සුන්දරා අසයි
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.28, ප.ව.2.45) ආණ්ඩුව මේ අවස්ථාවේ බලවත් ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව සත්‍යයක් වුවද, ආණ්ඩුව විසින් රාජපක්ෂ සතර වරිගය ඇතුළු දේශපාලකයන් සහ ප්‍රභූන් නඩත්තු කිරීම සඳහා සුවිශාල ජනතා මුදල් කන්දරාවක් වැය කිරීම නම් නතර කර නොමැත.
රජයේ මුදල් අපහසුතාවය වෙනුවෙන් චීනය වෙතින් ලැබුනු ණය මුදල මගින් වත්මන් කොරොනා මර්දනය සඳහා වන වෛද්‍ය පහසුකම් නැංවීම සහ දුගී ජනතාවට සහනාධාර සැපයීම සිදුවනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ ද එවැන්නක් සිදුනොවන බව පෙනෙන්නට ඇත.
ජනතාවට සහන සැලසීමට ද රාජ්‍ය පාලනය විධිමත්ව කළමනාකරණය කිරීමට ද රජය අපොහොසත් වීම මත ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැලැක්වීම ට රජයට නොහැකි වී ඇත.
බෝංචි කිලෝ සියයකට ගොවියාට ලැබෙන මුදල දෛනික කම්කරු කුලියටත් වඩා අඩුවීම නිසා ගොවියන් ගොවිතැන් අත්හැරදැමීම සිදුවෙද්දී, බෝංචි කිලෝ එකකට රුපියල් තුන්සියයක් ගෙවන පාරිභෝගිකයාට තම ගෙවත්ත ගොවිබිමක් කරන්නැයි ඔවදන් දෙන අපූරු ආණ්ඩුවක් බිහි වී තිබේ. එවැනි ගොබ්බ ඔවදන් මාධ්‍ය හරහා ජනගතකරන අපූරු මාධ්‍යකරුවන් පිරිසක් ද, ඒවාට හුරේ දමන බයි ජනතාවක් ද බිහිව සිටීම යනු රටේ අනාගතය තවත් අඳුරු කරන්නකි.
තම වගාබිමෙන් ලැබුනු සොච්චම් මුදලින් ජීවත්වීමට නොහැකි ගොවියා කොරොනා උවදුර තුළින් තවදුරටත් දැඩි ආර්ථික අපහසුතාවයට ලක්වන විට, ගොවියා සූරා කෑ වෙළෙන්දන් විසින් ගොවියන් ගෙන් සූරා කෑ මුදලින් සොච්චමක් රජයේ කාර්ය භාරයන් වෙනුවෙන් වැය කර, රජයේ කාර්ය භාරය වෙනුවෙන් ලබාගත් චීන ණය මුදල් පාලකයන්ට රිසි ලෙස කොල්ලකෑමට අවස්ථාව සැලසී ඇත.
ගොවියන් වෙතින් සොච්චම් මිලට වී මිල දී ගෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ ගිනිගානට හාල් විකුනා ප්‍රකෝටිපතියෙක් වූ ඩඩ්ලි සිරිසේන විසින් පොලොන්නරුවේ කොරෝනා රෝහලේ වියදම් තමන් විසින් භාරගනිද්දී, ජනතා විමුක්ති පෙරමුණ ද රජය විසින් සිදුකළ යුතුව පවතින රෝහල් සැපයුම් සිදුකිරීම තම ප්රමුඛ කාර්ය බවට පත්කරගෙන ඇත.
ජනතා විමුක්ති පෙරමුණ යනු ජනතාවගේ බිම්මට්ටමේ ප්‍රශ්න විසඳනු වෙනුවට එහි නායකත්වය විසින් තීන්දු කරන ගැටලු සහ විසඳුම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සාමාජිකත්වය විසින් සිදුකළ යුතු දේශපාලන ව්‍යාපාරයක් වීම තුල, එහි සාමාජිකයන් ද රෝහල් සහ ජනතාව සඳහා මුඛ ආවරණ මැසීම සහ සැපයීම සිදුකරමින් පවතී.
ආණ්ඩුවේ අසමත්කම නිසාවෙන් රෝහල් බලධාරීන් හට බාහිර පාර්ශව වෙතින් ආධාර උපකාර අයැදීමට සිදුව තිබෙන අතර, එවැනි අවස්ථාවලදී ආණ්ඩුවේ දේශපාලකයන් ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් වෙතින් ආධාර ඉල්ලා දෙයි. පසු කලෙක ඒ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අදාල දේශපාලකයන්ටද අනාගතයේ කටයුතු කිරීමට සිදුවීම අනිවාර්ය වනු ඇත.
නියඟයෙන් ද, වෙළෙඳුන්ගේ සූරාකෑමට ලක්වීම මගින් ද පීඩාවට පත් ගොවිජනතාව මෙන්ම, දෛනිකව සිය යැපුම් මාර්ගය සරිකරගත් විවිධ වෘත්තීන් හි නිරත පුද්ගලයන් සහ කම්කරුවන් ආදීන් ට කිසිවෙකුගෙන් හෝ පිලිසරණක් නොමැතිව අසරණ වන තත්වය තුල සමාජය මුහුණ දෙන ඊලඟ ව්‍යසනයන් පිලිබඳව රජයට තක්සේරුවක් නොමැති බව දිනෙන් දින ඔප්පු කරමින් සිටී.
ඒ අනුව, ඇමරිකාව, ඉතාලිය, චීනය ආදී දියුණු රටවල පවතින කොරොනා ව්‍යසනය අප රට හා සන්සන්දනය කරමින් එම රටවල් අපට වඩා බලවත් ව්‍යසනයකට ලක්වීම ගැන පුරසාරම් කියවන ආණ්ඩුවේ දේශපාලකයන් සහ ගොබ්බ බයියන් ලෙස හඳුන්වන දේශපාලන ගැත්තන් නොදකින සත්‍ය නම් එම රටවල ආර්ථිකය කඩා වැටීමට ලක්වීම තුල වඩාත් අසරණ වන්නේ ලෝකයටම ණය වී සිටින, තමන්ගේ කියා හරිහමන් නිශ්පාදන යාන්ත්රනයක් නොමැති ශ්‍රී ලංකාව වැනි රටවල් බවයි.
එබැවින්, ජනතාව කොපමන පීඩාවට පත්ව අසරණ වුවද, රටේ ධනය සියල්ල ම හෝ ප්‍රභූ නඩත්තුවට යොදාගැනීම අනුමත කරණ වහල් මානසිකත්වය නම් ජනතාව තුළින් පහව යෑම සැක සහිතය.
---------------------------
by (2020-03-28 09:22:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි