~

අනාගතයට අවශ්‍යවන්නේ සටන්කාමීන් මිස සජිත්ලා වැනි ‌ගොන් ජෝකර්ලා නොවේ...!

විසල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2019.‌‌දෙසැ.01, ප.ව.1.45) අවසන් වූ ජනාධිපතිවරණයේදී මා චන්දය භාවිතා ක‌ෙළේ සජිත්ටය. ඒ ගෝඨාගේ ජයග්‍රහණයේ තීව්රතාවය මඳක් හෝ අඩු කළ යුතුය යන කාරණය මතය. ජවිපෙ තමන්ගේ අපේක්ෂකයා ඕනෑවටත් කලින් එළියට දැමීම සහ පුළුල් සන්ධානයක් හැදීමට බාධා කරමින් සජිත් අපේක්ෂකයා කිරීමට එජාපයේ පිරිසක් දඟලන විටම ගෝඨා ජය ගන්නා බව දේශපාලන ඉව ඇති අයට වැටහී තිබුණි. 2018 දී පොහොට්ටුව ලබා ගත් ඡන්ද ප්‍රමාණය සහ ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය මේ තත්ත්වය වඩාත් හොඳින් තහවුරු කර තිබුණි. තත්ත්වය එසේ තිබුණද මුණිවත රැකගෙන සිටියේ ගෝඨා විරෝධී ඡන්ද ව්‍යාපාරයට හානියක් නොකළ යුතුය යන මතයේ සිටය. දැන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබී තිබේ. අති පිරිසිදු සමාජවාදීයා මෙන්ම ගම්මට්ටම් බිම්මටටම් වීරයාද කෙළවාගෙන තිබේ. ඒ රටක ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන්ද විනාශ කරගෙනය. එබැවින් තවදුරටත් මුණවත රැකීමට කාරණා නැත. මෙම සටහන සජිත් ඉලක්ක කරගත් පුද්ගලික විවේචනයක් නොවේ. අප කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ගැන විවේචනයකි. හෙට දින විපක්ෂ නායක හෝ පක්ෂ නායක වීමට ඉඩ ඇති චරිතයක ස්වභාවය ගැන කියන සටහනකි. 

ජවිපෙ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් විවේචන මේ වන විට ජාතික ජන බලවේගය අභයන්තරයෙන්ද ඉන් බාහිරවද  සිදුවෙමින් පවතී. ඒ නිසා සජිත් සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම දෙස විවේචනාත්මකව හැරෙමු. 

සජිත් මිත්‍යාදෘෂ්ඨික මෝඩයෙක්..

මෙය දරුණු ප්‍රකාශයක් වුවත් ඇත්තය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම, සජිත්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරමින් ව්‍යාපාරයක් යන අවස්ථාවේදීද අප මේ කාරණය ඉස්මත්තට ගත් නමුත් සජිත් මහා ජනප්‍රිය, ගම්මට්ටම්-බිම් මට්ටම් පදනමක් සහිත එමෙන්ම පාක්ෂිකයා කුල්මත් කර නැවත ඡන්ද පොළට ගෙන යා හැකි, දුප්පතාගේ වීරයාය,  ආදි ප්‍රති තර්ක ඉදිරිපත් කරමින් සජිත් නැතිව ඡන්දයක් දිනා ගැනීමට නොහැකි බව අවධාරණය කෙරුණි. කාලයක් තිස්සේ සිරස ආදී මාධ්‍ය විසින්ද, සජිත්වාදී පටු දේශපාලන හෙන්චයින් විසින්ද ගොඩ නගා තිබුණ මිත්‍යාව අපගේ අදහස් යටපත් කළ අතර අවසානයේ පුළුල් සන්ධානයකින් ගෝඨාට එරෙහි ශක්තිමත් ප්‍රතිවාදියෙක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව නැති ‌කෙළේය. අතර දැන් එහි ප්‍රතිඵල ලැබී ඇත.

සජිත් කිසිම විවාදාත්මක දේශපාලන කාරණයක් ගැන මත පල කරන්නේ නැත. මතයක් පල කළ හැම විටම එය විගඩමක් සහ ගොන් කතාවක්ය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩු වීම ගැන ඔහු කීවේ තමන් ගෙවල් හදන්නේ රුපියල් වලින් බැවින් එහි කිසිම බලපෑමක් නැති බවය. සිරිසේනගේ මරණ දඬුවම් පසුගාමී, අමානුෂික සහ අනීතික මතය සමඟ එකට සිටියේ සජිත් පමණය. කිසිදු  මාධ්‍ය හමුවකට තනියම මුහුණ දීමට තරම් තීක්ෂණ බවක් සජිත්ට නැත. මුජිබර්,  හිරුණිකා වැනි පසුපෙළ මන්ත්‍රීවරුන් ඉතා තියුණු ලෙසත් කාරණයට අදාලවත් මාධ්‍ය සමඟ අදහස් හුවමාරු කරන විට සජිත් සිටින්නේ මුල්ලක සැඟවීගෙන ය. ඔහු කිසිදු ආකාරයක මූලික දේශපාලන, ආර්ථික කාරණ ගැන වැටහීමක් හෝ අවබෝධයක් හෝ සංවේදී බවක් පෙන්වා සිටියේ නැත. ඔහු කිසිදු තැනකදී, අඩු තරමේ විද්වත් හමුවකදී හෝ බරපතල දේශපාලන කාරණා ගැන අදහස් පල කර නැත.

ඔහුගේ මෙම ස්වභාවය ඔහු ගැන බරපතල කුකුසක් දියුණු, උගත් සමාජ කොටස් අතර ඇති කිරීමට සමත් විය. මේ දෙවැනි සිරිසේන බවත් සිරිසේන නවත්වන තැනින් පටන් ගන්න හදන කෝලම් කාරයෙක් බවටත් සමාජය අතර මතයක් ඇති විය. 

'‌ගෝඨා අවොත් ‌වෙඩි කාල මැරෙන්න ‌වෙනවා, සජිත් ආවොත් හිනා කාලා මැරෙන්න ‌වෙනවා'

සජිත් ගේ මැතිවරණ ව්‍යාපාරය මේ මතය වඩාත් තහවුරු ක‌ෙළේය. ඉතිහාසයේ අප අත්දුටු විකාර සහගත සහ අසංවිධානාත්මකම ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙය විය. ප්‍රතිවාදී අපේක්ෂකයා ආර්ථිකය, ජාතික ආරක්ෂාව, පරිපාලන නවීකරණය, කාර්යසාධනය වැනි කාරණා ගැන කතා කරන විට අපේ මිනිහා ක‌ෙළේ තමන්ගේ පියාගේ ජින්තු වල හයිය සහ තමන්ගේ කාය ශක්තිය ගැන වර්ණනාවක යෙදීමය. අඩුම තරමේ යහපාලන රජය ඉටුකළ ධණාත්මක කාරණා ගැන හෝ කතා ක‌ෙළේ  නැත. බෙහෙත් මිළ අඩු කිරීම, සුරක්ෂා රක්ෂණය ඇති කිරීම, සුව සැරිය හඳුන්වාදීම වැනි කිසි දෙයක් ගැන සජිත් කතා ක‌ෙළේ නැත. නීතියට පිටින් ගොස් දඬුවම් දීමක් ගැන වරක් කිවූ ගොන් කතාවක් නැවත ආපස්සට හැරවීමට ඔහුගේ පිලේ ප්‍රමුඛයෙකු වූ අජිත් පෙරේරාට සිදුවිය. ආර්ථික ප්‍රතිලාභයක් නැති වෙහෙර විහාර 2500ක් සෑදීමක් ගැන ඔහුගේ අදහස දරුණු විවේචනයටත් උපහාසයටත් ලක්වන විට හෝ ඒ ගැන සංවේදී වූයේ නැත. මැතිවරණ ව්‍යාපාරයේදී සාධණීය මැදිහත් විමක් සිදු ක‌ෙළේ නම් ඒ සජිත්ගේ පාර්ශවය නොව අනෙක් පිරිස බව පිළිගත යුතුව ඇත. 

සජිත් අපේක්ෂකයා වීම නිසා ගම්මටටමේ දුගී ජනතාව අතර කිසිදු ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වී නැති බව ඡන්ද ප්‍රතිඵල වලින් පැහැදිලිය. ඔහුගේ ආසනය වූ තිස්සමහාරමයේදී පවා එජාපය ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රමාණය වාර්තා ක‌ෙළේ  මෙවරය. එනම් ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එජාපයට ඡන්දය දුන් පාක්ෂිකයා පවා සජිත්ට ඡන්දය දුන්නේ නැත. නමුත් හානිය එය පමණක් නොවේ. ගෝඨා විරෝධී කඳවුරට වැටීමට නියමිතව තිබූ මැද පාන්තික ජනයා ජීවත් වන අර්ධ නාගරික ප්‍රදේශ වල සජිත්ගේ ගොන්කම නිසාම ඡන්ද ලක්ෂ ගණනක් අහිමි වීමය. සිරිසේනගේ විකාර වලින් හෙම්බත් වී සිටි මධ්‍යම පාංතිකයින් සජිත්ව දැක්කේ 'තවත් මෝඩ යකෙක්' ලෙසය. 'දෙවන සිරිසේන' ලෙසය. 'මේ මෝඩ සමයම අපේ ජනාධිපති ලෙස හඳුන්වන්න පුළුවන්ද?' යන ප්‍රශ්නය බොහෝ දෙනා අතර සාකච්ඡා විය. අයෙක් කීවේ '‌ගෝඨා අවොත් ‌වෙඩි කාල මැරෙන්න ‌වෙනවා, සජිත් ආවොත් හිනා කාලා මැරෙන්න ‌වෙනවා' කියා ය.  වෙනත් ඕනෑම එජාප අපේක්ෂකයෙකුට දිනාගත හැකිව තිබූ ඡන්ද ප්‍රමාණයක් සජිත්ගේ මෝඩ රංගන නිසා අහිමි වූ බව ඡන්ද ප්‍රතිඵල විසින් පැහැදිලි කර ඇත. මධ්‍යම පාන්තිකයන් වැඩිම පිරිසක් ‌වෙසෙන, ‌කෙදිනකවත් එජාපය පරාජය වී නැති ‌කොළඹ දිස්ත්‍රික්කය පරාජය වූයේ එබැවිනි.  සජිත් කිසි වි‌ටෙක ගම්මට්ටමේ ද ජනප්‍රිය නැති බව ද ඇස් වලට කටු වලින් ඇණ ඔප්පුකර ඇත. 

'ආර්යාව' ඡන්ද ලක්ෂ දෙකකට කෙ‌ළෙව්වා..

ජනාධිපතිවරණය ආරම්භයේදීම ජලනි ප්‍රේමදාස කරළියට පැමිණ 'ආර්යාව' තමා බව කියා සිටියාය. එම වීඩියෝ ඇමුණුම සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වූ අතර දරුණු විවේචනයටත් තියුණු උපහාසයටත් ලක්විය. හේමා ගැන මතකය තිබූ වැඩිහිටි පරපුරද  ශිරන්තිගේ රැඟිලි ගැන හොද මතකයක් ඇති තරුණයන්ද හිරිවට්ටන්නට මේ වීඩියෝව සමත් විය. අනාගතයේදී දෙවන හේමා/ශිරන්ති බවට ජලනි පත් වීමට නියමිත බවට අදහසක් සමාජයේ වේගයෙන් පැතුරුණි. 

එජාප නායකයින්ගේ බිරින්දෑවරු ගෞරවණීය සමාජ පිලිගැනීමක් ලබා ගැනීමට සමත් වී සිටියහ. විශේෂ‌යෙන්ම ජයවර්ධන මැතිණිය, දිසානායක මැතිණිය, වික්‍රමසිංහ මැතිණිය ඒ අය අතුරින් ප්‍රධානය. ඩී. බී. විජේතුංග මැතිණිය කිසිදු ආකාරයකට ප්‍රසිද්ධියට පැමිණියේ නැත. ඇයගේ ‌සේයාරුවක් ‌හෝ අප දැක නැත. ඔවුහු යම් ආකාරයක ප්‍රසිද්ධ ස්ථානයක පැමිණෙන විට තම ස්වාමියාගේ තනතුර, රට නියෝජනය කරන ස්ත්‍රී ප්‍රතිරූපය රැක ගැනීමටත් ඒ අනුව ඇඳුම්-පැළදුම් පවා නිසි කල්පනාවෙන් තෝරා ගැනීමටත් ක්‍රියා ක‌ෙ‌ළෝය. එජාපයේ මෙම ගෞරවණීය සම්ප්‍රදාය විනාශ ක‌ෙළේ හේමා ය.  ශිරන්තිගෙන් පාඩමක් ඉගෙන ගෙන ‌හෝ ගෝඨා තම භාර්යාව යම් ආකාරයක දුරස්ථව තබා ගැනීමට තරම් බුද්ධිමත් විය. (අනාගතයේ ඇය කුමන රැඟුමක් රඟාවිදැයි අප නොදන්නා නමුත් දැන් ගෝඨාභය මැතිණිය ගෞරවණීය ලෙස හැසිරෙන බව ද  සටහන් කර තැබිය යුතුය) පියාගේ කාලයේ වාගේ නොව මේ කාලයේ සෑම කෙනෙකුටම කැමරා එල්ල වී ඇති බවත් ඒ වීඩියෝ සැ‌නෙකින් ලෝකය පුරා විසුරවා හැරෙන බවත් එබැවින් සිහි කල්පනාවෙන් යුතුව දේශපාලනය කළ යුතු බව සජිත් දැනගත යුතුව තිබුණි. තම මෑණියන්ගෙන් පියා උගත් පාඩම බිරිඳට උගන්වා පැත්තකින් තබා ගැනීමට තරම් තියුණු නුවණක් ඔහුට නොවීය. අවසන් ප්‍රතිඵලය වූයේ ගෝඨා විරෝධී කඳවුරට ඡන්ද ලක්ෂ දෙකක් පමණ අහිමි වීමය.

සජිත් තනිකරම දේශපාලන රූකඩයක්..

මහින්දට වීදි සටන් ඉතිහායක් තිබේ. රණසිංහ ප්‍රේමදාසට පාරේ බැස සටන් කළ ඉතිහාසයක් සහ ජනතාව අතර වැඩ කිරීම ගැන ගෞරවයක් තිබේ.  රාජිතලා පන්නරය ලබන්නේ පාරේ සටන් මගිනි. ජේ.ආර් සමඟ තීරණාත්මක ලෙස ගැටුණේ විජය, රාජිත, ඔසී සහ භාරත වැනි එවකට තරුණ නායකයන්ය. 94 ගිලිහුණු බලය නැවත 2001 දී ලබා ගැනීමට රනිල් කටයුතු ක‌ෙළේ 'ජනබල' මෙහෙයුමක් මගින් පාරේ සටන් කරය. පාරේ ගේම ගැසුවේ ගාමීණී අතුකෝරාලය, සහායට සිටියේ රාජිත වැනි සටන්කාමීන්ය. චම්පිකලා තරුණ විය ගත ක‌ෙළේ පාරේ සටන් බිමේය. අප වීරයා සජිත් පාරට බැස කළ එකදු හෝ උද්ඝෝෂණයක් ගැන අසන්නට නැත. මහජනතාවගේ එවැනි උද්ඝෝෂණයකට පැමිණ වචනයකින් ‌හෝ සහාය දැක්වීමක් ‌හෝ ‌කෙදිනකවක් සජිත් සිදුකර නැත.

දින 52 නීතිවිරෝධී ආණ්ඩුවට එරෙහිව අවම ක්‍රියාකාරිත්වය පෙන්වූයේ සජිත්ය. ඉදිරියෙන්ම කටයුතු ක‌ෙළේ රාජිත, චම්පක, සරත් ෆොන්සේකා, මංගල, අජීත්, මුජිබර්, හිරුණිකා වැනි පිරිස්ය. සිරිසේන සහ ඔහුගේ ලේකම් ශිරාල් සමඟ ඇති සමීප බව සජිත් පැත්තකට කරන්නට හේතු වූ බව රහසක් නැත. සජිත් හැම විටම කවුරුන් හෝ මෙහෙයුවනු ලැබු‌වේය. කාලයක් කිලී මහාරාජා ය. ඉන් පසුව සිරිසේන ය. දැන් එජාපයේ හරීන්, අජිත් වැනි පිරිස්ය. 

අවස්ථා කිහිපයකදී සජිත් පිළ එජාප නායකත්වයට එරෙහිව නම් පාරට බැස සටන් ක‌ෙළේය. ඒවා පිටුපස ද  මහරාජා සිටියත් ඉදිරියට ආවේ දයාසිරි, මෛත්‍රී ගුණරත්න වැනි පිරිස්ය. සජිත් සිටියේ ඇඳ යටය. තමන්ව නායකත්වයට පත් කරන්නට පා ගමන් ගිය එවුන්ට කුරුඳු පොලු වලින් ගසා එලවද්දී අප වීරයා නින්දේය. අඩුම තරමේ රෝහල් ගත වූ එකෙක් වත් බලන්නට රෝහලකට ගියේ නැත. බෙල්ල ගියේ මෛත්‍රී ගුණරත්ත සහ ශිරාල්ගේ ය. සිරිකොතට ගල් ගසා නෝන්ඩි වූයේ ද ශිරාල්ලා ‌මෛත්‍රී ගුණරත්නලා ය.

සජිත්ව නැටෙව්වේ සිරිසේනය...

පසුගිය කාලයේ සජිත්ව නැටෙව්වේ සිරිසේනය. සජිත් ජනාධිපති අපේක්ෂකයා වුවහොත් තම සහාය ලබාදෙන බවට සිරිසේන වක්‍රාකාරයෙන් ඉඟි පල කර සිටියේය. මංගල සජිත් සිටියේ සිරිසේනගේ මේ ලණුව ගිල ගෙනය. ඔවුන් සිටියේ සජිත්ට අපේක්ෂකත්වය ‌නොලැබුනහොත් එජාපය කඩාගෙන සිරිසේන සමග ‌පෙරමුණක් හදන්නට ය. අඩු ගණනේ සිරිසේන ‌ගෝඨාගේ ‌හෙංචා හමුදාපති කළේ මන්දැයි සිතන්නටවත් සජිත්ලාට සිහි බුද්ධියක් ‌නොතිබිණ.  අවසානයේ පජාති සිරිසේනයා සජිත්ට පස්ස පෙන්වා ගෝඨාට ඇල්ලුවේය. සිරිසේනගේ එකෙක් නෑර ගෝඨා සරණ ගියේය. ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී සිරිසේනව පතුරු ඇරියේ නම්  යහපාලනයට බාධා ක‌ෙළේ, පාස්කු ‌බෝම්බයට වගකිව යුත්තේ සිරිසේන බව සාධක සහිතව පෙන්වා දුන්නේ නම් එය විශාල වාසියක් වනවා නොඅනුමාණය. ඒත් මේ වන තෙක් කටක් ඇර සිරිසේන විවේචනය කිරීමට තරම් හයියක් සජිත්ට නැත . එතරම් නෝන්ජල්ය. සරත් නේසේකාගෙන්, නැතිනම් හිරුණිකාගෙන්වත් මේවා ඉගෙන ගත යුතුය. 

ජනාධිපතිවරණ පරාජයෙන් පසු අතුරුදහන් වී සිටි සජිත් නැවත පැමිණ 'අනෙක් අය බල කරන නිසා' විපක්ෂ නායක කම ගන්න ඇවිත්ය. තාමත් අන් අයගේ රූකඩයකි. තමන්ට කියා සැලැස්මක් වැඩ පිළිවෙලක් නැත. සටන්කාමීත්වයක් ගෑවිලාවත් නැත. සජිත් ගේ පසුබෑම ගැන අදහසක් පල කළ අයෙක් කීවේ “මේ යකා දැන් සිටිය යුතුතේ මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත කවුන්සලින් ප්‍රතිකාර ලබා ගත යුතු වට පිටාවක” කියාය. මෙවැනි එකෙක්ව විපක්ෂ නායක කමට යෝජනා කරන එවුන්ද ඒ සමඟම මනෝ වෛද්‍යවරුන් හමු වූවාට වරදක් නැත. 

මේ අතරේ ගෝඨා ජනාධිපති, සජිත් අගමැති ව්‍යාපාරයක් ගෙන යෑමට සජිත් පිලේ පිරිසක් යෝජනා කර ඇති බව ද වාර්තා වේ. මේ හදන්නේ තවත් වටයකින් කෙළවා ගැනීමට ය. රාජපක්ෂ පවුල් දේශපාලනය ගැන කිසිදු වැටහීමක් මේ අයට නැත.

විපක්ෂයට සටන්කාමී පරිනත නායකත්වයක් අවශ්‍යය..

සජිත් දේශපාලනයෙන් ඉවත් වන්නේද යන්න ඔහුගේ ප්‍රශ්නයකි. එහෙත් සජිත්ට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක කම යෝජනා කරන අය ගැන නම් සැලකිලිමත්විය යුතුය.  රාජපක්ෂලා බලයට එන්නේ පවුලේ අනාගත වසර 25 ක පාලන සැලැස්ම අතැතිවය. ඒ සඳහා එජාපයේ සිටින සමහර කොටස් අනියමින් සහාය වන බවද සැලකිය යුතුය. රාජපක්ෂලාට වඩාත්ම ගැලපෙන්නේ මෝඩ, කිසිදු  ආකාරයක සටන්කාමී බවක් හෝ ඉතිහාසයක් නැති, දේශපාලන රූකඩයක් මෙන්ම ජාත්‍යන්තර පිළි ගැනීමක් නැති ගොබ්බයෙක් විපක්ෂයේ මුල් පුටුවේ තබා ගැනීමටය. එජාපය දැන් විකල්ප නායකයින් ගැන සැලකිලිමත් විය යුතුය. චම්පික, සරත් ෆොන්සේකා, රාජිත මෙන්ම මුජිබර්, හිරුණිකා වැනි සටන් ආභාෂය සහිත අය ඉදිරියට පැමිණිය යුතුය. කරූ වැනි පරිනත නායකයින් ඉදිරියට පැමිණිය යුතුය. යහපාලනය වහ පාලනයක් කළ ඩීල් කාරයෝ, මාටියා කාරයෝ එක්ක විපක්ෂයේ සටන්කාමී දේශපාලනයක් කළ නොහැකිය. ගොන් ජෝකර්ලාට ඇමති කෝලම් කළ හැකි නමුත් විපක්ෂයේ සටන්කාමී දේශපාලනය කළ නොහැකිය. 

එක එකාගේ ගොන්කතා වලට අපහාස උපහාස විඳින්නට අප සූදානම් ද නැත.. 

සජිත් නඩය කරන මේ ගොන් නාඩගම දැන්වත් අවසන් කළ යුතුය. අපට විපක්ෂයේ ආත්ම ගෞරවය රැකගත හැකි, ලොව ඉදිරියට යා හැකි, ආර්ථිකය ගැන, නව දේශපාලන නැමියාවන් ගැන අවබෝධයක් ඇති, වෙනස් වන තත්වය අනුව දේශපාලන උපාය මාර්ගයන් තෝරාගත හැකි පිරිස් නායකයින් විය යුතුය. එක එකාගේ ගොන්කතා වලට අපහාස උපහාස විඳින්නට අප සූදානම් ද නැත. 

අප සිටින්නේ අර්ධ හමුදා පාලනයක් ඇති වීමේ අනතුරකය. නිළ නොවන මර්දනය ආරම්භ වී තිබේ. පසුගිය රාජපක්ෂ පාලනය ගැන පරීක්ෂණ කළ පොලිස් නිළධාරීන් මර්දනය කිරීම ආරම්භ කර තිබේ. ජනමාධ්‍ය මර්දනය ආරම්භ වී ඇත. තානාපති කාර්යාල පවා මර්දනයට ලක්ව ඇත. ස්වයං වාරණය දැන්ටමත් සෑම අංශයකටම  බෝ වී ඇත. වෙනදාට කොළඹ ඇවිත් වතුර නා ගෙදර යන අන්තරේ එවුන් දකින්නත් නැත. උන්ද ස්වයං වාරණය වී ඇත. ආණ්ඩුවක් පිහිටැවූ වහාම මර්දනයක් ආරම්භ වන්නේ නැති බව සාමාන්‍ය වුවත් අද එවැන්නක් නැත. අනාගත අනතුර තවත් බරපතල වනවා ඇත. ගම් මට්ටම් බිම් මට්ටම් ජොකර්ලාට ඇති වීමට නියමිත මර්දනීය පාලනය සමඟ ගණු දෙනු කළ නොහැකිය. ඒ සදහා විශේෂ වූ දේශපාලන පරිචයක් අවශ්‍යය. හරීන්ලා සුජීවලා දේශපාලනය දන්නේ නැත්නම් ඉගෙන ගත යුතුය. නැත්නම් පව් නොදී යන දිල්ලියක යා යුතුය. එජාප මහ ලේකම් ලෙස ක්‍රියා කළ රන්ජන් විජේරත්න, ගාමිණි අතුකෝරාල ගැන අඛිලලා දැන්වත් හැදෑරිය යුතුය. 

ඉදිරියේ තිබෙන්නේ සංකීර්ණ දේශපාලන වටපිටාවක්ය. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට, මර්දනයට මුහුණ දීමට සම්මුති, සංධාන සහ පුළුල් සටන්කාමී පෙරමුණු අවශ්‍ය වනු ඇත.  අනාගතය තියෙන්නේ සටන්කාමින් අතේ මිස ජෝකර්ලා අතේ නොවේ. 

විසල් කරුණාරත්න විසිනි

---------------------------
by     (2019-12-01 09:36:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links