කුමන්ත්‍රණකරුවන්ට ඉඩ නොදී මැතිවරණය පැවැත්වීම ගැන පක්ෂ නායකයෝ රැස්වෙති: නීතිපති සහ මැතිවරණ කොමිසමේ සභාපතිද එක්වෙති

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.27, ප.ව‍‍‍‍.6.00) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) අද දින  පෙ.ව. 11.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.  ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියළු පක්ෂ ප්‍රධානීහු, නීතිපතිවරයා හා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාද මේ සඳහා සහභාගි වූහ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාල අධිකරණ වාරණ නියෝගය පිළිබ ඳව අවධානය යොමු කිරීම සඳහා මෙම   රැස්වීම විශේෂ හදිසි රැස්වීමක් ලෙස පැවැත්විණි.  අදාළ විෂයභාර අමාත්‍ය ෆවුසර් මුස්තාපා මහතාද විශේෂයෙන් මේ සඳහා එක් විය. රැස්වීම සඳහා එක් වූ සියළු පාර්ශ්වයන් විසින් ඒකමතිකව අවධාරණය කරන ලද්දේ කිසිම හේතුවක් නිසා මැතිවරණය ප්‍රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවය. 

කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව  මෙහිදී අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද සඳහන් කරන ලදී. පසුගිය සිකුරාදා පැවති පක්ෂ නායක රැස්වීමේදීද මේ පිළිබඳව අවධානය යොමුව තිබූ අතර, අද දින සෑම පාර්ශ්වයක් විසින්ම දීර්ඝ වශයෙන් අදහස් දක්වන ලදී. 

පසුගිය දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා වශයෙන්  කටයුතු කළ වර්තමාන කථානායකවරයාගේ අනුදැනුමෙන් ගරු ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද 21.08.2015 ගැසට් පත්‍රයද  අද දින පක්ෂ නායක රැස්වීමේදී පුළුල් ලෙස අධීක්ෂණයට ලක් විය. (පසුගිය රජය විසින් පෙර සකස් කර තිබූ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ප්‍රතික්ෂේප කොට, දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින්, එහි අඩංගුව තිබූ යෝජනා දිස්ත්‍රික්  ලේකම්වරුන් සහ  ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර නැවත නිවැරදි කරන ලෙස නියෝග කරන ලදී.)

එයට හේතු වූයේ, පළමු වාර්තාව සැකසීමේදී අදාළ නිලධාරීන්  සමග නිසි සම්බන්ධීකරණයක් නොවූයෙන් කිසියම්  ආකාරයක පක්ෂග්‍රාහීත්වයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබීමයි.  

අද දින රැස්වීමට සහභාගි වූ වර්තමාන පළාත් පාලන ලේකම්වරයා සඳහන් කළේ එවකට (දින 100 පාලන සමයේදී) කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් තමා කටයුතු කරමින් සිටියදී අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අවශ්‍ය වෙනස්කම් සිදු කළ බවයි.   

එමෙන්ම වර්තමාන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාද තමා නියෝජනය කරන දිස්ත්‍රික්කයෙහි අවශ්‍ය නිවැරදි කර ගැනීම් එකල අමාත්‍ය නියෝගය අනුව  නිම කළ බව සඳහන් කෙරිණි.

අද දින රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු පහත සඳහන් තීරණ වලට එකඟ විය.

1.      අධිකරණයට කඩිනමින්  මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනීම, හෝ

2.      හැකි නම් එම පෙත්සම් ඉල්ලා අස්කරවා ගැනීමට ඇති හැකියාව සොයා  බැලීම හෝ

3.      එම ප්‍රවේශයන් 2 අසාර්ථක වුවහොත් 2015 ගැසට් පත්‍ර සීමා උපයෝගී කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීම. (මෙහිදී ගැටලුව  බවට පත්ව ඇත්තේ බහු ආසන ඇති කොට්ඨාශ 64 නිසා ඉතිරි කොටස් වෙනුවෙන් 2015 ගැසට් පත්‍රය ක්‍රියාත්මක කළ හැකි බවට අදහසක් ඉදිරිපත් වූ හෙයින් ඒ පිළිබඳවද විශේෂ අවධානය යොමු කිරීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.)

 අග්‍රාමාත්‍යතුමා ඇතුළු පක්ෂ නායකයින් හා අදාල නිලධාරින් සමග සාකච්ඡා  කර ඉදිරි පියවර ගැනීමේ වගකීම  කථානායකවරයාට පැවරිණි.

 

කථානායක මාධ්‍ය අංශය

---------------------------
by     (2017-11-27 12:46:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

9 add 5 = ?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more