(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.02, ප.ව.5.15) 1956 අප්‍රේ්ල් මාසයේ දී දැවැන්ත මැතිවරණ පරාජයෙන් මාස කිහිපයකට පසුව එජාපයට කොළඹ මහ නගරසභා ඡන්දයට මුහුණ දීමට සිදුවිය. උතුරු කොළඹ ප්‍රදේශය නියෝජනය කළ වී. ඒ. සුගතදාස සර් ජෝන් හමුවීමට ගොස් දෙසැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයට එජාපය තරග කළ යුතු බව කියා සිටියේය.
"සුගතේ තමුසෙට නගරසභාවට යන්න ඕනෑ නම් ගිහිල්ලා බණ්ඩට එකතු වෙනවා. දොඩංගස්ලන්ද ඡන්දෙ පළමුවන දවසේ තිබුණ නිසා යාන්තන් මම දිනුවා. නැත්නම් මමත් පරාදයි" යැයි සර් ජෝන් පැවසූවේ මහ මැතිවරණය පරාජයෙන් වූ කම්පනයෙනි.
1956 පන්සල් මෙහෙයුම් මුලික ඉලක්කය වූ අගමැති සර් ජෝන් කොතලාවල ත්‍රිපිටකය මුද්‍රණය කර සෑම පන්සලකටම නොමිලේ බෙදා දුන්නේය. දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මෑතකදී ත්‍රිපිටකය නැවත මුද්‍රණය කරනතෙක් බොහෝ විට පන්සල් වල භාවිතා වූයේ සර් ජෝන් කොතලාවල නොමිලේ ලබා දුන් ත්‍රිපිටකයයි. එහෙත් ඒ සර් ජෝන් අබෞද්ධයෙකු වූ අතර බණ්ඩාරනායක දියසේන කුමාරයා විය.
සර් ජෝන්ගේ ප්‍රතිචාරයෙන් කලකිරීමට පත් වූ සුගතදාස ජේ. ආර් ජයවර්ධන හමුවීමට ගොස් තත්ත්වය පැහැදිලි කළේය. සර් ජෝන්ගේ ප්‍රතිචාරය අනුමත නොකළ ජේ.ආර් කොළඹ මහ නගරසභා මැතිවරණයට එජාපය තරඟ කළ යුතු බව අවධාරණය කළේය. එම මැතිවරණ සටනට තමන් නායකත්වය දෙන බවට ද ඔහු සුගතදාසට පොරොන්දු විය.
පක්ෂ නායකත්වයේ උපදෙස් පරිදි 1956 මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා ආර්. ප්‍රේමදාස රුවන්වැල්ලට ගියේ එජාපයට විශාල අභියෝගයක් වී තිබූ ලසසප නායක එන්. එම්. පෙරේරා පරාජය කිරීම සඳහාය. එන්. එම් ට තරඟයක් දිය හැකි අපේක්ෂකයකු රුවන්වැල්ලෙහි නොවූ බැවින් මැද කොළඹ තිස් දෙහැවිරිදි තරුණයකු වූ ප්‍රේමදාස ට එහි යෑමට සිදුවිය. එහි හිටපු නගරාධිපතිවරයා ගේ නිවසේ නවාතැන්ගත් තරුණ ප්‍රේමදාස එන්. එම්ට එරෙහි මැතිවරණ සටන ආරම්භ කළේය. රුවන්වැල්ලේ සියලුම ගම් වලට පයින්ම ගමන් කරමින් ජනතාව හමුවෙමින් ඔවුන්ගේ ඡන්දය ඉල්ලා සිටියේය. අවසානයේ එන්. එම්. ඡන්ද 14,083ක් ලබා ගන්නා විට තරුණ ප්‍රේමදාස ඡන්ද 7,855ක් ලබාගත්තේ ය. මැතිවරණ පරාජයෙන් පසුව තරුණ ප්‍රේමදාස පලා ගියේ නැත. ඔහු මැතිවරණයෙන් පසුවද කලක් රුවන්වැල්ලේ රැඳෙමින් තමන්ට සහයෝගය ලබාදුන් ඡන්දදායකයන් වෙනුවෙන් පෙනී සිටියේය.
රුවන්වැල්ල ඡන්ද සටනින් පසුව තරුණ ප්‍රේමදාස ජේ ආර්, සුගතදාස සමඟ කොළඹ මහ නගරසභා ඡන්දය සඳහා එක් විය. එවකට පැවති සෑම නගරසභා බල ප්‍රදේශයක් ම (වෝඩ්) ආවරණය වන පරිදි සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවීමට ඔවුහු සමත් වූහ. කේ. එම් ද සිල්වා සහ හොවාර්ඩ් රිගින්ස් රචනා කළ "J.R Jayawardena of Sri Lanka: 1906-1956" චරිතාපදානයේ සඳහන් වන පරිදි ජේ. ආර්. දිනකට රැස්වීම් හයහතක් අමතමින් මැතිවරණ සටන ගෙන ගියේය. අවසානයේ තියුණු සටනකින් පසුව මඑපෙ මෙන්ම වමේ පක්ෂ පරාජය කරමින් එජාපය කොළඹ මහ නගර සභාව ජය ලැබුවේ මාස කිහිපයකට පෙර මහ මැතිවරණයේදී ලැබූ දැවැන්ත පරාජය ආපසු හරවමිනි. මෙම මැතිවරණයේදී ලසසප නායක එන්. එම් සහ රොබට් ගුණවර්ධන සිය නාගරික බලප්‍රදේශය වලින් පරාජයට පත්විය. එජාපය වළ දැමීම පිළිබඳව සිදු වූ කථාබහ මෙම ජයග්‍රහණයෙන් පසුව නැවතුන අතර පක්ෂය නැවත නැගී සිටියේය (පිටු 319-320).
සැබෑ නායකයන් යනු පරාජයන් හමුවේ සිය අනුගාමිකයන් ආධාරකරුවන් අතරමං කර දමා සැඟවී යන්නන් නොවේ. සැබෑ නායකයන් යනු පරාජයන් ජයග්‍රහණ බවට පරිවර්තනය කිරීමට කැපවෙන චරිතය. පරාජයන් යනු සැබෑ නායකයන්ට මතු වීමට ඇති අවස්ථාවන් බව මතක් කළ යුතුය. මෙම අතීත පුර්විකාව සටහන් කළේ ජනාධිපතිවරණය පරාජයත් සමග සජිත් ප්‍රේමදාසගේ හැසිරීම නිරීක්ෂණය කිරිමෙනි.
මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හොද සටනක් දුන්නේය. පන්සල් මෙහෙයුම හෙවත් 2019 මාර යුද්ධයෙන් පරාජය වුවද ඔහු ඡන්ද ලක්ෂ 56ක් ලබා ගත්තේය. අසන්නයේම පැවැති පලාත් පාලන මැතිවරණ සමඟ සංසන්දනය කිරීමේ දී සෑම දිස්ත්‍රික්කයේම එජාපයේ ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් ඇත. සජිත්ට අපේක්ෂකත්වය හිමිවීම හරහා විශේෂයෙන් ග්‍රාමීය එජාප පාක්ෂිකයන් අතරේ පිබිදීමක් හටගත්තේය. ජනාධිපතිවරණයට මාසයක් පමණ කාලයකට පෙර ලැබුණු අපේක්ෂකත්වය මගින් කැපීපෙනෙන දායකත්වයක් ලබාදීමට සජිත්ට හැකිවිය. විශේෂයෙන් උතුරු නැගෙනහිර පලාත්වලදී මෙෙත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය.
සජිත් කර ගැසුවේ වසර පහක යහපාලන ආණ්ඩුවේ පව් කන්දටය. සාමාන්‍යයෙන් පවතින රජයේ අපේක්ෂකයාට ජනාධිපතිවරණයේදී විශේෂ වාසියක් ලැබේ. ඒ එම රජයේ සංවර්ධන ව්‍යාපෘතියන්හි ප්‍රතිලාභ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ උදව් උපකාරයන්ය. එහෙත් එම වාසි ඔහුට ලැබූනේ නැත. ඒ වෙනුවට ඔහුට හිමිවූයේ සති දෙකක ගෑස් හිඟයකි. ජනතාව පැය ගණන් ගෑස් ටැංකි මිල දී ගැනීමට පෝලිම් වල පොර කෑහ. ජනාධිපතිවරණ ආසන්නයේ ඇති කරනු ලැබූ මෙම ගෑස් හිඟය හේතුවෙන් යහපාලන ආණ්ඩුවට සහ එහි නායකයන්ට ජනතාව පස්පඩංගුවේ බැණවැදුණේය. එවැනි ආණ්ඩුවක කැබිනට් ඇමැතිධූරයක් දරන සජිත්ට ජනතාව පෝලිමේ ගොස් ඡන්දය ලබාදෙන්නේ යැයි සිතන්නේ දේශපාලන අඳ බාලයන් පමණි. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය යම් ජවයක් ලබා ගෙන ඉදිරියට පැමිණියේ මැතිවරණයේ අවසාන සති දෙකේදීය. පාස්කු ප්‍රහාරයෙන් පසුව මැතිවරණය ජයග්‍රහණයකර තිබූ ගෝඨාභයගේ කඳවුර පවා සජිත්ගේ පිම්ම පිළිබඳව සලිතවී සිටියේය. එහෙත් එම ඉදිරි ගමන විනාශ කිරීමට MCC ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. යහපාලන ආණ්ඩුවේ පව් කන්ද කර තබාගෙන ඉදිරියට යෑමට උත්සාහ කළ සජිත්ව කකුල් මාට්ටු දමා බිමදැමුවේය. එසේ බිම දැමුවේ සහ බිම වැටුණේ සජිත් ප්‍රේමදාස පමණක් නොවෙයි. ඔහු සමඟ එජාපය සහ එක්සත් ජාතික පෙරමුණ ද ඇද වැටුණි.
ජනාධිපතිවරණයේ පරාජය සජිත්ගේ ඇඟට දමා අත පිසදා ගැනීමට එජාපයට සහ එක්සත් ජාතික පෙරමුණට නොහැකිය. එය සාමූහික වගකීමකි. මෙම පරාජයේ වගකීම භාරගෙන සජිත්ට සැඟවී සිටීමට කිසිදු හේතුවක් නැත. ඔහු වෙනුවෙන් පනස්හය ලක්ෂයක් ඡන්දය ලබාදුන්නේය. විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතා ඔහුට ලබාදුන් සහයෝගය කිසිවිටෙක අමතක කළ යුතුනොවේ. ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට ඔහු ඉදිරියට පැමිණිය යුතුය. රටපුරා සිදුවන දේශපාලන පලිගැනීම් , මාධ්‍ය මර්දනය, සහ සුදු වෑන් භීතිකාවට එරෙහිව සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කිරීමට සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණිය යුතුය. 1956 මාර යුද්ධයෙන් පසුව ජේ. ආර් ජයවර්ධන , රණසිංහ ප්‍රේමදාස ඇතුළු පිරිස එජාපය යළි ගොඩගෙන මැතිවරණ ජයග්‍රහණයක් දක්වා ගෙන ගිය ආකාරයෙන් සජිත් පාඩම් ඉගෙනගත යුතුය.
මෙම පරාජයෙන් පසුව සජිත් සිය වසර විසි පහක දේශපාලන ගමන්මග පිළිබඳ ස්වයංවිවේචනයක් කළ යුතු බව අපේ විශ්වාසයයි.
1) පසුගිය වසර විසිපහ පුරාම ඔහුගේ දේශපාලන මූලික වශයෙන් කේන්ද්‍ර වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කය වෙතය. ඔහු එහි සිදු කළ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබී තිබේද ?
2) රටේ දුගී ග්‍රාමීය ප්‍රජාව ඉලක්ක කර ගත් සජිත්ගේ දේශපාලනය ගමන ඔහුව ජාතිකතලයේ නායකත්වයට ඔසවා තබා තිබේද?
3) රටේ උගත් මධ්‍යම පංති කොටස් ආමන්ත්‍රණය නොකරන සජිත්ගේ දේශපාලනට අනාගතයක් තිබේ ද?
4) පසුගිය වසර කිහිපය පුරා කිලී මහරාජා වැනි මාධ්‍ය හිමිකරුවකුගේ ඉත්තෙකු බවට පත් වී ලබාගත් ජයග්‍රහණ මොනවාද ?
ඉහතින් මතු කරතිබෙන අදහස් සජිත්ගේ දේශපාලන ගමන්මග පිළිබඳව සිදු කරන සාධනීය විවේචනයකට ප්‍රවේශයකි. විශේෂයෙන්ම පසුගිය වසර විසිපහක කාලය පුරා සජිත් ජාතික තලයේ කිසිදු වැදගත් දේශපාලන සංවාදයකට සම්බන්ධ වී නැත. පාර්ලිමේන්තුවේ හෝ ඉන්පිටත එවැනි බුද්ධිමත් දායකත්වයක් දක්වා නැත. ජනවාර්ගික ප්‍රශ්නය , බලය බෙදීම, අධිකරණයේ ස්වාධීනත්වය , රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම , මාධ්‍ය නිදහස වැනි කිසිදු මාතෘකාවක් සම්බන්ධයෙන් සජිත් පසුගිය වසර විසිපහක් තුළ කිසිදු ස්වාධීන මතයක් ඉදිරිපත්කර නැත. එබැවින් ඔහුට උගත් මධ්‍යම පංතිය , සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති සමඟ කිසිදු පලදායී ගණුදෙනුවක් නොවීය. ඔහු සිය දේශපාලන ජීවිතයේ දී කිසිදු ජනතා උද්ඝෝෂණයකට, අරගලයකට නායකත්වය දී නැත. අවම තරමින් ක්‍රියාකාරී දායකත්වයක් හෝ ලබාදුන් අවස්ථාව නොමැත. දින පනස් දෙකේ ක්‍රමන්ත්‍රණය අවස්ථාවේ ඔහු සිටියේ කකුල් දෙක දෙපැත්තේ තබාගෙනය. මෙෙත්‍රීපාල සිරිසේනගේ කඹ ගිලදමා සිටි ඔහු සිටියේ රනිල් ව කපා අගමැති වන සිහිනයේය. යහපාලන රජය ආරම්භ වූ අවස්ථාවේ සිට ඔහු සිටියේ මෙෙත්‍රීපාල සිරිසේනගේ සිංහල බෞද්ධ ජාතිකවාදී මතවාදයේය. ඔහු සටන්කර ඇත්තේ එජාපයේ නායකත්වය ලබා ගැනීම සඳහා පමණි. කිලී මහරාජා නමැති මාධ්‍ය ත්‍රස්තවාදියාගේ න්‍යාය පත්‍රයේ ඉත්තෙකු වූ සජිත් ඒ සෑම සටනකින්ම පරාජයට පත්විය.
වසර විසිපහක් හම්බන්තොට කේන්ද්‍රීය ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වූ සජිත් ජාතික තලයට නිරාවරණය වූයේ මෙවර ජනාධිපතිවරණයේදීය. ජාතික අර්බූදයන් පිළිබඳ ඔහු සිය ස්ථාවරයන් ජනතාව හමුවේ තැබීය. මෙරට ඉහළ පෙලේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති විවෘත සංවාදයකදී ඔහු සිය දර්ශනය සහ වැඩපිළිවෙළ අපූරුවට ව්‍යයක්තව පැහැදිලි කළේය. ඒ සංවාදය ඇසූ බොහෝ දෙනෙක් "මේ අප දැනගෙන සිටි සජිත් නෙමෙයි" යැයි කියා සිටියේ ඔහුගේ නව මානයක් හඳුනා ගනිමිනි. එහෙත් අවාසනාවකට ඒවන විට ප්‍රමාද වැඩිය. ජනාධිපතිවරණයේදී ඔහු ඇතැම් රැඩිකල් ස්ථාවර ගත්තේය. කාන්තාවන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව ඉදිරිපත් කළ යෝජනා මෙයට එක් උදාහරණයකි. ගතානුගතික සමාජ කොටස්වලින් මෙම යෝජනාවට දැඩි අපහාස උපහාස එල්ල වුවද ඔහු සැලුනේ නැත. ඔහු සිය මතයේ අඛණ්ඩව සිටියේය.
සජිත් ප්‍රේමදාස යනු තම සැබෑ ශක්තිය පිළිබඳ නොදන්නා හස්තියකි. ඔහු කිලී මහරාජා ඇතුළු පාපමිත්‍රයන්ගේ ඉත්තෙකු, අතකොළුවක් වී සිය දේශපාලන ජීවිතය විනාශ කරගනිමින් සිටියි. 1994 දී එජාපයේ නායකත්වයට පත් වූ රනිල් වික්‍රමසිංහ පසුගිය වසර විසිපහක කාලයේ දී එජාපය විනාශ කළේය. ඔහුව නායකත්වයෙන් ඉවත්කර එජාපය බේරා ගතයුතු බව අවිවාදිතය. එහෙත් එය සිදුවිය යුත්තේ කිලී මහරාජා යන මාධ්‍ය ත්‍රස්තවාදීයාගේ අවශ්‍යතාවයට නොවේ. ඒ සඳහා එජාප පාක්ෂිකයන් ගොනු කළ යුතුය. එමෙන්ම එජාපයේ නායකත්වයට තමන් සුදුසු බව සජිත් පාක්ෂිකයන් හමුවේ ඔප්පු කළ යුතුය.. ජනාධිපතිවරණ පරාජය සජිත්ට සිය දේශපාලන ගමන පිළිබඳව යළි හැරී බැලීමට අපූරු අවස්ථාවක් නිර්මාණයකර ඇත. සිය වසර විසිපහක දේශපාලනයේ සිදු කර තිබෙන වැරදි නිවැරදි කර ගෙන නව ප්‍රවේශයකින් ඉදිරියට පැමිණිමට ඔහුට කාලය තිබේ. ඔහු තවමත් තරුණය. අවශ්‍ය වන්නේ අවංක ස්වයංවිවේචනයකි. වලක වැටීම මොලයට වාසියක් බව මාඕ සේතුං වරෙක පැවසීය. එහෙත් එම වාසි ලබාගැනීමට පළමුව වලක වැටී ඇති බව අවබෝධ කර ගතයුතුය. ඒ සඳහා අවශ්‍ය ඥානය සජිත්ට පහලවේවා යැයි අපි අවංකව පතමු.
ලියුම්කරුගේ පෙර ලිපි පහත දිගුවෙන්
https://www.lankaenews.com/category/33
---------------------------
by (2019-12-02 13:18:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි