නැංවූ හමුදා සාමාජිකයන්, කොරෝනා වැළඳුනු සැනින් දේශද්‍රෝහී වී තිබේ. බයි මාධ්‍ය මේ නාවික හමුදා සාමාජිකයන්ගේ නිවාස ආක්‍රමණය කරමින්  ඔවුහු අපහසුතායට පත් කරමින් සිටිති. බයි ජනතාව ගමට පැමිණි නාවික හමුදා භටයන් සිය නිවෙස් වලින් එලවා දැමීමට කටයුතු කරති. "රණවිරුවන්" සුරුකීමට පැමිණි  "විරුවා" මේ සියල්ල නොදැක්කා  මෙන් සිටියි. 

"රාජ්‍ය යනු මමයි" යන උද්දච්ඡ ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සහයෝගය කිසිවිටෙක බලාපොරොත්තු වූයේ නැත. විපක්ෂයේ තබා  සිය කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ සහයෝගය පවා ලබා ගත්තේ නැත. ඔහු සියල්ල මෙහෙයවන්නේ යුධ හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන්ය. අනෙක් පසින් රජයේ කිසිදු වගකීමක් නොදරන බැසිල් රාජපක්ෂය. විපක්ෂ දිගින් දිගට ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසය. ඒ පිළිබඳව ඉතා උද්දච්ඡ ප්‍රතිචාර දක්වන ජනාධිපතිවරයා කියා සිටින්නේ කිසි විටෙක පැරණි පාර්ලිමේන්තුව යළි නොකැඳවන බවයි. ඔහු සැලසුම් කර ගෙන සිටියේ අප්‍රේල් 19 වන දා කොරෝනා වසංගතය අවසන් කළ බව ජයග්‍රාහීව ප්‍රකාශයට පත් කර මැයි මස මහ මැතිවරණය පැවැත්වීමටය. ඒ සඳහා වන මූලික පදනම බයි මාධ්‍ය ඒ වනවිටත් සකස් කර තිබිණි. 

එල්.ටී.ටී.ඊ මරණ ලැයිස්තුවේ සිටි මහාචාර්ය හූල් ..

මළකඳන් උඩින් හෝ හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්වීම රාජපක්ෂ පවුලේ දේශපාලන උවමනාව විය. මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට විරුද්ධ වූ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූලේට එල්.ටී.ටී.ඊ හංවඩුව ගැසීමට බයි මාධ්‍ය ඉදිරිපත් විය. මහාචාර්ය හූලේ යනු එල්.ටී.ටී.ඊ මරණ ලැයිස්තුවේ සිට දිවි ගලවාගත්තෙකු බව මේ බයියන් නොදැනීම කණගාටුදායකය. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ සැලසුම් බිඳවැටුණේ රටපුරා කෝවිඩ් 19 රෝගීන් මුණ ගැසීමත් සමඟිනි. දැන් බයි මාධ්‍ය එහි වගකීම ජනතාව මත පටවමින් සිටියි.

සුනාමි ව්‍යසනයේදී චන්ද්‍රිකා...

රටේ ව්‍යසනයක් ඇති වූ අවස්ථාවක විපක්ෂය ආණ්ඩුවට සහයෝගය ලබාදීමත්, ආණ්ඩුව ඒ සහයෝගය ගෞරවනීය ලෙස ලබා ගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ලක්ෂණයකි. සුනාමි විපත ඇතිවූ අවස්ථාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය එජාපයේ සහ ජ.වි.පෙ සහයෝගය පුනරුත්ථාපන වැඩපිළිවෙළ සඳහා ලබා ගත්තාය. උතුරු නැගෙනහිර දී එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ පවා යම් සහයෝගයකින් වැඩ කළාය. ඒ අවස්ථාවේ දී ඇය උද්දච්ඡ ඒකාධිපති ස්වරූපයකින් කටයුතු නොකළා ය. 

තවදුරටත් මේ උද්දච්ඡ මිනිසා පිටුපස බඩ ගෑම..

එහෙත් මේ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ  "රාජ්‍ය යනු මමයි" යන ඔහුගේ සුපුරුදු ඒකාධිපති ස්වරූපයෙන්ය. විපක්ෂ සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ. ඒ වෙනුවට විපක්ෂය මර්දනය කරමින් සිටියි. රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා නිකරුණේ අත්අඩංගුවට ගත්තේය. සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන් විරුද්ධ මතධාරීන් අත්අඩංගුවට ගනියි. සමාජ මාධ්‍යයන්හි ආණ්ඩුවට විරුද්ධ මත ප්‍රකාශ කරන්නන් අත්අඩංගුවට ගනිමින් විශාල භීෂණයක් නිර්මාණය කර ඇත. විපක්ෂයේ සැබෑ සහයෝගයක් බලාපොරොත්තු වන්නේ නම් ජනාධිපතිවරයා මෙලෙස හැසිරෙන්නේ නැත. ඔහු ලබා දෙන දේශපාලන පණිවිඩය පැහැදිලිය. 

මේ අතර රනිල් වික්‍රමසිංහ, ආර් සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුද්දීන්, මනෝ ගනේෂන් සහ පාඨලී චම්පික රණවකගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියකින් දැනුම් දී (27 අප්‍රේල් ) ඇත්තේ 2020 මාර්තු 2 විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නම් ‘වගකීමෙන් සහයෝගය දීමට’ තමන් එකඟ බවයි. පසුගිය මාස කිහිපයක  කාලය පුරා මේ ආයාචනය විපක්ෂය දිගින් දිගටම කළේය. එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලීම් තඹ පයිසෙකටවත් ගණන් ගත්තේ නැත.

ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ බාහිර ආරක්ෂාව සඳහා සිටි පොලිස් නිළධාරීන් ඉවත්කර යුධ හමුදාව  ඒ සඳහා ස්ථාන ගත කළේය. එබැවින් යළිත් වරක් එම ඉල්ලීම ඉදිරිපත් කිරීමේ තේරුමක් නැත. තවදුරටත් මේ උද්දච්ඡ මිනිසා පිටුපස බඩ ගෑමේ තේරුමක් නැත. මේ තත්ත්වය තේරුම් ගනිමින් ජ.වි.පෙ මෙම ලිපියට අත්සන් නොකිරීම නිවැරදිය. මෙවැනි ඉල්ලීම් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ මමංකාර ව්‍යාධිය තවදුරටත් උත්සන්න වෙනවා හැරෙන්නට සිදුවන සුගතියක් නැත.

කටට්ටිවාදී ආණ්ඩුවකට සහයෝගය ලබාදිය යුතු ද? පැහැදිලිවම නැත...

ජ.වි.පෙ සිය බිම් මට්ටමේ කාඩරය මෙහෙයවමින් ස්වේච්ඡාවෙන් සෞඛ්‍ය සේවකයන්ට මෙන්ම ජනතාවට හැකි අයුරෙන් උදව් කරමින් සිටියි. ඔවුහු දහස් ගණනින් මුව ආවරණ මසමින් ඒවා ඉදිරි පෙළ  සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙති. එහෙත් මේ ස්වේච්ඡා මැදිහත්වීමට ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ සිය සමාජ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම් උපයෝගී කරගනිමින් ජ.වි.පෙට එරෙහිව මඩ, අවලාද සහ වෙෙරය වැපිරීම මගිනි. පීඩාවට පත් වූ ජනතාවට සහල් සහ ආහාර ද්‍රව්‍ය බෙදූ රංජන් රාමනායකව ක්‍රමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගත්තේය. ජනතාවට ලබා දෙන රුපියල් පන්දාහේ දීමනාව සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කර ඇත. එම මුදල් බෙදන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලය. ජනතාවට ලබාදෙන සහන බඩු මල්ල පවා ලබාදෙන්නේ පොහොට්ටුවේ බයි ජනතාවට පමණි. මෙවැනි කටට්ටිවාදී දේශපාලනයක නිරත වන ආණ්ඩුවකට කොරෝනා වසංගතය පරාජය කිරීමට අප  මේ මොහොතේ සහයෝගය ලබාදිය යුතු ද? පැහැදිලිවම නැත. 

මෙවැනි උද්දච්ඡ, ඒකාධිපති ආණ්ඩුවකට කොන්දේසි විරහිතව සහයෝගය දීමට විපක්ෂයක් ඉදිරිපත්වේ නම් එහි නායකාධිකාරීන්ගේ මොළය පරීක්ෂා කළ යුතුය. මේ මොහොතේ ජනතා හිතකාමී විපක්ෂයක වගකීම වන්නේ කොරෝනා වසංගත මර්දනයට මුවා වී ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති, ෆැසිස්ට්වාදී වැඩපිළිවෙළ පරාජය කිරීමය. මුව ආවරණ මසනවාට හෝ ජනතාවට ආධාර බෙදනවාට වඩා එය මහඟු සේවයකි. එය සැබෑ විපක්ෂයකට අත්නොහැරිය හැකි වගකීමකි. 

අනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ‌පෙර ලිපි පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2020-04-28 04:25:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links