~

ඇමැති විෂය පථ සහිත ගැසට්ටුව නිකුත් වේ; රටේ අරාජික තත්ත්වයක්..! ආරක්ෂක ඇමැතිවරයෙකු නැතිව අමාත්‍යාංශයක්..! ගෝඨා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩලා..! මෙන්න සාක්කි..!

චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.11, ප.ව.9.35) ගෝඨභය රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අයත් අමාත්‍යංශවල විෂයන් සහ ආයතන ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. එකී ගැසට් නිවේදනයත් කැබිනට් අමැතිවරුන් කව්දැයි පිළිබඳ නොවැම්බර් 27 දා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයත් අනුව ගෝඨාභය රාජපක්ෂ පාලනය ගෙන යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කරමින් බව ‌ජ්‍යෙෂ්ඨ නීතිවේදියෝ පවසති.

ඉහත කී ගැසට් නිවේදන දෙක පහත දිගුවන්ගෙන් කියැවිය හැකිය.

කැබිනට් ඇමැතිවරු පිළිබඳ ගැසට් නිවේදනය - http://www.documents.gov.lk/files/egz/2019/11/2151-38_S.pdf
අමාත්‍යාංශ විෂයන් සහ ආයතන ඇතුලත් ගැසට් නිවේදනය - http://www.documents.gov.lk/files/egz/2019/12/2153-12_S.pdf

ගෝඨාභය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාලනය කරන බවට සාක්කි මෙසේය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වන සංශෝධනය අනුව සිරිසේන ජනාධිපතිවරයාගෙන් පසුව පත්වන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවද ඔහුට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතේ තබා ගත නොහැකිය. ආරක්ෂක අමාත්‍යාංශය පවා ජනාධිපති යටතේ තබා ගත නොහැකිය. ඒ බව 19 වන සංශෝධනයේ 51 වන අවසන් වගන්තියේ ඉතාම පැහැදිලිව දැක්වේ. 

ගෝඨාභය ජනාධිපතිගේ පත්වීම සම්බන්ධයෙන් වූ නොවැම්බර් 21 දා ගැසට් නිවේදනය ද ඊට යටත්ව ප්‍රකාශයට පත් කර තිබේ.  “...දෙදහස් දහනවයක් වූ නොවැම්බර් මස දහඅට වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ‘ජනාධිපති ධුරය’ භාර ගත් වග මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.” යි එහි සඳහන් වනවා මිස ‘ජනාධිපති ධුරය’ සමග ජාතික ආරක්ෂක අමාත්‍ය ධූරයක් බාර ගත් බවක් එහි සඳහන් නොවේ. ( අදාල ගැසට්ටුව කියවන්න http://www.documents.gov.lk/files/egz/2019/11/2150-41_S.pdf )

පසුව මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කළ බව සඳහන් ගැසට් නිවේදනයේ ද අගමැතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරයක වගකීමක් බාර දුන් බවක් සඳහන් නොවේ. ( අදාල ගැසට්ටුව කියවන්න - http://www.documents.gov.lk/files/egz/2019/11/2151-18_S.pdf

ඉන්පසුව කැබිනට් ඇමැතිවරුන් කව්දැයි දැක්වෙන ගැසට් නිවේදනයේ ආරක්ෂක ඇමැති ධූරයකට කිසිවෙකු නම් කර නැත. අගමැති මහින්ද රාජපක්ෂට ආරක්ෂක අමාත්‍යාංශය බාර දුන්නා යැයි සමහර මාධ්‍ය වාර්තා කළද එවැන්නක් ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයේ නැත. ඒ පිළිබඳ ඉහත කී කැබිනට් ඇමැතිවරු පිළිබඳ ගැසට් නිවේදනය කියැවීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. 

තත්ත්වය එසේ තිබියදී ඊයේ (10) මධ්‍යම රාත්‍රී නිකුත් කළ අමාත්‍යාංශ විෂයන් සහ ආයතන ඇතුලත් ගැසට් නිවේදනයේ ආරක්ෂක අමාත්‍යාංශයට කියා අදාල ආයතන 31 ක් ගැසට් කර තිබේ. ‌

ආරක්ෂක ඇමැතිවරයෙකු නොමැතිව ආරක්ෂක අමාත්‍යාංශයක් පවතින්නේ කෙසේද..?

ප්‍රශ්නය වන්නේ ආරක්ෂක ඇමැතිවරයෙකු නිල වශයෙන් නොමැතිව ආරක්ෂක අමාත්‍යාංශයක් පවතින්නේ කෙසේද යන්නයි.

ඇමැතිවරයෙකුට පවරා නොමැති ආයතනයක් වේ නම් එය ජනාධිපතිවරයාට යටතට වැටෙන බවට වූ පැරණි  නීතිය ද දැන් නැත. එය ද 19 වන සංශෝධනයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයාට තමා යටතට කිසිදු ආයතනයක් පවරා ගැනීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  ඉඩක් නැත. ‌ගෝඨාභයද ‌මේ බව දන්නා නිසා ඊ‌යේ ගැසට් නිවේදනයේ ජනාධිපති යටතට ගැණෙන ආයතන කියා කිසිවක් සඳහන් කර නැත. 

බොක්කක් නොමැතිව කෑමක් ගිලින්නේ කොහාටද?

මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ ජ්‍යේෂ්ඨ නීතිවේදියෙකු පවසා සිටියේ සිරිසේන ජනාධිපතිවරයා රූපවාහිනී සංස්ථාව තමා යටතට ගත්තේ රූපවාහිනී සංස්ථාව ඔහු යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යාංශයට ඇතුලත් කරගැනීමෙන් පසුව බවයි. එනම් ඒ සිරිසේන ජනාධිපතිට පමණක් බලය තිබූ අමාත්‍යාංශ කිහිපයක් ඔහු යටතේ තිබූ නිසා ආයතනයක් ඒ අමාත්‍යාංශයකට ඇතුලු කර තමා යටතට ගැනීමේ හැකියාවක් තිබුනද ඊලඟ ජනාධිපතිට එනම් ගෝඨාභය රාජපක්ෂට එවැනි ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවෙන් ලබා දී  නොමැත. 

සරලව කියන්නේ නම් “කෑමක් ගිල දැමීමට බොක්කක් තිබිය යුතුය. බොක්කක් නොමැතිව කෑමක් ගිලින්නේ කොහාටද?” වත්මන් ජනාධිපතිට එවැනි බොක්කක් හෙවත් අමාත්‍යාංශයක් තමා යටතේ තබා ගත නොහැකිය. 

ඒ අනුව ඊයේ ගැසට් නිවේදනයේ සඳහන් ආරක්ෂක අමාත්‍යාංශය යටතට වැටෙන ආයතන ජනාධිපතිවරයා යටතේ තබා ගත නොහැකි ය. 

ගෝඨාභය‌ගේ පාලනය ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී එකක්..

එපමණක් නොව නිල වශයෙන් ආරක්ෂක ඇමැතිවරයෙකු නොමැතිව ආරක්ෂක ලේකම් වරයෙකු ද සිටිය නොහැකිය. ආරක්ෂක ‌ලේකම් ‌ලෙස කටයුතු කරන විශ්‍රාමික ‌මේජර් ‌ජෙනරාල් කමල් ගුණරත්නගේ නියෝග ද නීති විරෝධී වනවා ඇත.   ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ  දැන් සිදුකරමින් ඉන්නේ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී පාලනයකි. නැතහොත් ඔහුට සුපුරුදු ‌‌ගෝනි ‌සෙල්ලමකි. 

මෙය පැහැදිලිවම කවුරුන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විසඳා  ගත යුත්තකි. ජනාධිපතිවරයාට මුක්තිය ඇතත් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ හැකියාවද 19 වෙනි සංශෝධනයෙන් සලසා තිබේ. ගෝඨාභය ජනාධිපතිවරයා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාව නොතකා පාලනය ගෙන යමින් සිටී. මෙය සත්‍ය වශයෙන්ම අරාජික තත්ත්වයකි.  

විපක්ෂයේ පරාජදාස සහ පෙරේත කල්ලියේ සිටින නීති පකීර්ලා තනතුරු සඳහා ඇණකොටා  ගනිමින් නොසිට රට වැටී තිබෙන අරාජික තත්ත්වයෙන් මුදා ගැනීමට ක්‍රියා කළ යුතුය. 

චන්ද්‍රප්‍රදීප් 

---------------------------
by     (2019-12-11 18:21:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links