යශෝවිජය ලියයි
(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.27, ප.ව.11.45) ඒ අඳුරු ප්‍රෝඩාකාරීන්ගේ අතීතය යළිත් වර්තමානය බවට පත්වී හමාරය. සිරිසේන-රනිල් පරිපාලනය නමැති අශීලාචාර ලෙස තමන්ගේ බලය වෙනුවෙන් කුළල් කා ගත් අසත්පුරුෂයින් දෙදෙනා රට හමුවේ පහකළ අශූචි කන්දේ අස්වැන්න මෙයයි. දැන් සිංහලයින් බහුතරයගේ අමනකමේ ප්‍රමාණය ක්‍රම -ක්‍රමයෙන් මැන බැලීමට එකිනෙක වෙනස් සිදුවීම් මතුවනු ඇත. පෙරදා ඒවාට විරෝධය දැක්වූවන් තම පණ කෙන්ද ගැට ගසා ගැනීම සඳහා ස්වයං වාරණයකට මුවාවී ජීවිතයේ ඉතුරු කාලය ගෙවා දමනු ඇත.
නිදහසින් වසර හැත්තෑවකට පසු නායකයෙක් අපනයනය කොට ඒ නායකයා තම මැජික් පොල්ලෙන් රටේ ප්‍රශ්න විසඳන තෙක් දේශප්‍රේමීන් සිහින දකිමින් සිටිති. මෙය, ගෙවී ගිය දශක හතක පමණ කාලය තුළ බිහි වූ දේශීය නායකයින් රටට ලබා දුන් ත්‍යාගයයි.
අපි විසින් අපේ ඉතිහාසය නිමා කොට ඇත. භීතිය, යුතුකම ඉටු කිරීමේ මෙවලම බවට පත් කොට ඇත. කැමැත්ත, බලෙන් නිර්මාණය කරනු ලැබූ විද්‍යුත් මාධ්‍යය තවදුරටත් සමාජය විපතට හෙළීම සිදු කරනු ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත් බව නොව එහි ඇති කුරිරු බව සහ අප්‍රසන්න බව ඉතාම කෙටි කාලයකින් මේ කාලකන්නි මහපොළව මත යළිත් ඔප්පු වනු ඇත.
අපි අපේ බහුතර කැමැත්තෙන් නිර්මාණය කරනු ලැබුවේ මිසයියා කෙනෙකු හෙවත් ගැලවුම්කරුවකු නොවන බව තේරුම් ගැනීමට නම් වෙලී සිටින නින්දෙන් අවදිවිය යුතුව ඇත. එහෙත් අපේ ඔළුගෙඩි වලට හෙණ වැදුණද අවදිවන බවක් පෙනෙන්නට නැත.
නිදහසේ අර්ථය සහ එහි ඇති සුන්දරත්වය අත්විඳීම සඳහා එය අහිමි විය යුතුය. එසේ අහිමි වූ ජාතීන් බොහොමයක් පසුකාලෙක එම නිදහස ඇහිරී යන බව හැඟුණු සෑම අවස්ථාවකම අරගල කළෝය. ඒවායෙන් ජයග්‍රහණය කළෝය. නමුත්, ශ්‍රී ලාංකිකයින් වන අපි නිදහස අහිමි කරගැනීම යුතුකමක් ලෙස දකින අමුතුම ජාතියකි.
2015 දී ගැලවුම්කරුවෙකු ලෙස ඉතාම නරක අවස්ථාවාදී කෛරාටික නළුවෙකුට රටේ ආනාගතය භාරදී අමාරුවේ වැටුණු ජාතිය, මෙවර කබලෙන් ලිපට වැටී ඇති බව තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ ඉතාම ඊට වඩා අඩු කෙටි කාලයකි.
2015 දී සාමූහික ව්‍යායාමයකින් දමනය කොට එළවා දැමූ බේබදු හස්ති රාජයෙකු මෙන් බලයෙන් මත් වූ “රජෙක්” සහ ඔහුගේ “පවුලට” වසර පහක් වැනි කෙටි කාලයකින් ජාතියේම ගැලවුම්කරුවන් ලෙස වර්ණගන්වා යළිත් රටේ සමස්ථ ආර්ථිකයෙන් සීයට අනූවකට වඩා වැඩි ප්‍රමාණයක ඍජු වගකීමක් ලබා දී තිබේ. මෙය තේරුම් ගැනීමට නොහැකි මේ ජාතියට යහපත් අනාගතයක් තිබේද යන්න ගැටලුවකි.
රටේ පරිපාලනය සිදුකරණ ප්‍රධාන අමාත්‍යාංශ සියල්ලම තම පවුල කේන්ද්‍රීයව තබා ගැනීම මගින් මේ අලුත් බලාපොරොත්තුවක් රැගෙන පැමිණියේ යැයි කියන නූතන මෝසෙස් ඔප්පු කොට ඇත්තේ, තම පවුල හැර වෙනත් කිසිවෙකු ශත පහකට විශ්වාස නැති බව නොවේද?
2015 දී දමනය කරනු ලැබුවේ මෙම අනිසි සහ අවලස්සන පරිපාලන ක්‍රම වේදයේම පිළා අවස්ථාව පමණි. යළිත් වසර පහකින් පසු එය පසු කරමින් සිටින්නේ සලබ අවස්ථාව හෙවත් ඉතාම තීරණාත්මක අවධියය. මෙම අවධිය ඉතිහාසයේ අවසානය යැයි හඳුන්වන්නේ ඒ නිසාය.
මීට පෙර රාජ්‍යය ව්‍යුහය තුළ ක්‍රියාත්මක වූ සියලුම දෑ අහෝසී වී එහි මතුපිට තලය ඉතාම සුන්දර වනු ඇත. රාජ්‍යය ලාංඡන පමණි. පොලිස් නිලධාරීන් පාරවල් පිරිසිදුව තබා ගනු ඇත. පෙරදා නොදුටු විනයක් දැකීමට හැකිවනු ඇත.
නමුත් ඒ සුන්දරත්වය යනු මතුපිට ආවරණයක් පමණක් වනු ඇත. අභ්‍යන්තර ව්‍යුහය ගැඹුරු රාජ්‍යයකින් (ඩීප් ස්ටේට්) සන්නද්ධ වනු ඇත. රටේ සියලුම දෙනා, සැකකරුවන් බවට පත් වනු ඇත. ඔවුහු සියල්ලගේම දුරකථන සංවාද සහ අනෙකුත් සන්නිවේදන කටයුතු, ව්‍යාපාරික කටයුතු, සමාජීය හැසිරීම්, පෞද්ගලික රුචි අරුචිකම්, ආදී සියලුම දෑ රහසක් නොව පරිපාලනයේ කොටසක් වනු ඇත. හිට්ලර් යටතේ ජර්මනිය, ස්ටාලින් යටතේ සෝවියට් දේශය, මාර්කෝස් යටතේ පිලිපීනය, සුහර්තෝ යටතේ ඉන්දුනීසියාව, ඉඩි අමීන් යටතේ උගන්ඩාව ආදී අතීත අත්දැකීම් වල නවමු භාවිතයක් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කිරුළු පළඳනු ලැබූ නව නායකයා විසින් රටට දායාද කර දෙනු ඇත. ශ්‍රී ලංකාව පශ්චාත් -සත්‍යය අවධියට අවතීර්ණ වූ ඩස්පොටියාවක් බවට පත්වනු ඇත. පාලකයා සහ ඔහුගේ කල්ලිය විසින් රටේ පාලිතයා සිටිය යුතු තැන තීරණය කරනු ඇත.
එහි පළමු වෙඩිමුරය පත්තු විය. එනම් ව්‍යවස්ථාපිත රෙගුලාසිය යොදාගෙන සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් වීමය. මේ නව නායකයාට කොමිසන් සභා අජූතය. නමුත්, ව්‍යවස්ථාවෙන් තමන්ට දී ඇති මුක්තිය එනම් ඕනෑම අපරාධයකින් නිදොස් වී නිදහස් වීම ඉතාම සුන්දරය. එලෙස නිදහස් වී ඉතාම කෙටි කාලයකින්, ක්‍රමයෙන් මාධ්‍යය දඩයම සහ පැහැර ගැනීමේ සංස්කෘතිය ආරම්භ කොට ඇත. තානාපති කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් පැහැරගත හැකි නම් රටේ අනෙකුත් ජනතාව ගැන අටුවා ටීකා අවශ්‍යද?
අපරාධකරුවෙකු යුක්තිය, නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තිබේද? නමුත් ඒ විහිළුවේ කොටස් කරුවන් බවට අපි ජාතියක් ලෙස ස්ව කැමැත්තෙන්ම බෙල්ල දී ඇත. දැන් ඇත්තේ, ඒ කිරුළු පලන් නායකයා හෙවත් ලංකාවේ මෝසෙස් ජාතියේ බෙල්ල උඩින් දුම්රිය ධාවනය කරන තෙක් බලා සිටීම පමණි. ඔහුට ඒ සඳහා අවශ්‍යය ධෛර්ය සැපයීම සඳහා, නව ව්‍යවස්ථාවකට සහය දෙන උන් වෙඩි තබා මරා දමා උන්ගේ මළ සිරුරු දණහිසෙන් පහළට තබා ඇදගෙන යා යුතු යැයි කියූ ඒ විරෝධාර පුරුෂ රත්නයටද හිමි තැන ලබා දී තිබේ. එසේම, වේදිකාවෙන් පිටුපස බොහෝ ගජබාවරුන් සහ දේශප්‍රේමයෙන් මත් වී සිටින කසාවතෙන් හෙබි උතුමන්ලා, ඝාතකයා විසින් ධාවනය කරනු ලබන ඒ දුම්රියට යට වී මියැදෙන ජාතියට නිසි සංග්‍රහය කිරීමට පෙළ ගැසෙනු ඇත. ඉතින් සොඳුර මතු උපදින සංසාරේ කෙදිනකවත් මේ භූමියේ නූපදීමට ප්‍රාර්ථනය කරමින් අපි යමු, ඒ ඝාතකයා විසින් ධාවනය කරන කෝච්චියට බෙල්ල දී සැනසෙන්න.
ඉතින් සිරිසේන මහත්තයෝ ඔයාට බොහෝම ස්තූතියි මේවගේ අවලම් වැඩක් කොට ඔබ ඔබේ විශ්‍රාම දිවිය රජෙක් මෙන් තනා ගත්තාට.
---------------------------
by (2019-11-27 21:58:43)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි