මිතුරෙකුගේ ගෙල සිඳ මරා දැමූ මංගල සමරවීර මරණය යතුරු හිලෙන් නරඹයි..!

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.06, ප.ව‍‍‍‍‍.4.40) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ලංකාවේ නීති විරෝධීව අවහිර කර මාසයකට ආසන්න කාලයක් ගතවන තුරු ඒ පිලිබඳ මුඛ පියාගෙන සිටි ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ මුඛය විවෘත කර තිබේ. 

ඒ වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘මාධ්‍යයේ දේශපාලනය‘ නමැති සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. එම සංගමයේ ලේකම් ලසන්ත රුහුණගේ මහතා ලංකා ඊ නිව්ස් නීති විරෝධී වාරණයත් සමග නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් ජනාධිපති අගමැති හෝ මාධ්‍ය ඇමැති ප්‍රකාශයක් කළ යුතු යැයි ඉල්ලා තිබූ අතර ඊයේ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ කතාවට පෙර තම නිවේදනය මතක් කරමින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු යැයි කියා සිටි නිසා සමරවීර මහතා ඔහුගේ කතාවේ දී මෙසේ කීය.     

“ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සාහ කිරීමත් පසු බෑමක් විතරයි. කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නෙවෙයි” 

සමරවීර මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජනමාධ්‍ය ඇමැති ලෙස ලජ්ජා විය යුතුය. ප්‍රොක්සි හරහා රටේ මාධ්‍ය කියැවීමට ජනමාධ්‍ය ඇමැතිටත් සිදුව ඇත්නම් ඔහු ජනමාධ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව තමා යටතේම ජනමාධ්‍ය නිදහස වළලා තිබෙන බව තමන්ම පිළිගන්නා නිසා ය. 

එසේ නමුත් මංගල සමරවීර මාධ්‍ය සංගමයක් ඉදිරියේදී මේ කියන කතාව තමන් සුදනා වීමට කියන කතාවක් මිස සත්‍ය නොවන බව ලංකා ඊ නිව්ස් සලකයි. ලංකා ඊ නිව්ස් නීති විරෝධී වාරණය කෙළේ නොවැම්බර් 8 වෙනිදා වුවද ඒ වෙත එතෙක් ලබා දෙමින් තිබූ දැන්වීම් වාරණය කෙළේ අගෝස්තු 6 වෙනිදා ය. ඒ අන් කිසිවෙකු නොව වත්මන් ජනමාධ්‍ය සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇමැති ලෙස වැඩ බාර ගැනීමත් සමග ය. මුදල් අමාත්‍යාංශය යටතට යලි පවරා ගත් ලොතරැයි මණ්ඩලය විසින් ලංකා ඊ නිව්ස් වෙත ලබා දී තිබූ දැන්වීම වාරණය කර එම දැන්වීම ඔහුගේ පරංගි ලේකම්වරයා විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් වෙත ලබා දුන්නේ ය. එපමණක් නොව ඒ වන විට ගෙවිය යුතුව තිබූ මාසයක හිඟ දැන්වීම් ගාස්තුවක් වූ රුපියල් ලක්ෂයක මුදලක්ද අද දක්වා ගෙවා නැත. මාධ්‍ය ඇමැතිවරයා යටතේම පවතින සැලසිනේ ආයතනය විසින් ගෙවිය යුතු දැන්වීම් ගාස්තු දෙකක් වන රුපියල් 80 දහසක මුදලක්ද අද දක්වාම නොගෙවා පොල්ල තබා තිබේ. මාධ්‍ය වාරණය යනු එක එල්ලේම කෙරෙන වාරණය පමණක් නොවේ මාධ්‍ය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා දැන්වීම් වාරණය කිරීමද මාධ්‍යයට කරන හිරිහැරයක් ලෙසම සැලකිය යුතුය. 

මහින්ද රාජපක්ෂ යුගයේ ද ලංකා ඊ නිව්ස් ගිනි තබා තහනම් කිරීමට පෙර ප්‍රථමයෙන්ම සිදුකරන ලද්දේ දැන්වීම් කරුවන් වෙත තර්ජනය කර දැන්වීම් වාරණය කිරීමයි. එය කෙතරම් දුර දිග ගියේ ද කිවහොත් තර්ජන හමුවේ ද ලංකා ඊ නිව්ස් වෙත දැන්වීම් ලබා දුන් එක්තරා ආයතනයක් වෙත ජාතිවාදී උම්මතකයෙකු වන ගලගොඩඅත්තේ ඥානසාර දිනකට 6 වතාවක් තර්ජනය කරන ලද්දේ ය. ඒ ලංකා ඊ නිව්ස් වෙත ලබා දෙන දැන්වීම් නැවැත්වුවේ නැතිනම් සංඝ හමුදාවක් රැගෙන පැමිණ එම ආයතනය වටලන බව කියමිනි. ඉන්පසු එම ආයතනයද දැන්වීම් නවතා දැමීය. දැන්වීම් වාරණය කර මාධ්‍ය මර්දනය කිරීමේ ක්‍රමය අනුව ඥානසාරගේත් මංගල සමරවීරගේත් වෙනසක් අපට නම් නොපෙනේ. 

මේ කරුණු අනුව ඊයේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හමුවේ මාධ්‍ය ඇමැති මංගල සමරවීර ලංකා ඊ නිව්ස් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය තමන් සුදනා වීමට කරන ලද කපටි ප්‍රකාශයක් ලෙස අපි සලකමු. අඩුම ගණනේ ඔහු සුදනා වීමට නම් ලංකා ඊ නිව්ස් වෙත ගෙවිය යුතු හිඟ මුදල් රුපියල් එක් ලක්ෂ අසූ දහසක මුදල හෝ ගෙවිය යුතුය. නැතිනම් රටේ අය වැය පියවා ගැනීමට එම මුදල යොදා ගන්නා බව හෝ අපට දැනුම් දිය යුතුය. එවිට අපිට සාධුකාරයක් දී නිහඬ විය හැකිය.  

රාජපක්ෂ යුගයේ දී ලංකා ඊ නිව්ස් වාරණයත් සමග මංගල සමරවීර මහතා විසින් පවත්වාගෙන ගිය ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවිය ද වාරණය කෙළේය. එකල එකම බෝට්ටුවට වැටුනු අපි මිතුරන් වීමු. අද ඔහු මාධ්‍ය ඇමැතිවරයා වී ඔහුගේ ජනාධිපති සමග එක්වී ලංකා ඊ නිව්ස් වාරණය කර ප්‍රොක්සි හරහා බලන බව කියයි. මෙය නම් මිතුරෙකුගේ ගෙල සිඳ මරා දමා මරණය යතුරු හිලෙන් බලනවා වැනි නීච ක්‍රියාවකි. මංගල සමරවීර සමග අද සිටින මිතුරන් පරිස්සම් විය යුතුය. 

මංගල සමරවීර ඊයේ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හමුවේ කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ. 

“මේ දේශනය ගැන කල්පනා කර කර ඉන්න අවස්ථාවේ මට පොතක් කියවන්න ලැබුණ Constructive news කියල. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව කළ සමීක්ෂණයක්. එහි සඳහන් වෙන්නේ 2017 අවුරුද්දේ ජනතාවට විශ්වාසවන්තම වෘත්තියන් පිළිබඳවයි. ඉහළින් ම සඳහන් වන්නේ හෙද වෘත්තිය ඊළගට වෛද්‍ය වෘත්තිය. අන්තිම කෙළවරේ සඳහන් වෙනවා දේශපාලනය. ඒක එහෙයි මෙහෙයි කියල වෙනසක් නැහැ අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්. නමුත් ඊට උඩින් තියෙන්නෙ ජනමාධ්‍යවේදීන් කියලයි. අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නෙ. ඇමරිකාවෙ නෙවෙයි මෙහෙ සමීක්ෂණයක් කළත් මේ හා සමාන ප්‍රතිචාරයක් ලැබෙයි කියල මම හිතනවා. දේශපාලනඥයන්ට වගේ ම ජනමාධ්‍යවේදීනුත් විශ්වාසය අඩුවෙන් දිනාගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නෙ ඇයි කියල අපි සමීක්ෂණය කරන්න ඕනෙ. ජනමාධ්‍ය කියන්නෙ රටක් පවත්වාගෙන යන ප්‍රධාන කුලුනක්. දේශපානඥයො කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුනත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්. 

වෙබ් අඩවියක පුවතක් පළ වෙන්නෙ යන්නෙ තත්පර කිහිපයක් නිසා වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් ඒ සමග තරග කරන්න යාමෙන් සත්‍ය යට යනව ද කියන දේ ගැනත් අපි හිතන්න ඕනෙ.

මට මතක් වෙනවා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ මහතා ලියපු ශ්‍රී ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම කියන පොතේ වාක්‍ය කිහිපයක්. ‘රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය එම රටේ නිදහසේ අවසානයයි. එමෙන් ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකර යම් පුවත්පත් පළ කරයි නම්  එය ද රටක නිදහසේ අවසානයයි. ඒ වගේ ම එතුම ඒ පොතේ අන්තිමට මෙහෙම ලියනවා. නිදහස් රටක් නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා ඇති හොඳ ම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත අතර පවතින ගැටුමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. දෙපක්ෂය සදාකාලික සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයයි. දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක්. ගැටුමක් තියෙන්නෙ ඕනෙ. අපි දෙගොල්ලො කරට අතදාගෙන රාජකාරි කරන්නෙ ගියොත් අපි දෙගොල්ලගෙම වැඩේ හරියට සිද්ධ වෙන්නෙ නෑ. අපට මතකයි පසුගිය  යුගයදි ජනමාධ්‍යයට වඩා රජය කොතරම් ශක්තිමත් වුණා ද, ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් අපට අහිමිවුණා ද කියල. ඒ නිසා ම ජනමාධ්‍යයන් රජයේ හීලෑ ගෝලබාලයන් ලෙස කටයුතු කරපු කාලයකුත් තිබුණ. නමුත් අපට යළිත් වතාවක් ඒ තත්ත්වය සමබර කරන්න අපට පුළුවන් වුණා මේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ. තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් අපි සම්මත කරගෙන, ජනමාධ්‍යවේදීන්ට තමන්ගෙ මතය ඕනෑම විදියකට පළ කිරීමට අවස්ථාව ලබා දීල තියෙනවා. තහංචි මොකුත් ජනමාධ්‍යවේදීන්ට දාල නැහැ. 

ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී එතුම ඇහුවෙ කාටත් තේරෙන දෙයක්. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් පැමිණිලා, ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේද විතරක් නෙවෙයි ලෝකේ කිසිම රටක ද බාධා පැමිණිවීමට එරෙහිව සාකච්ඡා කරපු උත්සවේ කෝ අපේ ජනමාධ්‍යවේදී මහත්වරු. නමුත් මේ කර්තෘවරුන් ම මාධ්‍ය නිදහස නැති කිරීමට වගකිව යුත්තන් ම යළි වතාවක් කරළියට ගේන්න දිවා රෑ වැඩ කරනවා. 

රජයේ ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍යට වඩා සාධාරණව අද ප්‍රවෘත්ති ලබා දෙනවා. නමුත් අපි කියල තියෙනව ගැහුවොත් පොඩ්ඩක් ගහන්න කියල. අපටත් මොකක් හරි කියන්න අයිතියක් තියෙනවනෙ. නමුත් එදා වගේ අපේ විරුද්ධවාදීන්ගේ අම්මල තාත්තල මතක් කරල බනින්නෙ නෑ. ඒකාලෙ ගුවන්විදුලි සංස්ථාවේ හිටිය මහත්තයෙක් එයා මගෙ අම්ම මතක් කරල තියෙනවා සිය වතාවකට වඩා, මට නපුංසකයා කියල තියෙනව දෙසිය වතාවකට වඩා. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පස්සෙ තිබුණ තවත් ඒ වගේ වැඩසටහනක්.

ලංකා ඊ නිවුස් තහනම ගැනත් වචනයක් කියන්නම්. අද කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. තහනම් කරන්න උත්සහ කිරීමත් පසු බෑමක් විතරයි. කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නෙවෙයි,” 

අද නිදහස් ජනමාධ්‍යයට ප්‍රධාන තර්ජනයක් වී ඇත්තේ විශේෂයෙන්ම අන්තර්ජාලය තුළින් බොරු ප්‍රවෘත්ති විකාශ කිරීම බවත් ඒ සඳහා ට්‍රෝයි නමින් හඳුන්වනු ලබන මුදල් ගෙවන කණ්ඩායම් යොදාගන්න බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිදරව් කළේය. සැබෑ මිනිසුන්ගෙන් සැදි ‘ට්‍රෝයි‘ මෙන්ම කිසිදු අයකු නැති ‘බොක්ස්‘ නමින් හදුන්වන එකක්ද මෙම ක්‍රියා සඳහා යොදාගන්නා බවත්ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදා ගන්නා මෙබඳු ඒකක වැඩි ප්‍රමාණයක හඳුනාගැනීමේ අංක ඇත්තේ ලිබියාවේරුසියාවේ හෝ පැරණි සෝවියට්දේශයට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපීය රටවල බව සමීක්ෂණයකදී හෙළි වූ බව ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිකළේය. ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදාගන්නා මෙම ව්‍යාජ ඒකක වැඩි ගණනක සේවය ලබාගන්නේ නාමල් රාජපක්ෂ බව තමා වගකීමෙන් කියන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   

---------------------------
by     (2017-12-06 14:19:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more