~

රට අර්බුද ‌දෙකක..! ආණ්ඩුවට ගානක් නෑ..!

එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ විශේෂ අනතුරු ඇඟවීම

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.20, ප.ව.6.25) කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවදානමකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇත. ඒ සඳහා පරිපූර්ණ ඒකාබද්ධ සැලැස්මක් සැකසීමට තවමත් රජය කටයුතු කර නොමැත. ඒ අතර තවත් දැවැත්ත මූල්‍ය අර්බුදයකට රට ඇද වැටීමේ අවදානමක් ද මතුව තිබේ. ඒ පිළිබඳව ද මෙතෙක් රජයේ සැලකිල්ල යොමු වී නොමැත.

රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසින් සිදු කරන ලද සම්මතයින් පමණි. 2020 ජනවාරි 01  වැනි දා සිට 2020 අප්‍රේල් 30 වැනි දා දක්වා මූල්‍ය කටයුතු සිදු කරලීම සදහා පාර්ලිමේන්තුව විසින් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ඇත. ඒ අනුව අප්‍රේල් 30 වැනිදා දක්වා මුදල් වියදම් කිරීමේ ගැටළුවක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම කාලය තුළ ජනාධිපතිවරයාට කිසිදු ආකාරයකින් අතුරු සම්මත ගිණුමට පරිබාහිරව වියදම් කිරීමට නොහැකිය. එසේම අප්‍රේල් 30 වන දායින් පසු රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලයක් ද නොමැත.

පාර්ලිමේන්තුව විසුරුවා ඇති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන ආකාරය ව්‍යවස්ථාවේ 150 (3) වගන්තියේ දක්වා ඇත. එය මෙසේය.

"යම් කිසි වර්ෂයක විසර්ජන කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සදහා මුදල් වෙන් කර නොමැත්තේ නම්, අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස තුනක් ඉකුත් වන තෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතැයි ජනාධිපතිවරයා සලකයි නම්, ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය".

කොරෝනා අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනය කවදාදැයි කිව නොහැකිය. ඒ අනුව අප්‍රේල් 30 වැනිදා සිට අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය දක්වා කිිසිදු මුදලක් වියදම් කිරීමට රජය ට හැකියාවක් නොමැත. රජයේ සේවක වැටුප් ගෙවීමේ සිට කොරෝනා වෛරසයෙන් ගැලවීමේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම දක්වා සියළු කටයුතු අර්බුදයකට ලක්වීමට මෙය හේතු වෙයි.

වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස අප ඉල්ලා සිටීමට එක් හේතුවක් වූයේ ද මේ අර්බුදකාරී තත්ත්වය අප අවබෝධ කරගෙන සිටින බැවිනි. ඒ ඉල්ලීම කර සතියක් ගෙවී ගිය ද මේ වන තුරු රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මෙවන් අර්බුදකාරී අවස්ථාවන් ජයගත හැක්කේ දේශපාලන වාසි පිටුපස හඹා යෑමෙන් නොව රට සුරක්ෂිත කිරීමේ අරමුණට ප්‍රමුඛත්වය දීමෙන් පමණක් බවද වගකිව යුත්තන්ට සිහිපත් කරමි.

රනිල් වික්‍රමසිංහ

---------------------------
by     (2020-03-20 12:58:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links