~

ජාතික විද්‍යා සභාව සහ ජාතික පර්යේෂණ කවුන්සිලය නිදි වදිද්දී, ජර්නල් හොරුන් සහ දෙයියන් සමග අමුතු පර්යේෂන කරන "හෙළ සුවේ" හොර වෙද්දු..!

විනිවිද ශ්‍රී ලංකා ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.23, පෙ.ව‍.3.40) ආශික්ලන්තේ විද්‍යාත්මක පර්යේෂණ නියාමනය කරන්න, මුදල් දෙන්න, විපරම් කරන්න තියෙන ප්‍රධාන ආයතන දෙක තමයි ජාතික විද්‍යා සභාව (NSF) සහ ජාතික පර්යේෂණ සභාව (NRC) ආයතන දෙක. මේ දෙකේම ලොක්කො දෙන්නා ඉන්නේ නිදාගෙන. ඒකත් හොරටද ඇත්තටමද කියලා ෂුවරුත් නැහැ. NSF සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, NRC  සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහල. මං කලිනුත් කිව්වා වගේ ආයතන වල රාජකාරිය කොරන්න බැරි නම්, තමන්ගේ පුද්ගලික චැනලින් ටිකයි, එන්.ජී.ඕ. ටිකෙයි වැඩ කරලා ආයතනෙට එන්නේ විවේකයක් ලැබුණොත් විතරක් නම්, ආණ්ඩුවේ දේශපාලනේට කඩේ ගිය නිසා ලැබෙන සභාපති කම, වාහනේ, ලොකු කම පෙන්වන්න පාවිච්චි කරනවා නම් ඒ "වියත්මග" වැඩක් නැහැ. ඒක තවදුරටත් "විපත්මගක්" පමනයි.

රාවණාගෙ මල්ටි බැරල්..

මා කලිනුත් ලිපි වල කියලා තියෙනවා ලංකාවේ ඉපැරණි වෙදකම, වාරිකර්මාන්ත, කෙම් ක්‍රම, සංස්කෘතික දේ ගැන පර්යේෂණ කරන්න ඕන කියලා. අපිට එහෙම ඉපැරනි සංස්කෘතියක උරුමයක් තිබුනා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා. නමුත් අද වෙද්දි ඒවා පාවිච්චි කරන්නේ කවුද? මොනවටද? රටට වැඩක් වෙන්න නෙවෙයි. වැඩක් කරන්නත් නෙවෙයි. මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අර 'සුද්දා කැලේ රෙන කොට අපි වැසිකිලි ගියා' කියන "දේශප්‍රේමී" මෙව්වා එක 'මේන්ටේන්' කරලා කට්ටිය පොඩි 'ලල් එකක' තියාගන්න. එයාලා තමයි ළඟදි ටී.වී. වල ඇවිත් කියන්නේ 'සුද්දා මල්ටි බැරල් හැදුවෙ මෑතක, රාවණා රජ්ජෞරුවො මල්ටි බැරල්, මිග් යානා කලින් හදලා තිබ්බේ' කියලා. මට නම් කියන්න තියෙන්නේ, ඔය කියන එකාවත් ඕවා පිළිගන්නවද දන්නේ නැහැ කියලා. මොකද ගැලරිය චූන් කරන්න ඕවා හොඳයි. මන් කියන්නේ රාවණා නෙවෙයි, අන්තිම රජ්ජුරුවො රාජසිංහ ගාව තිබ්බා කිවුවත් වැඩක් නැහැ, ඒවා අයිති ඉතිහාසයට. ඒවා දැනට අපට සොයා ගන්න නැත්නම්, යොදා ගන්න නැත්නම් ඔහොම කියව කියව ඉන්න විතරක් ඒවා හොඳයි. මේ ව්‍යාජ දේශප්‍රේමය,  නඩත්තු කරන අනෙක් කොටස තමයි මේ පැරනි ඉතිහාසයෙ සිය මගෝඩි බිස්නස් වලට යොදා ගන්න අය. මෑත කාලීන හොඳම සෙට් එක "හෙළ සුවය" කට්ටිය.

දැන් මෙයාලට තියෙන අභියෝගය තමයි වටෙන් එල්ලවෙන චෝදනා ටික. බිස්නස් එක කාලයක් කරන් ගියා. ටික ටික කට්ටිය අහනවා කෝ විද්‍යාත්මක සාක්ෂි කියලා. දැන් ඒකට ක්‍රමයක් සොයාගෙන තියෙනවා. අද ලෝකේ සල්ලි තියෙනවා නම්, ඉංග්‍රීසියෙන් ලියන්න පුලුවන් නම්, ඕනම රචනයක් (පර්යේෂනයක්) කොහේ හෝ සඟරාවක (ජර්නලයක ) පල කර ගන්න පුළුවන්, එහෙම අදාල මුදල ගෙවනවානම් ඕනම කුනු ගොඩක් පල කරන, මුදල් ඉපැයීම පමනක්ම අරමුණු කරගත් බොරු ජර්නල් (ප්‍රිඩේටරි ජර්නල්, එහෙම නැත්නම් ස්පැම් ජර්නල් ) ඕන තරම්. හෙළ සුවේ සෙට් එකත් එහෙම එකක "හෙළ සුවේ කැඳ" පැකට් එක වාව් කියල පර්යේෂන පත්‍රිකාවක් දාගෙන. මං පසු ගිය කාලේ කෝ සාක්ෂි කියලා අහපු එකකට පිළිතුරක් විදියට ඒක එවලා තියෙනවා මටත් 'මේ තියෙන්නෙ බඩු' කියලා. ඒකට තව ප්‍රචාරයක් වෙන නිසා මම ජර්නලය මොකක්ද කියන්න යන්නේ නැහැ, නමුත් ඉහත බළධාරින් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. ඒ පර්යේෂනයත් තනිකරම ප්‍රෝඩාවක්.

ප්‍රෝඩා පර්යේෂනයේ තරම..

1. සාමාන්‍යයෙන් අපි දන්නවා හොඳ ජර්නල් එකක, විද්‍යාත්මක පත්‍රිකාවක් පල කරද්දි ඒක ලැබුන දවස, ඒක රිවීව් කරලා බාරගත්ත දවස, පලකරන දවස එහෙම සඳහන් වෙනවා. මේකෙ එහෙම මොකවත් නැහැ. මේ සඟරාව සමාන්‍යයෙන් ලෝකෙ පිලිගත් සඟරා පල කරන ආයතනයක් නෙවෙයි. මුදලට පත්‍රිකා පලකරන ආයතනයක්.

2. පර්යේෂනයේ සාමාජිකයො හෙල සුවේ සෙට් එකම තමයි. හැබැයි ඔවුන් ඒකෙ සඳහන් කරනවා ගාල්ලෙ සහ ගම්පහ රෝගීන් මේකට යොදා ගත්තා කියලා. ඒ උනාට සමාන්‍යයෙන් මෙවන් මිනිසුන් යොදාගෙන කරන පර්යේෂනයක් පිලිපැදිය යුතු අවම එතිකල් ක්ලියරන්ස් එකවත් අරගෙන බවට එහි සඳහනක් නැහැ. පහු ගිය දවසක ජපානෙන් "ඇවිගන්" ගෙනල්ලා අපේ රෝගීන් බෙහෙත් ටෙස්ට් කරන්න ගන්න මීයෝ බවට පත් කරනවද කියල අහපු අය මේකට "මීක්" නැහැ. එහෙම නිසි අවසරයක් නැතුව දොස්තරලට ඕන විදියට තමන්ගේ ක්ලිනික් එකට එන ලෙඩ්ඩු පර්යේෂන කරන්න පාවිච්චි කරන්න බැහැ.

3. පර්යේෂන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වැරදියි. අපි මේ වගේ කැඳ එකක් ටෙස්ට් කරද්දි අපි දන්නවා ඒ හා සමානම කැඳ වර්ගයක් වෙනත් කණ්ඩායමකටත් දෙන්න ඕන කියලා. අදාල රෝගීන් දැන ගන්න හොඳ නැහැ තමන්ට ලැබුනේ මොන කැඳ එකද කියලා (මේකට අනුව නම් හෙළ සුවේ දෙවියන්ගේ කැඳ පැකට් එකද? එහෙම නැත්නම් ඒ වගේම වෙන එකක්ද කියලා.) මේකෙ එහෙම එකක් නැහැ. කිසිදු සංඛ්‍යානමය ගණනයක් සිදු කරලා නැහැ.

4. එයාලා කැඳ හදන්න ගත්ත හාල් දෙයියො කියපු විදියටම පොහොර, කෘෂිරසායන නොදා හැදුවළු, හැබැයි එයාලම කියනවා ඊට අමතරව එයාලගේ කැඳ එකේ විවිධ දෑ 58 ක් තියෙනවා කියලා. ඒ අතර රාබු, වට්ටක්කා, කැරට්, බෝංචි, පොල් වගේ ගොඩක් දේ තියෙනවා. හැබැයි ඒවත් වැවුවේ දෙවියො කියපු විදියටම ද කියන්න මෙයාලා හිතා මතා මගහරිනවා.

5. පර්යේෂනේ ප්‍රතිපල ගැන කියන්න යන්නේ නැහැ. හේතුව මෙයාලා එක සසඳන්න ක්‍රමයක් කියලත් නැහැ, වෙන අය දේශීය සහල් ගැන කරපු පර්යේෂන වල රිසල්ට් ටිකක් එහෙම මේක අස්සේ දාලා සාමාන්‍ය මනුස්සයෙක් ඔල්මොරොන්දම් කරන්න වගු ටිකක එහෙම ගහලා ලියලා තියෙනවා.

6. පර්යේෂන පත්‍රිකාව අවසානේ විශේෂ ස්තුතියක් තියෙනවා, ටොප් එකට ලියලා. "හෙළ නිල වෙදකමත්, හෙළ ගොවිතැනත් ගැන මග පෙන්වන නාථ දෙවියන්ටත්, විපස්සක දෙවියන්ටත් පර්යේෂනයට මග පෙන්වීම වෙනුවෙන් පර්යේෂකයන්ගේ විශේෂ ස්තුතිය හිමි වේ." කියලා.

පහු ගිය දා ඊ නිව්ස් එකට ලිපියක් ලියපු සුන්දරා කියලා තිබ්බා, ලංකාවේ රාජ්‍ය ආයතන වල වෙබ් අඩවි නමට පමණයි, කිසිම තොරතුරක් අප්ඩේට් වෙන්නෙ නෑ. ඒ වුනාට මේ හැම ආයතනයකම අයි.ටී. ඩිවිෂන් එකක්, නිලධාරියො සෙට් එකක් ඉන්නවා කියලා. මම මේ පර්යේශන පත්‍රිකාව ගැන ඔය NSF සහ NRC වෙබ් දෙකේම තියෙන සභාපතිලගෙ විද්‍යුත් තැපෑලට ලිපියක් දැම්මා. නමුත් අද තව වෙනකම් ඔවුන් එහෙම එකක් ලැබුණා කියලවත් පිළිතුරක් එව්වේ නැහැ. 

NSF සහ NRC මහාචාර්යලා බක තපස්..

වෙනත් රටක නම්, මෙහෙම පිස්සු කෙලින පර්යේෂකයන් බ්ලැක් ලිස්ට් කරනවා. අදාල ජර්නලයට දැනුම් දීලා එය ඉවත් කරනවා. රටට ඕන නම්, නිසි පර්යේෂන කණ්ඩායමක් පත් කරලා අදාල මුදල් දීලා නිසි ලෙස එම පර්යේෂන කරවනවා. ඔය කියන ප්‍රථිපල හොඳ නම්, රටට හොඳයි, කොච්චර විදෙස් විනිමයක් ගේන්න පුළුවන්ද? නමුත් මේ හොරුන් දන්නවා, ගරන්න ලේසිම මේ ගමේ ඉන්න, අපේ රටේ ඉන්න අහිංසක මනුස්සයගේ පොකට් එකට කියලා. ඒක මේ හොරු ටික කරගන්නකම්, මේ වග කියන ආයතන වල මහත්තුරු ටික බක තපස් වෙලා ඉන්නවා.

මහාචාර්ය දොඩම්පහල මහත්තයා නම් දොස්තර කෙනෙක් නිසා දොස්තර යාළුවො වෙනුවෙන් පොඩ්ඩක් 'හඳුන්පොත කී ගානවා' වෙන්න පුළුවන්නේ. මහාචාර්ය සේනාරත්න මහතා කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය කෙනෙක්. ඔබේ මහාචාර්ය කම කුමටද? මේ කියන දේවියන්ගෙ ගොවිතැන් ක්‍රමය ඔබගේ විශ්ව විද්‍යාලයේ උගන්වන්න නිර්දේශ කරන්නෙ නැත්තේ ඇයි? එනිසා කීමට ඇත්තේ "මහාචාර්ය රංජිත් සේනාරත්න මහතාණෙනි, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතාණෙනි නින්දෙන් අවදි වෙන්න", නැත්නම් මේ හොර වෙද්දු ආගමයි, විද්‍යාවයි, දේශප්‍රේමයයි, ඉතිහාසයයි සියල්ල සිය බඩගෝස්තරය වෙනුවෙන් කලවම් කරලා මිථ්‍යාව සමග පත අට එකට සිඳවා ජනතාව සහ ඔබලා විරේක කරන කාලය වැඩි ඈතක නොවනු ඇත.

විනිවිද ශ්‍රී ලංකා

විනිවිද ශ්‍රී ලංකා පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/65

---------------------------
by     (2020-04-22 22:32:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links