~

රාජපක්ෂලාගේ නොහැකියාව අපූරුවට ‌හෙළිදරව් කළ කොරොනා වෛරසය..!

සුන්දරා ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.25, ප.ව.7.00) ආණ්ඩුවේ ආර්ථික අර්බුදය වසා ගන්නට විදෙස් ණය ආධාර බලාපොරොත්තුවෙන් කොරොනා උවදුර මැඩලීම ප්‍රමාද කළ ජනපති නන්දසේන රාජපක්ෂ ගේ හා ආණ්ඩුවේ අසමත් කම වසා ගන්නට දූෂිත රාජපක්ෂලා ගේ න්‍යායාචාර්ය වරයා වන බැසිල් රාජපක්ෂ කරලියට ගෙනවිත් ගොබ්බ බයියන් චූන් කිරීම නැවත අරඹා ඇත.

ගොබ්බ බයියන් චූන් කිරීම..

ඕනෑම ව්‍යසනයකට අදාලව එය මර්දනය සඳහා වන පූර්ව තක්සේරුව පිලිබඳව අපේ රටේ නායකයන් තුල මෙන්ම ජනතාව තුලද ඇත්තේ ඉතා දුර්වල ආකල්පය කි. ඊට ‌මෑත උදාහරණය නම් ‌‌කොවිඩ් -19 ‌වෛරසය චීනයේ බරපතල ‌ලෙස පැතිර යද්දී පළමු ආසාදිත චීන ‌රෝගියා ලංකාවෙන් ජනවාරියේ හමුවෙද්දී කොවිඩ් - 19 වෛරස ‌රෝගය නිරෝධායනීය රෝගයක් වශයෙන් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය මාර්තු 20 වීමය. ඒ ද ලාංකීය ‌රෝගියා හමු වී දින 10 ටත් පසුව ය.  ‌මේ අනතුරක් අවතක්සේරු ‌ලෙස සැලකීමේ කාලකන්නි තත්ත්වය පාස්කු ඉරිදා ඛේදවාචකය තුළින් ද ඔ්නෑවටත් වඩා පෙන්නුම් කර ඇත.

තමන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරගැනීම වෙනුවෙන් රට තුලට කොවිඩ් - 19 නැමති රුදුරු වෛරසය ඇතුළු වීමට සැලසීම සඳහා ගුවන් මගීන් විධිමත්ව නිරෝධායනයට යොමු නොකර සමාජගත වීමට සැලැස්වීම සහ විදේශිකයන්ට මෙහි පැමිණීමට දැන්වීම් ප්‍රචාරය කරමින් ආරාධනා කිරීම ආණ්ඩුව විසින් කළ අතර, වැඩේ අල ‌වෙන විට, මෙරට තුල කොරොනා පැතිරවීමේ වගකීම ඉතාලියේ සිටි පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙත පැටවීමට ආණ්ඩුව සහ කඩේ යන ගොබ්බ බයියන් නින්දිත ලෙස කටයුතු කළහ. ආසාදිතයන් 85 ක් හමුවෙද්දී ඉන් 30 ක් හමුවූයේ ‌නන්දසේන සහ ශවේන්ද්‍ර සිල්වා නිර්මාණය කළ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ය. ඊට ‌හේතු වූයේ ඒ මධ්‍යස්ථාන කිසිදු විශේෂඥ ‌වෛද්‍ය උපදෙස් නොමැතිව ඩබල් ඇඳන් යොදා කුකුල් කොටු සේ සැකසූ ඒවා වීමෙන් ඒවා නිරෝධායන මධ්‍යස්ථාන නොව ‌කොරෝනා බෙදා හැරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය වීමය. ඊට ඉතාලියේ සිට පැමිණි ජනයා පළි නැත.  

'වියත්මග' නම් බොරුවකින් ජනතාව රැවටූ ගෝඨාභයගේ ඊනියා වියතුන් වෙනුවට සුපුරුදු හොරුන් බහුල නාම යෝජනා ඉදිරිපත් කර එම ගැටලුව වසා ගන්නා තෙක් ඇඳිරි නීතිය පමා කිරීමට ඊලඟට ආණ්ඩුව ක්‍රියා ‌කෙළේය. ලංකාවේ මිනිසුන්ට නිවෙස් වල රැඳෙන්නැයි කී විට ඔවුන් වන්දනා ගමන් විනෝද ගමන් යන බව ආණ්ඩුව ‌නොදැන සිටියාද? ශ්‍රී පාද වන්දනාව නතර කිරීමට තබා ‌රෝයල් - ‌තෝමස් බිග් මැච් එක පවා නතර කර ගැනීමට ආණ්ඩුවට ‌නොහැකි විය. 

