(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.27, ප.ව.3.45) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට තමා තීරණය කළ බව කථානායක කරු ජයසූරිය අද (නොවැ. 27 දින) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. තමා එම තීරණයට එළැඹුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව බවද කරු ජයසූරිය තවදුරටත් ප්‍රකාශ කරයි.
2019 නොවැම්බර් 21 දින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර එදිනම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂයේ සහ යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස දැනුම් දෙන ලදී.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 40 ක පමණ පිරිසකගේ අත්සන් සහිත ලිපියක් කථානායකවරයා වෙත යොමු කෙරුණු අතර, එමගින් ඉල්ලා තිබුණේ එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසය.
මේ අතර තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටින ලද්දේ සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙන ලෙසය.
මේ අතර පක්ෂ මහලේකම් අකිල කියා සිටියේ තමා සම්ප්රදාය අනුව විපක්ෂ නායක ධූරයට බහුතර පක්ෂයේ පක්ෂ නායක රනිල් නම් කරමින් ලිපියක් යැවූවද පක්ෂයේ සෙසු බහුතරය සාකච්ඡා කර තීරණයක් ගන්නේ නම් එය පිළිගන්නා බවයි.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන නායකයන්ගේ හමුවක් ඊයේ (නොවැ. 26) දින සවස කථානායක නිල නිවසේදී සංවිධානය කොට තිබිණි. එම හමුව සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැමිණ තම හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පැයක පමණ වේලාවක් කථානායකවරයා සමග සාකච්ඡා කරමින් පසුවූ නමුදු සජිත් ප්‍රේමදාස ඒ සඳහා නොපැමිණියේ ය. අවසානයේ තමන් අසනීපයෙන් පසුවන නිසා සාකච්ඡාවට පැමිණීමට නොහැකි බව සජිත් ප්‍රේමදාස පණිවිඩයක් එවූ බැවින් එම අපේක්ෂිත සාකච්ඡාව අසාර්ථක විය.
මේ අතර, ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල ලෙස සහයෝගය දැක්වූ පක්ෂ නායකයන්ද ඇතුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස හමුවීම හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම පවා අපහසු වී ඇති බවයි. සජිත් ජනාධිපති අපේක්ෂක ධූරයට පත් කිරීමට බෙල්ල දී ක්‍රියා කළ මංගල සමරවීර ද ඉදිරියේ දී පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බව පවසා තිබේ.
සජිත් මැතිවරණ අවසන් ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර ඒ වනවිටත් ප්‍රතිඵල ගණන් කරන ස්ථාන වල සිටි තම නියෝජිතයන්ද පාවා දෙමින් තමා පරාද බවත් ඒ නිසා නියෝජ්‍ය නායක ධූරයෙන්ද ඉවත් වන බවත් කිසිවෙකුගෙන් නොඅසා නිවේදනයක් නිකුත් කළේය. ඉන්පසු මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී කීවේ තමා 'සිවිල් පුරවැසියෙකු' ලෙස ගෝඨාභය කරන හොඳ වැඩ වලට සහාය දෙන බයයි. පරාජයෙන් පසු තම නිල මුහුණු පොතේ අවසන් වරට සටහනක් යොදා ඇත්තේ ද අමුතු කතාවකි. 'ලංකාවට අවේනික කොටි වර්ගයක් සංරක්ෂණය සඳහා ඇති ‘ප්‍රොජෙක්ට් ලෙපාර්ඩ්’ නම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තමාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් කැප වෙනවා' යැයි එහි සඳහන් විය. ඉන්පසුව ඇත්තේ ඔහු කුඩා කාලයේ සේයාරූ කිහිපයකි.
තමාට ජය ගත හැකි යයි උදම් අනමින් සහ අපේක්ෂකත්වය නොදුනහොත් පක්ෂය කඩාගෙන යන බවට තර්ජනද කරමින් තරඟයට ඉදිරිපත් වුවද තිබූ එජාප ඡන්ද ටිකත් අහිමි වී ලැබූ දැවැන්ත පරාජයකින් පසු සෙසු සගයන් ගැන හෝ නොසිතා නියෝජ්‍ය නායක ධූරයෙන්ද ඉල්ලා අස්වී පෙරේතයා පොළොවේ ගැහුවා සේ 'නන්නා පෝල්' වී සිටින මිනිසෙකු විපක්ෂ නායක කමකට හෝ එළැඹෙන අනතුරේ දී නායකත්වය දීමට තිබෙන ප්රජාතන්ත්රවාදී කඳවුරේ විශාලතම පක්ෂයේ පක්ෂ නායක කමට හෝ ඇද ගැනීමෙන් කුමන සුගතියක් ලැබේදැයි තවදුරටත් සජිත් පස්සේ යන 'වහන්සේලා' කල්පනා කළ යුතුය.
කථානායක කරු ජයසූරිය විසින් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක තනතුර සඳහා පිළිගනු ලබන්නේ මෙම පසුබිම තුළය. රනිල්ට වත්මන් පාර්ලිමේන්තු සංයුතිය තුල විපක්ෂ නායක ධූරය බාර දුන්නද ඔහුට තව දුරටත් රාජපක්ෂ රෙජීමයට එරෙහිව ප්රජාතන්ත්රවාදී සේනා සංවිධානය කළ නොහැකිය. ඔහුද නම්බු පිටින් යා යුතුය.
සජිත් ප්‍රේමදාස ඉහත කී ආකාරයට ඊයේ සාකච්ඡා මගහැරීම හේතු කොට ගෙන ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂය මෙහෙයවීමේ වගකීම කරු ජයසූරිය මහතා වෙත පිරිනැමිය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් යෝජනා කර ඇත. ලංකා ඊ නිව්ස් හි දේශපාලන විචාරක විසල් කරුණාරත්න සජිත්ගේ පරාජයෙන් පසු ප්‍රථම වරට ලියා තිබුණේ මීළඟ මැතිවරණයේ දී රාජපක්ෂලා තුනෙන් දෙකක් ලබා ගැනීම වැළැක්වීමටත් මතුව ඇති ප්රජාතන්ත්රවාදී කඳවුරේ හානියේ ප්‍රමාණය අවම කර ගැනීම සඳහා හානිපූරණයට දක්ෂ කළමණාකරුවෙකු වන කරු ජයසූරියට තාවකාලිකව හෝ එජාප නායකත්වය බාර දිය යුතු බවයි.
මීළඟ මහ මැතිවරණය අප්‍රේල් හෝ මැයි යන මාසයන්හි පැවැත්වීමට ඉඩ තිබේ.
---------------------------
by (2019-11-27 10:38:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි