~

දකුණේ අධ්‍යාපන ලොක්කෝ නිදි වදිද්දී, දූෂිතයන් රකින ඇල්පිටියේ අධ්‍යාපනය වළ පල්ලට...!

දක්ෂිණ ගාල්ලගේ ‌හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2020 මාර්තු 14, ප.ව.7.30) දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු බල ප්‍රදේශයේ ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විවිධ දූෂණවලින් හා අල්ලස් ගැනීමෙන් සපිරි,  දූෂිත විදුහල්පතිවරුන් රකිමින් ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් හා විනය නොසලකා  ඉහළ මට්ටමේ පාසල්වල විදුහල්පති තනතුරු දීමට ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කටයුතු කිරීම නිසා විදුහල් රැසක්  පරිපාලනය අතින් විනාශ මුඛයට ඇද වැටෙමින් පවතින බව මහජන නියෝජිතයින් මෙන්ම පාසල් දෙමාපියෝ  පවසති. මේ අතර ස්ථාන මාරු ලැබීමට නියමිත තවත් පිරිසක් තම මාරුවීම් නතර කර ගැනීමට දේශපාලුවන් පස්සේ යමින් සිටින නිසා එම පාසල්වල පරිපාලනය ද අවුල් වී තිබේ.

මෙම කලාපයේ ඇල්පිටිය සහ කරන්දෙණිය ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් රැසක්  ළමුන් ඇතුලත් කිරීමට විශාල ලෙස මුදල් අල්ලස් ගැනීම සහ සංවර්ධන සමිති මුදල් වංචා කිරීම් ඇතුළු දූෂණවලට  ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මේ වැරදි සම්බන්ධයෙන් කොතරම් කලාප කාර්යාලයට දැනුම් දුන්නත් කිසිදු පරීක්ෂණයක් නොපවත්වා සියල්ල මුදලටම යට කර දමා ඇති බව  ජනතාව පෙන්වා දෙති. පළාත් අධ්‍යාපන ලේකම්වරයාව නොමග යවමින් සත්‍ය වසන් කරන කලාප නිලධාරීන්ට කඩේ යන විදුහල්පතිවරුනට රිසිසේ ඕනෑම දූෂණයක් කිරීමට ඉඩ සැලසී තිබේ. මේ අතර එසේ නොකරන විදුහල්පතිවරුනට විවිධ කෙනෙහිලි සිදු කරන බව ද පැවසේ.

පාසල් රැසක විදුහල්පති ශ්‍රේණිධාරී නොවන ගුරුවරුන් රැසක් වැඩ බලන විදුහල්පතිවරු ලෙස කටයුතු කරද්දී පැරණි මෙන්ම ඉකුත්දා නව ශ්‍රේණිධාරී විදුහල්පති පත්වීම් ලද්දන් නියෝජ්‍ය විදුහල්පතින් ලෙස පත් කර තිබේ,සුදුස්සන්ට සුදුසු ලෙස සලකන බව කී රාජ්‍ය ප්‍රතිපත්තිය මෙයදැයි මොවුහු ප්‍රශ්න නගති.

පසුගියදා ගාල්ලේදී පැවති විශේෂ  සම්බන්ධීකරණ රැස්වීමකදී  ජනපති විසින්  ගාල්ල දිසාවේ විදුහල්පති පුරප්පාඩු වහාම පුරවන ලෙස නිලධාරීනට දුන් නියෝගය හා වත්මන් ජනපතිගේ හා ආණ්ඩුවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියද රෙද්ද  පල්ලෙන් බේරෙමින් මේ වන විටත් හිතවත්කම් හා මුදල් හා ත්‍යාග දේශපාලකයන් හා අධ්‍යාපන නිලධාරින් අතර හුවමාරුවීමේ ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ පාසල් රැසකට සුදුසුකම් නොතකා විදුහල්පතිවරු පත් කර ඇති අතර එම විදුහල්වල අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලින් බිඳ වැටෙමින් පවතින බවට ඔවුහු චෝදනා කරති. මේ සඳහා ප්‍රදේශයේ පොහොට්ටු දේශපාලකයෝ වග කිව යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

මොවුන්ගේ  මෙකී අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පාසල් රැසක පෝස්ටර් ව්‍යාපාර , විරෝධතා ව්‍යාපාර , සිසු , ගුරු හා දෙමාපිය නොසන්සුන්තා හට ගැනීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙමින් පවතී.

පළමු ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් පත් කලයුතු අම්පේගම ප්‍රදේශයේ මහා විදුහලකට අධ්‍යාපන නිලධාරීන්ගේ හිතවත්කම් හා ත්‍යාගවල බල මහිමයෙන් පෙර සිටි පාසල් අඩ පන කල  හා නිලධාරීන්ට ගොට්ට අල්ලමින්  සිටින  තුන්වන ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු පත් කිරීමෙන් එම විදුහලට කන කොකා හඬා තිබේ.පාසලේ විනය දැඩි ලෙස පිරිහී ඇති මෙහි ඉකුත්දා පාසලේ හා පිටස්තර සිසුන් අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවී පොලිසිය හා උසාවිය දක්වා දුරදිග යාමෙන් දෙමාපියෝ  දරුවන් පාසලට එවීමට පවා බියවී සිටිති. කරන්දෙණිය බන්දුල සේනාධීර කනිටු විදුහලේ විදුහල්පතිනිය හදිසියේ මාරු කර දේශපාලන ගැත්තෙකු ඒ සඳහා පත් කිරීමට ගත් වෑයම දෙමාපියන්ගේ විරෝධතාව හමුවේ අකුලා ගැනීමට නිලධාරීන්ට සිදුවිය.

මෙම දූෂිත ක්‍රියාවලියේ පාසලක් විනාශ කිරීමේ  ඊ ළඟ අලුත්ම පියවර වී ඇත්තේ කරන්දෙණිය, යටගල ප්‍රදේශයේ පළමු ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු පත් කළ යුතු  මහා විද්‍යාලයකට  දූෂිතම  අඩු ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකු  පත් කිරීමට පිඹුරු පත් සකස් කර තිබීමයි. තමන් සිටින පාසලට සිසුන් ඇතුලත් කර ගැනීමට දෙමාපියන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් අල්ලස් ගැනීමට හා මවුවරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා  බවට ඉමහත් ප්‍රසිද්දියක් උසුලන්නා වූ මොහුට විරුද්ධව පාසල් සංවර්ධන සමිති නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිසි ලෙස සාක්ෂි සහිතව නාමිකව හා ලිඛිතව  කලාප කාර්යාලයට හා පළාත් අමාත්‍යංශයට පැමිණිලි කලද , එම පැමිණිලි සියල්ල යට ගසමින් සිටින කලාප කාර්යාලය දූෂණයට උඩගෙඩි දෙන්නේ ඇයි දැයි යන්න ප්‍රසිද්ධ රහසකි. මොහු සම්බන්ධයෙන් කලාප බලධාරීන් සිදුකළ පරීක්ෂණ නිර්දේශ සියල්ල මොහුගේ මුදල් වලට  යටවී තිබේ.

අතරමැදියන් ලෙස හිතවත් කාන්තාවන් යොදා ගෙන  පාසලට ළමුන්  ඇතුලත් කර ගැනීමට අල්ලස් ගනිමින් හා ප්‍රදේශය පුරා උපකාරක පන්ති පවත්වමින් ඒවාට බලහත්කාරයෙන් තම පාසලේ අසරණ දරුවන් ගෙන්වාගෙන අසාධාරණ ලෙස මුදල් ගරා ගෙන වසර 10 කට අධික කාලයක් රුපියල් කෝටි ගණන් උපයා බයිසිකලයවත් නැතිව සිට සුපිරි වාහන ඇතුළු සැප සම්පත් ලැබූ මොහු ඒවායින් කොටසක් නිලදරුවන් හා දේශපාලුවන් අතරද තව කොටසක් අනියම් ලෙස මවුවරුන් අතරද  බෙදා හරිමින් තම දුෂිත කටයුතු සියල්ල යට ගසා ගත්තේය . මොහුට එරෙහිව ළමුන් ඇතුලත් කර ගැනීමට පොරොන්දු වී එසේ නොකිරීමෙන් උරණ වූ මවුවරු පොලිසියට පැමිණිලි කළත් ඒවාද සුපුරුදු ලෙස යට පත් වී තිබේ.

මේ දිනවල මැතිවරණ නීති අනුව බල පැවැත්වෙන ස්ථාන මාරු තහනම ද  නොතකා මුදලට කෑදර පොහොට්ටු දෙස්පාලුවන්ගේ ද ආශීර්වාදයෙන් කලාප කාර්යාලය මගින් මොහුට තවත් පාසලක් බිලිදීමට සුදානම් වීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ විරෝධය පලවෙමින් පවතී. ඒ අනුව දෙමාපියෝ මොහුට එරෙහිව ඇති පැමිණිලි විභාග කිරීමට පොලිසිය හා කලාප බලධාරීන් කටයුතු නොකිරීම ගැන පෝස්ටර් අලවා තිබිණි. මෙයින් උරණ වූ මොහු  කලාප කාර්යාලයේ බවල‌තෙකුගේද ආශීර්වාදය ඇතුව පොහොට්ටු දේශපාලකයන්, කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සමග එකතු වී  සැලසුම් කර ඇති පරිදි තමා  මහා විදුහලට පත් කළ යුතු බවට  ජනතාව නොමග යවන පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබේ. මේ විදුහලට  මෙලෙස දූෂිතයෙකු පත් කළහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි විපක්ෂ දේශපාලකයෙක්  පැවසීය. මෙලෙස දූෂිතයන්ට හා ගොට්ටන්ට විදුහල් බිලි දීම රාජ්‍ය ප්‍රතිපත්තියක් දැයි විමසිය යුතුය. මෙකී තත්වයන් හමුවේ කලාප කාර්යාල පරිපාලනයද අවධානමට ලක්වීම රහසක් නොවේ. මේ තත්වයන් පිළිබඳව පියවරක් නොගෙන  දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  හා පළාත් අමාත්‍යාංශයේ බලධාරීන් කසාය බිවු ගොලුවන් ‌සේ සිටිති.

මෙම අසාධාරණ තත්වයන් තව දුරටත් සිදුවේ නම් මෙම කලාපයේ පාසල්වල තවත් දූෂිත විදුහල්පතින් මෙන්ම නිලධාරීන්ගේ දුෂණ කටයුතු රැසක් ඉදිරියේ මාධ්‍ය ඔස්සේ ජනතාවට හෙළිදරවු කිරීමට මේවාට විරුද්ධ පිරිස්  සූදානම්ව සිටිති.

-දක්ෂිණ ගාල්ලගේ

---------------------------
by     (2020-03-14 14:11:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links