~

එක්ව රැකීම හෝ වෙන්ව නැසීම ‌හෙවත් රනිල්-සජිත් නායකත්ව ගැටු‌මේ අනාගතය..!

තිලක් ‌දෙමටමල්පිටිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.28, ප.ව.6.30) එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණ‍යෙන් පරාජයට පත්වීමත් සමගම වර්තමාන‍යේ උද්ගතව ඇති තත්ත්වය බැලූ බැල්මට ඉතාමත් සං‍වේගජනකය.

සජිත් ‍ප්‍රේමදාස මහතා ජනාධිපති අ‍පේක්ෂකයා වශ‍යෙන් ඉදිරිපත්ව පරාජයට පත්වීම සමගම ඔහු‍ගේ අකර්මණ්‍යභාවය පාක්ෂිකයින් තුළ ජනිත කර ති‍බෙන්‍‍නේ විමතියක් හා කුතුහලයකි. 

සජිත් ‍ප්‍රේමදාස මහතා පරාජයට පත් ක‍ළේ රනිල් යැයි සමාජය තුළ මතවාදයක් පැවැතුනත්, එහි සත්‍යතාවයක් නැත. මක්නිසාද යත්, සජිත් පිළේ සියලු දෙනාම  පරාජ‍යේ වගකීම තනිකරම රනිල් පිට පැටවීම කුහකකමක් වුවද, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම නව ප්‍රජාතන්ත්‍රවාදී ‍පෙරමු‍ණේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂ‍යේ නායකයා වන රනිල් ට එහි වගකීමක් නැතැයි කියා ඔහුට අතපිසදා ගැනීමට ද ‍නොහැකිය. 

මෛත්‍රී ආණ්ඩුව විනාශ කරද්දී රනිල් ආණ්ඩු ‌කෙළේ නැත..

රනිල් වික්‍රමසිංහ යනු අත්දැකීම් බහුළ ‍දේශපාලනඥ‍යෙක් බව සැබෑය. එහෙත් ඔහු 2015න් පසු කාලය තුළ ආණ්ඩු ක‍ළේ නැත. රජයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වුවත්, ඔහු කටයුතු කළේ ආණ්ඩුව පවත්වාගෙන යාමට වඩා එය විනාශ කිරීම සඳහාය. හිටපු ජනාධිපතිවරයා විසින් එම රජය අකර්මණ්‍ය කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා විට 19 වන සං‍ශෝධනය යටතේ බලතල වැඩි අගමැතිවරයා තමන් යැයි කියා ගත් රනිල්, ‍මෛත්‍රිපාල සිරි‍සේන‍ගේ ක්‍රියාකළාපය සම්බන්ධව කිසිදු පියවරක් ගත්‌තේ ද  නැත. 

රනිල් තමන් සෑම විටම කටයුතු කළ ආකාරයටම ජනතාව විසින් එම ගැටළු විඳ දරා ගන්නවා ඇතැයි යන්න ‍ හෝ ජනාධිපතිවරයා අතින් බැට කන තම ආණ්ඩුව පිළිබඳව මහජනතාව‍ගේ අනුකම්පාව ලැ‍බෙනු ඇතැයි සිතුවා වන්නට ද පිළිවන.

ඒ ‍කෙ‍සේ ‍වෙතත්, ඔහු ආණ්ඩුව ක‍ළේ නැත. ආණ්ඩුව වසර පහක් ඔ‍හේ යන්නන් වාළේ ගලා ගියා විනා රජය විසින් ආණ්ඩුවක් ‍නොකිරීම ‍හේතු‍වෙන් මහජනතාව වි‍ශේෂ‍යෙන් එක්සත් ජාතික පාක්ෂිකයා පක්ෂ‍යෙන් ඈත් වී ගි‍යේය. රජය යහපාලනය ස්ථාපිත කිරීම සඳහා විවිධ පියවර ගත්තද ඒවා මහජනතාවට දැනෙන කාරණා නොවන බැවින් මහජනතාවට ආණ්ඩුව එපා විය.  2001- 2004 එක්සත් ජාතික පක්ෂ රජය සම‍යේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය රනිල් ‍ගේ ආණ්ඩුවට කළ ‍දේ ම, ‍මෛත්‍රිපාල සිරි‍සේන ජනාධිපතිවරයා ද ක‍ළේය. ඔහු  රනිල් ‍ගේ ආණ්ඩුවට කළ හැකි තරමක් ‍කෙ‌නෙහිළිකම් ක‍ළේය. 

සජිත් ද ‌මෛත්‍රීගේ ලණු ‌තොග පිටින් ගිල්ලේය..

සජිත් ‍ප්‍රේමදාස මහතා ගත් කළ ඔහු ද ඊලඟ නායකත්වය අපේක්ෂා‍වෙන් සිටියත්, ‍මෛත්‍රිපාල‍ගේ දිරච්ච ලණු ‍තොග ගණනින් ගිල්‍‍ලේය. වරක් ජනාධිපති ‍මෛත්‍රිපාල කියා තිබුනේ “සජිත් - රුවන් වි‍ජේවර්ධන කියන්‍‍නේ මට ම ගැළ‍පෙන මරු බඩු දෙකක්”  කියා ය. සජිත්ලා ‍මෛත්‍රිපාල‍ගේ ආකර්ශණීය වචනවලට රැවටී තමන්ට නායකත්වය හා ර‍ටේ ජනාධිපතිකම ලැ‍බේ වි යැයි කියා සිතීය. ‍සෙසු ඇමැතිවරුන්ට ද සිදු වු‍යේ එයමය. 

කෙළවුනාම පාක්ෂිකයා මතක්වී විසඳුනාම පාක්ෂිකයාට ‌කෙළවීම..

‍මේ එ‍කෙක්වත් පක්ෂය ප්‍රවර්ධනය සඳහා කිසිදු පියවරක් ගත්‍තේ නැත. තමන්ට ‍කෙළ වුනාම පාක්ෂිකයා මතක් වුවත්, ගැටළුව විසඳාගත් ක්ෂණයකින් පාක්ෂිකයා අමතක කර දැම්‍‍මේය. නිදසුන් ‍ලෙස ඔක්‍‍තෝබර් 26 දින සිදුවූ කුමන්ත්‍රණ‍යෙන් රජය ‍බේරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ අරගලයට උර දුන්‍‍නේ දහස් ගණනින් ‍කොළඹට රැස්වූ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයින්ය. එ‍හෙත් එම ගැටළුව විසදා ගත් ‍කෙ‍ණෙහි එක්සත් ජාතික පාක්ෂිකයා හී‍නෙන් ගිය අ‍ධෝවාතයක් තරමටවත්  එම පක්ෂයේ නායකයින් ගණන් ගත්‍‍තේ නැත.

ඔක්තෝබර් 26න් පසුව ආණ්ඩුව අහිමි වූ කළ තනතුරු අහිමි වූ රනිල් හිතවාදීන් සියලු ‍දෙනා රනිල් අතහැර ගියත්, ඔහු වටා ඒකරාශි වුයේ එජාප පාක්ෂිකයින් පමණි. එ‍හෙත් නැවත අගමැතිකම ලැබුණු විගස රනිල් අතහැර ගිය සියලු  රනිල් හිතවතුන් යළිත් තනතුරු  ලබා ගැනීම සඳහා රනිල්ට සමීප වූ බව සත්‍යයකි.

රනිල් විනාශ කළ චරිත රත්වත්තේ සහ පාස්කරලිංගම් මහල්ලන් ‌දෙදෙනා.. 

සැබවින්ම රනිල්ට රජය කර‍ගෙන යාමට ඉඩ නුදුන්‌නේ හා ඔහු‍ගේ ‍මොළය කා විනාශ කර දැම්‍‍මේ  චරිත රත්වත්‍‍තේ හා පාස්කරලිංගම් නැමැති මහල්ලන් පිරිසය. ඔවුන් ‍ගේ මනස තුළ සැම විටම තිබු‍නේ රාජ්‍ය දේපළ විකුණා දැමීම මිස අන් කිසිවක් ‍නො‍වේ. දකින දකින රාජ්‍ය ‍දේපොළ විකුණා දැමිය යුතු අගතිගාමි සිතුවිල්ල විනා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලැබීම දක්වා ප්‍රවර්ධනය කිරීම මෙන්ම, ලාභ ලබන ආයතන තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධව කිසිදු සංකල්පයක් ‍මේ ඊනියා මහල්ලන් ‍දෙ‍දෙනා තුළ ‍නොතිබිනි. 

රජය මහජනතාව‍ගෙන් ඈත් කිරීමට ප්‍රධාන වූ කරුණු අතර රනිල් අනුගමනය කළ ආර්ථික පිළි‍වෙ‍තෙහි වූ ‍නොගැලපීම් ප්‍රධාන වශ‍යෙන් ‍හේතු වූ බව කිව යුතුය. ඒවා කිසි‍සේත්ම ර‍ටේ ජනතාවට පිලිගත හැකි කාරණා ‍නො‍වේ. රනිල් ආර්ථික වැඩ කාරයෙක් යයි කීව ද රාජපක්ෂ යුගයේ සියේට 7 ක තිබූ ආර්ථික වර්ධනය රනිල් යටතේ සියේට 3 යි දශම ගණනකට ඇද වැටිණ. වැඩ කාරයෙකුට එසේ වැරදිය ‌නොහැකිය. 

හම්බන්‍‍තොට වරාය, මත්තල ගුවන් ‍තොටු‍පොළ ‍මෙන්ම නෙලුම් කුළුණ ද ගත් කළ ඒවා බැලූ බැල්මට සුදු අලි ‍මෙන් ‍පෙ‍නෙන්නට පිළිවන. නමුත් ඒවා ජාතිය සතු ධනය ‍වේ. ජාතිය සතු ධනය කුණු ‍කොල්ලයට විකුණා දැමීම මගින් සිදුවන්‍‍නේ  ර‍ටේ අනාගත පරපුරට ජාතික සම්පත් අහිමිවීම බව රනිල් ‍ගේ ඊනියා ආර්ථික උප‍දේශකයින්හට පෙනු‍නේ නැත. 

රනිල් වරද්දා ගනිද්දී සජිත් ඊට එරෙහිව මතයක් කීවේ ද නැත...

එක්සත් ජාතික පක්ෂයට එ‍රෙහිව මහජනතාව ‍පෙළ ගැස්වීමට අවශ්‍ය සියලු අඩුම කුඩුම එවකට පැවැති රජය විසින්ම විපක්ෂයට ‍තොග ගණනින් ‍දෙනු ලැබ තිබිණි.

එ‍සේ වුවද, අනාගත නායකත්වය අ‍පේක්ෂා‍වෙන් සිටියා නම් සජිත් පවා එම පියවරට එ‍රෙහි වු‍යේ නැත. අඩුම තරමින් ඔහු තමන්ගේ කැමැත්ත හා අකැමැත්තවත් ප්‍රකාශ ක‍‌ෙළේ නැත. රනිල් අකර්මණ්‍ය නායක‍යෙක් වූවා ‍සේම, සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂ‍යේ ‍සෙසු ‍ජ්‍යෙෂ්ඨයින්ද වසර පහකට පසුව එන ජනාධිපතිවරණය ඉළක්ක කර කිසිදු වැඩ කටයුත්තක් ‍නොක‍ළේය. 

සජිත් ජනාධිපතිවරණය පරාජයට පත්වීම වූකලී එම සියලු ‍දෑවල අවසාන ප්‍රතිපලයයි.

දැන් සිදුවන්‍‍නේ හා සිදුවිය යුත්‍‍තේ කුමක්ද?.. 

දැන් සිදුවන්‍‍නේ හා සිදුවිය යුත්‍‍තේ කුමක්ද? දැන් සිදුවන්‍‍නේද එදා සිදු වූ ‍දේම තවත් පියවරක් පමණි. නැවතත් නායකත්ව‍යේ රැඳී සිටීමට රනිල් දරණ උත්සාහය ‍මෙන්ම, නායකත්වය තමන් අතට ගැනීමට සජිත් තුළ පවතින අකර්මණ්‍යභාවය විනා අන් කිසිවක් නැත.

1970 මහමැතිවරණය පරාජය වී‍මෙන් පසුව එවකට එක්සත් ජාතික පක්ෂ‍යේ නායක ඩඩ්ලි ‍සේනානායක මහතා ද අද සජිත් ‍මෙන්ම පසුවුයේ දැඩි අකර්මණ්‍ය භාවයකිනි. සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිණිය‍ගේ ජයග්‍රහණ‍යෙන් කළකිරීමට පත් වූ ඩඩ්ලි ‍සේනානායක මහතා දින තුනක් ගත වන ‍තෙක් සිය රැවුළ වත් කපා දැම්‍‍මේ නැත. ස්නානය ක‍ළේ නැත. ඔහු ඔත් තැනම වැතිර සිටි‍යේය. එහෙත් ‍ජේ. ආර්. ජයවර්ධන මහතා එ‍සේ වු‍යේ නැත. ඔහු පසුදාම සිය පක්ෂ කාර්යාලයට ‍ගොස් නැවත පක්ෂය දිනවී‍මේ වැඩ පිළිවෙළ සැකසීය.

එහි අවසාන ප්‍රතිපලය වු‍යේ 1977 පැවැත්වූ මහමැතිවරණ‍යෙන් ‍ජේ. ආර්. ජයවර්ධන මහතා හ‍යෙන් පහක බලයක් සහිතව ජයග්‍රහණය කිරීමය.

ජේආර්ගෙන් මහින්දගෙන් ඉ‌ගෙන ගත යුතුය..

දැන් කළ යුත්‍‍තේ කුමක්ද.? දැන් කළ යුත්‍‍තේද 1970 ‍ජේ. ආර්. ජයවර්ධන මහතා ‍මෙන්ම නැවතත් බලය ලබා ගැනීම සදහා පක්ෂය සංවිධානය කිරීමයි. ඩඩ්ලි ‍මෙන් ‍ජේ. ආර්. කළකිරී පැත්ත වැටී සිටියා නම් කිසි දි‍නෙක නැවත බලය ලබා ගැනීමට හැකි වන්‍‍නේ නැත. අනික් කරුණ නම් ‍හොද නායක‍යෙක් යනු එක් පරාජයකින් පැත්ත වැටී සිටින්‍නෙක් ‍නො‍වේ. 2015 ජනාධිපතිවරණය පරාජයට පත්වී‍මෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා එ‍සේ පැත්ත දමා සිටියේ නැත. 

ඔහු‍ගේ ස‍හෝදරයින් පවා ඔහුව දමා පිටරටට පැන ගිය ද, ඔහු ඊට පසුදින පටන් ජනතාව ඒකරාශි කිරීම පටන් ගත්‍තේය. 2019 ඔහු ලැබු‍යේ එම ක්‍රියාදාම‍යේ ප්‍රතිපලයයි.

එ‍සේනම් දැන් රනිල් කළ යුත්‍තේ කුමක්ද? දැන් රනිල් කළ යුත්‍‍තේ තවදුරටත් පක්ෂ නායකත්වය අල්ලා සිටීම නොවේ. ඔහු පළපුරුදු , ‍දේශපාලක‍යෙක් බව සැබෑය. එහෙත් පක්ෂ‍යේ නායකත්වයට නව තරුණ නායක‍යෙක් පත්කිරීම ඔහු‍ගේම ආශිර්වාද‍යෙන් සිදු කරන්‍‍නේ නම් , එය සමස්ත ජනතා ඇගයීමට ලක් වනු ‍නොඅනුමානය. එ‍හෙත් තවමත් ඊට සූදානම් ද යන්න තවමත් පැහැදිළි නැතත්, ආරංචි මාර්ග අනුව නම් ඔහු ඉතා ඉක්මනින් නව නායක‍යෙකුට පක්ෂය ලබා දීම සිදු ‍කෙ‍රෙනු ඇත. 

සජිත් දැන් කළ යුත්‍තේ කුමක්ද..? සජිත් කළ යුත්‍‍තේ තවදුරටත් තම හිතවතුන් ලවා නායකත්වය විවේචනය කරමින්, නායකයා හට ගරහමින් පක්ෂ නායකත්වය ගැනීමට කටයුතු කිරීම ‍නො‍වේ. ඔහු කළ යුත්තේ පක්ෂ‍යේ නායකයා සමග එක්ව පක්ෂය ‍ගොඩ ගැනීමට පියවර ගැනීමය. තමන් ජනාධිපතිවරණ සමය තුළ කළ කී දෑ හා පරාජයට ‍හේතුවූ කරුණු පිළිබඳව සමා‍ලෝචනයක් කළ යුතුය. එවිට ඔහු ට තම කැම්‍‌පේන් එක තුළ ඇති අඩුපාඩු වටහා ගැනීමට හැකි වනු ඇත. 

හකුරු කෑමටත් ගු‍රෙක් සිටිය යුතු නම් ‌දේශපාලනය කිරීමට...

සජිත් ‍ප්‍රේමදාස මහතා නායකත්වයට සුදුසු නැතැයි ‍කෙ‍නෙකුට තර්ක කළ හැකිය. සජිත් රනිල්ගේ නායකත්වය හා සමාන කළ ‍නොහැකි වුවත්, ඔහුට නායකත්වයට අවස්ථාවක් සැලසීම තුළ ඔහුටම ‍ගොඩ නැ‍ගෙන්නට අවස්ථාව රනිල් ලබා දිය යුතුය. හකුරු කෑමටත් ගු‍රෙක් සිටිය යුතු යැයි ගැමි කියමණක් ගැමි සමාජය තුළ ති‍බේ. හකුරු කෑමටත් ගුරුවරයෙක් උවමනා නම් ‍දේශපාලනය කිරීම‍ට ගු‍රෙක් අවශ්‍ය නැතැයි සිතන්‍‍නේ නම් එය ‍මෝඩකමකි. 

ඒ නිසා සජිත් I am the Man යන සංකල්පයෙන් එළියට ආ යුතුය. පසුගිය කැම්පේන් එක් පුරාම ඔහුගෙන් දක්නට ලැබුනේ මම, මගේ, මගේ තාත්තා, මම සජිත් යන මමායනය පමණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටෙක මම ගැන කතා කළේ නැත, ඔහු කතා කළේ අපි යන සංකල්පයෙනි. අනික නම් සජිත් සිය කැම්පේන් එක තුළ පක්ෂය, නායකත්වය අමතක කළේය. එහෙත් ගෝඨාභය මහතා එසේ කළේ නැත. ඔහු සෑමවිටම මහින්ද රාජපක්ෂ නැමැති සාධකයට ඉස්මතුවීමට ඉඩ දුන්නේය.  

එහෙත් සජිත් රනිල් තුට්ටුවටම ඇද දමා අමතක කළේය. මේ පවතින්නේ එහි ප්‍රතිපලයයි.

එමනිසා මේ සියල්ල හඳුනාගනිමින් පක්ෂය වෙත යළි පාක්ෂිකයා ඇද ගැනීමට සජිත් වහාම කටයුතු කළ යුතුවා මෙන්ම රනිල් ද සජිත්ට නායකයෙක් වශයෙන් නැගී සිටීමට අත දිය යුතුය. එසේ නොකර සජිත්ට කකුළ් මාට්ටු දැමීමට ගියහොත් සිදුවිය හැකි අනතුරෙන් බැට කන්නේ සජිත් හෝ රනිල් නොව අසරණ පාක්ෂිකයාය.

රනිල් පිටව යාම කළ යුතුමය. සජිත් දරද‍ඬු වුවහොත් ඔහුද අතුගෑවී යනු ඇත...

අවසාන වශයෙන් හෙට දින එක්සත් ජාතික පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි කිව නොහැකි නමුත්, රනිල් දැන් ගෞරවයෙන් නායකත්වයෙන් පිට ව යාම නම් කළ යුතුමය. එසේ කළහොත් ඔහුට තවත් වසර ගණනාවක් ගෞරවණීය නායකයෙක් ලෙස පාක්ෂික සිත්සතන් තුළ පවතිනු ඇත.

සජිත් ද රනිල් ගෞරවණීයව පිටව යාමට අවස්ථාව ලබා දිය යුතුය. ඔහු වටා සිටින ඇතැම් කිසිදු අත්දැකීමක් නැති, මෙළෝ හසරක් නොදන්නවුන් දෙන ලණු කෑමට ගියහොත් සිදුවන්නේ ඉදිරි මහමැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස නැමැති දේශපාලන චරිතය ශ්‍රී ලාංකික දේශපාලනයෙන් අතු ගෑ වී යාමය.

හම්බන්තොට දේශපාලනය යනු වෙනමම කාරණයකි. එය කුමක්දැයි මම කියනවාට වඩා සජිත්ම දන්නවා ඇත. වසර 25 ක් තිස්සේ හම්බන්තොට දේශපාලනය කර ඇති සජිත්ට අන්තිමේ දී තම ආසනයවත් රැක ගැනීමට නොහැකි වුයේ ඔහු  හම්බන්තොට දේශපාලනය හඳුනාගෙන නැති නිසාය. 

එමනිසා ඔහු තවදුරටත් දරදඬු වුවහොත් මීලඟ මැතිවරණයේ දී අඩු තරමින් පාර්ලිමේන්තු ආසනයවත් දිනා ගැනීමට හම්බන්තොට දේශපාලනයෙන් ඉඩ නොලැබෙන බව ඔහු වටහා ගත යුතුය. 

තිලක් දෙමටමල්පිටිය

---------------------------
by     (2019-11-28 14:39:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links