~

නාම යෝජනා හබයෙන් ගාල්ලේ පොහොට්ටුව අංජ බජල්: ක්‍රිකටර් ඩිල්ෂාන්, නළු අර්ජුන්, මුතුහෙට්ටි කැපේ: ශාන්, චන්දිම පරද්දන්න උඩින් යටින් ‌ගේම්

-දක්ෂිණ ගාල්ලගේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.21, ප.ව.6.45) මෙවර මහ මැතිවරණයට ගාල්ල දිසාවෙන් පොහොට්ටුවෙන් තරඟ වැදීමට දහසක් බලාපොරොත්තු තබාගෙන සිටි මෙන්ම පොහොට්ටු නායකයන් වෙනුවෙන් ජයටම කඩේ ගිය පිරිසකට නාම යෝජනා නොලැබීමෙන් ගාල්ලේ පොහොට්ටු මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම අංජ බජල් වී තිබේ.

මෙහිදී දිගු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු දේශපාලනඥයන් කීප දෙනෙකුට කණකොකා හඬා ඇති අතර නාම යෝජනා ලැබුණු ශ්‍රී.ල.නි.ප යට හිතවත් අපේක්ෂකයන් පරාද කිරීමේ සහ දැඩි ලෙස මහින්දවාදී අපේක්ෂකයන් කෙසේ හෝ දිනවීමේ නිහඬ සටනක්ද ආරම්භ කර තිබේ.

මහින්ද රාජපක්ෂගේ අතීත ජයග්‍රහණ වෙනුවෙන් සිය දේපල පවා විකුණා ඉමහත් කැපවීම් සිදු කර තිබූ  ශ්‍රී .ල.නි.ප.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට මෙවර නාම යෝජනා හිමි නොවීමෙන් ඔහු ඉමහත් කෝපයට පත්ව සිටී. මාධ්‍ය සාකච්චාවක් පවත්වා ඔහු ප්‍රකාශ කළේ නියමිත වෙලාවට තමා අඩියක් පසුපසට ගෙන කාටත් දරා ගත නොහැකි හොඳ ඩෑෂ් පහරක් එල්ල කරන බවයි.

ශ්‍රී.ල.නි.ප හා පොහොට්ටු ඉවුරුවල අඩමානෙට කකුල් තබා ගෙන සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ට නාම යෝජනා ලැබුනත් ඔහු පැරදවීම සඳහා පොහොට්ටු කරුවෝ උප්පරවැට්ටි යොදමින් සිටිති. ඔහු නියෝජනය කරන හබරාදූව ආසනයේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ සහාපති දිල්ෂාන් විදානගමගේ ටද පොහොට්ටු නාම යෝජනා දීම මෙහි පළමු උප්පර වැට්ටිය වේ. අම්බලන්ගොඩ ආසනය නියෝජනය කරමින් පොහොට්ටු නාම යෝජනා ලැබුණු පසුගිය කාලයේ ශ්‍රී.ල.නි.ප. සමග සිටි හිටපු දකුණු මහ ඇමති ශාන් විජේලාල් පරාදකිරීමට ද පළමු උප්පරවැට්ටිය ලෙස අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ ට ද පොහොට්ටු නාම යෝජනා දී තිබේ. ඔහු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියකට උසාවියෙන් වරදකරුවෙකු වී දඬුවම් ලද අයෙක් ද වේ. එවැනි කෙනෙකුට නාම යෝජනා දීම ගැන සෙසු අපේක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක්ව ඇත. ඇතැම් විට එය අධිකරණ කටයුත්තකට යා හැකි බව ද පැවසේ. මෙලෙස එකම ආසනයකට දෙදෙනා බැගින් නාම යෝජනා දීමෙන් ප්‍රබල අපේක්ෂකයාට වැඩිපුරම චන්ද ලැබීමට නියමිත තම ආසනයෙන් චන්ද අහිමි කිරීම සිදුවේ.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්ට  සහ සිනමා නළු අර්ජුන් කමලනාත්ට   පොහොට්ටු නාම යෝජනා දෙන බවට මහින්ද-ගෝඨා සුසංයෝගය මගින්ම සහතික කර තිබුනද එම දෙදෙනාටම නාම යෝජනා නොලැබිණි. පසුගිය මාස කීපය තුළ ඔවුහු දිස්ත්‍රික්කය පුරා ක්‍රීඩකයන්, දුප්පතුන්, පාසල් දරුවන් ආදීන් සඳහා ක්‍රීඩා භාණ්ඩ, පාසල් උපකරණ ඇතුළු ද්‍රව්‍යාධාර බෙදමින් තමන් පුම්බවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ ගණනින් වැය කර පූර්ව මැතිවරණ ප්‍රචාරක  කටයුතු සිදු කර ගත්තෝය. මෙයින් අර්ජුන් ට නාම  යෝජනා දීමට ඉදිරිපත්ව සිටියේ ඇමති විමල් වීරවංශ සිය පක්ෂයවූ ජාතික නිදහස් පෙරමුණ  නියෝජනය කරවීම උදෙසාය. ඒ සඳහා ඔහු ඉමහත් වෙහෙසක් ගත්ත ද රමේෂ් පතිරණ, මොහාන් සිල්වා, සම්පත් අතුකෝරල, ගීතා කුමාරසිංහ යන පොහොට්ටු අපේක්ෂකයන් හතර දෙනාගේ දැඩි විරෝධයෙන් එය ව්‍යවර්ථ විය. පසුව විමල්ට පසු බසින්නට සිදුවිය.

මහින්ද - ගෝඨා ඩබලම ස්ථිරවම නාම යෝජනා දෙන බවට කාලයක් තිස්සේ පොරොන්දු වී සිටි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් පසුගිය ජනාධිපතිවරණ කීපයකටම රාජපක්ෂවරුන් උදෙසා රුපියල් මිලියන ගණන් ලබා දී තිබු කෙනෙකි. ගාල්ලේ මාධ්‍යවේදීන් බෙන්තර ප්‍රදේශයේ  සුපිරි හෝටලයකට ගෙන්වා මාධ්‍ය හමුවක් පැවැත්වූ දිල්ෂාන් එහිදී අනිවාර්යෙන්ම තමා ගෝඨා -මහින්ද ආශීර්වාදයෙන් පොහොට්ටුවෙන් ගාල්ලට තරග වදින බව පැවසුවේය.

මේ අතර මහින්ද යන යන තැන දැවටෙන හා මහින්ද සමග සේයාරුවල හා රුපවාහිනිවල පොටෝ ජෙනික් කෙනෙකුවන  මහින්දගේ ගාලු පුතා ලේබලයෙන් තරග වදින සම්පත් අතුකෝරල වැඩිම මනාපයෙන් දිනවීමට මහින්ද යටින් ගේම් දෙනවාට කණ්ඩායම් නායක රමේෂ් පතිරණ ඇතුළු අනෙකුත් අපේක්ෂකයන්ගේ කනස්සල්ල පලවෙමින් තිබේ.

නාම යෝජනා ලබා ගැනීමේ දැඩි අපේක්ෂාවකින් පසුවූ  දකුණු පළාත් සහාවේ හිටපු ‌ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ  චම්ලි විතානාච්චි ද නාම යෝජනාවලින් කැපිණි. ඔහුට දකුණු පළාත් සහාවේ මහා ඇමති තනතුර ලබා දෙන බවට බැසිල් රාජපක්ෂ පොරොන්දු වී තිබේ. එහෙත්  එයද ඉටු කල නොහැක්කේ එය දකුණු පළාත් සහාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ  සෝමවංශ ට දීමට මහින්ද එකඟ වී තිබීම නිසාය.

මේ ආකාරයෙන් ගාල්ලේ පොහොට්ටු දේශපාලනය අංජ බජල් වී ඇත.

-දක්ෂිණ ගාල්ලගේ-

---------------------------
by     (2020-03-21 13:22:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links