~

රාජපක‍්ෂලා රකිමින් රට යලි ඒකාධිපතිත්වයකට ඇද දැමීමට රනිල් වගකිව යුතුයි..! ප්‍රධාන පක‍්ෂ දෙකකම බලය රාජපක‍්ෂලාට හිමිවිය යුතු නැත..!

ගානි වාසුහේවා ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.12, ප.ව.8.45) වසර 25 ක් එකදිගට එකම පක‍්ෂයක කිසිදු ප්‍රගතියක් නොපෙන්වමින් නායකයෙක් ලෙස පැලපදියං වී සිටීම පුද්ගලයෙකුට ලැජ්ජාවක් නොවුන ද පාක‍්ෂිකයන්ට පමණක් ‌නොව ශිෂ්ඨාචාර මිනිසුන්ට ද වස විලි ලැජ්ජාවකි. රනිල් යනු දැන් සත්‍ය ලෙසටම කල් පිනූ භාණ්ඩයකි. මිල කළ නොහැකි භාණ්ඩයකි. ‌පොඩි ‌කෞතුක වටිනාකමක් තිබෙනවා විය හැකිය. ඒත් එය හැමෝටම ‌නොවේ. ආතා විට ‌කෙටූ වං‌ගෙඩිය මුණුපුරෙකුට වටිනවා වුවත් රට්ටුන්ට තවත් වං‌ගෙඩියක් පමණි.  

කාරියක් නැත. ඔහු ඔහුගේ කාරිය ඉටුකරනවානම්. එය ද මහ හැරෙමින් පවතිනුයේ සමාව දිය නොහැකි තරමේ බරපතල ආකාරයටය.  හිතුවක්කාර සහ අත්තනෝමතික ‌ලෙස රාජ්‍ය දේපළ රිසි සේ තම පවුලේ සහ සමීපතමයන් භුක්ති විඳිමින් ගෙන ගිය රාජපක්ෂලාගේ මජර රාජ්‍ය පාලනය තොලොංජිකර යහපාලනයක් බිහිකර එහි ප්‍රධාන භූමිකාව පිරිනැමුවේ රනිල්ට ය. නැතුව ඇහින්දාස් අනාතයෙක් වන සිරිසේනට නොවේ. මන්ද යත් දින 100 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන මිනිහාගෙන් රටක් හැදීම බලාපොරොත්තු වූයේ නැත. එය බලාපොරොත්තු වුනේ අගමැතිගෙනි.  ‌සිරිසේන දඩාවතේ ගියා නම් එහි වගකීමත් දැරිය යුත්තේ රනිල් ය.

ජයග්‍රහණයකින් පසු උද්ධච්ඡ වෙන රනිල්.. 

ප්‍රේමදාස මිය යාමෙන් පසු ලොතරැයි ජයක් සේ පක‍්ෂ නායකත්වයට පත්ව වසර 26 කි. එයින් වසර 19 ක්ම විපක‍්ෂ නායකකමේය. අගමැති තනතුර දරා ඇත්තේ වසර 7 ක් පමණි. ඒ කිසිදු අවස්ථාවක අගමැති තනතුරට නියමිත කාලය ගෙවා ගැනීමට නොහැකි වී ඇත. පක‍්ෂය බලයට පත් අවස්ථාවල පවා එම බලය ලබාගෙන ඇත්තේ තම බලපරාක්‍රමයෙන් ද නොවේ. 2001 බලයට පත්වූයේ චන්ද්‍රිකාගෙන් කඩාගෙන පැමිණි කණ්ඩායම  නිසා ය. රනිල් හැමදාම බලයට පත්වූයේ අනෙකාගේ ඩා දිය මහන්සියෙනි. දහිරියෙනි. තමාගේ කිසි ශක්තියක් විදහා නැත. නමුදු ඔහු ජයග්‍රහණයෙන් පසු හැසිරෙනුයේ තමන්ගේ ගජමිතුරු සමරිසි කැළ සමගිනි. කිසි ඡන්ද පදනමක් තියා ඡන්ද දහයක් ලැබිය නොහැකි පුද්ගලයන් ඉහළ තැන්වලට පත්කරගෙන දර දිය ඇදි පහළ පුද්ගලයන් තඹයකට මායිම් නොකර නොසලකා හරිනු ලබයි. ඔවුන්ට කොටන් ඇදීමට එහා දෙයක් ලැබී නැත. ප්‍රථමයෙන් අගමැති වී දිනේෂ් දොඩංගොඩ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමත්, මෙවර ආශු මාරසිංහ ගැනීමත් පමණක් උදාහරණයන්ය. අරගලයේ දී ඔවුන් කොහේ සිටි උන්දැයි රනිල්ම දන්නවා මිස කොටන් ඇදි උන් අදවත් දන්නේ නැත. 

වෙනත් පක‍්ෂවල නායකයන් මූන ඉච්ඡාවට හෝ තම පහළ මංත්‍රීවරුන් සංවිධායකයන් ඇසුරු කළ ද රනිල් එ‌හෙමවත් නැත. අරහං ය. නිතර ටයි ගැටයට හිරකරගත් හිස උදුම්මාගෙන සිටිනවා මිසක තමන් ඉදිරියට එන සගයන් ගැන පවා හෝ තැකීමක් හැඟීමක් නැත. බලය ලැබුන පසු එය තම පෞද්ගලික බූදලයක් ලෙස උද්දච්ඡකමින් පෙළෙනවා මිස ඉන් ඉදිරියක් ගැන අංශුමාත්‍රයක හැඟීමක් හෝ වුවමනාවක් නැත. තමා බලයට පත් කළ බලවේග කව්දැයි බලය ලැබුණු පසු ඔහු හඳුනන්නේ නැත. හොඳම උදාහරණය ලංකා ඊ නිව්ස්ට කළ දේය. රාජපක්ෂලා තහනම් කළ එය අද ද තහනම් ය. රනිල් නිහඬ ය. 

සගයන් පක්ෂය හැර යෑම..  

රනිල් තමාගේ පක‍්ෂ නායකත්ව වසර 25 තුළ නිර්ලෝභීව සිදුකර ඇත්තේ පක‍්ෂය තුළ ගොඩනැගුණු චරිතවලට වෙනත් පක‍්ෂවලට යාමට මග සලසා දීම ය. ඔවුන් සමස්ථ දේශපාලූවන් සේ දූෂිත විය හැකිය. නමුදු තම පක‍්ෂය තුළ සිටිය යුතු පිරිස් කාලයෙන් කාලයට පක‍්ෂය හැරදා යන තැනට පත්කිරීම කළ යුතුද යන්න විමසිය යුතුය. ගම් මට්ටමේ ජනයා සමග සහසම්බන්ධයක් කිසිවිට පවත්වාගෙන නොයන රනිල් කොළඹ ආශ්‍රිත සුපිිරි සමාජය තුළ පමණක් විරාජමානව සිටීම ඔහුට වාසියක් ද නොදන්නා නමුත් පක‍්ෂයට ඉන් ලැබන ජීවයක් හෝ ප්‍රගතියක් නැත. මොහුගේ පෙර ගමන් කරුවන් වූ ජේ. ආර්., ආර්. ප්‍රේමදාස ගාමිණී දිසානායක ආදීන්ගෙන් උගත් දෙයක් නැතුවා සේ ය.

ගමේ මිනිහාගේ ඊ-යේ සහ රනිල්ගේ ඊ-මේල්..

රනිල් මැතිවරණවලදී හැසිරෙන ආකාරය ද ඉතා ජුගුප්සාජනකය. එක්කෝ ග්‍රාමීය දේශපාලනය නොදන්නවා ය. නැතිනම් එය විහිළුවට ගෙන හැසිරෙනවා ය. මන්ද මොහු, දහසක් ප්‍රශ්නවලට මැදිව පිළියම් සොයන මෙරට ජනයාට විශේෂයෙන් තරුණ කොටස්වලට වරක් බ්‍රේස්ලට් මාල වළලූ දීමට කථා කීවේය. තවත් වරක පුංචි කාර් දීමට කථා කීවේය. ඊළඟට වයිෆයි දීමටත්, පසුගියදා ඩිජිටල් දීමක්ද කථා කීවේය. එකක් බැරිවෙන කොට ඊළඟ එක ගැන පරිස්සම් වීමක් ද නැත. ඔහුගේ පංතියේ සමහරු ගම්බද ජනයාට පැවසුවේ ඔබේ ඕනෑම ගැටළුවක් තමන්ට ඊ-මේල් කරන ලෙසය. ඊ-යේ ගැන හැර ඊ-මේල් ගැන හසරක් නොදන්නා ග්‍රාමීය ජනයා මේ තරමින් හෝ එජාපය තුළ රැඳී සිටීම ආශ්චර්යයක් ම විය යුතුය.

ජනාධිපතිකම බද්දට දී දිනුවාම ලැබෙන ඇස්සට නියවාගෙන හිඳීම.. 

තමන් මෙරට ප්‍රධාන පක‍ෂ දෙකෙන් එකක නායකයා ලෙස මැතිවරණයකට ඉදිරිපත්වීමට තරම් හැකියාවක් ගොඩනගා ගැනීමට නොහැකිවීම ලැජ්ජාවක් බව වත් රනිල් නොදනී. මැතිවරණ 3 කටම තමන් වෙනුවෙන් සුංගෙක් ඉදිරිපත් කිරීමට සිදුවූයේ එබැවිනි. රටේ ජනයාගේ විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකිවීම ඊට හේතුවයි. එනිසා පක‍්ෂයේ නායකකම තුරුළු කරගෙන අපේක‍්ෂකත්වය ඉදිරියේ වෙස්සන්තර වීමට සිදුව ඇත. නැතිනම් බදුදීමක්ද වේ. එක අතකින් සජිත් ඒ අතින් රනිල්ට වඩා ඉදිරිගාමී ය. ටයි කෝට් තුළට වී සිටින සමාජයක විවේකීව සිටිනවා මිසක ජනයාගේ ගඳ සුවඳ වෙත නොඒම රනිල්ගේ පරම්පරාගත පුරුද්දක් වී ඇත. අනික් හේතුව රාජපක‍්ෂලාට අනුගත ව ඒ උපදෙස් මත වැඩ කිරීමදැයි නොදනී. ජනාධිපතිකම බද්දට දී දිනුවාම ලැබෙන ඇස්සට නියවාගෙන සිටීම කරනුයේ ද ලැජ්ජාවකින් තොරවය. මොහුගේ නොගැලපෙන මෙන්ම කිසි ඉදිරිගමනක් නොමැති හද්ද දියාරු ක්‍රියාදාමය නිසා වරින්වර පක‍්ෂයට එක්වන ක්‍රියාකාරීන් ඊට වඩා වේගයෙන් පක‍්ෂය හැරයමින් ඇත. එය අතීතයට මෙන්ම වත්මනට ද වලංගුය.

දූෂිතයන්ට රැකවරණය දුන් රනිල්.. 

යහපාලන රජය බිහිවුනේම පහුගිය දූෂිත පාලනයේ අකටයුතුකම් අසාධාරණකම් හොරමැරකම් නිවැරදි කිරීමටය. ඔවුන් කළ හොරමැරකම් හෙළිකර අලාභය පවා අයකරගෙන එම හොර වංචාකරුවන්ට දඬුවම් පැමිණවීමට ය. මින් ඉදිරියේ කා අතින් හෝ එවැනි වැරදි සිදුවීම වැලැක්වීමට ය. නමුදු ඒ කිසිවක් නිසිලෙස නිසිකල ඉටුවුනේ නැත. අතටම හසුවුන දූෂිතයන්ට පවා රැකවණය දුන්නේ රනිල් බවට සාක‍්ෂි සහිත මතයන් ජනගත විය. ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයකින් ගුවන්ගත වීමට ගොස් අතටම හසවූ දේශපාලන අඳබාල වීරවංස එයින් මුදාගෙන මහ රෑම නව බලපත්‍රයක් ලබාදී සුදනෙක් ලෙස රටින් පිට කළේ රනිල්ය. වරක් ගම්මන්පිල මාධ්‍යයට ප්‍රකාශකළේ වීරවංසගේ ඉල්ලීම මත සිද්ධිය වූ වහාම තමා දිනේෂ් සමග රනිල් හමුවීමට ගොස් ගැටළුව නිරාකරණය කරගත් බවය. අතටම හසුවූ රාජපක‍්ෂලා පමණක් නොව ඔවුන්ගේ ආවතේව බල්ලන් බළලූන්ට පවා ලැබුනේ අභයදානය ය. 

සිරිලිය ගිණුමේ රටම දන්නා හැඳුනුම් පත් වංචාව ගැන ශිරන්තිගෙන් ප්‍රකාශයක් ගැනීම පවා වලකාලූයේ රනිල්ය. යහපාලනය කාලය තුළම කිසිදු පුද්ගලයෙකු ගේ කිසිම චෝදනාවකට දඩුවම් හිමිවූයේ නැත. ඉදිරිපත් කල නඩු අතලොස්ස පවා ඉදිරිපත් වූයේ දෝෂ සහිතව නඩු විසිවන ආකාරයෙන්ය. ජනයා වපරැසින් බැලූයේ විනිසුරන් දෙසය. 

අනාථ සිරාගේ වැරදි දෝතින් ගෙන හිස මත තබා ගත් රනිල්..

ජනාධිපති ලෙස සිරිසේනත් අගමැති ලෙස රනිලූත් ඔවුන්ගේ අධිකරණ ඇමති ලෙස විජේදාසත් පරිපාලන ඇමති ලෙස වජිරත්, මාරපනත්, සාගලත් එක පෙළට කළේ රාජපක‍්ෂ රජයේ දූෂිතයන් ආදරයෙන් රැකබලා ගැනීමය. ඒවායේ ප්‍රතිලාභ එදා මෙන් ම හෙටටත් ආයෝජනයන් ලෙසින් මොවුන්ට ලැබෙන බව සහතිකය. අන්ත දූෂිතයන් විජේදාසලා මාරපනලා සාගලලා වජිරලා රැක්කේ රනිල්ගේ ආශිර්වාදය මත නොවේ යයි ළදරුවෙක් පවා නොසිතනු ඇත. ඒ සැම අවස්ථාවකම රනිල් සිටියේ ඔවුන් සමග යහන් ගතවය. 
 
ආතක් පාතක් නැති අනාථ සිරා සිදුකළ බොහෝ වැරදි ද රනිල් දෝතින් ගෙන හිසමත තබාගත් සෙයක් ද රට්ටුන්ට දැනුනි. ආරක්ෂක මංඩලයට තමා නොකැඳවීම පවා වසන්කර ගෙන සිටීමේ භයානක ප්‍රතිඵලය භුක්ති වින්දේ මුළුමහත් රටය. එහි තීරණාත්මක ප්‍රතිඵලයක් වූ පාස්කු ප්‍රහාරය පසුව එක්සත්  ජාතික පක‍්ෂයට කළේ බරපතල හානියකි. 

අවසන ‘මිස්ටර් ක්ලීන්’ රටේ ප්‍රමුඛම වංචාකරුවා බවට පත්විය...

රටේ ජනයා පෙළ ගස්වා මෙරට වීරෝධාර සමිති සමාගම් මාධ්‍යය පුරවැසි සංවිධාන වෙනත් පක‍්ෂ නායකයන් සහ සාමාජිකයන් රාජපක‍්ෂලාගෙන් මේ රට බේරාගෙන යහපාලනයක් ගෙනයාමට භාරදුන්නේ රනිල්-සිරිසේන බානටය. මේ බාන ඉස්පාසුවක් නැතිව කලේ ඉහගෙන කෑමය. ඒ සියල්ල එසේ වෙද්දී එජාපයත් තමනුත් රටත් ජනයාත් මහා ප්‍රපාතයකට ඇද හෙලමින් රනිල් කළේ මහ බැංකු බැඳුම්කර වංචාවකට පැටලීමයි. තම ගජයා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ආනයනය කර සියල්ලන්ගේම දැඩි විරෝධය මැද මහබැංකුවට රිංගවා කළ සන්තෑසිය එජාපයට මළගමක් විය. සිද්ධිය හෙළි වීමෙන් පසුවත් ගජමිතුරා අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනීමට රනිල් ගත් වෙහෙස රටට රහසක් නොවීය.  අවසන ‘මිස්ටර් ක්ලීන්’ රටේ ප්‍රමුඛම වංචාකරුවා බවට පත්විය. එහි වාසිය රාජපක‍්ෂලා ගත් අතර සියළුම අවාසි ලැබුනේ එජාපයටය. ඒ හානිය ආත්ම ගණනකට ගොඩ යා නොහැකි තරම්ය.

දූෂිත නිලධාරීන් විශ්වාස කිරීම..

රාජපක‍්ෂ රජයට ආවඩමින් ඔවුන් හා එක්ව දූෂණයේ යෙදෙමින් පරම්පරා ගණනාවකට හරිහම්බ කරගත් නිළධාරීන් යහපාලනය යටතේද කිරුළු දරා සිටීමට ඉඩ සැලසීම ගැන රනිල් වගකිවයුතුය. එම නිළධාරීන් මතුපිටින් යහපාලනය තුළත් යටින් සැබෑ මෙහෙවර රාජපක‍්ෂලාටත් කරන බව දැන දැනත් රනිල් කිසිදු පියවරක් නොගත්තේ සමහරවිට රාජපක‍්ෂලා අමනාප වේයැයි සිතූ නිසාද දන්නේ නැත. තීරණාත්මක අවස්ථාවල එම නිළධාරීහු යහපාලන හැව හැර දමා රාජපක‍්ෂලා සමග එක්ව සියල්ල පාවා දුන්හ. ඊට ප්‍රධාන හේතුව නම් බලයක් ලබා ගැනීමෙන් පසු තමන් වැඩ කළ යුත්තේ කවුරු සමගද කියා පෙර සැලසුමක් රනිල්ට නොමැති වීම ය. නායකයෙක් එසේ විය නොහැකිය. 

රනිල් ප්‍රධාන යහපාලන අමනයින්ගේ මෝඩ උද්දච්ඡ තකතීරුකම් නිසා, සද්භාවයෙන් පසුගිය කාලයේ හොරුන් හඹාගිය අවංක යුක්තිගරුක නිළධාරීන් අද ගිලටිනයට හසුව ඇත. සමහරුන්ට අවංකකම නිසා ජීවිත ආරක‍්ෂාව පතා රටින් පලායාමට සිදුව ඇත. තවත් බොහෝ පිරිසකට යන එන මං නැතිවී ඇති අතර ඉදිරියේදී ඔවුන්ට අවංකව රාජකාරි කිරීම නිසා සිපිරිගෙවල් තුළ යකඩ කූරු ගණින්නට සිදුවනු නොඅනුමානය. නමුදු ඒ පාපකර්මයට මුල් පියවර තැබූ රනිල්ලාට හෙනයක් හෝ නොඑනු ඇත.

රනිල්ලා මහින්දලා ගෝටලා එක මේසයේ රසමසවුළු බුදින සංවේදී සංවාදයන්... 

රාජපක‍්ෂලා රනිල්ව ආරක‍්ෂා කරනු ඇත. ඒ කෙළෙහිගුණ සැලකීමටය. එදා මෙන් සිරිකොත ඉදිරිපිට පාර කාපට් නොකළ ද බැඳුම්කරය මිහිදන් කර කාපට් කරනු ඇත. රනිල්ලාගේ යහපාලනය වෙනුවෙන් දිවි කැපකළ වෙහෙසුන බොහෝ උස් පහත් පිරිසකට නුදුරු අනාගතයේදී අත්වන ඉරණම දැනටම ලියැවී ඇත. රනිල්ට තිබෙන එකම ගැටළුව වන පක‍්ෂයේ නායකකම සහ දිවිහිමියෙන් පතන විපක‍්ෂ නායකකම රැකගැනීමට රාජපක‍්ෂලා ද දිවි පරදුවට තබනු ඇත. එම තණතුරුවල සැබෑ ප්‍රතිලාභ භුක්ති විඳිනුයේ රනිල්ට වඩා රාජපක‍්ෂලාය. එය රටම දන්නා ප්‍රසිද්ධ රහසකි. ඉතිං අදට වඩා හෙටටත් රනිල්ලා මහින්දලා ගෝටලා එක මේසයේ රසමසවුළු බුදින සංවේදී සංවාදයන් අපට මුව ගැටෙනු ඇත.

රනිල් මියගියා නම් පක‍්ෂය විසුරුවනවාද?

රනිල් එජාප හැර නොයන්නේ පක‍්ෂයට ආදරේටද? පක‍්ෂය රැකගැනීමටද? පක‍්ෂය සංවර්ධන කරන්නද? ඇත්තටම මේ පක‍්ෂයේ නායකයා ලෙස වසර 25 ක් එසේ කළාද? එසේ නම් එහි ප්‍රගතිය කුමක්ද? එන්න එන්නම පක‍්ෂය අගාධයට යනවා නම් රනිල් කරන ලද්දේ කුමක්ද? පක‍්ෂය අතනාරින්නේ ඊළඟට එනවා යයි කියන සජිත්ට හෝ වෙන ඕනෑම කෙනෙකුට පක‍ෂය රැකගැනීමට බැරි යයි සිතන නිසා ද? එසේනම් පක‍්ෂය ආරම්භ කිරීමට මුල් වූ ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස පක‍්ෂ අතැර නොගොස් පක‍ෂ රැකගැනීමට යයි කියා අල්ලාගෙන එල්ලීගෙන සිටියාද? එසේම රනිල් මියගියා නම් පක‍්ෂය විසුරුවනවාද? පක‍්ෂය රැකගැනීමට නොමැරී සිටීමට හැකියාවක් තිබේද? මේවා උභතෝකෝටික ප්‍රශ්න නොවන්නේ ය. 

මොළ ලොරියක් යයි පෙන්නුවාට ඇත්තේ ඔලමොට්ටල හැසිරීමකි..

රනිල්ට එජාපය ඕනෑ බවට කාරි නැත.  එජාපයටත් දැන් රනිල් ඕනෑදැයි සිතිය යුතුය. රනිල් තමා අපේක‍්ෂාකළ නමුදු මේ වනතුරා ලබාගත නොහැකි වූ ‘බලය’ ලැබෙන තෙක් නොමැරීම, පක‍්ෂය අල්ලාගෙන සිටීම යුක්තිසහත ද? එක්කෝ යථාර්තය තේරුම්ගත යුතුය. එක්කෝ බලය ලබාගත යුතුය. රනිල්ට බලය ලබාගැනීම තබා, වෙන අය අනන්ත ධෛර්යයෙන් කැපවීමෙන් ලබාදෙන බලය රැකගැනීමටවත් හැකියාවක් නැත. ඒ බව තහවුරු කරනුයේ රනිල්ම ය. මොළ ලොරියක් යයි පෙන්නුවාට ඇත්තේ ඔලමොට්ටල හැසිරීම පමණි. 

රනිල් එජාපයේ එල්ලීගෙන ඉන්නේ රාජපක‍්ෂලා රැකගැනීමට ය…

රනිල් දැනටත් එජාපය අල්ලාගෙන එල්ලීගෙන සිටිනුයේ රාජපක‍්ෂලා රැකගැනීමට ය. ඔහු පසුගිය කාලයේම සිදුකළේ ද එජාපයේ ශක්තිය යොදවා රාජපක‍්ෂලා රැකගැනීම ය. රාජපක‍්ෂ පරපුරේ ගෑණුන්ද දරුවන්ද ළදරුවන්ද බිරින්දලාද ඔවුන්ගේ ඥාති මිත්‍රාදී සනුහරයද නීතියෙන් හා ජනතා විරෝධයෙන් රැකගත්තේ රනිල්ය. එය නිවැරදි නොවේයැයි යමෙකු පවසනවා නම් කරුණු කාරණා සහිතව එකින් එක පෙළගැස්වීමට අපට හැකිය. රාජපක‍්ෂලා දූෂණ වංචා නොකළේද? රාජ්‍ය දේපල අවභාවිත නොකළේද? තක්කඩිකම් පාහරකම් නොකළේද? නඩු නොවැටීම, ඉවත යන ලෙස නඩු දැමීම ආදිය නිසා එහි තේරුම මොවුන් වැරදි නොකළා යන්නද? ඕනෑම පුද්ගලයෙක් මෙන්ම රනිල්ගේ බිරිඳ පවා සද්භාවයෙන් අපක‍්ෂපාතීව කල්පනා කළහොත් මේ කාරණා සත්‍ය බව පිළිගනු ඇත. අදටත් රනිල් කරනුයේ රාජපක‍්ෂලාගේ ඕනෑ එපාකම් ආරක‍්ෂාකර දීමය. නොඑසේ නම් මරණීය දණ්ඩනය හිමිව සිරගෙදරක සිටිය යුතු එකෙක් රටේ ජනාධිපති වන්නේ නැත.  මේ ‘රාජකාරි’ සඳහා රනිල්ට එජාපය තිබිය යුතුය. රනිල්ට රාජපක‍්ෂලාගෙන් ලැබෙනුයේ පාරක් කාපට් කිරීම වැනි බාල සහගත උදව් නමුදු එහි හිලව්වට රාජපක‍්ෂලා රනිල්ගෙන් ලබාගනුයේ මහමෙරක් තරමේ උදව් උපකාරය. 

සජිත් නොව සක්කරයාගේ පුතා වයිමා වුවත් මෙච්චරය..

ඇත්තම කථාව අද එජාපය අන්ත ප්‍රපාතයට වැටී නැද්ද? එන්න එන්නම පක‍්ෂය කිඳා බසිනුයේ ප්‍රපාතයටය. රනිල් වටා රැස්ව සිටින සමාගම් කල්ලි සහ මනස්ගාත යහපාලන බහුබූතයෝ ඔවුන්ගේ පැවැත්මට රනිල් වටා එක්වී ඔවුන්ගේ ජාම බේරාගැනීමට වළිකති. එයට හොඳම උත්තරය අපි අකමැති වුවද මෙරට ජනයා එක මිටට පසුගිය මැතිවරණයෙන් ලබාදී ඇත. එවන් නින්දා සහගත තත්ත්වයක් උදා කළේ රනිල්ම බව සහතිකය. මන්ද 2015 දී හොරු ඇල්ලීම ප්‍රධාන තේමාව කරගෙන ලබාගත් බලය (ජනයා ලබාදුන්) රාජපක‍්ෂලාට පාවාදුන් නිසාය. එම සියළු පව් ගෙවිීමට සිදුවූයේ එජාප අපේක‍්ෂකයාටය. ඔහු සජිත් නොව සක්කරයාගේ පුතා වයිමා වුවද එච්චරය. 

යහපාලන ජෝඩුවෙන් වාඩුව ගත් ජනතාව..

ඇත්තටම සජිත් හෙන ගහන ගානට පැරදුනේ සජිත් එච්චරම නරක නිසා නොවේ. ගෝටාභය ඉහළින්ම දිනුවේ ඔහු එච්චර හොඳ නිසාද නොවේ. ජනයාට උවමනා වූයේ මහරජෙක් ගෙන් දිවිපරදුවට තබා උදුරා දුන් බලය යහපාලන ජෝඩුව අවජාතක ලෙස අවභාවිත කිරීමේ වාඩුව ගැනීම ය.

අප මේ වෙහෙසෙන්නේ රනිල් පහකර වෙනත් අයෙකුට ප්‍රතිලාභ දෙන්නටවත් යම් පෞද්ගලික ලාභ ප්‍රයෝජන රැස්කර ගැනීමටවත් නොවේ. මේ යනවිදියට ගියොත් අපට සිදුවන්නේ රනිල් එළවීම නොව නූතන හිට්ලර් එළවීමේ ජීවිත සංග්‍රාමයකට යොමුවීමටය. දේශපාලනයේ පට්ට පරිනත රනිල් එය අපට වඩා තේරුම් ගනු ඇත. අපට අවශ්‍ය රනිල්ද සජිත්ද වෙන මොන කෙනාද නොව අපට රටට අවශ්‍යවනුයේ ප්‍රජාතන්ත්‍රවාදයට රුකුලක් වන ප්‍රධාන විපක‍්ෂයකි. එය එජාපය වනු ඇත. අපට වහාම අවශ්‍ය වී ඇත්තේ පිටියේ ක්‍රියාත්මක මෙන්ම සාර්ථක වැඩ පිළිවෙලක් සඳහා රටම එක මිටට ගෙන කටයුතු කළ හැකි මිනිසෙකි. ඔහු නායකයෙක් නොවුනාට නම් කාරි නැත. 

ගානි වාසුහේවා 

---------------------------
by     (2019-12-12 16:29:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links