යශෝවිජය ලියයි
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.11, ප.ව.5.45) වත්මන් ජනාධිපතිවරයා තනි ගේම් ගසන්නකු මෙන්ම ඔහුට ඇති එකම පවුර භූමියේ අත්දැකීමක් නැති නමුත් මහා බුද්ධිමතුන් සේ රඟන වියත්මගේ උදවිය වේ. ජනාධිපතිවරයා බලයට පත් වූ මොහොතේ සිට, අධිකරණයෙන් පවා කට්ටි පනිමින් සැඟවී සිටින කරන්නාගොඩ වැනි අපරාධකරුවන් මෙම වියත්මගේ පිරිස් වෙති. මොවුන්ට යා හැකි දුර ඉතාම කෙටි බව මේ වන විට ඔප්පු වෙමින් තිබේ. දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරීමට පටන්ගෙන තිබෙනවා පමණක් නොව එහි දුර්ගන්ධය දසත පැතිරෙමින් තිබේ. දැන් සැපද? බොහෝ දෙනෙකු අසති.
අනාගත අනතුරක ලක්ෂණ පහළවී තිබේ. තවත් මාස කිහිපයකින් රටේ ජනතාවට දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවනු ඇත. එම අර්බුදය විසඳීමට කලු සල්ලි සුදු කරමින්, මෙරට කොටස් වෙළඳපොල තමන්ගේ පෞද්ගලික රුචි අරුචි කම් වලට මෙහෙයවා ධනපතියන් වුණු කිසිඳු ජඩමාධ්‍යය මුදලාලි කෙනෙකු ඉදිරිපත් වන්නේ නැත. එසේම මෙරට ධනය පිටරටට පටවා තමන්ගේ දුවා දරුවන් සහ අනාගත පරම්පරා නඩත්තු කිරීමට එම රටවල තමන්ගේ ජීවිතයේ ස්ථාවරත්වය තනා ගත් කිසිවෙකු ඉදිරිපත් වන්නේ නැත. එළඹෙන අර්බුදය හමුවේ නැසීමට හෝ බේරීමට කළ හැකි දේ කළ හැකිවන්නේ මේ මහපොළවේ ජීවත් වන අසරණ මිනිසුන්ට සහ එම මිනිසුන් ජීවත් කිරීමට පිටරට ගොස් දහදුකක් විඳින මිනිසුන්ටය.
මෙරට ගුවන් තොටුපල එකම ගාල ගෝට්ටියකි. කිසිදු පිළිවෙලකට සකස් කොට නැති වැඩපිළිවෙලක් හේතුවෙන් දුප්පත්කම නිසා විදේශ ගත වී පිට රටවලට කඹුරා උපයන සල්ලි වලින් මෙරට පවුල් ලක්ෂ ගණනක් නඩත්තු කරන පිරිස්වලට කුඩම්මාගේ සැලකිලි ලබා දීම පමණක් නොව ගුවන් තොටුපලේ සිටින ඩියුටි ෆ්‍රී යැයි ලේබලය ගසා මෙම අසරණ මිනිසුන්ගෙන් හූරා කන හොරු රැලකගේ ගොදුරු බවට ඔවුහු පත්වී සිටිති. අපි මහා කුපාඩි ගති ඇති කුහක අවස්ථාවාදී ජාතියකි. ඇත්ත කතාව එයයි.
ලෝකයේ තොටුපලවල ඇති ඩියුටි ෆ්‍රී කඩවලින් එම රටේ මුදලින් භාණ්ඩ ගැනීමට නොහැකි ලෝකයේ එකම ගුවන්තොටුපල කටුනායක වියයුතුය. මේ රටේ එම කඩවලින් භාන්ඩ ගැනීමට හැක්කේ ඇමෙරිකන් ඩොලර් වලින් පමණි. එසේම, නොමිලේ පානය කිරීමට ජලය තැනින් තැන තබා තිබේ. නමුත් ඒවා ලබා ගැනීමට හැකි කෝප්ප සඟවා ඇත. මන්ද එම ජලකරාම ආසන්නයේම, ඩොලර් දෙක තුනකට කෝපි කෝප්පයක් විකුණන හාදයෙක් තමන්ගේ කුටිය අටවාගෙන සිටින්නේය. නොමිලේ ඇති ජලය බීමට ගුවන් මගීන් පුරුවුවහොත් ඔහුගේ කෝපි වලට ඇති ඉල්ලුම අඩුවේ. එපමණක් නොවේ, කටුනායක ගුවන් තොටුපල යනු ලෝකයේ ඇති ගුවන් තොටුපලවල් අතරින් යන සහ එන මගීන් මුහු නොවන කලාතුරකින් පමණක් හමුවන ගුවන්තොටුපළකි. එය එතරම් යහපත් ලක්ෂණයක් නොවේ. මෙවැනි ලක්ෂණ දියුණු වෙමින් පවතින රටවල ලක්ෂණ නොව පරිහානියට ලක්වෙමින් පවතින රටවල ලක්ෂණ වේ.
නව කොරෝනා වෛරසය මූලික කර ගනිමින් රට තුළ ඇති වී ඇති සමාජ තත්වය සැලකිල්ලට ගැනීමේදීද පෙනී යන්නේ මෙයයි. ලෙඩේ ගේ මිදුලට පැමිණි පසු දේශප්‍රේමියෝ අහලකවත් නැත. එසේම, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන වල මූලිකව අනුගමනය කළයුතු වැඩපිළිවෙල ක්‍රියාත්මක කොට නැත. ඔවුහුට සපයා ඇති නවාතැන් පහසුකම් රෝගය සුව කිරීමට නොව රෝගය තිබේනම් එය වැඩිදුරටත් ව්‍යාප්ත කිරීමට හැකිවන පරිදි සකස් කොට ඇත. මෙය කොටින්ම කිව්වොත් විකාරයකි. යුද්ධයෙන් පසු අවතැන් වූ පිරිස් කළමනාකරණය කළ අකාරයෙන් මෙය කළ නොහැකි බව අපේ දේශප්‍රේමීන් හඳුනාගත යුතුව ඇත.
කොරෝනා වෛරසය හේතුවන් ක්‍රමයෙන් ව්‍යාකූල වන සමාජ තත්වය යථා තත්වයට පත්කිරීම සඳහා පළමුව කළ යුත්තේ යෝජිත මහා මැතිවරණය වහාම කල් දැමීමය. ඉන් පසු සමස්ථ රට තුළ ජාතික නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමය. එය ජාතික වැඩපිළිවෙලක් විය යුතුය. වරාය, ගුවන්තොටුපල ඇතුළු රටට ඇතුළුවන ප්‍රධාන මර්මස්ථාන වල මෙම වසංගතය ගැන දැනුමක් ඇති පිරිස් සේවයේ යෙදවිය යුතුය. එසේම හැකිනම් රටේ සෑම දුරකථන සේවාදයකයෙකුටම වෛරසයට අදාළ නිවේදනයක් ඇමතුම ලබා ගන්නා පුද්ගලයාගේ දුරකථන නාදය (රින් ටෝන් ) ලෙස භාවිතා කළ හැකිය. එවිට රටේ ඕනෑම පුරවැසියෙකු ගන්නා දුරකථන ඇමතුමකම මෙම වසංගතය ගැන නිවේදනයක් ග්රාහකයාට සන්නිවේදනය වේ. බියවීම නොව දැනුවත් වීම ඕනෑම ඛේදවාචකයකින් මිදීමේ මූලික පියවර වේ.
වසංගත හේතුවෙන් සිදු වූ විනාශයන් ඔනෑතරම් අපේ අතීතයේ තිබේ. ඉන් මූලික එකක් වන්නේ, බොම්බේ උණ හෙවත් ස්පාඥ්ඥ උණ ලෙස හඳුන්වනු ලැබූ නියුමෝනියා වෛරසය හේතුවෙන් සිදු වූ විනාශය වේ. බ්‍රිතාන්‍යය පරිපාලනය පැවති කාලය තුළදී සිදු වූ ඉන් මෙරට ජනගනයෙන් සීයට එකක් පමණ මියගිය බව සඳහන් වේ. එනම් ලක්ෂයට අසන්න පිරිසක් මාස දෙකක් ඇතුළත මිය ගියෝය. අවාසනාවට මේ ඒ ගැන දන්නා පිරිස් ඉතාම සීමිතය. මන්ද අපි අතීතය අමතක කිරීමට උපන් හපන් ජාතියකි.
නව කොරෝනා අසාදනයට ප්‍රතිචාර දැක්වීමේදී නිවැරදි ජාතික වැඩපිළිවෙලක් නොතිබුණ හොත් ඉතිහාසයේ සිදු වූ දෙයම යළි සිදුවීම වැළක්විය නොහැකිය. මන්ද, රටේ ජාතික කොඩියත් චීනේ නිෂ්පාදනය කොට මෙරට විකුණන රටකට, සිදුවිය හැකි අනතුරේ ප්‍රමාණය මිනිය නොහැකිය. මෙම වෛරසයේ ව්‍යාප්තිය ගැන අධ්‍යනය කර ඇති විශාරදයින්ගේ මතයට අනුව, වෛරසය හේතුවෙන් මිලියන 15ක් පමණ මිය යා හැකි බවත් ලෝක ජනගහනයෙන් සීයට හැටකට පමණ වෛරසය ආසාධනය විය හැකි බවත් අනුමාන කොට තිබේ.
මේ නිසා අප හමුවේ ඇති අභියෝගය අපි සිතනාවට වඩා ඉතාම බරපතළ වේ. මෙය විසඳීමට හැක්කේ බිය වීමෙන් නොව නිවරදි වැඩපිළිවලක් ක්‍රියාවට නැංවීමෙනි.
---------------------------
by (2020-03-11 12:32:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි