නිදහසින් වසර 70 ක අභිමානය රැගෙන අසමත් රාජ්‍යයක දොරකඩ..! මංගලගේ මංගල අය වැයෙන් වෙනසක් වීද? -ආනුභාවනන්දගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.05, පෙ.ව‍‍‍‍‍.2.30) වසර 70 කට පෙර ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන අවස්ථාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් පත් වූ ශ්‍රීමත් හෙන්රි මැන්සන් මුවර් කියා සිටියේ ශ්‍රී ලංකාව ආසියාවේ අනාගතය වශයෙන් ඔට්ටු තැබිය හැකි බවයි. ශ්‍රීමත් මුවර් එම ප්‍රකාශය ආවාට ගියාට කීවක් නොවෙයි. ඒ සඳහා සමාජ ආර්ථික පසුබිමක් ශ්‍රී ලංකාව තුළ පැවැතියේ ය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවැති වසර දෙසියයකට ආසන්න කාලය තුලදී ශ්‍රී ලංකාව නවීන වෙළඳ රාජ්‍යයක් වශයෙන් පරිවර්තනය වී තිබිණ. තේ, රබර්, පොල් ප්‍රමුඛ අපනයන බෝග මත බර තබන ආර්ථිකයකට ශ්‍රී ලංකාව හිමිකම් කීවේ ය. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන විට ආසියාවේ අනෙකුත් කිසිදු රටකට හිමි නොවූ තරම් ශක්තිමත් විදේශ විනිමය සංචිතයක් සතු විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු හානියක් සිදුවී නොතිබිණ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෝ රටතුළ ස්ථාපිත කර තිබූ මිෂනාරි අධ්‍යාපනය මගින් කැපී පෙණෙන මානව සම්පත් ක්ෂේත්‍රයක් රටට දායක කර තිබිණ. මිෂනාරි අධ්‍යාපනයට එරෙහිව ආරම්භ කළ සිංහල බෞද්ධ පාසැල් මගින්ද අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන් රට තුළ පුළුල් වී තිබිණ. බ්‍රිතාන්‍ය හඳුන්වාදුන් සිවිල් සේවය, අධිකරණ පද්ධතිය, ප්‍රවාහන ඇතුළු යටිතල ව්‍යුහ පහසුකම් ඇතුළු අංග ගණනාවක් නිදහස් ශ්‍රී ලංකාවට ධනාත්මක දායකත්වයක් ගෙන එන බවට සැකයක් නොවීය. ඉන්දියාව තුළ මෙන් නිදහස දිනා ගැනීමේ ලේ වැකුණු අරගල මෙන්ව ජාතිවාදී වර්ගවාදී බෙදී වෙන්වීම් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු නොවීය. එවැනි පරිසරයක් යටතේ ආණ්ඩුකාර මුවර් පැවැසූ පරිදි ශ්‍රී ලංකාව ආසියාවේ ‘ආශ්චර්ය‘ වීමට අවශ්‍ය ගතිකයන් පැවැතියේ අදින් වසර හැත්තෑවකට පෙර නිදහස ලබා ගන්නා අවස්ථාවේ ය.

එදා රටේ විදේශ විනිමය ඉපැයූ ප්‍රධාන සාධකය වූයේ අපනයන වැවිලි බෝගයි. තේ, පොල්, රබර් යන ප්‍රධාන වැවිලි බෝග අපනයනය මගින් රටේ විදේශ විනිමයෙන් සියයට 90 ක් උපයා ගනු ලැබීය. තේ, පොල්, රබර් ත්‍රිත්වය අතින් වැඩිම දායකත්වයක් දැක්වූයේ තේ වගාවයි. වැවිලි ත්‍රිත්වයෙන් තේ කර්මාන්තය දැක්වූ දායකත්වය සියයට 60 ක් ඉක්මවා ගියේ ය. විසිවන සියවසේ මුල් භාගයේ ප්‍රධාන වැවිලි බෝග වන තේ පොල් රබර් සඳහා හොඳ මිලක් ලැබුණු අතර දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව හා කොරියන් යුද්ධයත් සමග තත්ත්වය ශ්‍රී ලංකාවට වඩාත් හිතවාදී විය. ප්‍රධාන වැවිලි බෝග මගින් ලැබෙන විදේශ විනිමය මගින් රටේ අනෙකුත් අවශ්‍යතා පිරිමසා ගැනීම එදා පැවැති ක්‍රමවේදය විය. විශේෂයෙන් රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් සපුරා ගනු ලැබුවේ ආනයනය මත යැපෙමිනි. 

වැවිලි බෝග ක්ෂේත්‍රය ඉතා සංවිධානාත්මක මට්ටමක පැවැතියේ ය. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පිලිබඳව “A Hundred Years of Ceylon Tea 1867 - 1967“ නමින් ග්‍රන්ථයක් 1968 දී රචනා කරන D M Forrest කියා සිටින්නේ එවකට තුන්වන ලෝකයේ පැවැති විශිෂ්ඨතම වානිජ ව්‍යාපාරයක් වන්නේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බවයි. තේ වගාව මෙන්ම අපනයනය මූලික වශයෙන් බ්‍රිතාන්‍ය සමාගම් අත පැවැති අතර දේශීය ව්‍යාපාරික ප්‍රජාවද යම් තරමකට මෙම ක්ෂේත්‍රය කෙරෙහි ආකර්ශනය වෙමින් පැවැතියේ ය. ෆොස්ටර් පැහැදිලි කරන අන්දමට තේ පැලට සිටවීමේ සිට ලන්ඩනයේ හෝ කොළඹ තේ වෙන්දේසියට අපනයනය කරන තෙක් පැවැති වානිජ දාමයන් ඉතා සංවිධානාත්මක සහ කාර්යක්ෂම ස්වරූපයක් ගත්තේ ය. 

රන් බිජු දැමූ කිකිළිය

යටත් විජිතයක් වශයෙන් තේ, පොල්, රබර් යන වැවිලි බෝග මත ශ්‍රී ලංකාවට යැපිය හැකි වුවත් නිදහස් ශ්‍රී ලංකාවට තව දුරටත් මෙම වැවිලි ආර්ථික උපාය මාර්ගයේ ගමන් කළ හැකිද යන්න ප්‍රශ්නකාරී විය. නිදහසට පෙර උරුම වූ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය යන සමාජ සුබ සාධන වැඩ පිළිවෙලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගනු ලැබුවේ ප්‍රධාන වැවිලි අපනයන සඳහා අයකරනු ලැබූ බදු මුදල් මගිනි. මේ පිළිබඳ ආර්ථික විශේෂඥයෝ කිහිප දෙනෙක් අනතුරු ඇඟවූහ. ඒ අතරින් ප්‍රධාන වන්නේ ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් ය. 1951 දී බ්‍රිතාන්‍යේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලට ප්‍රකාශයට පත් කළ ඔහුගේ “The Economy of Ceylon“ ග්‍රන්ථය මගින් මෙම ආර්ථික අනතුර දීර්ඝව විස්තර කරන තිබිණ. ශ්‍රී ලංකාවේ සුබ සාධන රාජ්‍යය පවත්වාගෙන යන වැවිලි ආර්ථිකය ශ්‍රීමත් ජෙනින්ග්ස් අර්ථ දක්වා තිබුණේ “රත්තරන් බිත්තර දමන කිකිළියක්“ වශයෙනි. සමස්ථ සුබ සාධන යන්ත්‍රයම වැවිලි ආර්ථිකයේ බදු මත රැඳීමත්, විදේශ විනිමය ඉපැයීම මූලික වශයෙන් වැවිලි ආර්ථිකය මත රඳා පැවතීමත් ගැන අනතුරු අඟවන ඔහු “ යම් විනාශයකින් තේ කර්මාන්තය නැති වී ගියහොත් රටේ ජාතික ආදායමෙන් තුනෙන් එකක් අතුරුදහන් වනු ඇත. මෙය භයානක ආර්ථික ප්‍රවේශයක්. රටේ සුබ සාධන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම රටේ ජනතාවට හෝ රජයට බලපෑම් කළ නොහැකි බලවේග මත තබා ඇත“ (පිටුව 80) යැයි අවධාරණය කරන්නේ ය. ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් ශ්‍රී ලංකාවට යෝජනා කරන්නේ විවිධත්වයෙන් යුතු ආර්ථික ප්‍රවේශයකි. වැවිල් කර්මාන්තය මත පමණක් බර නොතබා ශ්‍රී ලංකාව සිය විදේශ විනිමය වැඩියෙන් වැය කරමින් ආනයනය කරන භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කළ යුතු බව ඔහු යෝජනා කෙළේය. ඒ සඳහා ආදේශ කර්මාන්ත වහාම ආරම්භ කළ යුතු බවට ඔහු පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාව නිදහස ලබන මොහොතේ ප්‍රධාන අපනයන වැවිලි බෝග තුන වන තේ, පොල්, රබර් සඳහා ඉහළ වෙළෙඳ පොල මිලක් තිබූ නමුත් වෙළෙඳපොළ මිල ඕනෑම මොහොතක ඉහළ පහළ යා හැකි අවධානමක් විය.

නිදහස ලැබීමෙන් පසුව ආසියාවේ ආශ්චර්යය බවට පත්වීමට අපට කළ යුතුව තිබුණේ බ්‍රිතාන්‍යය උරුම කර දුන් විශාල විදේශ විනිමය සංචිතය සහ යටිතල ව්‍යුහ පහසුකම් මත පදනම් වෙමින් ඉදිරි අනාගතය වෙනුවෙන් දිගු කාලීන ආර්ථික වැඩ පිළිවෙලක් සැලසුම් කිරීම ය. නිදහස් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ දිගු කාලීන පැහැදිලි පොදු සමාජ ආර්ථික වැඩ පිළිවෙලකි. එහෙත් අවාසනාවකට එවැනි පැහැදිලි පොදු වැඩ පිළිවෙලක් සකස් කර ගැනීමට අපේ නායකයෝ අසමත් වූහ.

රන් බිජු දැමූ කිකිළිය මරාගෙන කෑම

නිදහසින් පසුව අපට උරුම වූ විදේශ විනිමය සංචිතය මෙන්ම ප්‍රධාන වැවිලි බෝග මත අයකර ගනු ලැබූ බදු ආදායම සුබ සාධන වැඩ පිළිවෙල සඳහා අත දිග හැර වියදම් කෙළේය. වැවිලි බෝග වලින් පරිබාහිර ක්ෂේත්‍රයක් සඳහා නිසි දිගු කාලීන ආයෝජනයක් නොකෙළේය. ඒ වෙනුවට විදේශ රට වලින් සහල් ආනයනය කරමින් ජනතාවට නොමිලේ සහල් බෙදුවේ ය. බලය ලබා ගැනීමේ පටු අරමුණින් “හඳෙන් හෝ හාල් ගෙනැවිත් නොමිලේ බෙදීමට පොරොන්දු විය.“ එහෙත් අවම වශයෙන් හඳෙන් හාල් ගෙන ඒමට මූලික වූ ‘රත්තරන් බිජු දමන කිකිළිය‘ ආරක්ෂා කර ගැනීමට තරම් ඉදිරි දැක්මක් ප්‍රතිපත්තියක් අපේ නායකයන්ට නොවීය. නිදහසින් පසුව මෙරට වැවිලි සමාගම් හි අනාගතය පිලිබඳව අපට පැහැදිලි ජාතික දැක්මක් නොවීය. වාමාංශික මෙන්ව ජාතිවාදී බලවේග වැවිලි කර්මානතය ජනසතු කළ යුතු බවට යෝජනා කෙළේය. එහෙත් රජය මෙරට ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකෙළේය. මෙම තත්ත්වය ඉදිරියේ බ්‍රිතාන්‍ය වැවිලි සමාගම් සිටියේ දෙලොවක් අතර ය. ඔව්හු වැවිලි කර්මාන්තය වෙනුවෙන් නව ආයෝජන සිදුකිරීමට උනන්දු නොවීය. නිදහසින් වසර 10 කට පසුව එනම් 1958 දී “ විදේශ තේ සහ රබර් වතු ජනසතු කිරීමේ “ පත්‍රිකාව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වශයෙන් රජය පිළිගත්තේ ය.

වතු ජනසතු කිරීම සම්පූර්ණයෙන්ම විනාශයක්ම විය. එවකට තුන්වන ලෝකයේ පැවැති විශිෂ්ඨතම වානිජ ව්‍යාපාරය වශයෙන් හඳුන්වනු ලැබූ මෙරට තේ කර්මාන්තය වසර කිහිපයක් තුළ බිඳ වැටුණි. “ශ්‍රී ලංකා තේ“ සඳහා පැවැති වෙළෙඳ පොල ක්ෂය වී ගියේ ය.  බ්‍රිතාන්‍ය වතු ජනසතු කළ වාමාංශික ඩබල් ඩොක්ටර්ස්ලා අඩුම ගණනේ ඒ වතු වලින් ගන්නා තේ ටික විකුණා ගත යුත්තේ බ්‍රිතාන්‍ය වෙළෙඳ පොළේ නොවේද යන්න ගැන පවා සිතුවේ නැත. ජන සතුව සමග පැවැති රජයන්ගේ හෙංචයියන්ට දහස් ගණන් රැකියා ලබා දීම හේතුවෙන් නිෂ්පාදන වියදම ඉහළ ගිය අතර අකාර්යක්ෂමතාවය හේතුවෙන් ඵලදාව පහත වැටුනේ ය. මෙම වාතාවරණය යටතේ “ශ්‍රී ලංකා තේ“ වලට ලෝක වෙළෙඳපොලේ තරඟ කිරීම දුෂ්කර විය. ලැබෙන විදේශ විනිමය සීග්‍රයෙන් පහත වැටුණි. අපි රන් බිජු දැමූ කිකිළිය මරා දැමුවෙමු. සත්‍ය වශයෙන්ම අද වන විට ලංකාවේ කවුරුන් කෙසේ කීවද “ශ්‍රී ලංකා තේ“ නමින් ප්‍රකට වෙළෙඳ නාමයක් බ්‍රිතාන්‍යයේ හෝ යුරෝපයේ හෝ නොමැත. 

මෙම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවූයේ අපට වැවිලි බෝග සම්බන්ධයෙන් නිසි දැක්මක් ප්‍රතිපත්තියක් නොවීම හේතුවෙනි. බ්‍රිතාන්‍යය වැවිලි සමාගම් සතුව තිබූ ඉඩම් ප්‍රාග්ධනය අත්පත් කර ගන්නවා හැරෙන්නට ඒවා නිසි පරිදි කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිලිබඳව ප්‍රතිපත්තියක් අපට නොවීය. 

වසර 70 කට පෙර ආසියාවේ ආශ්චර්ය යැයි බලාපොරොත්තු වූ ශ්‍රී ලංකාව අද සිටින්නේ ‘අසමත් රාජ්‍යයක‘ දොරකඩ අබියස ය. ලෝක බැංකුවේ වසර 2013 දත්ත වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 45 ක් දිනකට උපයන්නේ ඇමරිකානු ඩොලර් 5 කට අඩු ආදායමකි...!

ආයෝජකයන්ගේ දේපොළ බලහත්කාරයෙන් අත් පත් කරගෙන පසුව ආයෝජකයන් සොයා හිඟමනේ යෑම

නිදහස ලැබෙන විට රට තුළ සිටි විදේශ ආයෝජකයන්ගේ දේපොළ බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් වැවිලි, ඛනිජ තෙල්, ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ජනසතු කර කිරි බත් කෑ අපි දැන් විදේශ ආයෝජකයන් සොයා ලෝකය පුරා හිඟමනේ යමු. ස්ථාපිතව තිබූ දියුණු කළමණාකරන සහ තාක්ෂණික සම්ප්‍රදායන් විනාශ කර දැමූ අපි දැන් ඒ පිලිබඳ විශාල කැක්කුමකින් කතා කරමු. 

ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික බිඳ වැටීමට හේතු සාධක ගණනාවක් ඇති අතර ආර්ථික විශේෂඥයෝ විවිධ ආර්ථි විශ්ලේෂණ න්‍යාය ගෙන හැර දක්වති. ඔවුන් සියළු දෙනාම එකඟ වන එක් මූලික කරුණක් තිබේ. එනම් ශ්‍රී ලංකාවට පැහැදිලි දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. එදා නිදහස ලබා ගත් අවස්ථාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ඉතිරි කර තිබූ විදේශ සංචිත සහ වැවිලි අපනයනය මත බදු ලබා ගැනීමෙන් එකතු කර ගත් මුදල් සුබ සාධනය සඳහා අත දිග හැර වියදම් කළා මිස රටේ යටිතල ව්‍යුහ පහසුකම්, කාර්මික සංවර්ධනයක් හෝ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව පිබිඳීමක් ඇති කිරීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කෙළේ නැත. ඒ තත්ත්වය අදටද වෙනසක් නැත. 

මංගලගේ මංගල අය වැයටද දිගුකාලීන දැක්මක් නැත

වසරේ වැදගත්ම ආර්ථික ලියැවිල්ල වශයෙන් සැලකෙන අය වැය යෝජනා උදාහරණයකට ගනිමු. මෙම වාර්ෂික අය වැය යෝජනාවන්හි දිගුකාලීන ආර්ථික දැක්මක් දක්නට නැත. බොහෝ විට ඇත්තේ සරුව පිත්තල යෝජනා ගණනාවක් පමණි. මෙම යෝජනා වසරක කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය හෝ එහි සාර්ථකත්වය පිලිබඳ අනෙක් අය වැයේ දී පැහැදිලි කරුණු ඉදිරිපත් කරන්නේ නැත. නව වසරේ අය වැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හැරෙන්නට වැඩකට ඇති වැඩක් සිදුවන්නේ නැත. මංගල සමරවීර ඇමැතිවරයාගේ මංගල අය වැය ද මෙයින් වෙනස් නොවේ. එහි දිගුකාලීන දැක්මක් නැත. විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම ගැන අවධාරණය කරයි. එහෙත් ඒ සඳහා වැඩ පිලිවෙලක් දැක්මක් නැත. 

දේශපාලන ස්ථාවරත්වයක්, කාර්මික සාමයක්, නවීන යටිතල ව්‍යුහ පහසුකම් නොමැතිව විදේශ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම පහසු නැත. ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයද අද වඩාත් සංකීර්ණ වී ඇත. නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට අද ඉදිරියට පැමිණ ඇත්තේ ජාතිකවාදී ආර්ථික දැක්මයි. එය වඩා ආරක්ෂණවාදී පිළිවතකි. යුරෝපය මෙන්ම උතුරු ඇමැරිකාව උත්සාහ කරනුයේ තම ආයෝජකයන් නැවත තම රටවලට ගෙන ඒමට ය. 

යා දෙක නොරත රත

1977 දී හෝ 90 දශකයේ දී මෙන් මේ අවස්ථාවේ බටහිර ආයෝජකයෝ ශ්‍රී ලංකාවට නොඑති. ශ්‍රී ලංකාවට යැපීමට සිදුව ඇත්තේ චීනය හෝ ඉන්දියාව මත ය. යහපාලන ආණ්ඩුව ජාතික රජයක් වශයෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගනීවි යැයි විශ්වාස කළ ද සිදුව ඇත්තේ අනෙකකි. එහි විනාශකාරී චරිතය වී ඇත්තේ ජනාධිපතිවරයා ය. ඔහු ආණ්ඩුවේ ප්‍රධානියාව හිඳිමින් ආණ්ඩුවේ අගමැති ඇතුළු අනෙක් පාර්ශවයට පහර දෙමින් සිටී. වසර 3 ක සුළු කාලයකදී ආරක්ෂක ලේකම්ලා 3 ක් මාරු කර තිබේ. ජනාධිපති ලේකම්ලා 2 ක් මාරු කර තිබේ. පරිසර ලේකම්ලා 4 ක් මාරු කර ඇත. මුදල් ඇමැති බලතල තිදෙනෙකු අතර බෙදා ඇති අතර ඒ අතරින්ද දෙදෙනෙකු මාරු කර තිබේ. වරාය ඇමැතිවරු දෙකක් මාරු කර ඇත. ඛනිජ තෙල් ඇමැතිලාද දෙකක් මාරු කර ඇත. විදේශ ඇමැතිලා 3 ක් මාරු කර ඇත. සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රීලනිප සහ එජාපය ‘යා දෙක නොරත රත‘ ය. මේවා දකින විදේශ ආයෝජකයන්ට කෙසේ වෙතත් දේශීය ආයෝජකයන්ට ද යහපාලන ආණ්ඩුව ගැන විශ්වාසයක් නැත. ඔව්හු නව ආයෝජන සඳහා ඉදිරිපත් නොවෙති. පසුගිය වසර තුනක කාලය පුරා කිසිදු කැපී පෙනෙන විදේශ ආයෝජනයක් රට තුල සිදුවූයේ නැත. විදේශ ආයෝජකයන් ඇද ගැනීමේ දේශපාලන, සමාජ, ආර්ථික පරිසරයක් රට තුළ නැත. රටේ වැඩකරන දින විස්සක මාසයක් ගත් විට එයින් හරි අඩකට වඩා කොළඹ නගරය පුරා උද්ඝෝෂණ, විරෝධතා, උපවාස සහ පෙළපාලිය. ජනාධිපතිවරයාද තමන් තනතුරු අතහැරදා පැමිණ ජනතාව සමග සටන් කරන බව උන් හිටි ගමන්  කියයි. මෙවැනි රටක ආයෝජනය කිරීමට විදේශ ආයෝජකයන් ඉදිරිපත් නොවීම පුදුමයක් නොවේ ය. 

1977 බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධනගේ එජාප රජය මෙරට ආර්ථිකය විවෘත කරන විට දකුණු ආසියාවේ කිසිදු රටක් ආර්ථික ලිබරල්කරණයක් ගැන සිහිනයකින් හෝ සිතා සිටියේ නැත. එදා විදේශ ආයෝජකයන්ට දොරටු විවෘත කරන විට ඔවුහු පිම්මේ මෙහි පැමිණියහ. 1978 ඔක්තෝම්බර්  23 දා පළ වූ ‘Far Eastern Economic Review' සඟරාව එදා ඍජු විදේශ ආයෝජන ආකර්ශනය අර්ථ දැක්වූයේ ශ්‍රී ලංකාව ආසියාවේ නව ආයෝජන මධ්‍යස්ථානය බවට පත්ව ඇති බව හඳුන්වා දෙමිනි. එහෙත් මෙම සුවිශේෂී ආකර්ෂණීය තත්ත්වය දශකයකට අධික කාලයක් පැවැති නමුත් බංගලා දේශය 1987 දීත්, පාකිස්ථානය 1988 දීත්, ඉන්දියාව 1990 දීත් සිය ආර්ථිකයන් ලිබරල් කරණයට ලක් කිරීමත් සමග ශ්‍රී ලංකාව භුක්ති විඳි සුවිශේෂී වාසිය අහිමි විය. ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා දකුණු ආසියානු රටවල් සමග තියුණු තරඟයක නිරත වීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. මේ වන විට එම තරඟයෙන් අපි පරාජයට පත්වෙමින් සිටින්නෙමු. බංගලා දේශය අප පරාජය කරමින් ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට සමත්ව ඇත. වසර ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වූ ඇඟලුම් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් අපෙන් ගලවා බංගලා දේශයේ ස්ථාපිත කිරීමට විදේශ ආයෝජකයෝ කටයුතු කළහ. ඒ බංගලාදේශය අපට වඩා හොඳ ආයෝජන ආකර්ශන පරිසරයක් නිර්මාණය කළ බැවිනි. 

මහාචාර්ය හීන් නිලමේ ගේ සිහිනයක් අනුව College of General Practitioners නම් වෛද්‍ය විද්වත් ආයතනය 1980 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලාබ නොලබන පෞද්ගලික විද්‍යාලයක් වශයෙන් ආරම්භ කරන විට දකුණු ආසියාවේ තබා ආසියාවේ බොහෝ රටවල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමු කර තිබුනේ නැත. ශ්‍රී ලංකාව පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ආසියානු කේන්ද්‍රය කිරීම මහාචාර්ය හීන් නිලමේ ගේ සිහිනය විය. අවස්ථාවාදී දේශපාලනය මෙන්ම පැහැදිලි දිගු කාලීන ප්‍රතිපත්තියක් නොමැති කම හේතුවෙන් එම සිහිනය ද බිඳ වැටුනි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර (1989 දී රජයට පවරා ගෙන එය විනාශ කරන ලදී) වසර තිස් ගණනකට පසුව සයිටම් වෙනුවට ලාබ නොලබන රජයේ නොවන වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට දැන් යෝජනා ඉදිරිපත් වී ඇත. වසර තිස් ගණනකට පසුව අපි නැවත ආරම්භ ස්ථානයට සේන්දු වී ඇත්තෙමු. ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්ති සහ සැළසුම් ගැන තවත් කථා කිරීම අවශ්‍ය ද?

මොළයට ලාභයක් කර ගැනීමට වළක වැටුනාදැයි දැන ගත යුතුය

මෑතකදී අකාලයේ මිය ගිය මෙරට බිහි කළ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය සමන් කැලේගම මහතා ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 50 ක් සැපිරීම නිමිති කරගෙන රචනා කළ “Development in Independent Sri Lanka ; What Went Wrong“ නම් පර්යේෂණ පත්‍රිකාව 'Economic and Political Weekly' නම් ශ්‍රස්ත්‍රීය සංග්‍රහයේ වසර 2000, අප්‍රේල් 22-28 කලාපයේ පළ කර තිබේ. එම දීර්ඝ පර්යෝෂණ පත්‍රිකාවේ ඔහු මෙසේ සඳහන් කරයි. “ 1965-70 කාලයේ දී ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග 3 ක් ස්ථාපිත කිරීමට යෝජනා කෙළේය. වසර 1974-75 කාලයේ දී (වසර 1976 නොබැඳි සමුළුවට පෙර) කටුනායක ගුවන් තොටුපොලේ සිට කොළඹ නගරය දක්වා වන අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට සැලසුමක් විය. එහෙත් මේ සියලු දැවැන්ත ව්‍යාපෘති කඩදාසි වලට සීමා වූ විශිෂ්ට අදහස් පමණක් විය. ශ්‍රී ලංකාවේ රජයන්ට යටිතල ව්‍යුහ පහසුකම් හි සරළ වටිනාකම අවබෝධ කර ගැනීමට අසමත් විය. ඔවුහු ජනතාවගේ කෙටිකාලීන බලාපොරොත්තු සංතෘප්ත කිරීමටත් ඊලඟ මැතිවරණය දෙස බලා කටයුතු කළහ.“ (පිටුව -1487-1488) 

නිදහසින් වසර 70 කට පසුව ද ඉතිහාසය පුරා සිදුකරමින් තිබූ වැරදි නැවත නැවතත් සිදුකරමින් සිටිමු. ‘වළක වැටීම මොළයට ලාභයක්‘ යැයි චීන නායක මා ඕ සේතුං වරෙක කියා සිටියේ ය. එහෙත් මොළයට ලාභයක් ලබා ගැනීමට නම් පළමුව වළක වැටුනු බව වටහා ගත යුතුය. එහෙත් අවාසනාවකට එවැනි වටහා ගැනීමක් නැත. මෙරට ආර්ථික සමාජීය ඉදිරි ගමනට බාධා පැමිණවූ දශක 3 ක් පුරා පැවැති යුද්ධය අවසන් වී ඇතත් දෙමළ ජනතාවගේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දී එම ජනතාව පාලනයේ කේන්ද්‍රයට දායක කර ගැනීම ගැන උනන්දුවක් නැත. විධායක ජනාධිපතික්‍රමයේ ගැටළුකාරී තත්ත්වයන් මග හරවා රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට ගැනීම තවත් දේශපාලන පාපන්දුවක් වී ඇති සේ ය. අවාසනාවකට මේ ලැයිස්තුව දිගය. සැබැවින්ම රට තිබෙන්නේ වසර 1948 ත් වඩා නරක තැනක ය. 

ආනුභාවනන්ද විසිනි

[email protected]

---------------------------
by     (2017-12-05 16:49:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  2 discussion on this news

ආචාර්ය කීර්ති කැලේගම නොව සමන් කැලේගම විය යුතුයි නේද?
-- by Tissa Abeyratne on 2017-12-05

තිස්ස අබේරත්න මහතාණෙනි, වරද පෙන්වා දුන්නාට ස්තූතියි. වරද නිවැරදි කළා.
-- by Lankaenews on 2017-12-05

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more