මංගලගේ අසාර්ථක සමුළුවට ආ අගමැතිට මළ පනී

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.04, ප.ව‍‍‍‍‍.11.30) රාජපක්ෂලාගේ වනචර දශකයක පාලන කාලය පුරා ලංකාවේ මාධ්‍යවේදීන් මරා දැමීම්, අතුරුදහන් කිරීම්, අත පය කඩා දැමීම් හා පහර දීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් ආදිය පිලිබඳ නව ආණ්ඩුව පැමිණ වසර 3 ක් ගියද එකදු අපරාධකරුවෙකුට හෝ දඬුවම් පමුණුවා නැති අතර ලංකා ඊ නිව්ස් ගිනි තැබීම වැනි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂනයක් හෝ අරඹා නැත. වින්දිත මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වන්දි ගෙවන බව කීවද වසර 3 ක් ගත වීද තඹ සතයක වන්දියක් ගෙවා ද නැත. ඒ ගැන සොයා බැලීමට වත්මන් මාධ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කළද එය මර නින්දක ය.  අලි මදිවාට හරක් කීවා සේ ශ්‍රී ලංකාව තුල මසකට මිලියන 2 කට අධිකව කියවමින් සිටි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ද දැන් වාරණය කර ඇත්තේ කිසිවෙකු වගකීමක්ද බාර නොගෙන නීති විරෝධීව ය. මේ සියළු තත්ත්වයන් යටතේ වත්මන් මාධ්‍ය වාරණයට නිල වශයෙන් වගකීමක් දැරිය යුතු මාධ්‍ය ඇමැතිවරයා විසින් අද කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේ දී “මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර් ජාතික සමුළුවක්“ කැඳවා තිබිණ. සත්‍ය වශයෙන්ම මෙය මියන්මාරයේ පැවැත්වීමට නියමිතව තිබූවක් වන අතර බලයෙන් වාගේ ලංකාවට ගෙන්වා ගෙන තිබූ නමුත් එක් පුද්ගලික දමිළ පුවත් පතක කර්තෘවරයෙක් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙදෙනකු හැර අන් කිසිදු මාධ්‍යවේදියෙකු , මාධ්‍ය සංවිධාන නියෝජිතයෙකු ගෙන්වා ගැනීමට සංවිධානය කළ මාධ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී තිබිණ.

මේ තත්ත්වය හමුවේ මෙහි ප්‍රධාන අමුත්තා වූ අගමැතිවරයා මාධ්‍ය ඇමැතිවරයා කෙරෙහි කෝප ගැන්වී තිබුණු අතර කවදාවත් නොමැතිව අන්තර්ජාතික සමුළුවක දී සිංහලෙන් කතා කරමින් ඔහු තම ආවේගය පිට කෙළේ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වය නොමැති කම ගැනය. සත්‍ය වශයෙන්ම ඉන් ඔහු තම අප්‍රසාදය පළ කෙළේ මාධ්‍යවේදීන් කෙරෙහි නොව මේ අසාර්ථක සමුළුව සංවිධානය කළ මාධ්‍ය ඇමැතිවරයාට සහ අද ඔහු සමග සාංගම් වී සිටින කුජීත ජඩමාධ්‍ය ආයතනයන් කෙරෙහි ය. 

එහිදී ඉතා කෙටියෙන් කථා කළ අගමැතිවරයා මෙසේ පැවසීය.

“මෙම අන්තර්ජාතික සමුළුවේ අරමුණ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළගැසීමයි. රාජපක්‍ෂ රෙජිමය යටතේ එම අපරාධ එකක් සම්බන්ධයෙන්වත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. තමන්ගේ හිතුමනාපයට ඕනෑම මාධ්‍යවේදියෙකුට පහරදුන්නා. අත්අඩංගුවේ තබා ගත්තා. අද අපි මේ පවත්වන වැදගත් උත්සවයට මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් පැමිණේවි යැයි මා බලාපොරොත්තු වුණා. නමුත් එවැනි කිසිවෙකුත් මෙහි පැමිණ නැහැ. රාජ්‍ය මාධ්‍ය දෙකක සභාපතිවරුන් සහ පෞද්ගලික මාධ්‍යයක කර්තෘවරයෙකු ඉන්නවා. අපට බලාපොරොත්තු විය හැක්කේ මෙය ද? ලසන්ත වික්‍රමතුංග, ප්‍රදිප් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, උදයන් පුවත් පතේ මාධ්‍යවේදීන්ට පහරදීම්, ජීවිත නැති කිරීම් කලාට ඒ පිළිබඳව තමන්ට කිසිම ළැදියාවක් නැති බව, උනන්දුවක් නැති බව මෙම මාධ්‍ය පිරිස නොකියා කියනවා. 

මේ කියන්නේ මාධ්‍ය නිදහස අවශ්‍ය නැති බව ද? රාජපක්‍ෂ රෙජිමය නැවතත් අවශ්‍ය බවද? ආණ්ඩුව නැති කර දමා හෝ නැවත රාජපක්‍ෂ රෙජිමය ගෙනැවිත් අප නැවතත් මාධ්‍යවේදීන් මරාදමන්නට ඉඩදෙමු කියන කාරණය ද? නැතිනම් ඔවුන් කියන්නේ වෙන මොනවාද? මාධ්‍යවේදීන්ට සිදු වූ අකටයුතුකම් පිළිබඳව ඔවුන් කිසිදිනෙක මගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. අජිත් පෙරේරා මහතාගේ ඡායාරූප පස්වතාවක් පළ කළ අයුරින්, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඡායාරූප පස්වතාවක් පළ කොට මේ මිනිහාට සිදුවූයේ කුමක්දැයි මගෙන් ඇසුවේ නැහැ. 

මගේ මේ කතාව පළ කරාවිදැයි කියාවත් මා දන්නේ නැහැ. හෙට සිට මට තවත් පහර ගසාවි. නමුත් සත්‍ය මෙයයි. අද ගල්ගමුවේ ඇතාගේ ප්‍රශ්නය පිළිබඳව, දළ පිළිබඳව කතා කරනවා. එය ඉතා හොඳයි. ඒ පිළිබඳවත් අප ක්‍රියා කරනවා. නමුත් මාධ්‍යයේ කරඬුව ගෙන ගිය ඇතා මරා දැමූ පසු මේ අය කතා කළේ මොනවාද? මේ තත්ත්වය බලපාන්නේ මට නොවෙයි. මාධ්‍යවේදීන් සියලුම දෙනාටයි. මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමට අප උනන්දු වෙනවා. නමුත් ඔබ වැඩකරන සමාගම එලෙස උනන්දු වෙනවා ද? එදත් ඔවුන් නිශ්ශබ්දව සිටියා. රාජපක්‍ෂ රෙජිමය සමග හවුල් වී බිස්නස් කළා. 

අද ඔවුන් මේ ආණ්ඩුවට ගහන්නේ ඇයි? අද ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප ජීවත් වන නිසයි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය එපාවී තිබෙනවා. ඔවුන්ගේ අරමුණ රාජපක්‍ෂ සමග නැවත පැමිණ මුදල් ඉපැයීමයි. ව්‍යාපාර කිරීමයි. ඒ ක්‍රමවේදය නැවත ගෙන ඒමයි. එවිට මෙරට මාධ්‍ය නිදහස ආරක්‍ෂා වන්නේ කෙසේද? ආණ්ඩුවෙන් පමණක් මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන්න හැකියාවක් නැහැ. සිවිල් සමාජයට පමණක් එය කරන්නට බැහැ. අප පොරොන්දු වූ දේ අප විසින් සිදු කරනවා. මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන්නට කැපවී සිටිනවා. ඇතැම්විට අතපසුවීම් සිදුවිය හැකියි. නමුත් අපේ කාර්යය අප කරනවා. 

මෙම වැදගත් සමුළුවේදී මට රටෙන් අසන්නට තිබුණේ අප මාධ්‍යවේදීන් ආරක්‍ෂා කරන්නට මෙහි පැමිණි අවස්ථාවක මාධ්‍ය නියෝජනය කරන ප්‍රධාන පුද්ගලයන් මෙහි නොපැමිණියේ ඇයි? යන ප්‍රශ්නයයි. මොවුන්ට අවශ්‍ය මාධ්‍ය ආරක්‍ෂා කරන්න ද මාධ්‍ය නිදහස පාවිච්චි කොට ආණ්ඩුවට පහර ගසා, යහපාලනයට පහර ගසා රාජපක්‍ෂ රෙජිමයක් නැවත ඇති කරන්න ද? යන ප්‍රශ්නය අපට ඇති වෙනවා. මේ කාරණයෙන් එකක් ඔප්පු වෙනවා. සමහර කරුණු හෙළිදරව් නොකරන්නේ ඇයි ද යන වගත්, මෙතරම් පහර ගහන්නේ ඇයි යන වගත් ඔවුන්ගේ මේ ක්‍රියාවෙන්ම ඔප්පු වෙනවා. මා මේ කතාව අවසන් කළ මොහොතේ සිට මට බනින්නට නිදහස තිබෙනවා. “ අගමැතිවරයා කීය.

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහා මූලිකත්වය ලබා දී කටයුතු කරන්නැයි ඒ පිළිබඳ පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇතැයි සමුළුවට සහභාගී වූ  නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට සිදු වූ බලපෑම් සම්බන්ධ ඇතැම් සිද්ධිවල සාක්ෂි පවා විනාශ කිරීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බවත් ඇතැම් අපාරාධවලට සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා පවා විනාශ කර ඇති බවත් සාගල ඇමැතිවරයා කීය.

තත්ත්වය එසේ වුවත් අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ මේවන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතැයිද මේ පිලිබඳ සොයා බැලීමට නව නීති රීති හඳුන්වාදෙන බවද කී ඇමැතිවරයා ප්‍රගීත් එක්නැලිගොඩ වැනි සිද්ධිවලදී මළ සිරුර හමු නොවී ඝාතන චෝදනා ගොනු කිරිම සඳහා අවශ්‍ය නව නීති රීති හඳුන්වාදිය යුතු නම් ඒ සඳහා ද පසුබට නොවන බව පැවසීය. අදාළ පරීක්ෂණ පැවැත්වීමට කොතරම් දුෂ්කරතා ඇතිවුවවද ඒ සියලු සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සාගල අමාත්‍යවරයා කීය.

මෙම සමුළුවට සහභාගී වූ එකම පුද්ගලික මාධ්‍ය කතුවරයා වූ උදයන් පුවත්පතේ කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද මහතා ප්‍රකාශ කළේ තම පුවත්පත් ආයකනයට පසුගිය චෝගම් උත්සවයෙන් පසු කාලය තුළදී ඇතිවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සිදුවනවාද යන්න පිළිබඳවවත් නොදන්නා බවයි. එසේම අවස්ථා 37 කදී තම ආයතනයට බලපෑම් සිදුව තිබෙන බවත් උදයන් පුවත්පතේ කතුවරයා පැවසීය.

උදයන් කතුවරයාට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සාගල රත්නායක මහතා අදාළ සිද්ධි පිළිබඳ තමාට තොරතුරු ලබා දෙන ලෙස පැවසූ අතර එම තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් උදයන් කතුවරයා විසින් එහිදී අමාත්‍යවරයාට ලබා දෙන ලදී.

මෙම සමුළුවට ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැති ඇමැතිවරු සහභාගී වී සිටියහ.

---------------------------
by     (2017-12-04 21:50:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

address any meeting !. Magnagala knows it very well !!!. It is a joke to get Ranil W to talk on the “Rule of the Law” , world know from Batalanda to CB Robbery ! Never mind the media…. Most decent UNPers do know the damage this PM doing to UNP LeN is you want a better SL and to save the UNP , then replace this corrupt and confused PM with A better one……
-- by OBE on 2017-12-05

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more