~

මැතිවරණයකට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් -අවධානයට කරු‌ගෙන් කරුණු 4 ක්..!

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.24, ප.ව.11.00) ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද හිටපු කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

පළමු ශ්‍රී ලාංකික කොවිඩ් - 19 රෝගියා හඳුනාගත් අවස්ථාවේ මෙන්ම ඉන්පසුවත් තමා සියලු පක්ෂ කැඳවා සාකච්ජා කිරිමේ වැදගත්කම අවධාරණය කළේ  එවන් වු ජාතික එකඟතාවයකින් පවතින තත්වයට මුහුණදෙනු මිස  ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත යන අදහසින් බවද  කරු ජයසුරිය මහතා කියා සිටියි.

අද දින අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මැදුරේදී සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කීරිම ඒ සඳහා  වැදගත් ප්‍රවේශයක් වනු ඇති බවද කරු ජයසුරිය මහතා සඳහන් කරයි. මහජන නියෝජිතයන්ට මෙවන් අවස්ථාවකදී ස්වකීය ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කීරිමට ඇති යුතුකම හා අයිතිවාසිකම එවන් ප්‍රවේශයකින් තහවුරු වන බවද හිටපු කථානායකවරයා පෙන්වා දෙයි.

අද දින  පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී  විශේෂයෙන් මාතෘභූමියත් ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබමින් කැපවන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, ඇතුළු සියලු අංශවලට ගෞරව ප්‍රණාමය හිමිවිය යුතු යැ’යිද හිටපු කථානායකවරයා  සඳහන් කළේය.

පක්ෂ නායක රැස්වීම වෙත කරු ජයසුරිය මහතා  විසින් පහත සඳහන් කරුණු විශේෂයෙන් පෙන්වා දෙන ලදී.

1.      දිනපතා වැඩිවන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරිම සඳහා මේ වන විට ගෙන ඇති සියළු ක්‍රියාමාර්ග පසු විපරම් කිරිම සහ ලෝක ආදර්ශ අනුව ගත හැකි නව ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කීරිම.

2.      අතිශයින්ම සංවේදී මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා දෛනිකව උපයන ආදායමෙන් සිය දරු පවුල් නඩත්තු කරන මිලියන 08 කට ආසන්න ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඔවුනට සහන සැලසීම.(මෙවැනි පිරිස්වලට දියුණු රටවල් මේ වන විට දෛනික ආදායමට සමාන මූල්‍යාධාර ලබාදී ඇති නමුත් අප රටේ පවතින තත්වයට සාපේක්ෂ ලෙස අවම වශයෙන් ඔවුනට සහන ආහාර මල්ලක් ලබාදීම ගැන අවධානය යොමු කිරිම වැදගත්ය. මේ වන විටත් ත්‍රිරෝද රථ රියදුරන්, කම්කරුවන්, ලොතරැයි වෙලඳුන් හා  වෙනත් සුළු ස්වයං රැකියාවල නිරත වන්නන් විශාල පීඩනයකට මුහුණදෙමින් සිටියි.)

3.      ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වාදෙන පරිදි සම්පුර්ණයෙන්ම පිටුදැකීමට වසරක් ඉක්මවන කාලයක් ගතවිය හැකි මෙම වසංගත තත්වය හමුවේ  සංවර්ධිත රටවල මෙන් නොව අඩු ආදායම් ලබන රටක් ලෙස අප  රටේ ආර්ථිකයට එල්ල වන බලපෑම දිගු කලක් පැවතිය හැකි බැවින් පෞද්ගලික අංශයද විශාල දායකත්වයක් දරණ  අපනයන, සංචාරක වැනි ක්ෂේත්‍ර රැකගැනීමට සැලස්මක් සකස් කීරිම.

4.      මැතිවරණයකට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් වන බව දැඩිව අවධාරණය කළ යුතුය. නමුත් මහ මැතිවරණය සඳහා  නාම යෝජනා ලබාදී ඇති බැවින්  මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳ  සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීය යුතු වේ.

සමගියෙන් හා අවබෝධයෙන් යුතුව එකම ජාතියක් ලෙස කැපවීම තුළින් ශ්‍රී ලංකාවට මෙම අභියෝගය සාර්ථකව ජය ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ කරු ජයසුරිය මහතා සියලු පක්ෂයන්හි අදහස් විමසීම සඳහා වු සාකච්ඡාවක් කැඳවීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ඒ සඳහා සහභාගී වු සියලු පක්ෂ නියෝජිතයන්ටත් සිය කෘතඥතාවය පළ කර සිටියි.

කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය

---------------------------
by     (2020-03-24 20:32:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links