තිලක් දෙමටමල්පිටිය ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.3.45) අපි උසස් පෙළ පන්තියේ සිංහල ඉගෙන ගන්නා විට මට සිංහල විෂයය ඉගැන්වූයේ හාමුදුරුනමක් විසිනි. උන්වහන්සේ අපේ පාසැලට ඉතාමත් ඈත සිට වැඩම කළ අතර තමන්ට පැවරුණ රාජකාරිය අත්‍යන්තයෙන් ඉටු කළ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයන්වහන්සේ නමකි.
“හෙරණ” යන වචනය යොදන්නේ සාමණේර හිමිවරුන් සඳහාය. “හෙරණ සිඛ කියති හෙරණෝ තැනින් තැන” යයි හංස සන්දේශයේ එක් තැනක යොදා ඇත්තේ සාමණේර ශික්ෂාව සාමණේර හිමිවරුන් විසින් තැනින් තැන සිට කටපාඩම් කරන ලද බවයි.
පසුගිය දිනෙක දෙරණේ චතුර උදේ පත්තර කියවද්දී අපුරු කතාවක් කීවේය. ඒ් අනුරාධපුර පැත්තේ එක්තරා හාංදුරුනමක් අරක්කු ජාවාරම්කාරයින් කිහිප දෙනෙක් සමග පොලිසියකට ගොස් එහි සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට දිගට හරහට පරුෂ වචන කියමින් තඩිබෑම සම්බන්ධයෙන් පුවත් පතක පළ වූ විස්තරයක් සම්බන්ධවයි.
චතුර එහිදී කියා සිටියේ නීතිය නම් කාටත් එක සේ ක්‍රියාත්මක කළ යුතු බවයි. ඔහු කියා සිටියේ සිවුර පොරවා ගත්තාට හැම කෙනෙක්ම හාමුදුරුවරු නොවන බවයි. එම කතාව ඔහු අවසන් කළේ “අනේ කාලේ වනේ වාසේ” කියායි.
මෙම සිදුවීම දකින විට මට මතක් වුයේ පසුගිය කාලය තුළ නම් එක්සත් ජාතික පක්ෂ රජය පැවැති සමයේ චතුර ලා මොනතරම් හාංදුරුවරු වර්ණනා කළාද? කියායි.
චතුර කියන විධියට නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක විය යුතු නම් ඇතින්නන් මරා දමා අලි පැටවුන් පන්සල්වල හුරතලේට හදා වඩා ගැනීම නීත්‍යානුකුල ද යන්න චතුර ලා පහදා දිය යුතුය.
සිල් රෙදි හොරුන්ට නීතියෙන් දඬුවම් කළ පසු ඔවුන් මුදා ගැනීමට යැයි කියමින් හවස තුනටත් පිණ්ඩපාතේ වැඩි හාංදුරුවරු කළේ බුදුදහම හා බුද්ධ නීතිය අමු දවාලේ කෙළෙසීමක් නොවේද?
ඡන්දෙට ඔන්න මෙන්න කියා තිබිය දි කැළනි පන්සලට මනිඅක්ඛික නාගරාජයා වඩම්මවා නාග ලෝකයේ සිට සර්වඥ ධාතුන්වහන්සේලා වැඩම කොට මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සැදැහැවතුන්ට නෙළුම් මල් පොහොට්ටු බෙදූ කැලනිය පන්සලේ මහඋන්නාන්සේ කළ නීති විරෝධි වැඩේ පුන පුනා තම නාලිකාවේ පෙන්වීම නීති විරෝධී දෙයක් නොවේද? යන්න චතුරලා පැහැදිලි කර දිය යුතුය.
ආගම්වාදය පමණක් නොව ජාතිවාදය පවා අවුස්සමින් ඇතැම් හාංදුරුවරු එකල කටයුතු කළේ රට ගිනි තබමින් වුවත්, ඒවාට උඩගෙඩි දුන් දෙරණ කළේ නීතිවිරෝධී වැඩක් නොවේද?
මේ අන්දමට බැලූ විට එකල හාංදුරුවරු නීතිවිරෝධී වැඩ වලට යොදා ගැනීම සම්බන්ධයෙන් මුලිකවම වගකිව යුත්තේ දෙරණ නොවේද? එම හාංදුරුවරු කළ හැම වැඩක්ම දේශප්‍රේමයට හා රටට ආදරේ කරන පරම්පරාව යැයි කියමින් පම්පෝරි ගැසූ චතුරලා තමන් පත් කළ ආණ්ඩුවේ දී එවැනි සිදුවීම් වන විට ඒවා නීතිවිරෝධි යැයි කියන්නේ රෙද්දක් ඇඳගෙන ද යන්න ජනතාවට ගැටළුවකි.
සැබවින්ම අද මේ රටේ ටිකක් හෝ බලන්නට ඇත්තේ එක් නාලිකාවක් පමණි. ඒ සිරස ටීවීය. අකැමැත්තෙන් වුවද සිරස රූපවාහිනිය මේ වනවිට සැබෑ තත්ත්වය හෙලිදරව් කරමින් සිටින්නේ දෙරණ හා හිරු ජාතික රූපවාහිනියට හා අයිටීඑන් එකටත් වඩා හොඳින් ආණ්ඩුවට කඩේ යමින් සිටින නිසාය.
දෙරණ හිතාගෙන සිටින්නේ මේ ආණ්ඩුව ඔවුන්ගේ කියාය. ඇතැම් අවස්ථාවල වුවමනාවට වඩා පුම්බන්නට යාම නිසා දෙරණ නිසා ඇතැම් නිලධාරින් මේ වනවිට කොලේ ඉරාගෙන සිටිනු ද දක්නට ලැබේ.
ඒ් අන් කවරෙක්වත් නොව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ය. උදේ 6.30 සිට රාජකාරි පැත්තක දමා රූපවාහිනියට මුහුණ දමා ගැනීමට දැන් පවතින්නේ නිලධාරින් අතර පොරයකි. මේ නිලධාරීහු චතුර විසින් අසන ඇතැම් ප්‍රශ්න නිසා උභතෝකෝටික ප්රශ්නවල පැටලෙති.
මීට දින කිහිපයකට පෙර වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ දැන් කොවිඩ් 19 පීක් පොයින්ට් එක ශ්‍රී ලංකාව විසින් පසු කර ඇති බවයි. ඒ් නිසා රට විවෘත කිරීමට බිය නොවිය යුතු යැයි ඔහු සඳහන් කළේය. එදා සිට මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයින් පොකුරු පිටින් වාර්තා වෙමින් තිබෙන්නේ චතුරට අවශ්‍ය විදියට පිළිතුරු දීමට යාම නිසාය. තවමත් ඔවුන් කියා සිටින්නේ කොවිඩ් 19 සමාජගත වී නැති බවයි. වෛද්‍ය ජාංසිහ දැන් කොලේ ඉරාගෙන අවසන් ය.
සැබවින්ම මෙම රෝගීන් සමාජයේ හිටපු අය නොවේද? ආණ්ඩුවට අවශ්‍ය පරිදි රජයේ දිනවලට අනුව වසංගත රෝග පාලනය කළ නොහැකිය. එහෙත් කොවිඩ් 19 දේශපාලනීකරණය කිරීමට යාම හේතුවෙන් අද සිදු වී තිබෙන්නේ කුමක්ද? ඉදිරි කාලය තුළ මේ රටෙන් දහස් ගණනින් කොවිඩ් 19 රෝගින් වාර්තා වීම වැලැක්විය හැක්කක් නොවේ.
ඊට හේතුව බාර් ඇරීමට බැසිල් රාජපක්ෂ දුන් තීන්දුවයි. බාර් ඇරීම නිසා මිනිස්සු කොවිඩ් 19 සීමා මායිම් බිඳ දැම්මේ අරක්කු ටිකක් බී මැරුණත් සැපයි කියා සිතා ගෙනය. ඒ් තරමටම අරක්කුවලට ඇබ්බැහි කරපු මිනිස්සු ටිකක් මේ රටේ සිටින බව රාජපක්ෂලා දනී. ඔවුන් කළේ එම ඇබ්බැහිවුවන්ට මග හසර සළසා දීමයි. එහෙත් කොවිඩ් 19 යනු කාටවත් වසං කළ හැකි රෝගයක් නොවේ. ආණ්ඩුව බාර් විවෘත කිරීමේ ආනිශංස තවත් දින 14 කින් හෝ 20 කින් දකින්නට හැකි වනු ඇත.
බාර් අසල සමාජ දුරස්ථභාවය හෝ මුඛ ආවරණ පැලඳීම තුට්ටුවකටවත් නොතකමින් බෝතල් මිල දී ගැනීමට මිනිස්සු පොර කෑවේ හරියට පිසාචයින් රැලක් පරිද්දෙනි. මෙම අමනෝඥ තීරණය ගත්තේ කවුරුන්ද යන්න මෙතෙක් එක මාධ්‍යයකින් හෝ හෙළිදරව් කර නැත. ඒ රාජපක්ෂලාට ඇති බිය නිසාය.
දෙරණට ද මේවාට උත්තර නැත. අනුරාධපුරයේ ඉහත කී හාංදුරුවෝ පොලිස් පරීක්ෂකවරයාට පහර දෙන්නේ අරක්කු මුල් කර ගත් සිද්ධියක් නිසාය. ඒ චතුරලා විසින් හාංදුරුවරුන්ට දී ඇති සිවිල් අයිතිය පිළිබඳ සහතිකය නිසාය. හාංදුරුවරු යනු රටේ සාමාන්‍ය නීතිය තමන්ට බලපාන්නේ නැති බවට සිතන තරමට දුෂ්ඨ තත්ත්වයට පත් කරන ලද්දේ දෙරණේ චතුරලා හා හිරු එකේ රංගන ලා විසිනි.
මොවුන්ගෙන් ඇසිය යුත්තේ එක ප්රශ්නයකි.
චතුර, අහක යන නයි රෙද්ද අස්සේ දමාගෙන කනෝ කනෝ යැයි කිව්වාට දැන් වැඩක් නැත. මේ දුෂ්ඨ චක්‍රය නිර්මාණය කළේ ඔබලාම ය. ඒ නිසා දැන් ඒ හාංදුරුවරු එහෙම කරන කොට අනේ කාලේ වනේ වාසේ කියා පළක් නැත.
කුම්බලා මාංශ කෑවා නම් දුක් විඳිය යුතුමය.
---------------------------
by (2020-04-25 10:21:54)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි