නීතියට හෝ ආගමට බිය නැති සමාජයක් ගෝත්‍රිකයන්ගේ බල්ටි පිටියකි: අපි යන්නේ කොයි පාරේ; ‘ඩයිනො-සර්‘ යන පාරේ

මව දූෂණය කළ නොහැකිනම් බිළිඳුන් මරා දමන, මාල කඩන දොස්තරලා සහ රණවිරුවන් සිටින ‘සුවෙජ් සුප්‘ එක

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.28, ප.ව‍‍‍‍.11.45) සමාජයක් එක්කෝ නීතියෙන් ලැබෙන දඬුවමට බිය විය යුතුය. නැතිනම් පාපයෙන් ලැබෙන දඬුවමට බිය විය යුතුය. එනම් සමාජයකට නීතියෙන් සහ ආගමෙන් ලැබෙන ශික්ෂනයක්  තිබිය යුතුම ය. එසේ නොවන සමාජයක් වේ නම් එය ගෝත්‍රික සමාජයකි. ආගමික විශ්වාස ගැන නොදැන අතීතයේ සිටි ගෝත්‍රිකයා පාපය ද නොදන්නා නිසා වරදට බිය වූයේ නැත. ආගමට පසුව මිනිසා ශිෂ්ඨාචාර ගත කිරීමට බිහි වූ නීතිය ගැන හෝ ඉන් ලැබෙන දඬුවමක් ගැන හෝ නොදන්නා ගෝත්‍රිකයාද වරදට බිය නැත.  මෙවැනි ගෝත්‍රිකයන් තමාගේ මූලික සහජාසයන් අනුව විනයකින් තොරව හිතු මතේ ක්‍රියා කරයි. වැරැද්ද කුමක්දැයි නොදනියි; නොතකයි. ආගම සහ නීතිය දෙකම විගඩමක් වූ අද ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ එවැනි ගෝත්‍රිකයන් දැයි සැක සිතෙන ප්‍රවෘත්ති වාර්තා දෙකක් ඊයේ සහ අද කියවන්නට ලැබිණ. ඒවා නම් නිවසක තනියම සිටි මවක දූෂනය කිරීමට අවශ්‍ය වූ කල මව අතේ සිටි දරුවා වතුර බැරලයකට දමා මරා දැමීමේ සිද්ධියක් සහ කාන්තාවන්ගේ ගෙල බැඳි මාල කඩා ගන්නා වෛද්‍යවරයෙක් සහ ආබාධිත හමුදා නිලධාරියෙක් පිලිබඳ සිද්ධියකි. එම ගෝත්‍රික සිදුවීම් විස්තරාත්මකව මෙසේය.

මවට අතවර කිරීමට අතේ සිටි බිලිඳිය වතුර බැරලයකට දමා මරා දැමූ ගෝත්‍රිකයෝ

කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසකට පසුගිය 26 දා පස්වරු 6.50 ට ඇතුළු වූ දෙදෙනකු නිවසේ සිටි 19 වැනි වියේ පසුවු මවට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි මාස 2 යි දින 21 ක් වියැති බිලිඳිය උදුරාගෙන නිවසේ මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කර පලා ගොස් ඇති බව කතරගම පොලිසිය වාර්තා කෙළේය. 

සියුමි සාදනා නමැති බිලිඳියගේ පියා චාරුක සුනිල් වූ අතර මව ජයනි සඳරේකා ය. 

නිවසට කඩා වැදුනු ගෝත්‍රිකයන් දෙදෙනාගෙන් අයෙකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති අතර අනෙකා මවට ලිංගික අතවර කිරීමට උත්සාහ දරා ඇත. අතවර කිරීම ආ පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලා ගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ බලද්දී සිඟිත්තියගේ සිරුර ගෙවත්තේ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇත. සිද්ධිය වෙද්දී පියා හිඳ ඇත්තේ ගමේ විහාරස්ථානයට ගොසිනි. අපරාධය කළ පුද්ගලයන් ත්‍රී රෝද රථයකින් පලා ගොස් තිබිණ.
 
විජේසූරිය ආරච්චිගෙ දොන් ජයනි සඳරේකා(19) තරුණ මව පොලිසියට මෙසේ ප්‍රකාශ කර තිබිණ. “ මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි කුළුඳුල් දරු පැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කරගෙන තිබුනා. මේ සිද්ධිය වෙන වෙලාවෙත් සැමියා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ක විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා (සැමියාගේ පියා) මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර සිටියේ නෑ. මං ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩා ගෙන සිටියදී ඒ දෙදෙනාම 7.00 ට විතර යලි ඇවිත් ගෙට ඇතුළු වුනා. එක් අයෙක් මම කෑගහද්දීම මගේ අතේ සිටි දරුවා උදුරා ගත්තා. අනෙකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරෙන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට ත්‍රී රෝද රථයක් වේගයෙන් යන හඬ ඇසුනා. මම කෑ ගසා මේ සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පෙන්න හිටියේ නෑ. කට්ටියම එකතු වෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුලේ සිටියා. ගොඩට අරන් බලනකොටත් දරු පැටියා මිය ගිහින්. මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි.“ 

දෙවන ගෝත්‍රික අපරාධය මෙසේය.

සුඛෝපභෝගී කාරයකින් පැමිණ පාරේ යන කාන්තාවන්ගේ මාල කඩා ගන්නා වෛද්‍යවරයා, ඔහුගේ බිරිඳ සහ ආබාධිත රණවිරුවා අල්ලයි

කලගෙඩි හේන සපුගස්තැන්නේ  පා ගමනින් මහ මග ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලය කඩා ගත් සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පලා යමින් සිටියදී පොලිසිය විසින් අල්ලාගෙන තිබිණ. අල්ලාගෙන තිබුනේ වේයන්ගොඩ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසකි. සැකකරුවන් ගමන් ගත් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය නවතා කොල්ල කෑ රන් මාලයත් සැකකරුවනුත් අත් අඩංගුවට ගෙන තිබිණ. 

මෙම කොල්ල කල්ලියේ නායකයා වූයේ වෛද්‍යවරයෙකි. ඔහු ජීඑම්ඕව කියන පරිදි “ප්‍රමිතියෙන් ඉහල“ රජයේ වෛද්‍ය වරයෙක් වූ අතර මේ වන විට සේවයෙන් වැඩ තහනමකට ලක්ව සිටින්නෙකි. දැනට ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරයි. කොල්ල කෑම සිදුකරද්දී ඔහුගේ බිරිඳ ද රථයේ සිටියා ය. කොල්ල කෑමට සම්බන්ධ වූ රථයේ සිටි අනෙක් පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේනලා, චීවරධාරීන් විසින් කුමන වැරදි තිබුනත් නිතර උත්කර්ෂයට ලක් කරන “රණවිරුවෙකි“. ආබාධිත වූ බැවින් සේවයෙන් ඉවත්වී රජයෙන් රුපියල් ලක්ෂයක පමණ දීමනා ලබා ගන්නා හමුදා නිලධාරියෙකි. ඔහු ඊට පෙරත් කොල්ල කෑම් වලට සම්බන්ධ අයෙක් බව පොලිසිය හඳුනාගෙන සිටි අයෙකි. මෙහි ඇති අපූරුව නම් වෛද්‍යවරයා, ඔහුගේ බිරිඳ සහ ආබාධිත රණවිරුවා තිදෙනාම හෙරොයින් වලට ඇබ්බැහි වූවන් වීමය. මේ තිදෙනාගේ නම් හෙළිදරව් කර නැති අතර අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඉහත සිදුවීම් දෙක එකක් ගම පාදක කර ගත්තක් වන අතර අනෙක උගත් නාගරිකයා පාදක කරගත්තකි. මෙයින් පෙනෙන්නේ අද ලංකාවේ නගරයේ මෙන්ම ගමේ උගත් නූගත් සමාජ සියල්ල එක ලෙස ගෝත්‍රිකකරණය වී ඇති බවයි. 

රටේ නීතියත් ආගමත් දෙකම දශක ගණනාවක් තිස්සේ දේශපාලන අරමුණු වෙනුවෙන් අමු අමුවේ විකෘති කර අවස්ථාවාදීව කටයුතු කිරීම මෙම ව්‍යසනයට ප්‍රධාන හේතුව බව හඳුනාගැනීමට මහා විශාල සමාජ විද්‍යාත්මක පර්යේෂනයක් අවශ්‍ය නැත. 

වසර 3 ක් තිස්සේ පිස්සු කෙළින යහපාලන නඩය මේ තත්ත්වයන් ගැඹුරින් තේරුම් ගන්නා බවක් පෙනෙන්නටද නැත. මන්ද යත් ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න එකක්වත් රටේ ප්‍රශ්න නොවීමය. වැරදිකරුවා රණවිරුවෙකු නම් දඬුවම් නැත. වැරදි කරුවා තම බලය තහවුරු කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි නම් ඔහුටද දඬුවම් නැත. තම සතුරු දේශපාලනයේ යෙදෙන්නා වැරදි කරුවෙකු නොවූවද උදේ හවා හොරා හොරා කියා වැරදි කරුවෙකු කිරීම සිම්පල්ය. ආගමික නායකයන්ට ගිහියෙකුට තරම්වත් සංවරයක් නැත. චන්දයකදී අමු ජාතිවාදීන් සමග යහන්ගත වී හෝ ගොඩ වැඩි කරගන්නේ කෙසේද? තමන් සමග එකට ආණ්ඩු කරන අනෙකාට අවලාද නගා තමන් සුදනා වන්නේ කෙසේද? කොමිස් ගොඩ වැඩි කරගන්නේ කෙසේද? පවුලේ එවුන්ට ව්‍යාපාර හදා දෙන්නේ කෙසේද? ඉන්නා නායකයා කපා තමා නායකයා වන්නේ කෙසේද? ඊලඟ චන්දයෙනුත් ජය ගන්නේ කෙසේද ආදී තම තමන්ගේ පුද්ගලික ප්‍රශ්න රටේ ප්‍රශ්න ලෙස ගෙන උදේ හවා කෑ ගසනවා හැරෙන්නට මේ නඩය මුළු වැර යොදා කරන අන් කර්තව්‍යයක් තිබේද? නැත. අපරාධකරුවෙකුට අවසන් දඬුවම දීමට වසර 17 ක් ගත වන බව පාර්ලිමේන්තු කමිටුවක් විසින්ම සොයා ගෙන තිබිණ. එසේ නම් තව කවර කතාද?

