සිරිසේනට තවදුරටත් ජනාධිපති ධුරය දැරීමට අයිතියක් තිබේද?

-විශ්වමිත්‍ර දේශබන්දුගේ දේශපාලන සටහන

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.26, ප.ව‍‍‍‍.3.20) -මේ ලිපිය ලියා අවසන් කරන  ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මහා පාවාදීම වාර්තාවීමට සුළු වෙලාවකට පෙරය. එය වාර්තා වූ පසු කිසිවක් වෙනස් නොකරන ලදී.-
 
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන ඡන්ද අරභයා පාර්ලිමේන්තුවේදී කල දීර්ඝ සාරගර්භ කතාව ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතර පුළුල් සංවාදයට ලක්විය යුතුය. දැනට සිටින නූගත්, මැර, මන්ද බුද්ධික මන්ත්‍රී නඩයේ කංකරච්චලය හා සංසන්දනය කළ විට මෙය කාලයකින් පසුව පාර්ලිමේන්තුව නින්දෙන්  අවදි  කළ අරුත්බර කතාවක් වූයේය.

මෙම  කතාවේ සාකච්ඡාවට හා අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් තිබුණේය. ඒ අතරින් වැදගත්ම ප්‍රකාශයක් වුයේ මෙයයි:

“ජනවාරි මස 8 වැනිදා ජනවරම පිටුපස තිබෙන්නේ අන් කවරක්වත් නොවෙයි. වර්ධනය වෙමින් තිබුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන, ඒකාධිපති ගමන පරාජය කිරීම තමයි ජනවාරි මාසේ 8 වැනිදා ජනතාවගේ අපේක්ෂාව වී තිබුනෙ…...ඒ වන විට ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අනතුරකට මුහුණ දීල තිබුනා. ඒ නිසා ඒ ජනවරම පිටුපස තිබුනේ අන් කවරක්වත් නොවෙයි, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී තිබෙන තර්ජනයට එරෙහිව පැනනැගුනු ජනමතය. එක නිසා මේතාක් බලයට පත්වෙච්ච හැම පාලකයටම වඩා වැඩියෙන් වර්තමාන ජනාධිපතිවරයට වගකීමක් තිබෙනව ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ නිදහස තහවුරු කරදීම  වෙනුවෙන්.”

අනුර කුමාර මහතා මෙසේ ද කීවේය:”මේ කුඩා මැතිවරණයෙන් ජනවාරි 8 වැනිදා ජනවරම යට යන්නේ නැහැ.” 

ජවිපෙ නායකයාගේ මෙම ප්‍රකාශය රටටත් විශේෂයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත්  තාර්කිකව සිහිකැඳවන  අතිශය බරපතල කාරණයක් තිබේ. 

එනම් 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අතිෂය සුවිශේෂී මැතිවරණයක ප්‍රතිඵලයක් වූ බවයි. මෙම මැතිවරණයේ දී මතිමතාන්තර, ඇදහිළි, දේශපාලන හා කලාත්මක ආස්ථාන හා ආකල්ප ආදියෙන් විවිධ වූ කණ්ඩායම් රැසක් පෙළගැසුනේ එක අරමුණක් වෙනුවෙනි. එනම් රට තුළ තර්ජනයට ලක්ව තිබු ප්‍රජාතන්ත්‍රවාදය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. මැදමුලන සහෝදර කුටුම්බයේ යකඩ සපත්තු වලට පාගා පොඩි කර තිබු නීතියේ ආධිපත්‍යය යලි පිහිටුවාලීමයි. 1977 සිට රටට විනයක් වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සියලුම වාමාංශික පක්ෂ හෙලා දුටු දුෂ්ඨ විධායක ජනාධිපති ව්‍යවස්ථාව වෙනස් කොට ජනතාවට වගකියන ආණ්ඩුක්‍රමයක් සියලු පාර්ශවවල සම්මුතියෙන් ගොඩ නගා ගැනීමයි. ඡන්ද ක්‍රමය වෙනස් කර ගැනීමද අරමුණු විය. 