කොරොනා උවදුරට අදාල ආපදා තත්වයන් සහ ඒ තුළින් රටතුළ පැන නගින ප්‍රශ්න  පුරෝකතනය කර පිළියම් යොදනු වෙනුවට වැඩි වැඩියෙන් ප්‍රශ්න පැන නැගීමට සලස්වා, පසුව එදා ‌වේල විසඳුම් දෙමින් තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගැනීම අද දවසේ ප්‍රධාන වැඩේ බවට පත්කරගෙන තිබේ. 

ව්‍යසන වාසියට ගැනී‌මේ රාජපක්ෂ අතීතය..

ජනතාවට සිදුවන අනතුරු සහ ආපදා  පිළිබඳව නොසලකා ඕනෑම ව්‍යසනයක් තම වාසියට යොදා ගන්නා ‌හෝ ව්‍යසන අලුතින් නිර්මාණය කර වාසිය ලබා ගන්නා  රාජපක්ෂලා ගේ අතීත ‌කෙරුවාව ද අපට අමතක කළ යුතු ‌නොවේ.

කොටි සංවිධානයට ආධාර දී උතුරේ ඡන්ද වර්ජනයක් සිදුකිරීම තුළින් තම ප්‍රථම ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වූ අතර, එසේ ආධාර නොදෙන්නට කොටි ත්‍රස්තවාදයට එරෙහි මානූෂීය මෙහෙයුමෙන් මිය ගිය සෙබළුන් ගණන හරි අඩකින් අඩුවීමට ඉඩ තිබුනි. 

මුස්ලිම් අන්තවාදීන් නිර්මාණය කර පෝෂණය කර රට තුල නොමැති මුස්ලිම් ත්‍රස්තවාදයක් ගොඩනැගීම රාජපක්ෂලා විසින් සිදුනොකරන්නට පාස්කු ඉරිදා ඛේදවාචකය සිදුවන්නේ නැත. එ‌මෙන්ම එම අනතුර නොසලකා හැරී‌මේ ප්‍රධාන වගකිව යුත්තා වන සිරිසේන තම පක්ෂයේ සභාපති කමටද පත් කර නමුත් වගකීම ‌වෙන උන් පිට දමා තමන් ගැලවෙන්නට රාජපක්ෂලා සමත් වී තිබේ.

කුමන වැඩද නොකියා, වැඩ කරන රටක් ලෙස හඳුන්වා, නීතී විරෝධී විනාශකාරී වැඩ වලට අවස්ථාව සලසා දෙමින් "විනාශකාරී වැඩ කරන රටක්" නිර්මාණය කළ ගෝඨාභය රාජපක්ෂ ගේ නොහැකියාව අපූරුවට ‌හෙළිදරව් කිරීමට කොරොනා වෛරසය සමත් වීම නම් දෛවයේ සරදමක් වැනිය.

ප්‍රශ්න නිර්මාණය කර විසඳුම් පෙන්නා ප්‍රතිරූප පුම්බා ගැනීම..

එහෙත් ගැටලු අවම වන පරිදි කටයුතු කිරීම පසෙක ලා, ගැටලු වැඩි වන ආකාරයට කටයුතු කර, පැන නගින ගැටලු සමාජගත කර, ඊට විසඳුම් තිබෙන්නේ රාජපක්ෂලා අත පමණ යැයි ජන මතයක් ප්‍රචාරය කර ප්‍රතිරූප පුම්බා ගැනීම දැනටමත් සිදුවන බැවින් ජනතාව ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුය. 

මුහුණු ආවරණ සම්බ න්ධයෙන් පවතින පරස්පරතාව තුළින් මහජන සාමය කඩවීම, වෙළඳසැල් ආශ්‍රිතව ඇති වූ තදබදය, ණය අයකිරීම පිළිබඳ රජයේ නිවේදන වලට පටහැනිව ණය අයකරගැනීම සිදුවීම, ජනතාව රවටන සහන ප්‍රකාශයට පත් කිරීම, උදාහරණ ලෙස ගත හැකි සිදුවීම් කීපයක් පමනි.

ගෝඨාභයගේ  කොරොනා මර්දන ප්‍රතිපත්තිය අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසා දැමීමකි. ගෝඨාභය හා මහින්ද රාජපක්ෂ ගේ බැරි බැරියාව වසා ගන්නට දැන් බැසිල් රාජපක්ෂ කරළියට නංවා ඇත. 

ගෝඨාභය, මහින්ද මෙන්ම බැසිල් විසින් ද ඉදිරියේ බොහෝ ප්‍රශ්න නිර්මාණය කර ඔවුන් විසින් ම විසඳුම් දීම වෙනුවෙන් කටයුතු කරනු ඇති අතර ඒ වෙනුවෙන්  ජනතාව විසින් වන්දි ගෙවීමේ දී තමන් අදහන දේශපාලනය නම් කුමක්ද කියා ඔවුන්ට අදාල නොවනු ඇත.

සුන්දරා

ලියුම්කරුගේ ‌පෙර ලිපි එකතුව
https://www.lankaenews.com/category/57

---------------------------
by     (2020-03-25 13:42:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links