~

සයින්දමරුදු තහනමෙන් නැවතත් හෙළිවන ආණ්ඩුවේ නිර්ලජ්ජිත අවස්ථාවාදය..!

නීතිඥ දුලාන් දසනායක ලියයි

(ලංකා ඊ නිව්ස් -2020.පෙබ.21, ප.ව.12.05) පසුගිය දිනක සියලු දෙනාම පුදුමයට පත් කරමින් වත්මන් ආණ්ඩුව සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් වශයෙන් වෙන් කර එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරන ලදී. මේ තීරණය ගත්තේ දෙමළ බසින් ජාතික ගීය ගැයීම නිදහස් උත්සවයේදී සිදු කිරීම වැළැක්වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යවරයාම වීමද විශේෂයකි. ඇත්ත වශයෙන්ම මෙම අමාත්‍යවරුන් ජාතික වශයෙන් වැදගත්වන මෙම තීරණයන් ගනු ලබන්නේ ආණ්ඩුවේ ඉහළ නායකයන්ගේ අවශ්‍යතාවය හා අදහස අනුව බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසකි. ජාතික ගීය වගේම සයින්දමරුදු සම්බන්ධයෙන්ද ඔවුන් තීරණ ගත්තේ ද ඔවුන්ගේ අදහසක් අනුව නොව ආණ්ඩුවේ ඉහළම දේශපාලන බලධාරීන් දෙදෙනාගෙන් අයෙකුගේ අදහසකට අනුවයි. දැනට අපට පෙනෙන්ට ඇත්තේ ආණ්ඩුවට සිටින්නේ ඉහල බලධාරීන් දෙදෙනෙකු වුවත් මහා මැතිවරණයෙන් පසු බැසිල් රාජපක්ෂ නම් නව සන්ධානයේ ලේකම් වරයාද සමග එම ප්‍රමාණය තුනක් දක්වා ඉහළ යා හැක. නැවතත් සයින්දමරුදු නගර සභාව තහනම් කරන්නේත් මෙම ඉහළ බලධාරීන්ගේ අදහස අනුවය. පත් කරන ලද්දන් අස් කිරීමේ සිට ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීම් නැවත අවලංගු කිරීම්  දක්වා ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ගේ තීරණ අතර ඝට්ටනයන් හටගෙන ඇති බව පෙනේ.

අවස්ථාවාදී මැතිවරණ පොරොන්දු: සිංහලයන්ට එකක් මුස්ලිමුන්ට තව එකක්..

වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු ජනාධිපතිවරණ කාල සීමාවට එහා ගිය එකකි. එය වසර හතරක සිට ඉතා දියුණු ප්‍රචාරක ව්‍යාපෘතියක් සමග ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයන්හි උපරිම සහයෝගයෙන් ඉදිරියට පැමිණි පොරොන්දු ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැක. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන්ම ඉලක්කගත වූයේ සිංහල ජනතාව වෙතය. අවසානයේ මෙම ව්‍යාපෘතිය සිංහලයන්ගේ ආණ්ඩුවක් අවශ්‍යය යන තැන දක්වා ඉදිරියට පැමිණුුුුනි. මුස්ලිම් ඡන්ද හා දෙමළ ඡන්ද එවකට පැවති ආණ්ඩුව විසින් බොහෝ සෙයින් රඳවා ගෙන ඇති තත්වයක් තුළ සිංහල ජාතිය කුලප්පු කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට තිබිණ. සිංහල ජාතිය තුළ ස්වෝත්තමවාදය වැඩිපුරම වැපිරූ දේශපාලන ව්‍යාපෘතිය මෙය ලෙස හැඳින්විය හැක. අනෙක් ජාතීන් පිළිබඳ අනියත බියක් සිංහලයන් තුළ ඇති කිරීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකි විය.

පාස්කු ප්‍රහාරය මෙම තත්වය තව තවත් හොඳින් කරගෙන යාමට ඔවුහු අවශ්‍ය වටපිටාව නිර්මාණය කළහ. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන්ට අහිමි වී ගිය කතෝලික ඡන්ද ලබා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් විය. කාදිනල් තුමා ද ඒ සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව අවශ්‍ය අනුග්‍රහය සැපයීය. සමස්ථ සිංහල ඡන්ද වලින් 75%ක් පමණ ඔවුනට ලබා ගැනීමට හැකි වූයේ මෙම ව්‍යාපෘතිය හරහාය.

එනමුත් මුස්ලිම් ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම වළක්වා ගැනීමටත්, එම දේශපාලන ව්‍යාපෘතියටම අවශ්‍ය විය. ඒ අනුව නැගෙනහිරදී බැසිල් රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයා සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත් කරන බවට පොරොන්දුවක් සයින්දමරුදු වැසියන්ට ලබා දුනි. ඒ අතරවාරයේ හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අපේක්ෂකයකු කරමින් මුස්ලිම් ඡන්ද යම් පමණකට හෝ කඩා ගැනීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක විය. මහනුවරදී මහින්දානන්ද වත්මන් ඇමතිවරයා පොරොන්දු වූයේ මුස්ලිම් පාසලක් ඇති කරන බවටයි.

මේ ආකාරයට සිංහලයන් තුළ බරපතළ මුස්ලිම් විරෝධයක් ඇති කරමින් සිංහල ජාතිවාදය ඉස්මතු කරවා සිංහලයන්ගේ ආරක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අබිසෙස් නැංවීම සමග මුස්ලිම් ඡන්ද රැක ගැනීමේ වෑයමත් තිබුණි. මෙම දෙකම අන්ත අවස්ථාවාදී එක් දේශපාලන ව්‍යාපෘතියක කොටස් දෙකකි.

ගෝඨාභයගේ වැඩි ඡන්ද හෙල්ලෙන බව දැනීම..

මහින්ද රාජපක්ෂ මහතා ඉහළ දේශපාලන අත්දැකීම් ඇත්තෙකි. ජනාධිපති වනතෙක්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ දේශපාලනය සැලසුම් කළ බැසිල් රාජපක්ෂට ද එවැනි අත්දැකීම් ඇත. ඔවුන් දෙන්නාම දන්නා යථාර්තය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශාල වැඩිඡන්ද ප්‍රමාණයකින් ජනාධීපතිවරණය ජය ගත්ත ද මැද පන්තියෙන් හා තරුණයන්ගෙන් ලැබුණු ඡන්ද ඉක්මනින්ම වෙනස් වන බවයි. එකී වෙනසට සාපේක්ෂව සුළු ජාතික ඡන්ද දිනා ගැනීමේ වැඩසටහනක් ඔවුන්ට අවශ්‍ය ය.

මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී.ල.නි.ප යට යම් සුළු ජාතික ඡන්ද පදනමක් ඇති බව ඔවුහු දනිති. පළාත් පාලන මැතිවරණයේදී ඔවුහු එය වටහා ගත්හ. මෛත්‍රීපාල ඔවුන්ගේ නව සන්ධානයට ඇතුල් කර ගෙන බලයක් නැති තනතුරක් දීමට එයද හේතුවකි.

සයින්දමරුදු නගර සභාව පිහිටුවීම ද මුස්ලිම් ඡන්ද දිනා ගැනීම වෙනුවෙන් සිදු කරන ලද කටයුත්තකි. කොයි හැටි වෙතත් මුස්ලිම් ජනයාගේ ඉල්ලීමක් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම වැදගත්ය.

ආණ්ඩුව මුස්ලිම් ඡන්ද වෙනුවෙන් කටයුතු කිරීමට ප්‍රධාන හේතුව ඉහත කී මැද පන්තියේ හා තරුණ ඡන්ද හෙල්ලෙන බව දන්නා නිසාය.

සයින්දමරුදු..

සයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ගැසට් කිරීමෙන් සියලු දෙනාම පුදුමයට පත් වූහ. විශේෂයෙන් අපට නොපෙන්නුවාට ආණ්ඩුවේ සිංහල ස්වෝත්තමවාදීන්ද මින් පුදුමයටත් කලබලයටත් පත් වූහ. මෙයට එරෙහිව ප්‍රකාශයක් කළේ ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය වසන්ත බන්ඩාර පමණි. අතුරලියේ රතන හිමි කරළියට එන්නේ ගැසට් නිවේදනය අවලංගු කළ පසු කල් යල් බලාය. පසුගිය ආණ්ඩු සමයේත් ඊට පෙරත් වඳ කොත්තුවෙන් පටන්ගෙන මුස්ලිමුන්ට එරෙහිව සිංහලයා තුළ වෛරය වැපිරූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ සම්බන්ධයෙන් කළබල විය යුතු නැති බවත් මුස්ලිම් ජනයාගේ මෙම ඉල්ලීම සාධාරණ බවත් පැවසුවේ සියල්ලන්ම පුදුමයට පත් කරමිනි.

ආණ්ඩුවේ මෙම තීරණයෙන් වඩාත් පුදුමයට පත් වුනේ මුස්ලිම් ජනයාය. සිංහල මූලික ආණ්ඩුවකින් මේ දක්වා කිසිදු ආණ්ඩුවක් සවන් නොදුන් මුස්ලිම් ජනයාගේ ඉල්ලීමක් ඉටු කිරීම ඔවුන්ට සතුට ගෙන දෙන්නක් විය. සයින්දමරුදු වැසියන් ඉන් වඩාත් ප්‍රීතිවන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය විය. ආණ්ඩුවේ මෙම තීරණය ඇත්ත වශයෙන්ම ඔවුන් පිළිබඳ යහපත් ආකල්පයක් ජනනය කරන්නක් විය. දේශපාලනිකවත් මෙම තීරණය වැදගත් එකකි. සුළු ජන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ ද ප්‍රසංසාව ආණ්ඩුවට හිමි වීමට මෙම තීරණය හේතු විය.

සයින්දමරුදු තීරණය ආපස්සට..

නමුත් ආණ්ඩුව සයින්දමරුදු නගර සභාවක් කිරීමේ තීරණය ආපස්සට හැරවීමට පසුගිය කැබිනට් මණ්ඩලයේදී තීරණය ‌කෙළේය.  සයින්දමරුදු නගර සභාවක් කළා කියා බැලූ බැල්මට අතිවිශාල විරෝධයක් ආණ්ඩුවට එල්ල වූයේ නැත. සයින්දමරුදු නගර සභාවක් කිරීම ආණ්ඩුව බලයට පත් වීම වෙනුවෙන් ඔවුන් විසින්ම ගොඩනැගූ අන්ත අවස්ථාවාදී ඉහත කී සිංහල මූලික ව්‍යාපෘතියට ප්‍රතිපක්ෂ විය. ඔවුන් ගොඩ නැගූ සිංහල ස්වෝත්තමවාදී මතවාදයට බලය වෙනුවෙන් අවස්ථාවාදී ලෙස මුස්ලිම් ජනයා දිනා ගැනීම උදෙසා සිදු කළ ක්‍රියාව පවා ඔරොත්තු නොදේ. සයින්දමරුදු තීරණය ආපස්සට හැරවීමෙන් පෙනෙන්නේ එයයි. ආණ්ඩුවේ අවස්ථාවාදී සිංහල ස්වෝත්තමවාදී ප්‍රචාරක ව්‍යාපෘතිය දේශපාලන බලය වෙනුවෙන් වූ ඔවුන්ගේම ක්‍රියාවන්ටද හරස් වෙමින් තිබේ.

මෙහි වැදගත්ම දෙය නම් සිංහල ජනයා අතරින් බරපතළ විරෝධයක් මේ සම්බන්ධයෙන් එල්ල නොවෙද්දී ආණ්ඩුව මෙම තීරණය හකුලා ගැනීමයි. ඒ ඇයි? අපට නොපෙනුනද ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂ මහතාටත් පාලනය කර ගත හැකි ජාතිවාදී අවස්ථාවාදයක් ක්‍රියාත්මක වන බව ඉන් පෙනේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අවනත වන්නේ මෙම අවස්ථාවාදයටය.

කොහොමත් ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ලැබුණු සිංහල ඡන්ද ඒ සඳහා වූ සිංහල ස්වෝත්තමවාදී මතය ඉදිරියට ගෙන යමින් රැක ගැනීම මුස්ලිම් ඡන්ද එකතු කිරීමට වඩා පහසු යැයි රාජපක්ෂ මහත්තුරු සිතති.

දේශපාලන අවස්ථාවාදයන්ට අවනත වන ආණ්ඩුවකට ප්‍රබුද්ධ රටක් ගොඩ නැගිය හැකිද?

-නීතිඥ දුලාන් දසනායක-

(ස්තූතිය අයිතියට)

---------------------------
by     (2020-02-21 06:49:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links