~

සීඅයිඩිය රාජිතගේ මාධ්‍ය ලේකම්ගේ නිවස වටලයි..!

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.15, ප.ව.6.10) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊ‌යේ(14) හිටපු අමාත්‍ය රජිත සේනාරත්නගේ හිටපු මාධ්‍ය ලේකම් මලිත් විජේනායකගේ නිවස වටලා තිබේ. වැටලීම සිදු කරන විට විජේනායක නිවසේ  සිට නැත.

විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගත් බව කියමින් රහස් පොලිසිය පැයකට අධික කාලයක් නිවස පරීක්ෂා කර තිබේ. සීඅයිඩී කණ්ඩායම ‌සෙවූ දේ සොයා ගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා  විජේනායකගේ ලැප්ටොප් පරිගණකය සහ මෘදුකාංග රැගෙන ගොස් ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු වූ සුදු වෑන් පැහැරගැනීම් සහ මෑතකදී කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි ශ්‍රී ලාංකික නිලධාරිනිය පැහැරගෙන යාම පිළිබඳව හෙළිදරව් කරමින් හිටපු අමාත්‍ය සේනරත්න මහතා විසින් පවත්වන ලද මාධ්‍ය සම්මන්ත්‍රණ පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට සීඅයිඩී අදහස් කළ බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ අහිතකර මාධ්‍ය වාර්තා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලීසිය උත්සාහ කර ඇති බව ද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු ‌මෙන්ම නීතිඥයෙකුද වන මලිත් විජේනායක ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වලට ‌ගෝඨාභයට එරෙහිව  ‌තොරතුරු ලබා දී ඇතැයි සැක කරමින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසියට කැඳවනු ලැබ තිබිණ. නමුත් ඔහු රහස් පොලිසියේ පෙනී සිටීම මග හැර තිබේ.

මලිත් විජේනායක රාජිත ඇමැතිවරයාගේ මාධ්‍ය ‌ලේකම්වරයෙකු ‌ලෙස රාජකාරි කිරීමට ‌‌පෙර හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ‌ලේකම් වරයෙකු ‌ලෙස ද කණිෂ්ඨ නීතිඥයෙකු ‌ලෙස ද රාජකාරි කර ඇත. විජේදාසගෙන් ඔහු ඉවත් වීම පිළිබඳ වි‌ජේදාස ද ඔහු සමග ‌වෛරයෙන් පසුවන්නෙකි. විජේදාස දැන් ‌ගෝඨාභයගේ නිල ‌නොවන උපදේශකයෙකු ‌ලෙස ක්‍රියා කරයි.  

මීට වසර කිහිපයකට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයකට මලිත් විජේනායක සිරිසේන ජනාධිපතිගේ දූත පිරිසේ සාමාජිකයෙකු ‌ලෙස සහභාගී වී ආපසු එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  රහස් ‌පොලිස් ප්‍රශ්න කිරීමට ලක් ‌කෙරිණ   ඒ ජනාධිපති සිරිසේන සහ ඔහුගේ පවුලේ අය ඩුබායි ගුවන්තොටුපොලේ සිටින ‌සේයාරුවක් ලංකා ඊ නිව්ස්හි පළ වීම සම්බන්ධයෙන් එකී ‌සේයාරුව මලිත් විජේනායක විසින් ලංකා ඊ නිව්ස් ‌වෙත ලබා දුන්නා යැයි සැක කළ නිසා ය. එහෙත් එවැන්නක් ඔහු සිදුකර තිබුනේ නැති බව ප්‍රශ්න කිරීමේ දී ‌හෙළි විය. 

මේ අතර ඡන්ද කාලයේ දී රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් පැහැරගැනීමක් සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා සීඅයිඩිය මගින් ‌පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ‌ගෙන තිබිණ. එලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු නම් ‌දෙදෙනෙකි. 

---------------------------
by     (2019-12-15 12:52:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links