එම ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන පෙනී සිටියේ, ප්‍රතිඥා දුන්නේ එම අරමුණු සඳහායි.  මහත් තර්ජන ගර්ජන මැද ඒවාට බිය නොවී, ලක්ෂ 62 ක ජනතාව එම පොදු අපේක්ෂකයා ජනාධිපති ලෙස තෝරා පත් කර ගත්තේ එම අරමුණු, අපේක්ෂා සහ ඉලක්ක සඳහායි. මේ නිසා මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව සිරිසේන මත පැවරුණු වගකීම වුයේ එම අරමුණු, අපේක්ෂා සහ ඉලක්ක ඉටු කිරීමයි. 

මෛත්‍රීපාල සිරිසේන මේ මැතිවරණයට  ඉදිරිපත් වුයේ ශ්‍රීලනිපයේ අපේක්ෂකයා ලෙස නොවේ. එසේ වූවා නම් ඔහුට මෙම ගමන යන්නට ඉඩ නොලැබෙන බව පැවසිය යුතු නොවේ. ඔහු ශ්‍රීලනිපය හැර දා පැමිණෙන විට පවසා තිබුනේ 20-30 ක පමණ මැති ඇමතිවරුන්  පිරිසක් ඔහු සමග පැමිණෙන බවයි. එහෙත් පැමිණියේ එක අතක ඇඟිලි ගණනටත් වඩා අඩු පිරිසකි. මේ කාරනාව  අනෙක් ප්‍රධාන පක්ෂය වන එජාපය තුළ කිසියම් කැලඹිල්ලක් ඇති කිරීමට හේතු වී  තිබුනත්, රනිල් වික්‍රමසිංහ මහතා  ගේ  නායකත්ව කෞශල්‍යය මගින් ඔවුනට කරුණු අවබෝධ කර මෙම අරමුණ වෙනුවෙන් විරුද්ධ  දේශපාලකයකු ජහග්‍රහණය කරවීමට කැපවී කටයුතු කෙරිණ. මේ අරමුණින් ලක්ෂ 45 ක නොවෙනස් ඡන්ද පදනමක් සහිත එම පක්ෂය එක්සත් කරගැනීමට වික්‍රමසිංහ මහතාට හැකිවිය. මේ නිසා එම ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක සිරිසේනට ලැබුණු ඡන්ද වලින් අවම වශයෙන්  ලක්ෂ 45 ක්  එජාපයෙන් ලැබුණු චන්ද ලෙස සැලකිය හැකිය. 1994 දී හැර  උතුරේ ජනතාවගෙන් එජාප ජනපති අපේක්ෂක්ෂකයනට ලැබුණු ඡන්ද ද මෙවර දිනාගනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන විසිනි. දකුණේ ඊළඟ ශක්තිමත් චන්ද පදනම ජනතා විමුක්ති පෙරමුණයි. එම පක්ෂය නම නොකියා නමුත් සිය චන්ද දායකයා යොමු කළේ සිරිසේන ගේ ජයග්‍රහණය සඳහායි. 

මේ අනුව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව සියල්ල පැත්තක දැමූ සිරිසේන කලේ  ශ්‍රීලනිපයේ නායකත්වය දිනා ගන්නට නිර්ලජ්ජිත ලෙස  වෑයම් කිරීමයි.  (තවමත් එම පක්ෂයේ එකම නායකයා ලෙස පෙනී සිටින්නට ඔහුට හැකිවී නැත. තවමත් එම පක්ෂය පාලනය කරන්නේ මැදමුලනයි. අවම වශයෙන් පක්ෂය ප්‍රතිසංස්කරණය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට දී රටේ න්‍යාය පත්‍රය අතට ගැනීමට ඔහුට අවකාශ තිබිණි. එහෙත් ඔහු ගේ නූගත් අකෘතඥ මොළය ඊට ඉඩ දුන්නේ නැත. ) එසේම ඔහු තමාට චන්දය දැමු 62 ලක්ෂයක ජනතාවගේ මතයට එරෙහිව සිටි ශ්‍රීලනිපයේ දූෂිතයන් කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයට ඇතුලත් කරගත්තේ ය. 62 ලක්ෂයේ සංයුතිය හා අපේක්ෂා සැලකිල්ලට ගත්  කල මේවා   තුච්ඡ සදාචාර විරෝධී ක්‍රියා විය. ඒවා ජනවාරි 8 ජනමතයට  විරුද්ධ ක්‍රියා විය. මේ නිසා එම දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයට ආධ්‍යාත්මික හා මානසික ජවයත් ආලෝකයත් සැපැයූ මාදුළුවාවේ සෝභිත හිමියෝ ද 62 ලක්ෂයක් ජන බලවේගය ද මහත් කලකිරීමට පත් වූහ. එවිට ජනාධිපති සිරිසේන කියා සිටියේ “මාගේ මේ ව්‍යායාමය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම උදෙසා පමණකි” කියා ය. මේ කීම නිසා  නව ජනාධිපතිවරයා ගේ එම අවිචාරවත්  ක්‍රියාව සෝභිත හිමියන් සේ ම 62 ලක්ෂය ද පහන් සිතින් ඉවසූහ. 

ඒකාධිපති ලක්ෂණ වලින් සමන්විත විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය දින 100 න්  වෙනස් කිරීම මෛත්‍රීපාල සිරිසේන ගේ පොරොන්දුව විය. ජනතාවගේ බලවත් ම අපේක්ෂාව විය. පොදු අපේක්ෂක සිරිසේන එදා කියා සිටියේ අවශ්‍ය නම් ජනමත විචාරණයක් පවත්වන්නට වුවත් දින 100 ප්‍රමාණවත් බවය.  මෙම දින 100 රබර් දින 100 ක් විය. ඔහු රාජපක්ෂ එකාබද්ධයට පාර්ලිමේන්තුව තුළ ජෝගි නටන්නට ඉඩ දෙමින් ඈනුම් අරිමින් කල් ඇරියේ මහ මැතිවරණයේ දී තම ගොඩ වැඩිකර ගැනීමටය. කැබිනට් මණ්ඩලය කුඩා කරන බව පොදු  අපේක්ෂක සිරිසේන ජනතාවට  දුන් පොරොන්දුවක්  මෙන් ම 62 ලක්ෂයේ අපේක්ෂාවක් විය. එහෙත් ඔහු එයද අමු අමුවේ ම කඩ කළේය. යලිත් හොරු ඇමතිවරුන් වූහ. 

ජඩ, මිනීමරු දශකයේ දුෂිතයන් හා විශේෂයෙන් මිනිමරුවනට දඬුවම් කොට විපතට පත් පාර්ශව වලට යුක්තිය ඉටු කිරීම  ජනවාරි 8 ජනවරමේ  තවත් අපේක්ෂාවක් විය. එය පොදු අපේක්ෂක සිරිසේන ගේ පොරොන්දුවක් ද විය. එය මෙතෙක් ඉටු කළ ආකාරය ගැන කියන්නට වචන නාස්තිකරන්නට උවමනාවක් නැත. එහි බරපතල කම ගැන කියන්නට හද කම්පා කරන එකම එක කතාවක් ගැන පමණක් සඳහන් කරමි. එනම් සිය බලය වෙනුවෙන් සිරිසේන නමැති පොදු අපේක්ෂකයා විසින් විකුණන ලද සන්ධ්‍යා එක්නැලිගොඩ සොයුරිය ගේ හද කකියන කතාවයි. සිය සැමියාගේ පින්තුරය සිය දෑතේ තබාගෙන කඳුළු සලමින් සටන් කරන  මේ දිරිය කාන්තාවගේ  එකම අරමුණ සිය සිය සැමියාට සිදු වූ දේ දැනගැනීම පමණි. “මට බදාගෙන අඬන්න ඔහු ගේ සිරුරවත් ලැබුනා නම්….” ඇය කියන්නේ එයයි. එහෙත් සානුකම්පිත, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ඉදිරියට පැමිණි ජනතාව ගේ ‘ඡන්ද මල්ල’ වෙනුවෙන් සිරිසේන විසින්  එදා  විකුණන ලද සන්ධ්‍යා අද එදාටත් වඩා අන්ත අසරණ කොට ඇත. මේ අනුව එම ජනතා අපේක්ෂාවට  ද සිරිසේන ගේ ආත්මාර්ථකාමී බල ලෝභය  නිසා ඔහු විසින් පයින් ගසා තිබේ. 

(මෙයද කිව යුතුය: සන්ධ්‍යා එක්නැලිගොඩ  අසරන කරනු ලැබුවහොත් ඇයගේ හදේ ඇවිලෙන ගිනිදැල් මහා ලැව්  ගින්නක් වී සිරිසේන කුටුම්බය දවා හළු කරනු ඇත. ඇගේ  මුවින් නැගෙන සුසුම් ප්‍රචණ්ඩ සුළි සුළඟක් වී සිරිසේන ලාගේ උන්  හිටි තැන් සියල්ල සමතලා කරනු ඇත. ඇයගේ නෙතින්ගලන කඳුළු මහා සුනාමියක් වී ප්‍රෝඩාකාර  සිරිසේන කුටුම්බය යටකරගෙන යනු ඇත. බුදු දහමත් විකුණාගෙන බලයේ එල්ලෙන්නට දඟලන සිරිසේනලා ධර්මය අවංකවම  විශ්වාස කරනවා නම්, බුද්ධ ධර්මයේ කියවෙන කර්මය එයයි. එය පඩිසන් දීම නියතය.) 

අදහස් ප්‍රකාශ  කිරීමේ අයිතිය ජනවාරි 8 ජනවරමට බලය දුන් 62 ලක්ෂයේ තවත් අපේක්ෂාවකි. අනුර කුමාර දිසානායක මහතා සිය පාර්ලිමේන්තු කතාවේ ගෙන හැර දැක්වූ ආකාරයට ජඩ මිනීමරු දශකයේ දී මාධ්‍යවේදීහු  මරාදමන ලදහ. පැහැරගෙන යනු ලැබුහ. අතුරුදන් කරනු ලැබුහ. වදහිංසාවට ලක්කරනු ලැබූහ. වෙබ් අඩවි තහනම් කරනු ලැබිණ. මාධ්‍ය ‘බිස්නස්‌’ එකට වරම් ලැබුණේ මැදමූලන කටු ලෙවකන, උන්ගේ ඇඟේ තැවරුණු ලේ සහ කුණු සෝදන, සිය දිවෙන් මැදමුලන අධෝමුඛය  පිස දමන ‘මාධ්‍ය කාරයන්ට” හා මාධ්‍ය ව්‍යාපාරිකයන්ට පමණි. අද සිරිසේන ගේ ප්‍රධානම උපදේශකයා බවට පත්ව සිටින මහරාජා පවා එදා කළේ එයයි. මේ නිසා ජනාධිපති ව්‍යාපාරයේ දී සිරිසේන ගේ හඬ ජනතාව අතරට ගෙන යන්නට එකම ප්‍රධාන මාධ්‍යයක්වත් තිබුනේ නැත. එම කාර්ය භාරය ඉටුකරන ලද්දේ සයිබර් අවකාශයට ප්‍රයෝජනයට ගත්  වෙබ් මාධ්‍ය කණ්ඩායම සහ යොවුන් සමාජ මාධ්‍ය කරුවන් අතලොස්සයි. ඔවුන් එම දුෂ්කර කාර්යය කලේ ජනවාරි 8 ජනවරම තුලින් රට තුළ මාධ්‍ය නිදහස ස්ථිරසාරව පිහිටුවනු ලැබේය යන අරමුණෙනි. 

එහෙත් වසර තුනක් නික්ම යන්නටත් පෙර සිරිසේන මැදමුලනයාට ඇඳගෙන තිබේ. වෙනත් වචන වලින් කියනවා නම් තමා විසින් මුලිනුපුටා දමනු ලබන බවට ඔහු විසින් ප්‍රතිඥා දෙන ලද මැදමුලන කුටුම්බයේ ප්‍රමුඛ ලක්ෂණයක් වූ මාධ්‍ය  මර්දනයේ ජඩ සංස්කෘතිය ඔහු විසින් වැළඳගෙන තිබේ. මෙසේ කර ඇත්තේ ‘ලංකා ඊ නිව්ස්‘ වෙබ් අඩවිය ලංකාවේ පාඨකයාට අවහිර කිරීමෙනි. මේ අනුව ජනවාරි 8 ජනවරම මොහු විසින් යලිත් වරක් කඩකර තිබේ. 

ප්‍රජාතන්තවාදය වෙනුවෙන් සිය ජීවිතය පවා පරදුවට තැබූ ජනවාරි 8 ජනතාව ගේ අපේක්ෂා පාවා දුන් අලුත්ම ක්‍රියාව පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයයි. 

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බවට පොරොන්දු දී බලයට පැමිණි සිරිසේනට මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායක ‘කුමන්ත්‍රණයක්’ දියත් කළ හැකිද? එසේ කරමින් තව දුරටත් බලයේ සිටිය හැකිද? 

මෛත්‍රීපාල සිරිසේන විසින් ජනවාරි 8 ජනවරම පාවාදෙනු ලැබීමේ ලේඛනය දීර්ඝය. 

මේ ප්‍රතිඥා කඩ කිරීමේ ලේඛනය  අපව එක් තාර්කික ප්‍රශ්නයක් වෙත යොමු කරයි. 

එනම්, තමන්ට පැවරුණු ජනවරම යලි යළිත් ආකාර ගණනාවකින්  කඩ කරමින්, තමන්ට චන්දය දුන් 62 ලක්ෂයකගේ අපේක්ෂා වලට පයින් ගසමින් සහ එම 62 ලක්ෂය පාවා දෙමින්, ආත්මාර්ථකාමීව බලයේ එල්බගෙන සිටින්නට වෑයම් කරමින් සිටින මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපති ධුරය සදාචාරාත්මකව කෙතරම් වලංගු ද? කෙතරම් නීත්‍යනුකුල ද? 

සිය ජනවරම පාවා දෙමින්, තමාට ඡන්දය දුන් 62 ලක්ෂයක අපේක්ෂා භංග කරමින් එම 62 ලක්ෂයේ ජනවරමින් තව දුරටත් ජනාධිපති ධුරයේ එල්ලී සිටින්නට ඔහුට සදාචාරාත්මක අයිතියක් තිබේද? 

මේ නිසා සිරිසේන සිය මාර්ගය වෙනස් කර නොගන්නේ නම්, ජනවාරි 8 වැනිදා ජනවරම ලබාදුන් 62 ලක්ෂය අද සංවාදයට හා විවාදයට ලක්කළ යුතු ප්‍රධාන මාතෘකාව එයයි.   

තමාට හුදෙක් මෛත්‍රීපාල සිරිසේන නමැති ගොබිලා ලෙස ජනමතයක් 2015 දී තිබුනා හෝ දැන් එවැන්නක් තිබෙනවා හෝ කියා ඔහු සිතනවා නම් ඔහු කළ යුත්තේ සියල්ල පසෙක තබා වහාම ජනාධිපතිවරණයකට යාමයි. එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමයි. තමාට ජනමතයක් ඇති බව පෙන්වා ජයගෙන තමන් ගේ පහරකෑමට ලක්ව සිටින  සිටින මේ 62 ලක්ෂයට හැකි නම් කොකා පෙන්වීමයි.  

