(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.25, පෙ.ව.11.00) ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ජෛව විවිධත්වයෙන් අනූන පහත රට නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන මීතිරිගල රක්ෂිතයෙන් ඉඩම් අක්කර 107 ක් එහි අනවසර පදිංචිකරුවන්ට හිමි කරදීමට ගෙන ඇති තීරණය පිළිබඳ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ දැඩි අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර යන මහත්වරු පවසනුයේ මීතිරිගල රක්ෂිතය සම්බන්ධයෙන් සිදු කොට හෝ සිදු කෙරෙමින් පවතින පාරිසරික හානි පිළිබඳ මූලික විමර්ශනයකින් පසුව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි තම අවධානය යොමු කරන බවකි.
මීතිරිගල වන රක්ෂිතය තුළ ජීවත් වන අනවසර පදිංචිකරුවන්ට මේ ඉඩම් අයිතිය ලබා දීම පිළිබඳ දොම්පේ ප්‍රාදේශීය සභා සභාපති මිලාන් ජයතිලක විසින් ඉදිරිපත් කොට ඇති යෝජනාව පසුගිය දා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් විසිනි.
ඉන්පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් විසින් අතිරේක දිස්ත්‍රික් ලේකම් සුගත් කිත්සිරි ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කොට ඇත. නමුදු එම කමිටුව විසින් ගනු ලැබූ තීරණය හුදු මානව අවශ්‍යතා පමණක් පදනම් කොට ගනු ලැබූවක් මිස මිනිසා සහ පරිසරය යන තිරසාර සංවර්ධන සාධක පිළිබඳ කිසිදු තැකීමකින් තොරව ගනු ලැබූවක් බව පරිසරවේදීහු චෝදනා කරති.
එමෙන්ම මේ රක්ෂිතය සතු ඉඩම් අක්කර 107 ක් බෙදා දීම ප්‍රදේශයේ දේශපාලන බලවතකුගේ ‘ඡන්ද ගුණ්ඩුවක්’ බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පවසන පරිසරවේදීහු ශ්‍රී ලංකාව කුඩා දූපතක් බැවින් වන සංරක්ෂණ, වනජීවී සංරක්ෂණ සහ වෙරළ සංරක්ෂණ වැනි දෙපාර්තමේන්තු නියමයන් පිළිපැදිය යුතු නැතැයි පවසන දේශපාලනඥයන් හිඳින ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන මෙවැනි පාරිසරික අපරාධවලට එරෙහිව බුද්ධිමත් පොදු ජනතාව නැඟී සිටිය යුතු බවද පෙන්වා දෙති.
ගම්පහ දිස්ත්‍රික්කය සතුව පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම සතු දුලබ ඝනයේ ඖෂධ ශාක සහිත ඔසු උයනක් ලෙස අතීතයේ සිට නම් ලත් මීතිරිගල වනාන්තරය රිටිගල, රූමස්සල සහ දොළුකන්ද යන උස් භූමිවල පමණක් දැකිය හැකි වූ අතිශය දුර්ලභ ඖෂධීය ශාක කිහිපයක් වැවී තිබූ බවට පැරැණි ජන විශ්වාසයක් පවතී. එනිසාම මීතිරිගල වනයේ ස්වභාවික උල්පත්වලින් ගලන ජලය පානය කිරීමෙන් කල් පවත්නා උදරාබාධ සහ ස්නානය කිරීමෙන් හොරි, දද, කුෂ්ඨ ආදී සමේ රෝග සුවපත් වන බවට පැරැණි ජන විශ්වාසයක් විය.
එමෙන්ම දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ පුරෝගමියකු වන පණ්ඩිත ජී.ජී. වික්‍රමාරච්චි වෙද රාළහාමි 1929 වසරේ ගම්පහ, යක්කල වික්‍රමාරච්චි සිද්ධායුර්වේද වෛද්‍යායතනය පිහිටුවීමෙන් පසුව තම මුල්ම වෛද්‍ය ශිෂ්‍යයන් සමග දුලබ ඔසු පැළ සොයා මීතිරිගල වන රක්ෂිතය තුළ සැරිසැරූ බව ද ප්‍රකට කරුණකි.
මීතිරිගල රක්ෂිතය තුළ පැවැති මේ වටිනා ඖෂධ ශාක ප්‍රභවයන් පිළිබඳව මෑත යුගයේ මුල් වරට කරුණු වටහා ගත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මීතිරිගල වනය පාමුල 1983 වසරේ දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන ශ්‍රී ලංකාවේ මුල්ම ‘උදාගම’ බිහි කළ අතර ඊට වසරකට පසු එනම් 1985 වසරේ මීතිරිගල රක්ෂිත වනයක් වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් කෙළේ එහි ඇති පාරිසරික සහ ජෛවමය අගය සැලකිල්ලට ගනිමිනි.
මුලදී අක්කර 1262 ක සුවිසල් වන ගහණයක්ව පැවැති මීතිරිගල වන පෙත පසුව විවිධ වන සංහාරයන්ට ලක්වීම නිසා අක්කර 948 දක්වා කුඩා විය. 1960 දශකයේ අගභාගයේ සිට ආරණ්‍ය සේනාසන තුනක් වෙනුවෙන් බලපත්‍ර ක්‍රමයට වෙන් කරන ලද අක්කර 43 ප්‍රමාණය ද මේ වනවිට විවිධ මානව ක්‍රියාකාරකම් නිසා පරිසර දූෂණයන්ට ලක්වෙමින් තිබේ.
ඒ අනුව පසුගිය දා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය වූ අන්දමට ඉන් අක්කර 107 ක් මේ වනවිටත් එම රක්ෂිතය තුළ අනවසරයෙන් පදිංචි වී සිටින්නවුන් අතරේ බෙදා දුනහොත් මීතිරිගල වනපෙතේ මුළු භූමි ප්‍රමාණයෙන් අක්කර 464 ක් ඊට අහිමි වනු ඇත. එමෙන්ම එම රක්ෂිත වනයේ ඉඩම් හිමිකර ගත්තවුන්ගේ පවුල්වල ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම මත ඉදිරියේ දී එම ස්වභාවික වනපෙතට අත්විය හැකි පාරිසරික තර්ජන සුළුපටු නොවේ.
දැනට ශ්‍රී ලංකාවේ පවත්නා වනගහණය දේශයේ යහපැවැත්ම සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවන බවටත් ඒ සඳහා අවම කරමින් තවත් අක්කර හාරලක්ෂ අනූදහසක වන ගහණයක් අවශ්‍ය බවත් විද්‍යාත්මක වාර්තා මගින් ප්‍රකාශ වී තිබේ.
එමෙන්ම දැනට මීතිරිගල රක්ෂිතය තුළ අනවසරයෙන් පදිංචිව හිඳින්නවුන්ගේ වාසස්ථාන ප්‍රශ්නය විසඳීම පිණිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම භාරයේ පවත්නා රජයේ ඉඩම් ඒ අවට ප්‍රදේශයෙන් ඕනෑ තරම් සොයා ගත හැකිය. එවන් තත්ත්වයක් යටතේ ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ‘ඡන්ද ගුණ්ඩු’ වශයෙන් අප රටට සේම මුළුමහත් පෘථිවියටම සෙවන, සිසිල, ජලය ලබාදෙන මෙවන් වන රක්ෂිතයන් අමු අමුවේ දූෂණය කිරීමට එරෙහිව සාමූහිකව නැගී සිටීම සමස්ත ගම්පහ දිසාවේම බුද්ධිමත් ජනතාවගේ පොදු වගකීමක් වනු ඇත.
එසේ නැගී නොසිටියහොත් “ජීවත් වෙන්න ඔක්සිජන් මොකටද?” යනුවෙන් පසුගිය දිනක ගම්පහ දිසාවේ දේශපාලන මුවකින් නැඟුණු තකතීරු ප්‍රකාශය අනියමින් හෝ පිළිගැනීමේ අපකීර්තිය සමස්ත ගම්පහ දිසාවේ ජනතාවටම විඳ ගැනීමට සිදුවනු ඇත.
සේයාරුව - චතුර උදයංග ඉන්ස්ටර්ග්‍රෑම් වෙත මුදාහළ මීතිරිගල වනයේ සේයාරුවකි.
නන්දසේන ජනාධිපතිගේ ආගමනයත් සමග මීතිරිගල රක්ෂිතය පමණක් නොව චුන්නක්කරේ, බරලිය මූකලාන, තියබඩ වනාන්තරය සහ ඔරුගල යාය යන වනාන්තර ද විනාශය කරමින් සිටින බවට පරිසරවේදී සජීව චාමිකර කරන වැදගත් ප්‍රකාශයක් සහිත වීඩියෝවක් පහත දැක්වේ
---------------------------
by (2020-02-27 11:30:10)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි