කුමාර් ගුණරත්නම්ගේ අතකොළුවෝ අදත් නොදරුවන් පාරට බස්සති: පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.15, ප.ව‍.11.30) ලෝකයේ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැස සටන් කරද්දී පොදු අපේක්ෂකයාගේ ඡන්ද කැඩීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් ආගමන විගමන නීති උල්ලංඝනය කරවා කෝටි 5 ක අල්ලස් ලබා දී ලංකාවට ගෙන්වා ගත් කුමාර් ගුණරත්නම්ගේ අතකොළුවන් වී සිටින අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ නොමග ගිය සරසවි දරුවන් පමණක් අනෙකාගේ අයිතිවාසිකම් වනසා දමන්නැයි කියමින් පෙළපාලි යති.  

එවන් පෙළපාලියක් අද දිනයේද, මහා ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සිසුන් කරගෙන යන අමානුෂික නවක වදය නිසා සරසවි ආචාර්ය වරුන් දේශන වලින් ඉවත් වී සිටින කැළනිය සරසවියේ සිට කොළඹ ජනාධිපති මන්දිරය දක්වා ගමන් කෙළේය. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ ‘මාලාබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමනු‘ යන්නයි. 

වෙනත් පුද්ගලික උසස් අධ්‍යාපනායතන අනේකවත් ලංකාව පුරා පිහිටුවා තිබියදී මාලාබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පමණක් මේ අන්තවාදී මෝඩ නායකයන්ගේ ඉලක්කය වී තිබේ. වෙනකක් තබා තමන් රාජ්‍ය සරසවි වල හදාරන කලා උපාධිය, වානිජවේදී උපාධිය, විද්‍යාවේදී උපාධිය පවා සරසවි වරම් නොලැබූ බාහිර සිසුන්ට මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව තිබෙන බව පවා මේ පිරිස අමතක කරති. එය ‘කඩ වෙළඳාමක්‘ යයි නොකියති.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා හමුවීමට කල් තබා කිසිදු උත්සාහයක් දරා නැති මේ ගුණරත්නම්ගේ අතකොළු පිරිස පෙළපාලි වලින් එන්නේ හුදෙක්ම ජනාධිපති මන්දිරයට පෙළපාලි වලින් යෑමට ඉඩ නොදෙන බව දැන දැනම පොලිසිය ලවා අධිබල වතුර ප්‍රහාර සමග කඳුළු ගෑස් කවා නොදරුවන්ගේ ඇඟේ ලේ කෝප කරවා තමන්ගේ දුෂ්ඨ අරමුණු වෙනුවෙන් හෙංචයියන් පිරිසක් හදා ගැනීමට ය. 

එපරිද්දෙන්ම පොලිස් අණ නොතකා ජනාධිපති මන්දිරය දෙසට යෑමට උත්සාහ කළ පෙළපාලියට කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී අධිබල ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසිරුවා හැරිණ.

සරසවි වරම් ලැබීමට තරමේ මොළයක් තිබෙන මේ නොදරුවන් තව දුරටත් තමන් කුමාර් ගුණරත්නම් වැනි ගෝතයෙකුගේ අවස්ථාවාදී දේශපාලන පක්ෂයක පෙරටුගාමී හෙංචයියෙක් වෙන්නේ කුමකටදැයි කල්පනා කළ යුතුය. මේ නොදරුවන්ට ඒ ගැන නොතේරෙන්නේ නම් දෙමව්පියන් හෝ මහ නායක වරුන් හෝ තම දුවා දරුවන්ට තම ගෝල හිමිවරුන්ට කියා දිය යුතුය. අඩුම ගණනේ මීට පෙර අන්තරයේ මෙවැනි සටන් මෙහෙයැවූ දේශපාලන හෙංචයියන් අද කරන කියන දෑ හෝ බලා ඉගෙන ගන්නැයි කියා දිය යුතුය. ඊට හොඳම උදාහරණය ලෙස මීට වසර කිහිපයකට පෙර මෙවැනිම සරසවි සටන් මෙහෙයැවූ උදුල් ප්‍රේමරත්න නමැති වත්මන් නීතිඥවරයා  වර්තමානයේ බීමත්ව රිය පදවමින් තරුණියක් හප්පමින් කළ කී දෑ අනුව පමණක් සරසවි ජීවිතයේදී සිසුන් අන්දන බොරු සමාජවාදී සිසු නායකයන් ගැන අවබෝධයක් ගත හැකිය.

(සිසුන්ගේ සාධාරණ සටන් වෙනුවෙන් ලංකා ඊ නිව්ස් අනන්තවත් පෙනී සිට ඇත. නමුත් තවත් සිසුන් කණ්ඩායමකගේ අයිතිවාසිකම් උදුරා ගන්නැයි කියමින් කරන ගෝත්‍රික සටන් වෙනුවෙන් ලංකා ඊ නිව්ස් සහාය දක්වන්නේ නැත.) 
 
-සේයාරූ ලංකාදීපයෙනි-

---------------------------
by     (2016-03-15 23:10:36)