පාලකයන්ගේ පුද්ගල අභිලාෂයන් ගැන උනට අවශ්‍ය පරිදි උලුප්පා ගාන කපා ගන්නවා හැර ප්‍රධාන ධාරාවේ මාධ්‍යය කරනා වෙනත් වැදගත් මහජන සේවා ජනමාධ්‍යකරණයක් තිබේද? ඒ ද  නැත. යම් මහජන සේවා ජනමාධ්‍යයක හෝ නියැලීමට උත්සාහ දරණ විකල්ප ජනමාධ්‍ය වාරණය කරනවා නම්, වගකිව යුත්තන් ඒ ගැන මුනිවත රකීනම් අප සමාජය කොහේ යන්නද? 

ඉදින් මෙවැනි සමාජයක උගත් නූගත් මිනිසුන් දෙකොට්ඨාශයම දිනෙන් දින ගෝත්‍රිකයන් බවට පත්වෙමින් ‘ඩයිනො-සර්‘ ලා සරණ යෑම අරුමයක් විය හැක්කේ කෙසේ ද? එවන් රටක් ‘නොලේජ් හබ්‘ එකක් වීම කෙසේ වෙතත් ‘සුවෙජ් සුප්‘ එකක් වීම නම් නිසැක ය.

-චන්ද්‍ර ප්‍රදීප් විසිනි-

(සිදුවීම් වාර්තා හිරු සහ නෙත් වාර්තාවන්ගෙනි) 

---------------------------
by     (2017-11-29 01:48:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The list horse, stomach, red and green contains how many colours?

  4 discussion on this news

කාන්තාවන් දූෂණය කරල ඔවුන් ගැබ්බර වුනාම මරල හුණු පෝරණු වලට දාපු, රට බේරගත්තු, ජාතියේ (පිිං)පියාගෙ අඩි පාරෙ යන එවුන් තමයි ඔය!
-- by යකා on 2017-11-28

සුද්ධෝදනල වෙන්න හදන කුඩු නාලිකාව අයිති උන් කවුද? ප්‍රසිද්ධ ස්ත්‍රී දූෂකයො, ලමා අපචාර කාරයො ඒ වගෙම රටේ තරුණ ජීවිත දාස් ගාණක් කුඩු වලට ඇබ්බැහි කොට විනාස කල හා ඒවයින් කෝටි ගණන් සල්ලි ගරපු කාලකන්නි. හිරු කියන ටීවී චැනල් එකේ වැසිකිලි හෝදන මිනිහ පවා ජීවත් වෙන්නෙ තරුණ ජීවිත විනාස කරල හම්බ කරපු කුඩු සල්ලි වලින්!
-- by සිංහලේ on 2017-11-28

හැම තැනම බැලුවොත් කුඩු කාරයො, මොවුන්ට කුඩු විකුණන උන් නිදහසේ මේ රට වනසන ක්‍රියාව කරගෙන යනව. කුඩු අල්ලන්න බැරුව නෙවෙයි අල්ලන්නෙ නැහැ. මේ අපරාධ කාරයො පිටි පස්සෙ අංක එකට ඉන්නෙ පොලිස් කාරයො, ඊළඟට ඉන්නෙ පාදඩ දේ්සපාලුවො. මේ අපරාධ වලට අනුබල දෙන මුං විතරක් නෙවෙයි මුංගෙ පාදඩ පවුල්වල ඉන්න උන් පවා වනසල දාන්න ඕන!
-- by අබේ on 2017-11-28

රටට නීති හදන පාර්ලිමේන්තුවෙත් මාල කඩපු හොරෙක් ඉන්නව. මුං තමයි රටේ ඉන්න දේසප්‍රේමියො! ...පොළොන්නරුවෙ බයිය බයිල කිය කිය මිනීමරුවොයි රාජ්‍ය දේපළ හොරා කාපු නීචයොයි නලවනව !
-- by Rasanga Silva on 2017-11-29

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more