බොරුවෙන් මිදෙනතුරු ලංකාව ගොඩ ගැනීම බොරුය. චෝරවාදීන් සිටිනතුරු බොරුවෙන් මිඳීමද බොරුය -ථෙරවාදයද? චෝරවාදයද? -අංක 34

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.07, පෙ.ව‍‍‍‍‍.1.06) ශ්‍රී ලංකාවාසී අපට බොරුව තරම් පත්තියං වෙන වෙනත් යමක් තවත් නැත්තේය.  අපි බොරුව ජන්මය කොට ඇත්තෙමු. බොරුව දායාදය කොට ඇත්තෙමු. බොරුව පිළිසරණ කොට ඇත්තෙමු. බොරුව ඥාතියා කොට ඇත්තෙමු. එබැවින් බොරුව නොමැතිව ජීවත්විය නොහැක්කේය. 

“සීහල මනුස්සා ප්‍රාණ මුසා යෝනී,  මුසා දායාදා, මුසා පටිසරණා,  මුසා බන්ධූ“ යනුවෙන් බුදුන් වහන්සේ එදා දේශණා නොකළත් වැඩ සිටියානම් අද අනුදැන වදාරනු නියතය. 

දිනකට දස වතාවක් වුවද “මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමී“ කියන්නෙත් බොරුවටය. බොරු කීමේ අරමුණ රැවටීමය. අපි අනුන් රවට්ටන්නට මෙන්ම රැවටෙන්නට ද බෙහෙවින් කැමත්තෙමු.

මේ බොරුකාර ජීවිතය අපට උරුමකරදී  ඇත්තේ ථේරවාදී බුදු දහමයැයි කියමින් ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ  බඩගෝස්තරවාදයක් හඳුන්වා දී ඇති නිර්ලජ්ජී චෝරවාදීන් විසින් බව අපි නැවත නැවතත් කියමු. සසර බිය දැක පැවිදි බිමට පත් භික්ෂුවගේ ඒකායන අරමුණ නිවන් අවබෝධකර ගැනීම පමණක්ම ය. එයින් පරිබාහිර අන් කිසිදු අපේක්ෂාවක් ඔහුට නැත්තේ ය. ඔහු දේශපාලනය බඩ බැඳගන්නේ නැත. රජයේ රැකියා කරන්නේ නැත. බෞද්ධ දර්ශණය හැර වෙන වෙනත් බහුභූත හදාරන්නේ නැත.  කෙටියෙන් කියන්නේ නම් “භික්ෂුව ගිහි වැඩ කරන්නේම නැත“. ඔහු අල්ප කටයුතු ඇති සැහැල්ලු පැවතුම් ඇති අයෙකි. “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාදේත මං භන්තේ “ යනුවෙන් ආචාර්ය උපාධ්‍යයන් හමුවේ ප්‍රකාශ කොට සිවුරු පටිය කරබැඳගන්නේ ඒ නිසාය. බුදු දහමට වින කිරීම ආරම්භ වූයේ බුදුන් දවසම ය. චෝරවාදය බිහිවූයේ එතැන් පටන්ය. අද වෙන විට එය කුණු වී සැරව ගලන මහා තුවාලයක් බවට පත්ව තිබේ. අප එලොවත් මෙලොවත් දෙකම නැති අභබ්බයන් බවට පත්ව සිටින්නේ ඒ නිසාය.

බෞද්ධ සාහිත්‍ය එකකි. බුද්ධ දර්ශණය වෙනකකි. පටිච්ච සමුත්පාදයෙන් බැහැර සියල්ල සාහිත්‍ය කරුවන්ගේ නිර්මාණයන්ය. දේව කථා, ප්‍රේත කථා ඇසීමෙන්වත් පූජා පැවත්වීමෙන්වත් කවි බණ කීමෙන්වත් නිවන් දැකිය නොහැකිය. අපට බුදු දහම හැටියට කියාදෙන්නේ විවිධ පුද්ගලයන් විසින් ගොතන ලද කථාන්තරය. මේ සියළු කථාන්තර දානානිශංසයෙන් අවසන්වේ. චෝරවාදීන්ගේ අපේක්ෂාව ද එයමය. 

බෝසතුන් පිරුවේ දාන පාරමිතාව පමණක්ම නොවේ. සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, පඤ්ඤා පාරමිතාව, වීරිය පාරමිතාව, ඛන්ති පාරමිතාව, සච්ච පාරමිතාව, අදිට්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ඛා පාරමිතාව යනුවෙන් තවත් පාරමිතා නමයක් පූරණය කර තිබේ. එහෙත් චෝරවාදීන් සෑම විටම අපට දෙසන්නේ කන බණේ පමණි. 

දස පාරමිතා පැහැදිලි කරදීම සඳහා ද විවිධ කථාන්තර නිර්මාණය වී ඇත. අපට වැදගත් වන්නේ එම කථාන්තර  නොව නිවන් අවබෝධය සඳහා මනසෙහි සකස් කර ගත යුතු සීල, නෙක්ඛම්ම, පඤ්ඤා  ආදී මූලික තත්වයන්ය. චෝර වාදියා මේ එක පාරමිතාවක්වත් පුරන්නේ නැත. ඔහු කරන්නේ කථාන්තර කියා දී ගිහියන්ගේ ඉණ ඉහ අතගා ගැනීම පමණි. 

ජීවිත පරිත්‍යාගයෙන් සත්‍ය ගරුක වන්නේ කෙසේදැයි කියැවෙන (සච්ච පාරමිතාව) පැහැදිලි කරදීමට තරම් චෝරවාදියාගේ දිව නොනැමේ. අට්ඨකථාකරුවන් පසුකාලීනව ගොතන ලද නොයෙකුත්  ප්‍රබන්ධයන් ද බෞද්ධ සාහිත්‍යයෙන් හමුවේ. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් අසුවල් තැනදී මෙපමණ භික්ෂූන් පිරිසක් අරභයා දේශණා කර ඇතැයි  සඳහන් වීමත්, බෞද්ධ සාහිත්‍යයේ එන දානපති චරිත ආරෝපනය කර තිබීමත් නිසා අප ඒවා තර්කයකින් තොරව පිළිගන්නෙමු. වරද ඇත්තේ එතැන ය. බුදු සසුනේ පුනරුදයක් ඇති කළබ ව කියමින් පාරම්බානා ඇතැම් චෝර මුණ්ඩකයන්ගේ වගතුගත් එසේමය.

මෝක්ෂ මාර්ගාමී බුද්ධපුත්‍රයාණන් කෙනෙකු සිතන ආකාරයට  ගිහියන් වන අපට සිතිය නොහැකිය. එසේ කළ හැකි වූවා නම්  සිද්ධාර්ථ කුමරු ගිහිගෙය හැර නොයා යසෝදරාව සහ රාහුල කුමරු තුරුළු කරගෙනම බුද්ධත්වය ලබනු ඇත. 

බොරුව නිසා අප අපටම කොතෙක් රැවටී ඇත්දැයි  මොහොතක් විමසා බලමු.

අපට ශරීරයක් නැත. ඇත්තේ පංචස්කන්ධයකි. එය නැවත කේසා, ලෝමා නඛා, දන්තා, යනාදී වශයෙන් කුණුපයන් තිස්දෙකකට බෙදා තිබේ. මේ සියල්ල ඉතා පිළිකුල්ය. අසූචි ගොඩක් සමකින් වසාගත්තා බඳු ය. ජීවිතය අනිත්‍ය ය, දුක්ඛ ය අනාත්ම ය. එබැවින් අපට අප කෙරෙහි ආශාවක් නැත. එසේ සිතන්නේ පිළිකුල් භාවනාවේදී ය. එහෙත් මේ දෙතිස් කුණුපයන් සහිත පංචස්කන්ධය තුල සුළු හෝ ආබාධයක් හටගත් කල්හී නවතින්නේ රෝහලේ ය. සැබවින්ම ප්‍රතිකාර ගන්නා තැන තීරණය වන්නේ අතේ ඇති මුදලේ තරමට ය. එවිට මරණානුස්මෘති භාවනාවද අමතක ය. තත්වය භයානක නම් තවත් දවසක් හෝ ජීවත් වීමට ‘ජීවදාන පිංකමක්ද‘ කරගනිති. 

අවාසනාවකට මෙන් මරණයට පත්වුහොත් ජීවත්ව සිටියදී අසූහාරදහක් වෙහෙර විහාර කර තිබුනත් පළක් නැත. මියගිය ප්‍රාණකාරයා සුගතිගාමී කිරීමට නම් දන් දී පැන්වඩා පිංන් අනුමොදන් කළ යුතු වන්නේම ය. තවද දින හතෙන් මාස තුනෙන් අවුරුද්දෙන් යනාදී වශයෙන් මේ පැන් වැඩීම නැවත නැවත නොකළහොත් ඥාතියා මළ පෙරේතයෙකු වී ආපසු පැමිණ  (තිරෝ කුඩ්ඩ සූත්‍රයට අනුව) ලිබ්බොක්කේ කුණුමුල්ලේ, වැසිකිළි වලේ,  කසළ ගොඩේ ලගිමින් අපට අපල කරන්නේය. මිහිඳු මහ රහතන්වහන්සේ ලක්බිමට වැඩම කොට වදාල දිනයේ සිට අද දක්වා මරණයට පත්වූ අපේ වරිගයේ එකෙක්වත් මේ කරුම දෝශයෙන් මිදී නැත. දෙන පිං අනුමෝදන් වී යහපත් තැනක උප්පත්තිය ලැබුවාදැයි  අප දන්නේද නැත. පිං දීමේ (පිං ට්‍රාන්සර් කිරීමේ)  කොතැනක හෝ වරදක් සිදුව ඇත්නම්  මළ පෙරේතයා නිවැසියන්ට ද ආරූඪ වී ඌ කරන හතුරුකම් වලින් බෙරීමට බලි තොවිල් ආදී යාතු කර්ම ද  කළ යුතුය. ඒ සඳහා දක්ෂපක්ෂකම් ඇති භූත විද්‍යාඥයෝ ද අපේ රටේ සිටිති. ඔවුන් කරන්නේ පෙරේතයා අල්ලා නූලක ගැටයක් ගසා බැඳ දැමීම හෝ බෝතලයකට දමා මූඩිය තදින් වසා මුහුදට දැමීම ය. භූත විද්‍යාඥයන් ද සිය කටයුතු කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුහසින් ය.  බොහෝ විට මේ විජ්ජුම්බරවලට මැදිහත් වන්නේ ද චෝරවාදීන්ම ය. ඉතින් අපේ මුළු ජීවිතයම ගැටගැසී ඇත්තේ මෙවැනි බොරු නූල් සූත්තර වලින් නොවේද?

පරිත්‍යාගශීලී බව මිනිසුන්ට පමණක් නොව සියළුම සත්වයන්ට උරුම වූ ජන්ම දායායකි. තම දරුවන් කවා පොවා ආදරයෙන් රැක බලා ගන්නා පුරුද්ද ඇත්තේ අපට පමණද? තිරිසන් සතුන් සියල්ලෝම එසේම ය. එ් බව අපි කොතෙකුත් දැක ඇත්තෙමු. සමහර තිරිසනුන් මිනිසුන්ගේ ජීවිත පවා අනතුරුවලින් ගලවා  අවස්ථා එමට ය. වැදූ මව විසින් කුණු බක්කියට දැමූ කිරි දරුවෙක් බැල්ලක විසින් බේරාගැනීමේ සත්‍ය සිද්ධියක් පසුගියදා අන්තර්ජාලයෙහි පළ විය. 

කරුණාව දයාව වැනි හැඟීම්  අඩු වැඩි තරමින් සියළු සත්වයන් තුල දැකිය හැකි ගුණයන්ය. නමුත් බහුතරයක් බෞද්ධයන් සිය ගුණවත් බව පෙන්වන්නේ ඉච්ඡාවට නෙවේදැයි ඔබම විමසා බලන්න. ඉච්ඡාව යනු බොරුවේ තවත් පැතිකඩකි. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් ආකල්ප වශයෙන්ද ඉහළ තැනක සිටී. ඔවුහු පොදුවේ ගත්කළ තම වගකීම් යුතුකම් බොරුවෙන් වංචාවෙන් තොරව ඉටුකිරීමට  පුරුදුව සිටිති. අවශ්‍ය අවස්ථාවක දී පමණක් සිය ආගමට නැඹුරු වෙති. යුරෝපා සංචාරයක යෙදී පැමිණි සුධීමතෙකු වරෙක කීවේ ‘යකෝ ඇත්ත බුද්ධාගම තියෙන්නේ මෙහේ නොවෙයි එහේ‘ කියා ය.   

බොරුවෙන් මිදෙන තුරු ලංකාව ගොඩ ගැනීම බොරුය. චෝරවාදීන් සිටිනතුරු බොරුවෙන් මිඳීම ද බොරුය.

ආර්.ජී. ධර්මදාස විසිනි

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38

---------------------------
by     (2017-12-06 19:53:03)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is twelve thousand five hundred and eighty six as digits?

  2 discussion on this news

මැරෙනෝ! මැරෙනෝ! පිං කර ගනිල්ලා! පිං කර ගනිල්ලා! දාන දීපල්ලා! දාන දීපල්ලා! .....ඕක තමයි එකම බනේ!
-- by විජිත on 2017-12-07

අනුන්ට දෙසා බාන බණේට අනුව තමන්ගෙ පැවැත්ම සකස් කර නොගත් චෝරවාදී භික්ෂූන් වැඩි හරියක් අද ලෙඩ්ඩු හැටියට කරපු පව් මේ ආත්මෙදිම ගෙවනව.......
-- by latha on 2017-12-07

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more