(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.19, ප.ව.9.30) යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයන් වූ කතානායක කරු ජයසූරිය, මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක මෙවර කිසිදු නාමයෝජනා ලැයිස්තුවක හෝ ජාතික ලැයිස්තුවක නැත. ඒ අතරින් කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රනිල් සජිත් පාර්ශව දෙක සමගි කරන්නට නොහැකි වීම නිසා තමන් කිසිදු පාර්ශවයක් නොගත් බවයි. දෙපාර්ශවයෙන්ම ජාතික ලැයිස්තුවට නම් කරන්නට ආරාධනා කළද තමන් එය ප්‍රතික්ෂේප කළ බව කරු ජයසූරිය කියයි.
“ඉහත දෙපාර්ශවයම එකම තැනකට ගෙනැවිත් එක්සත් ජාතික පක්ෂ සමගි කරවීම සඳහා මා විසින් මහත් වෙහෙසක් දරමින් දිගින් දිගටම උත්සා කෙළෙමි. මාගේ දේශපාලන දිවිය කැප කර දරණ ලද එම ප්රයත්නයේ දී දෙපාර්ශවය සමගි නොවුවහොත් කිසිදු පාර්ශවයකට සහය නොදෙන බව මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙළෙමි.
නමුත් ඒ සියළු උත්සාහයන් මේ මොහොත වන විට ඵල රහිත වී තිබීම ඉමහත් සිත් වේදනාවට හේතුවකි. මෙම තත්ත්වය තුල කිසිදු පාර්ශයවයකින් තරඟ කිරීම හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවීමට මම තීරණය කෙළෙමි.
කෙසේ වෙතත් ඒ ඒ පාර්ශවයන්ගෙන් තරඟ කරන ලෙස හෝ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන මෙන් අවස්ථා ගණනාවකදී මාගෙන් ඉල්ලා සිටි දෙපාර්ශවයේම පිරිස් වෙත මාගේ කෘතඥතාවය පළ කරමි.” යි කරු ජයසූරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර සජිත්ගේ සමගි ජන බලවේගයේ ප්‍රධාන දේශපාලනඥයන් බොහෝ දෙනෙකු තරඟ කිරීම වෙනුවට ජාතික ලැයිස්තුව තෝරාගෙන ඇත. එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ප්රචාරක සම්බන්ධිකාරක හරින් ප්‍රනාන්දු, මැතිවරණ සංවිධායක ඉරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකිර් මාකර්, මයන්ත දිසානායක යන හිටපු මන්ත්‍රී අමැති වරුන් ඇතළුව ශිරාල් ලක්තිලක, ඩයනා ගමගේ, ප්‍රියන්ත කාරයප්පෙරුම, ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද, රවී ජයවර්ධන, චමීර පෙරේරා, මොහොමඩ් නිසාන් කාරියප්පර්, හුසේන් බයිලා ආදී පක්ෂ නියෝජිතයින් රැසක් සජිත්ගේ ජාතික ලැයිස්තු ලේඛනයට ඇතුලත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව ජෝන් අමරතුංග, කරුණාසේන කොඩිතුවක්කු, ආශු මාරසිංහ, තිලක් මාරපන, දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා, නිශ්ශංක නානායක්කාර, සමන් රත්නප්‍රිය, සුදත් චන්ද්‍රසේකර, රෝහිත බෝගොල්ලාගම සහ ආචාර්ය මහාචාර්ය වරු රැසකගෙන් සමන්විත වේ.
පොහොට්ටු ජාතික ලැයිස්තුව මහාචාර්ය ජීඇල්, අලි සබ්රි, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, තිස්ස විතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, චරිත හේරත්, ටිරාන් අලස්, මුසම්මිල්, ජයන්ත කැටගොඩ, අජිත් නිවාඩ් කබ්රාල් ආදී පිරිසකගෙන් සමන්විතය.
නාම යෝජනා ගැනීම අදින් අවසන් වූ අතර ප්‍රධාන පක්ෂ තුනේ ජාතික ලැයිස්තු මෙහි දැක්වේ.
---------------------------
by (2020-03-19 16:21:32)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි