~

මාධ්‍ය නිදහසේ සටන් සගයා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වේ

(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.15, ප.ව.4.55) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන්  සටන් කළ වාමධාරාවේ සිවිල් ක්‍රියාධරයෙකු වූ සමන් වගආරච්චි අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 

කෙටි කලක් ලියුකේමියා රෝග‌යෙන් ‌පෙළුණු ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවයට පත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 63 ක් විය. 

80 දශකයේ මුල් යුගයේ දී ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් කටයුතු කළ සමන් එහි ‘සමාජවාදී කලා සංගමයේ’  ලේකම් වරයා වශයෙන් කලා කටයුතු වලට පය තැබුවේ ය. ජවිපෙ ප්‍රකට ‘විමුක්ති ගී’ ප්‍රසංගය රට පුරා ගෙන යෑමට ඔහු විශාල දායකත්වයක් දුන්නේ ය. පසුව ජවිපෙ දේශපාලනයෙන් ඉවත් වූ ඔහු 'ජනතා කලා සංගමය' ආරම්භ කිරීමට මුල්විය. එමගින් ගුණදාස කපුගේ නන්දන මාරසිංහ ප්‍රමුඛ කණ්ඩායමක් සමග රට පුරා 'කාලයේ රාවය' නමින් ගී ප්‍රසංගයක් පැවැත්වීය. පසුකලෙක ‘නිර්මාණ සංවාද කුලකය’ සංවිධානය ආරම්භ කිරීමට ද සමන් වගආරච්චි මුල් විය. නිර්මාණ සංවාද කුලකය මගින් කලාව සම්බන්ධයෙන් රට පුරා සම්මන්ත්‍රණ රාශියක් පැවැත්වීය. පසුව ආර්.‌ප්‍රේමදාස ආණ්ඩුවේ බිහිසුනු මාධ්‍ය මර්දනයට එරෙහිව පෙරට ආ සමන් 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ' ආරම්භක සම කැඳවුම්කරු විය. 

සමන් මාධ්‍ය රස්සාවට අත්පොත තැබුවේ අභාවයට පත් ගාමිණී විජේතුංග ගේ මග පෙන්වීම යටතේ 80 දශකයේ මැද භාගයේ පරණ ලංකාදීප දිනපතා පුවත්පතේ කලා විචාරකයෙකු ලෙස ය.  එකල ඔහු 'බ්ලේඩ් තලය' නමින් කොළම් තීරු පුවත් පතක් ද එළි දැක්වූයේ ය. පසුව යුක්තිය පුවත්පතට සම්බන්ධ වූ සමන් වගආරච්චි එහි විශේෂාංග කර්තෘ වරයා ද විය. එවක  ලක්බිම පුවත් පත ආරම්භ කරද්දී එහි විශේෂාංග කර්තෘ ධූරයට පත් සමන් පසුව ලේක්හවුසියේ දිණමින පුවත්පතේ කර්තෘ ධූරයට පත් විය.   

ඉන්පසුව කලක් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ජීවත් වූ සමන් වගආරච්චි යළි ලංකාවට පැමිණ ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරය බාර ගත්තේ ය. ඉන්පසුව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධූරය හෙබැවූ සමන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ සමාරම්භකයෙකු ද විය.

වරෙක ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මධ්‍යම පළාත් සභාවට තරඟ කළ නමුත් පරාජයට පත්විය.

විචිත්‍රවත් මාධ්‍ය ජීවිතයක් සහ මාධ්‍ය ක්‍රියාධර ජීවිතයක්  ගත කළ සමන් තම ජීවිත කාලයේ ලංකාවේ මාධ්‍ය කලාව සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් දුන් දායකත්වය ගරු කටයුතු ය. බොහෝ මාධ්‍ය සහ කලා සංවිධාන ආරම්භ කිරීමට මුල් වූ සමන් ඒවා දිගු කාලීනව පවත්වාගෙන යෑමට අපොහොසත් වීම දුර්වලතාවයකි. 

අවසන වියපත් වියේදී දුර්ලභව වැළඳෙන ලියුකේමියා රෝගයට ගොදුරු වීමට සිදුවීම අභාග්‍යයකි. නමුත් ඔහු තම පුද්ගලික සහ සමාජීය යුතුකම් කොටස තම රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටුකළා යැයි සතුටු විය හැකි ස්ථානයක සිටිය බව අපට විශ්වාස ය. 

සමන් වගආරච්චි නම් ලංකා ඊ නිව්ස් හි දිගුකාලීන මිතුරාගේ අභාවය පිළිබඳ අපගේ හද පිරි ශෝකය ඔහුගේ බිරිඳටත් පුතා සහ දුවටත් පිරිනමමු.

ඉතින් සමන් ගිහින් එන්න.. 

ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලය

---------------------------
by     (2020-03-16 01:22:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links