එහෙත් සිරිසේන මහත්තයෝ, යලිත් ඔබ ජනාධිපතිවරණයක් කැඳවූවොත් ඔබ සම්පුර්ණයෙන් පරාද වන්නේ එම ජනාධිපතිවණය ප්‍රකාශ කල දිනයේ ම ය. මන්ද ඔබ මහනුවර ශ්‍රී  දළදා හාමුරුවන් ඉදිරියේ දිවුරා රටට ශපථ කලේ යළිත් ජනාධිපතිවරණයක් නොපවත්වන බවට ය. ඔබ යලිත් වරක් ජනාධිපති නොවන බවටය. මේ නිසා ශ්‍රී දළදා හිමියන් ද එදා නිසැකයෙන් ම ඔබගේ ජනවරමට ආශීර්වාද කරන්නට ඇත.  මේ අනුව  ඔබ යලිත් ජනාධිපතිවරණයක් පවත්වන දා ට ඔබ මෙරට නායකයකු කල දැවැන්තම පාවාදීම ද කරනු ඇත. එනම් ශ්‍රී  දළදා හිමියන් පාවාදීමයි. උන්වහන්සේ අබියස දුන් පොරොන්දුව කඩ කිරීමයි. කාටත් තේරෙන ගමේ භාෂාවෙන් කියන්නේ නම්, ඔබේ රෙද්ද උස්සා ශ්‍රී දළදා හාමුදුරුවන්ටත් පශ්චාත් භාගය ප්‍රදර්ශනය කිරීමයි. එවැනි ප්‍රෝඩාකාර දේශපාලකයකුට බෞද්ධ සාරධර්ම රැකී ඇති බවට ඔබ විසින් ම ප්‍රකාශ කරනු ලබන ශ්‍රී ලංකාවේ නායකත්වය දැරීමට සදාචාරාත්මක භාවයක් තිබේද? 

ඉකුත් වසර තුනට ආසන්න කාලය තුළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ගේ කෙරුවාව දෙස බලන 62 ලක්ෂය ඔහු  ගැන කියන්නේ අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සිහිපත් කල මේ  ගමේ ආප්තෝපදේශයයි. 

“හක්කේ බුදුරැස් ය - බොක්කේ දඩමස් ය ”


විශ්වමිත්‍ර දේශබන්ධු විසිනි 

---------------------------
by     (2017-11-26 09:51:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

62 ලක්ෂයක් ශ්‍රී ලංකා ජනතව .රටේ අනගතය විසදන්නට විශ්වාස මේ මහා ගුණ makuwa ,ගූ bettakma මිස්ස වෙන කවරෙක්ද ? මේ ගූ bettata සාප vewa .
-- by Jayantha on 2017-11-26

තමාට හුදෙක් මෛත්‍රීපාල සිරිසේන නමැති ගොබිලා ලෙස ජනමතයක් 2015 දී තිබුනා හෝ දැන් එවැන්නක් තිබෙනවා හෝ කියා ඔහු සිතනවා නම් ඔහු කළ යුත්තේ සියල්ල පසෙක තබා වහාම ජනාධිපතිවරණයකට යාමයි. එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමයි. තමාට ජනමතයක් ඇති බව පෙන්වා ජයගෙන තමන් ගේ පහරකෑමට ලක්ව සිටින සිටින මේ 62 ලක්ෂයට හැකි නම් කොකා පෙන්වීමයි.
-- by latha on 2017-11-27

එහෙත් වසර තුනක් නික්ම යන්නටත් පෙර සිරිසේන මැදමුලනයාට ඇඳගෙන තිබේ. වෙනත් වචන වලින් කියනවා නම් තමා විසින් මුලිනුපුටා දමනු ලබන බවට ඔහු විසින් ප්‍රතිඥා දෙන ලද මැදමුලන කුටුම්බයේ ප්‍රමුඛ ලක්ෂණයක් වූ මාධ්‍ය මර්දනයේ ජඩ සංස්කෘතිය ඔහු විසින් වැළඳගෙන තිබේ. මෙසේ කර ඇත්තේ ‘ලංකා ඊ නිව්ස්‘ වෙබ් අඩවිය ලංකාවේ පාඨකයාට අවහිර කිරීමෙනි. මේ අනුව ජනවාරි 8 ජනවරම මොහු විසින් යලිත් වරක් කඩකර තිබේ.
-- by sret on 2017-11-27

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more