-එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී කළ ඇස් අරවන කතාව
(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.22, ප.ව.7.15) නන්දසේනගේ දඩයම් ආණ්ඩුව ගෙන යන වෘත්තිකයන් දඩයම් කිරීම ගැන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ(21) පාර්ලිමේන්තුවේ දී ඉතා දැඩි සහ ඇස් අරවන ප්‍රකාශයක් කෙළේය. ඉංග්‍රීසි බසින් කළ ඔහුගේ කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් මෙහි දැක්වේ.
"විශේෂයෙන් වෘත්තිකයන් සම්බන්ධයෙන් ගත්විට අද අපට නිතර පෙනෙන දෙයක් වන්නේ, පැහැදිළි ව ම සමහරෙකුගේ වැරදි වැඩ ගැන කථා කෙරෙන අතර ම, යමක නිරවද්‍යතාව වෙනුවෙන් ඔවුන් නැගී සිටි හැම විටෙක ම, ඒ අයට හිරිහැර ද කෙරෙන බව යි. පෞද්ගලික අංශයෙහි බොහෝ කාලයක් කටයුතු කළ කෙනෙකු වශයෙන් අප මෙම ක්‍රමය වෙනස් කළයුතු ව තිබෙන බව මම දනිමි. මා දේශපාලනයට පැමිණෙන බව ඇසූ බොහෝ දෙනෙකු විමසුවේ, 'දේශපාලනයට යාමෙන් ඵලක් වේ ද?, ඔබ දේශපාලනයෙහි නිරත ව සිටිය දී පලිගැනීම් නොකෙරෙනු ඇත් ද?' යි යනුවෙනි. අපට ක්‍රම වේදයන් වෙනස් කිරීමට සිදුවිය. නීතිඥයන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්, පොලිස් නිලධරයන්, රජයේ සේවකයන්, ගණකාධිකාරීවරුන්, බැංකුකරුවන් සහ ව්‍යාපාරිකයන් ආදි වෘත්තිකයන් කවුරුන් වුව ද, විදේශ සේවයෙහි මෙන් ම, පරිපාලන සේවයෙහි නිරත වූවන් ඇතුළු හැමෙකෙකු ම රාජකාරි කිරීමට ඉඩ සළසා තිබුණේ සුරක්ෂිත වාතාවරණයන් තුලය.
2015 දී අප කටයුතු කිරීමට යොමු වූ ආකාරය මෙම සභාවට මා සිහිපත් කර දියයුතු ය. අප ක්‍රියා කළේ වෙනස් ආකාරයකට ය. එනම්, රජය බලයට පත් වන විට සේවයෙහි නිරත ව සිටි බොහෝ වෘත්තිකයන්ට ඔවුන්ගේ තනතුරුවල රාජකාරි කරගෙන යාමට ඉඩ සැළසී ය. හමුදා සහ රාජ්‍ය බුද්ධි සේවාවන්හි සාමාජිකයන් මෙන් ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානීන් නිදසුන් ලෙස පෙන්වා දිය හැකි ය. ඒ අතර, අප කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිටියේ එක් ප්‍රධානියෙකු පමණි. මට ඒ කරුණ ඉතා පැහැදිළි ව පෙන්වා දීම අවශ්‍ය යි. අපට සිටියේ 2012 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ පත් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්රධානියාම යි. ඒ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාම ගත්තේ 2019 දෙසැම්බරයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයෙහි ය. අපි එයට ඇඟිලි නොගැසුවෙමු. අප 19 වන සංශෝධනය සම්මත කළේ, විරුද්ධ පක්ෂයට ද රටට අවශ්‍ය සේවා සලසන්නවුන්ගේ තනතුරු ආරක්ෂා කිරීමට අවස්ථාව සැළසෙන පරිදි ය.
එහෙත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමත් සමග ම සිදු වූ දෙය සසඳා බලන්න. ඔහු තනතුර නිල වශයෙන් භාර ගත්තේ නොවැම්බර් 19 දා ය. ඊට පසුදින ම, ඔහු කළ මුල් ම රාජකාරිය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර තනතුරෙන් පහළට ඇද දමා, ගාලූ සහකාර පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහකාර තනතුරට පත්කර යැවීම යි. විරුද්ධ පක්ෂ සාමාජිකයකු වශයෙන් වුව ද, මා බලාපොරොත්තු වූයේ රජය ඉදිරියට මිස ආපස්සට යනු දැකීමට නොවේ. එහෙත්, බහුල ව අපට දක්නට ලැබී ඇත්තේ ආදර්ශවත් නොවන දේවල් ය. ඒ අතර, දෙදිනකට පෙර තීන්දුවක් දුන් රංග දිසානායක මහේස්ත්රාත්වරයාගේ ධෛර්ය සම්පන්න භාවයට මම ස්තුතිවන්ත වෙමි.
හුදෙක් එයා බස් ගනුදෙණුව පමණක් ම නොව, මිග් ගනුදෙණුව විමර්ශනය කළ නිලධාරීන් රජය ඉවත් කර තිබේ. එහි සේවය කළ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්තට අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා ද වූයේ ඔහුයි. පවිත්‍ර දයාරත්න, හෙළිදරව් නොවුණ එල්ටීටීඊ මූල්‍ය සම්පත් පිළිබඳ විමර්ශන භාරව ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ අපරාධ පරීක්ෂණ නිලධාරියෙකි. නිහාල් ෆ්‍රැන්සිස් මූල්‍ය වංචාවන් පිළිබඳ විදේශීය අධිකරණ ජාලයන්ගෙන් සාක්ෂි එක් රැස් කර ගෙන ආරක්ෂා කරගත් විශේෂඥයෙකි. මිග් ගනුදෙණුව සම්බන්ධයෙන් පමණක් වුව ද ඔහු එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ලැට්වියා, හොංකොං සහ සිංගප්පූරුවෙන් පවා සුරක්ෂිත ව තොරතුරු තබා ගත්තේ ය. වාර්තාගත දක්ෂතාවන් සහිත එවන් උසස් නිලධාරීන් කිලිනොච්චියට, රථවාහන ඒකකයට හෝ වෙනත් කිසියම් කොට්ඨාශයකට මාරුකර යවා රජය ලබන ප්රතිලාභ කවරේ ද?
මේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වෙනුවට ස්ථාන ගතකර ඇත්තේ කවුරුන් ද? ඔවුන් මීට පෙර, විනය පරීක්ෂණ හේතූන් මත තනතුරුවලින් ඉවත් කරනු ලැබූවන් ය. දැන් කෙරෙන අපරාධ පරීක්ෂණ කවරේ ද? නිදසුනක් වශයෙන් මම ස්විස් සිද්ධිය සඳහන් කරනු කැමැත්තෙමි. මූලික වශයෙන් මෙයට මැදිහත් වීමට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා තිබේ. ඔවුන්ගේ පරීක්ෂණය යොමුවී ඇත්තේ පදනම් විරහිත දේශපාලන මගඩියකට ය. ස්විස් තානාපති කාර්යාලයීය සේවිකාව සම්බන්ධයෙන් දැන් ඉදිරියට ගෙන තිබෙන්නේ එය වෘත්තිකයන් තිදෙනෙකු එක්ව ගොතන ලද කතාවක් කියායි. පරීක්ෂණ පිළිබඳ අපට ගැටළුවක් නැත. එහෙත්, අනෙකුත් වෘත්තිකයන් මෙයට මැදිහත් වන්නේ කෙසේ ද?
රජයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අවශ්‍ය වී තිබෙන්නේ, කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති ව, 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ හිටපු සංස්කාරකවරයකු සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ මාධ්‍යවේදිනියක වන දරීශා බැස්ටියන්, හිටපු අපරාධ පරීක්ෂණ අධ්යක්ෂ ශානි අබේසේකර සහ හිටපු ලේක්හවුස් සහ හිල්ටන් සභාපති මෙන් ම, එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිශාන්ත කුරේ එක් ව මෙම පැහැර ගැනීම කරන ලදැයි ගොතාගෙන යන කතාවක් අප ලවා විශ්වාස කරවීමට ය. කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති ව, දැනටමත් බිය ගැන්වීම් සහ තර්ජනයන්ට නතු නොවන ඔවුන්ට චෝදනා එල්ල කෙරෙමින් තිබේ. මේවා වහා අත්හිටවන්න. අපරාධ පරීක්ෂණයට මුවා වෙමින් ඔවුහු දරීශා බැස්ටියන් සහ ක්‍රිශාන්ත කුරේ අතර හුවමාරු වූ දුරකථන සංවාද හඹා යමින් සිටිති. ඔවුන් ඉතාමත් ගෞරවණීය ලෙස මාධ්‍යවේදී වෘත්තියෙහි නිරත වන්නවුන් ය. සත් මෙයයි. යථාර්ථය මෙයයි. දරීෂා බැස්ටියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පැවති සබඳතා සෙවීමට ඔවුහු දුරකථන සංවාද පරීක්ෂා කරති. ඇය සම්භාවනීය මාධ්‍යවේදිනියකි. ඔවුහු ඇය සමග කටයුතු කරන මාධ්‍යවේදීන්ගෙන් සහ නීතිඥයන්ගෙන් පවා ප්‍රශ්න කරති.
වෘත්තීය මාධ්යවේදනියකගේ දුරකථන සංවාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සල්ලාලයන් ලවා පරීක්ෂා කෙරෙන්නේ නම්, ඔවුනට වෘත්තියෙහි නියැලිය හැක්කේ කෙසේ ද? කිසියම් පුරවැසියෙකුගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම්, ඒ සඳහා ඔවුන් උසාවි නියෝගයක් ලබාගත යුතු ය. අප ජීවත් වන්නේ හමුදා රජයක් පවත්නා රටක නොවේ. මෙය පාර්ලිමේන්තුවේ වාර්තා ගතකර තබාගත යුතු ය. සැකපිට කිසිවෙකුත් විනාශ කළයුතු නොවේ. මෙය දේශපාලනික අත පෙවීමකි. දැන් දරීශා බැස්ටියන්ගේ ස්වාමි පුරුෂයාට ඔවුන් කර තිබෙන දෙය බලන්න. ඔහු විදේශ අමාත්‍යාංශයෙහි වෘත්තිය රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඔහුව ජිනීවා වලට පත් කර යැවුවේ දෙවසරකට ඉහත ය. දැන් ඔහුගේ බිරිඳට බලපෑම් කිරීමට අවශ්‍ය වී තිබෙන ඔවුන් කිසිදු තොරතුරක්, වාර්තාවක් නොමැති ව ඔහු වෙනුවට කෙනෙකු නම් කිරීමට අදහස් කරන බව ඔහුට සිහි ගන්වා තිබේ. එසේ කිරීමෙන් රජය ගිහාන් ඉන්ද්රගුප්තගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇත. පරිපාලන සේවා වෘත්තිකයෙකු වශයෙන් ඔහුගේ නීත්‍යානුකූල හිමිකම් අපහරණය කර තිබෙන අතර ම, ලෝකයේ කවර ගෞරවණීය නීතියකට වුව ද පදනම වූ මුලික කොන්දේසියකට ඔවුහු අවඥා කරමින් සිටිති. එය එජාපයේ හෝ පොහොට්ටුවේ ප්‍රතිපත්තියක් නොවේ. එනම්, කෙනෙකු කර නොමැති, වෙනත් කෙනෙකු කළ දෙයක් සම්බන්ධයෙන් අනෙකෙකුට දඬුවම් නොකළ යුතු ය. එය සේවයට කැපවූ පරිපාලන නිලධාරීන් කෙරෙහි රජයකින් බලාපොරොත්තු වන්නක් නොවන අතර, විය යුත්තේ අපරාධ අව ම කිරීම ය. බරපතළ ම අපරාධය නම් හිරිහැරයට පත් වූවන්ගේ පීඩාවට, ඔවුන්ගේ මිතුරන්ගේ ආරක්ෂාවට ඉදිරිපත් නොවී නිහඬව සිටීමයි.
පුවත්පත් අතිරේකයන් සහ කතුවැකි නොලියැවෙන සේ මාධ්‍ය හඬ යටපත් කර තබා ගැනීමට මාධ්‍යකරුවන් හඹා යාම කලක් පුරා ශ්‍රී ලංකාවෙහි තිබී ඇත. එහෙත් මම මාධ්‍යවේදීන්ගෙන් මෙසේ විමසීමට කැමතියි. මේ පිළිබඳ ව එකදු කතුවැකියක් හෝ නොලියා, බියෙන් සිටීමට කැමති වන ඔබට ප්‍රතිපත්තියක් නොමැති ද? එසේ නොමැති නම් ඔබ බියෙන් සිටින්නෙහි ද?
දේශපාලනික පත් කිරීම් සහ මාරුකිරීම්වල දී සේවයට කැප වූ නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට දැඩි ව නැගී සිටිය හැකි කාලයක් තිබුණි. තොරතුරක මූලාශ්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් ව මූලාශ්‍රයක තොරතුරු හෙළි නොකිරීමට තිබෙන මාධ්‍යවේදියාගේ අයිතිය ආරක්ෂා කර දිය හැකි වූ අවධියක් පසු කළ ඔබ, අද සිදුවන දේවල් ගැන සැළකිළිමත් නොවන්නේ ඇයි ද? යි නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් විමසීමට මම කැමැත්තෙමි.
සැකකරුවෙකු හඹා යාම පිළිබඳ මුල් ම ශ්‍රී ලාංකික සාර්ථක අපරාධ විමර්ශනය වූ මිග් ගනුදෙණුවේ විමර්ශනයන්හි නියැලිව සිටිය දී මාරු කර යවා තිබෙන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් වීමට සිදුවීම කෙතරම් හාස්‍ය ජනක ද?
මී ළඟ ඉලක්කය වනු ඇත්තේ උදයංග වීරතුංගට නිදහස ලබා ගැනීම සහ රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් විය හැකි යයි බියක් පවතියි. බරපතළ පීඩනයකට හසු ව සිටින මහේස්ත්‍රාත් රංග දිසානායක මෙන් ම නීතිපති දප්පුල ද ලිවේරා බලපෑම්වලට හසුවීම වැළැක්වීමට නිරවද්‍යතාව වෙනුවෙන් පෙනී සිටින සියළු පාර්ශවයන් සමග පාර්ලිමේන්තුවත්, සියළු වෘත්තිකයනුත්, ව්‍යවස්ථා සභාව, සහ සාමාන්‍ය සමාජයත් අවංක ව, සාමූහික ව, වෘත්තීය ගරුත්වයෙන් එකට අත්වැල් බැඳගත යුතු ව තිබේ. සමහර විට, මහේස්ත්රාත්වරයාට ස්ථාන මාරුවක් හෝ උසස්වීමක් වුව ද සූදානම් වියහැකි ය. ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් ප්‍රථම ඥාති සොහොයුරා වන උදයංග වීරතුංගට හිමිවන දේ ඉතාමත් රහසිගත ව විය හැකි ය.
මුලින් ම උදයංග වීරතුංග සමග සිටි රහස් පොලිසිය ඔහුව රිමාන්ඩ් නොකර සිටීමට වෙර දරා තිබේ. ඔහුගේ රාජකීය ලේ උරුමය නොතැකූයේ රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා පමණක් වන අතර, චමල් රාජපක්ෂ ඇමතිවරයා පවසා තිබුණේ පොලිස් නිලධාරීන්ගේ අතපසුවීම් පිළිබඳ ව සොයා බලන බව ය. සිය රාජකාරි ගරුත්වයකින් යුතු ව කළ හැකි වන පරිදි වෙනත් වෘත්තිකයන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් අප නැගී සිටිය යුතු ව තිබේ. ශානි අබේසේකර, නිහාල් ෆ්‍රැන්සිස් වැන්නවුන් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත් වියයුතු ය. දරීශා බැස්ටියන් වැනි මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍යවේදීන් හඬ නැගිය යුතු ය. විදේශ සේවා වෘත්තිකයන් එක්සත් ව ගිහාන් ඉන්ද්‍රගුප්ත වැන්නවුන් වෙනුවෙනුත්, සෙසු වෘත්තිකයන් රැක ගැනීම සඳහා ඒ ඒ වෘත්තිකයනුත් අද අවදියෙන් සිටිය යුතු ය. ක්‍රිශාන්ත කුරේ සේවයට කැප වූ දක්ෂ සේවකයෙකි. මේ රටට ආදරය කරන ඔහු රට වෙනුවෙන් විශාල කැපකිරීම් කළ අයෙකි. අනීතික හෝ සදාචාරාත්මක කිසිවක් කිරීමේ අවශ්‍යතාවයක් ඔහුට නොමැති බවට ඔහු ව හොඳින් දන්නා කවරෙකු වුව ද මා සමග එකඟ වනු ඇත.
කවර පාක්ෂිකයෙකු වුව ද, රටක් වශයෙන් ක්‍රිශාන්ත වැන්නවුන් ආරක්ෂා කිරීමේ වගකීමක් අපට තිබේ. අප බලයට ආ අවස්ථාවෙහි කිසි විටෙකත් වෘත්තිකයන්ට හෝ සුසන්ත රත්නායක හෝ අශෝක පතිරගේ වැනි ව්‍යාපාරිකයන්ට මඩ ගැසීමට මෝඩයන් උසිගැන්වූයේ නැත. අවසන් වශයෙන්, තම තමන්ගේ තනතුරු වෘත්තිකයන් වශයෙන් ම මෙහෙයවන ලෙස උසස් තනතුරු හොබවන වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටීමටත්, දේශපාලනික පාක්ෂික භාවයන් නොතකා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටින ලෙස සෙසු හැම දෙනාගෙන්මත් ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි. අප එසේ නොකළහොත් වැදගත් වෘත්තිකයන් රටහැර යාම ඉදිරියටත් පවතිනු ඇති අතර, කලක් යන විට අපට දැකිය හැකි වනු ඇත්තේ මේ රටත් රටේ වැදගත් ආයතනත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පුද්ගලයන් අහිමි වී තිබෙනු ඇති බව යි."
(2020.පෙබ.21. පාර්ලිමේන්තුවේදී)
සිංහල පරිවර්තනය; කුඩගම්මන සීලරතන හිමි
එරාන් ඉංග්‍රීසි බසින් කළ කතාව මෙතැන ක්ලික් කර අසන්න
---------------------------
by (2020-02-22 13:55:36)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි