“හය වෙනුවට විසි හතරක් හාරා ගැනීම“ - පෝද්දල ජයන්ත ලියයි

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.02, ප.ව‍‍‍‍.5.40) වර්ෂ 2015 වන විට මුළු මහත් ශ්‍රී ලංකා දේහයම දේශපාලන වශයෙන් කුණු වී ඕජස් ගලමින් තිබිණ. එකී ශ්‍රී ලංකා දේහට එම නරා වළෙන් ගොඩ ගැනීමට ඉතිහාසය විසින් ප්‍රදානය කෙරුණු අනගිතම අවස්ථාවටත් බල ලෝභී තුච්ඡ දේශපාලකයන් විසින් පයින් ගසමින් සිටිති. 

බලය, තේජස, උන්නතිකාමය වෙනුවෙන් ඕනෑම පාවාදීමක්, ඕනෑම අධම ක්‍රියාවක්, ඕනෑම නීච ක්‍රියාවක් කිරීමට නොමැලි දේශපාලකයන් පිරිසක් හා ඔවුන්ගේ පහත් ලෝකයෙන් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෙර දරණ නරුමයන් රොත්තක් එක් වී ශ්‍රී ලංකාද්වීපය ඉතා අවාසනාවන්ත අගාධයකට තල්ලු කරමින් සිටී.

එක් පවුලක් සහ ඔවුනගේ බත් බැලයන් විසින් සියළු මානව අයිතීන් වළ දමා රටේ සාරය උරා බී සිටි අවස්ථාවක, හැට දෙලක්ෂයක් වූ ජනී ජනයා මර බිය පසෙක ලා කරලියට පැමිණියේ ස්වකීය විමුක්තිය වෙනුවෙනි. වසරක් නොව දෙකක් නොව, තෙවසරක් ආසන්න වෙද්දීත් එකී ජනයා මහත් අස්වැසිල්ලෙන් බලා හුන්නේ තමන් විසින් කරලියට ගෙනා විමුක්ති දායකයා විසින් සිය විමුක්තිය උදා කර දෙනු ඇතැයි මහත් අපේක්ෂාවෙනි. 

බලාපොරොත්තු උඩු යටිකුරු කිරීම

දැන් සියල්ල උඩු යටිකුරු වී තිබේ. තමන්ගේ මුළු ජීවිත කාලයේමත්, අනතුරුව තම පුත්‍ර රත්නයන්ටත් වශයෙන් බලය නතු කර ගැනීමට සහ ඊට එරෙහි වූ ඕනෑම කෙනෙකු අළු දුහුවිලි කිරීමට වුවද ක්‍රියා කළ වියරු දේශපාලනයට යළි රට අත්පත් කර දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් ක්‍රියා කරමින් සිටී. තමන් මේ සටනින් පැරදුණහොත් අඩි හයක් පොළොව යටට විසිවෙනු ඇතැයි බෑඟිරි ගෑ මෛත්‍රීපාල සිරිසේන විසින්ම මේ සාහසික අපරාධයට ලක ලැහැස්ති වීම කෙතරම් පිළිකුල් සහගත ද?

ජරා ජීර්ණත්වයට පත්ව කුණු වී ඕජස් ගලන ශ්‍රී ලංකාද්වීපය ගොඩ ගැනීම පිණිස සකල විධ මනුෂ්‍යත්වයට ගරු කළ පිරිස් දෝතින් පිදූ ඒ අමිල අවස්ථාව රටට අහිමි කිරීම තරම් සාහසික ක්‍රියාවක් තවත් තිබේද?

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද ලක්ෂයක්වත් නොලැබුණු තත්ත්වයක් තුල, එක්සත් ජාතික පක්ෂයෙන් සහ අනෙකුත් පක්ෂවල ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත්ව එකී සියළු බලවේගයන් රාජපක්ෂ රෙජීමයට පාවා දීම හැඳින්වීමට සිංහල භාෂාව තුල සභ්‍ය වචනයක් ඇතැයි සිතිය නොහැකි ය. 

අපේ ජනාධිපතිතුමා අපි බලා ගන්නම්

තමන් පමණක් නොව තමාගේ දරු පවුලද පොළොවේ අඩි හයක් යටට යවනු ඇතැයි කී මෛත්‍රීපාල සිරිසේනව අද මහින්ද රාජපක්ෂ විසින් හඳුන්වනු ලබන්නේ “අපේ ජනාධිපති“ වශයෙනි. “අපේ ජනාධිපති අපි බලාගන්නම්“ යනුවෙනි. අනතුරුව රාජපක්ෂ රෙජීමයේ අනෙකුත් බත් බැලයන්ද ඒ මග යමින් හඬ තලන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටින බවටයි. ජනාධිපතිවරණ සමයේ ඉහත පිරිස මෛත්‍රීපාල සිරිසේන හැඳින්වූයේ තිරිසන් සතුන්ගේ නම් වලින් බව ජනාධිපති සිරිසේන මහතාට දැන් අමතක වී තිබේ. 

මහින්ද රාජපක්ෂට සිරිසේන ජනාධිපති “අපේ ජනාධිපති“ වීමටත් එහි බත් බැලයන්ට “කොන්දේසි විරහිතව“ පෙනී සිටීමේ වලිප්පුව හැදීමටත් හේතු වූයේ “මෛත්‍රී-මහින්ද“ යලි පූට්ටු වීමේ කොළ එලිය පහළ වීමෙන් පසුව ය. මේ කොළ එළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනලාට, මහින්ද රාජපක්ෂලාට සහන් එළියක් වුවද, රටේ සමස්ථ ජනතාවට එය අඳුරු අගාධයකි.

ඉහත අඳුරු අගාධයේ වැඩි පුරම ගිලී යනු ඇත්තේ දශක තුනක් තිස්සේ රුධිරයෙන් තෙත් වූ උතුරු නැගෙනහිර පොළොවේ දිවි ගෙවන ජනතාවයි.

උතුරේ ජනතාවට යලිත් කොකා පෙන්වීම

බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාව සිය යටත් විජිත භාවයෙන් මුදැ හැරිය දා සිට රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම නායකයෝ උතුරු නැගෙනහිර ජනතාව දිගින් දිගටම  රවටනු ලැබීය. මේ රැවටිල්ලේ උච්ඡතම අවස්ථාව වූයේ එහි තරුණ පරම්පරාව අවි අතට ගැනීමයි. එලෙස අවි අතට ගත් එවුන් සමග සාමාන්‍ය සිවිල් ජනතාව ලක්ෂයක් පමණ එකී දශක තුන තුල ජීවිතක්ෂයට පත් වූහ. දශක හතකට ආසන්න කාලයක් තිස්සේ දැවෙන දේශපාලන ගැටලුවකට කිසිසේත්ම තිර විසඳුමක් නොවන ‘යුද විසඳුමක්‘ දී අපි ‘යුද්ධය ඉවර කළා‘ යි කියා වීරයන් වී සිටියද ප්‍රශ්නයට අදාල ගිනි පුපුරු එකක් වත් නිවී ගොස් නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පුටුවේ ඉන්දැවීමට එහි ජනතාව සියයට අසූවක් ඡන්දය දුන්නේ තමන් අත් විඳින ජාතික ප්‍රශ්නයට තිර විසඳුමක් ලබා දෙනු ඇතැයි තවත් වතාවක් විශ්වාස කරමිනි.

ජාතික ප්‍රශ්නයට තිර විසඳුම් සහිතව ගෙන ආ යුතු (ජනාධිපතිවරණයේ දී පොරොන්දු ප්‍රකාරව) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ නිසි ප්‍රමුඛත්වය ලබා නොදී එයද කඩවුණු පොරොන්දුවක් කරමින් සිටී. ඉතිහාසයේ අන් කවරදාවකවත් නොලැබුණු මට්ටමේ එකඟතාවක් ලැබී ඇති (රාජපක්ෂ කල්ලිය හැර) පරිසරයක් තුළත් එය ඉටු නොකිරීම රටට කරන සහ ගහන අපරාධයකි. විධායක ජනාධිපති ධූරය නියත වශයෙන්ම අහෝසි කළ යුතුය යන්න ශපථ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වරක් ප්‍රකාශ කෙළේ “මේ තනතුරේ දිගටම රැඳී සිටියහොත් මට වුණත් මේක දාල යන්න බැරි තත්ත්වයක් උදාවෙනු ඇති බවයි“ විධායක ජනාධිපති ධූරයේ වසර තුන ඉක්මවන විට දැන් දැන් එය තබා ගැනීමේ වුවමනාව මතුව ඇත්තේ, ඔහුම කී ‘බල උමතුව‘ ඔහුටද වැළඳී තිබෙන නිසාද?

උතුරේ නැගෙනහිර ජනතාව ප්‍රභාකරන් ගේ ඊළාම් කැරට් අලය පසුපස දිව ගියේ දකුණේ නායකයන් ඔවුන් දිගින් දිගටම රැවටීම නිසා ය. අවසානයේ ප්‍රභාකරන් කෙළේ ඔවුන් වැටී සිටි පැදුරද ඔවුනට අහිමි කිරීම පමණි. අන්ත අසරණ වූ දෙමළ ජනතාව අවසන් වරට එල්ලුනේ මෛත්‍රීපාල සිරිසේන පොදු අපේකෂකයාගේ වැල් පොටේ ය. දැන් මෛත්‍රිපාල සිරිසේන රටේ ජනාධිපති වී දෙමළ ජනයා එල්ලී සිටින අවසාන වැල් පොටද කපා දැමීමේ මුවහත් පිහිය රිදී බන්දේසියක තබා මහින්ද රාජපක්ෂට පිරි නමමින් සිටී.  මේ තරම් නිහීන ක්‍රියාවක් කරමින්ම “නොබෙල් සාම ත්‍යාග“ සිහිනයේ සැරි සැරීම කෙතරම් අමනෝඥ ක්‍රියාවක්ද?

රටේ පවතින ජාතික ප්‍රශ්නයට විසඳුම් නොලැබීම පමණක් නොව ජනවාරි 8 විප්ලවයේ හැට දෙලක්ෂයේ ජනතාව බලාපොරොත්තු වූ ප්‍රධාන කාරණා කිසිවකට නිසි විසඳුම් ලැබී නැත. විසඳුම් කෙසේ වෙතත් මාධ්‍ය මර්දනයේ පළමු වෙඩි මුරයද පත්තු කර තිබේ.

දිනෙන් දින වැඩි වන වළේ ගැඹුර

තමන් දැන දැනම තමන්ගේ වළ අඩි හයක් නොව අඩි විසි හතරක්ම කප්පවා ගත්තද රටේ ජනතාවට ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ, රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට දිවි දෙවැනි කොට පෙරට ආ හැට දෙලක්ෂ ජනතාවටත්, එම ජනතාවට නායකත්වය සැපයූ සිවිල් සංවිධාන, බහුජන සංවිධාන නායකයන්ටත් ජනාධිපති සිරිසේන මහතා විසින් වළවල් රැසක්ම කැපීමයි. දඹර අමිල හිමි, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය වැනි නායකයන් අදත් උගුර ලේ රහ වෙනතුරු කෑ ගසන්නේ ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්න බේරුම් කර ගැනීමට නොව, ජනවාරි 8 විප්ලවයේ ප්‍රතිඵල රටට උදාකර දීම පිණිස ය. එම නායකයන්ටත්, එජාපයටත් ඩිලාන් පෙරේරා වැනි තම ආසනය පවා අහිමි වූ කුජීතයන් ලවා පහර ගැස්සවීම පිළිකුල දනවන ක්‍රියාවක් නොවන්නේ ද?

ඉතිහාස ගත වීම

රටේ ලේ වැගිරීම් සිදු නොවන අයුරින් ජාතික ප්‍රශ්නයට තිර විසඳුමක් ලබා දී සියලු මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් තිර ලෙසටම තහවුරු කර ගෙදර යෑම රාජපක්ෂ රෙජීමය සමග හදන පරිවාසයට වඩා කෙතරම් අගනේ ද? එසේ වුවහොත් “අහම්බයෙන්“ ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන රටේ පහළ වූ විශිෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස ඉතිහාස ගත වෙනවා නිසැකය. එසේ නොවී හැට දෙලක්ෂයක් ජනතාව අමු අමුවේ පාවා දෙමින් රාජපක්ෂලා සමග නැවත යහන් ගත වුවහොත් ඔහු ඉතිහාසයට එක් වනු ඇත්තේ වෙනත් “නාමයකිනි“. එකී නාමය දරුවන්ට පමණක් නොව, දරු මුණුපුරන්ටත් ඉතා ලැජ්ජා සහගත වනු ඇත.

පෝද්දල ජයන්ත විසිනි

---------------------------
by     (2017-12-02 15:33:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

Sri Lanka heading for civil war and Arab spring. But Military government also can come soon in between these. After MY3's great betray no more Sinhalese can trust.
-- by Omar on 2017-12-02

මහින්දයට උවමනාව තියෙන්නෙ 62 ලක්ෂෙ බලවේගය සිරිසේන ගෙන් අයින් කරන්න එ්කට තියෙන එකම ක්‍රමය තමයි මෛත්‍රීපාල බියට පත් කර තමා වෙත නම්මවා ගෙන 62 ලක්ෂෙ බලවේගයට සිරිසේන එපා කර වීම.ඉන් පස්සෙ සිරිසේනට යන එන මං නැතිවෙනව. එතනින් පස්සෙ තමයි මරා මෛත්‍රීපාලට අමරණීය පාඩම උගන්නන්නෙ!
-- by සිංහලේ on 2017-12-02

නොබෙල් සාම ත්‍යාගය නෙමේ මේ මිනිහට දෙන්න ඕන ගොබෙල්(ස්) ත්‍යාගය!
-- by asad on 2017-12-02

ආ.... සිරිසේන මල්ලි ඔන්න බං බය නැතුව වලට බැහැපං, දැන් තුනකට අඩු වෙල තියෙන්නෙ. අපිත් ඉන්නවනෙ, වැඩිපුර පස් යන්නෙත් නෑනෙ.... - ආදර මරා
-- by අාමරා on 2017-12-02

සිරිසේන නටවන්න හදන රාජපක්ෂගෙ බෙරේ පලුවක් යන්නත් පුලුවන් ඔය වැඩෙන්....!
-- by චක්කු on 2017-12-02

මෛත්‍රීපාල විසින් ඩිලාන් පෙරේරා වැනි තම ආසනය පවා අහිමි වූ කුජීතයන් ලවා හැට දෙලක්ෂ ජනතාවටත්, එම ජනතාවට නායකත්වය සැපයූ සිවිල් සංවිධාන, බහුජන සංවිධාන නායකයන්ටත් පහර ගැස්සවීම පිළිකුල දනවන ක්‍රියාවක් නොවන්නේ ද?
-- by ddddd on 2017-12-02

You can see Sri Lankan Sinhalese fate, again this good governance group have to ask lanka e news support to remove and penalize MY3. Unfortunate Sinhalaese. Chandrika Bandaranayaka must be responsible for bringing and giving guarantee about this low level uneducated MY3. See how he and Ranil are showing backs to good governance group. See how Ranil's ministers and MY3 henchmen and family members are looting the whole country. Now MY3's daughter own hotels, media and ad. firms and many other things and His rice brother's wealth increased 17000% during last three years. I guess sea pirates are better than his family members.
-- by Rathnapala on 2017-12-03

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more