මෛත්‍රීගේ චන්ද මාරයා, ෆයිසර්ට එරෙහිව විශ්වාස භංග වැලක්..! කුමන්ත්‍රණයේ සුල මුල විජිත හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.23, ප.ව‍‍‍‍.7.30) මෛත්‍රීගේ ඡන්ද මාරයා ෆයිසර් මුස්තාපාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් මන්ත්‍රීවරුන් 13 දෙනෙකුගේ අත්සනින් විශ්වාස භංග යෝජනාවක් අද කතානායක වරයාට බාර දෙන ලදී. ඒ සඳහා දිනේෂ් ගුනවර්ධන, චමල් රාජපක්ෂ, බන්ධුල ගුණවර්ධන, රංජිත් ද සොයිසා, රොහාන් රණසිංහ, විමලවීර දිසානායක, උදය ශාන්ත ගුණසේකර, උදය ගම්මන්පිල, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු 13 ක් අත්සන් තබා තිබේ.

විශ්වාස භංග යෝජනාවේ මෙසේ දැක්වේ.
 
“ගරු පළාත් පාලන විෂය භාර අමාත්‍ය විසින්, ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයන්හි ඡන්දය පැවැත්වීමට, මැතිවරණ කොමිෂන් සභාවට බලය පවරා එකී කොමිෂම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් තිබියදීත්, විෂයභාර අමාත්‍යවරයා පළාත් පාලන ඡන්ද පැවැත්වීමට අපොහොසත්වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කොට ඇති බැවින් තවදුරටත් අමාත්‍යවරයා පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ගරු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටී.“

එක්සත් ජාතික පක්ෂයද මෛත්‍රීගේ ඡන්ද කල් දැමීමේ කුමන්ත්‍රණයට විරුද්ධ බැවින් මෙම විශ්වාස භංග යෝජනාවට සහාය දැක්වීමට සිදුවනු ඇත. එසේ නොමැති වුවහොත් මහජනතාවට ප්‍රදර්ශනය වනුයේ එජාපයද මෙම ඡන්ද කල් දැමීමේ කුමන්ත්‍රනයේ කොටස් කරුවන් ලෙසය. එජාපය විශ්වාස භංගයට සහාය දැක්වුවහොත් එය ජනාධිපතිගේ කෝපයට හේතු වනු ඇති අතර එවිට සම්මුති ආණ්ඩුව අර්බුදයකට යනු ඇත. ඊට මීට පෙර ෆයිසර්ට ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට කියා නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් ජනාධිපතිගේ දේශපාලන සෞඛ්‍යය ආරක්ෂා කර ගත හැකි වනු ඇත. 

මේ අතර අද මාධ්‍ය හමුවක් කැඳවමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරමින් පෙන්වා දුන්නේ මෙම ඡන්ද කල්දැමීමේ කුමන්ත්‍රණය ෆයිසර් හිතා මතා දිගු කලක් තිස්සේ සැලසුම් කළ එකක් බවයි. ඔවුන්ද විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන බව ද පැවසීය. වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විජිත හේරත් මෙසේද කීය.

“ඇත්තටම කලින් හදල තිබුණු විකෘති මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න වුවමනාවක් තිබුණ. ඒ වගේම ඒ විකෘති ඡන්ද ක්‍රමය මත පදනම්ව සීමා නීර්ණය කිරීමේදී ඒ සීමා නීර්ණය කිරීමේ ගැටළු රාශියක් ඇතිවෙලා තිබුණා. ඒ නිසා තමයි සීමානීර්ණ අභියාචනා කමිටුව ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් සහිතව පත් කරනු ලැබුවේ. අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඒ සීමානීර්ණ අභියාචනා කමිටුව වසරකට වැඩි කාලයක් තිස්සේ ඒ ගැටළු පිළිබඳව සොයා බලා වෙනස් කිරීම පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ඇමතිවරයාට ඉදිරිපත් කළා. ඒ නිර්දේශ මත පදනම්ව ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණා. ඒ අනුව ගත්තොත් මේ 2017 පෙබරවාරි මාසයේදී සීමානීර්ණ අභියාචන කමිටුව මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ෆයිසර් මුස්තාපා පළාත් පාලන ඇමතිවරයා විසින් ගැසට් නිවේදෙනය නිකුත් කරනු ලැබුව. ඒකමත පදනම්ව තමයි මැතිවරණය පැවැත්විය යුත්තේ.

ඊට අදාළ වන දෙවෙනි ගැසට් නිවේදනය, ඒ කියන්නේ එක් එක් ප්‍රාදේශීය සභාවල, නගර සභාවල, මහ නගර සභාවල නිශ්චිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහිත ගැසට් නිවේදනයත් නොවැම්බර් මාසයේ ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා. මැතිවරණය පැවැත්වීම සඳහා තිබුණු සියළු බාධක, සියළු ගැටළු පහුගිය කාලය තුළ ඉවත් කරන්න පුළුවන් වුනා. ඉතින් ඇත්තටම ආණ්ඩුව මේ සඳහා අවංක උත්සාහයක හිටියේ නැහැ. විපක්ෂයේ අපි, ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන විවිධ බලපෑම් කරලා, විවිධ සටන් කරලා තමයි මේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා ඔවුන්ට ප්‍රශ්නයක් තිබුනා. ඒ පක්ෂය ඇතුළේ ඇතිවෙච්ච අභ්‍යන්තර අර්බුදය නිසා මැතිවරණය කල් දමාගැනීමේ වුවමනාවක් දිගටම තිබුණා. අදත් තියෙනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඒ තිබිච්ච සියළුම බාධා ඉවත් කළා. ප්‍රාදේශීය සභා පනත, නගර සභා, මහ නගර සභා ආඥා පනත ඒව වෙනස් කිරීමේ වුවමනාවක් තිබුනා. අපි දිගින් දිගට පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඇමතිවරයට සිද්ධ වුනා ඒ පනත් කඩිනමින් සංශෝධනය කරන්න. ඉතින් ඒවත් සංශෝධනය කළා. ඇත්තමට ගත්තොත් මැතිවරණය පැවැත්වීම සඳහා තිබූ නීතිමය බාධා සියල්ල ඉවත කරල තිබුනා. ඉවත් කරන්න විවිධ පාර්ශවයන් විසින් සෘජු ලෙස මැදිහත්වීමක් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී මැතිවරණය කෙසේ හෝ පවත්වාගැනීමේ හැකියාවක්  නිර්මාණය වුනා. ඒ අනුව තමයි ස්වාධීණ මැතිවරණ සේවා කොමිසම ප්‍රකාශයට පත් කළේ,  නොවැම්බර් මාසේ 27,28,29,30 දවස් ඇතුළත නාමයෝජනා කැඳවීම පිළිබඳව දැනුම්දීමක් කරන්න පුළුවන්, දෙසැම්බර් 11,14 දිනවල නාමයෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. එහෙම ගත්තොත් ජනවාරි මාසයේ 27,28 වෙනකොට මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. මැතිවරණ කොමිසම මගිනුත් ප්‍රකාශයක් කළා.

ඉතින් එහෙම තත්වයක් නිර්මාණය වෙලා මැතිවරණය පවත්වන්න සියල්ල සූදානම් වෙලා තිබෙද්දි තමයි. හිටපු ගමන් හදිසියේ මෙම අධිකරණමය කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුනේ. ඇත්තටම මේක හිතාමාතා, දැනුවත්ව, සැලසුම්සහගතව කරපු දෙයක්. මොකද මැතිවරණය කල්දාන්න තිබිච්ච සියළුම බාධා ඉවත්කරගත්තට පස්සේ ආණ්ඩුවට වෙනත් හැකියාවක් තිබුණේ නැහැ මේ මැතිවරණය කල් දාන්න. ඒකට උපක්‍රමයක් විදිහට තමයි ආණ්ඩුව ඊලඟට ගියේ අධිකරණය හරහා මේ මැතවරණ පැවැත්වීම කල්දැමීමේ උත්සාහයට.

මේ නඩුව ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මෙත් නැහැ. මේ නඩුව අභියාචනාධිකරණයට දැම්ම. අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේම,  තවදුරටත් මේක කල් අදින්න. යම් හෙයකින් අභියාචනාධිකරණ තීන්දුව ඔවුන්ට අවාසි සහගත විදිහට ආවොත් නැවත ඇපිල් කරලා සුප්‍රිම් කෝට් එකට යන්නත් ඉඩක් තියාගෙන.  එතකොට තවත් කල් අදින්න පුළුවන්

දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණ කුමන්ත්‍රණයක්. ඇත්තටම සීමා නීර්ණ අභියාචනා කොමිසම මේ වාර්තාව ඉදිරිපත් කළේ මේ අවුරුද්දෙ මුල. ඒ අනුව මේ ගැසට් එක නිකුත් කළේ මේ අවුරුද්දේ පෙරබවාරි මාසේ. ගැසට් එක නිකුත් කිරීමේ ප්‍රධාන බලධාරියා වුනේ විශය භාර ඇමතිවරයා ෆයිසර් මුස්තාපා.

දැන් අභියාචානාදිකරණයට ඉදිරිපත් කරල තියෙන පෙත්සමේ ප්‍රධාන තර්කය වෙලා තියෙන්නේ ඇමතිවරයා විසින් පෙරබරවාරි මාසයේ නිකුත් කරපු ගැසට් නිවේදනය දෝෂ සහිතයි. වැරදියි කියලා. එතකොට ඇමතිවරයා අත්සන්කරලා ඉදිරිපත් කරපු ගැසට් නිවේදනය වැරදියි කියලා තමයි දැන් මේ නඩුව දාල තියෙන්නේ. නඩුව දැම්මේ කවුද කියන එකත හරි පැහැදිලියි. නඩුව දාල තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ ෆයිසර් මුස්තාපාලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ෂවයේ සැලසුම් සහගත නඩුවක්. එතකොට ඒ නඩුව දාන්න නිමිත්ත හොයාගත්තේ ඇමතිවරයාගේ ගැසට් එකෙන්. එතකොට මේ නිමිත්ත දන්නෙ වෙන කෙවුරුවත් නෙවෙයි. ඇමතිවරයම තමයි. මොකද ඔහු විශභාර ඇමතිවරයා විදිහට වැරදි ගැසට් එකක් නිකුත් කිරීම පිළිබඳව වගකියන්න ඕන.  දැන් කියනවනම් මේ සීමානීර්ණ අභියාචනා කමිටුවට සීමා නිර්ණයන් පිළිබඳ විතරයි බලය තියෙන්නෙ බිම් මට්ටමේ කොට්ඨාස වැඩි කිරීම, අඩු කිරීම හෝ ඒකාබද්ධ කිරීමේ බලයක් නැහැයි කියලා. එහෙමනම් ඒ බලතල පිළිබඳව හරියට දන්නෙනැතුවද ඇමතිවරයා මේ ගැසට්එක ගැහුවේ. එහෙම වෙන්න බැහැ. මොකද ෆයිසර් මුස්තාපා කියන්නේ විෂයභාර ඇමතිවරයා පමණක්ම නෙවෙයි. ජනාධිපති නීතීඥවරයෙක්. ඉතින් ඔහු නීතිය දන්නෙ නැද්ද? ඒව බොරු කතා. ඔහු නීතිය දන්නවා. ඔහු දැනගෙන මේ වැඩේ කළේ. ඔහු දන්නවා ඔහුම පත්කරපු සීමානීර්ණ අභියාචනා කමිටුවේ බලතල හා කර්තව්‍යයන් මොනවද කියලා. ඒ සීමානීර්ණ අභියාචනාධිකරණ කමිටුවට තියෙන බලතල මොනවද කියනඑක දැනගෙන තමයි ඔහු ඒ කමිටුව පත් කළේ. මොකද කමිටව පත්කරන්න කැබිනට් මණ්ඩලය අනුමත කරද්දි ඒ කමිටුවට තියෙන බලතල මොනවද කියලා සඳහන් කරලා තමයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ඒ බලතල ඉක්මවා ගිහිල්ලා වැඩකරලා තියෙනවනම් අමැතිවරයට ඒක තේරෙන්න ඕන. අඩුම ගානේ ජනාධිපති නීතිඥයෙක් වුනාට ඔහු හරියට නීතිය දන්නේ නැත්නම් ඔහුට වගකීමක් තියෙනවා සීමානීර්ණ අභියාචනා කමිටුවෙන් ඉදිරිපතකරන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව හරහා විමසීමකට ලක් කරලා එහි දෝෂ තියෙනවද ඒ බලතල ඉක්මවා ගිහිල්ලා තියෙනවද නැද්ද කියලා ප්‍රශ්න කරන්න. ඕනම ගැසට් එකක්, පනතක් ඉදිරිපත් කරද්දි නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අරගෙන තමයි ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අනපනත් ඉදිරිපත් කරන්නේ නැහැ කැබිනට් මණ්ඩලයටත එතකොට හිතාමතාම ඔහු මේක මගහැරලා තියෙනවා. මේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ වගකීම පැහැර හැරලා තමයි මේ ගැසට් එක ගහලා තියෙන්නේ. එතකොට පෙබරවාරි මාසෙ ගහපු ගැසට් එකට උසාවි යන්නේ නොවැම්බර් මාසයේ. හරි පැහැදිලියි මෙතන තියෙන කුමන්ත්‍රණය. මේ ගැසට් එකේ දෝෂයක් තිබුණනම්, වැරැද්දක් තිබුණනම් පෙබරවාරි මාසේ කියන්නේ දෙවෙනි මාසේ, නොවැම්බර් මාසෙ කියන්නේ 11 වෙනි මාසේ. මාස 09යක් තිස්සෙ මේ ගැසට් එකේ තිබිච්ච වැරැද්ද නිවැරදි කරන්න ඇමතිවරයා අපොහොසත් වෙලා. ඇත්තයම මේ පිළිබඳව අවංකවම උසාවි ගියා කියනවනම් නොවැම්බර් මාසේ වෙනකම් ඉන්නෙ නැහැ. ඒක නිසා මේක හරි පැහැදිලියි ෆයිසර් මුස්තාපා ඇමතිවරයා මුල් වෙලා මේ කණ්ඩායමේ වුවමනාව මත ගහපු ගේම් එකක් මේ තියෙන්නේ. මේ කණ්ඩායමේ වුවමනාවම තමයි අන්තිම මොහොත දක්වා ඉඳලා මැතිවරණය පවත්වන්න දින තීන්දු වෙන කිට්ටු වෙනකොට මේක උසාවිය ගිනිහිල්ලා මැතිවරණය කල්දාන එක.

මොකද ඔවුන් තමයි මේක දන්නේ. මෙකේ වැරැද්දක්, දෝශයක් තියෙනවා කියලා දන්නේ ෆයිසර් මුස්තාපා. මේ බලතලවලට එහා ගිහිල්ලා ගැසට් එක ගැහුවයි කියන එක සාමාන්‍ය ජනතාවට දැනග්න ක්‍රමයක් නැහැ. ඔහු තමයි මේකේ හරියටම ඒ අඩුව, සිදුර දැනගෙන හිටපු කෙනා. ඒක නිසා මේ ගැසට් එක ගහපු කෙනා විදිහට මේ කුමන්ත්‍රණය දියත්කිරීමත් ඔහුම බාර අරගෙන තියෙනව.  බරපතල අපරාධයක් වැරැද්දක් කරල තියෙනව.

වතාවක්, දෙවතාවක් නෙවෙයි සිය වතාවක් මේ වැරැද්ද ෆයිසර් මුස්තාපා විෂයභාර ඇමතිවරයා විසින් කරලා තියෙනවා. අවසාන මොහොතෙත්  මැතිවරණය පවත්වන්න සියළු කටයුතු සංවිධානය වෙලා තියෙන මොහොතෙත් ඇමතිවරයා විසින් මේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ නිසා වැරදි ගැසට් එකක් ගහපු ඇමති, ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගෙන මේ මැතිවරණය කල්දාපු ඇමතිවරයා තවදුරටත් මේ අමාත්‍ය ධුරයේ සිටිය යුතු නැහැ. ඔහුට මේ ධුරය දරන්න තවදුරටත් සදාචාරාත්මක මෙන්ම නීතිමය අයිතියක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කියනවා අමාත්‍යවරයා මේ වගකීමෙන් වහාම ඉවත් කළ යුතුයි. ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම තීන්දුවක් ගතයුතුයි. ජනාධිපතිවරයා ඒ තීන්දුව ගන්නේ නැති බව අපිට පැහැදිලියි. මොකද ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයේ වුවමනාව තමයි ඔහු මේ ඉටුකරමින් තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න මන්ත්‍රීවරු ඒ බහුතරයක් ඇමතිවරයාගේ මේ අත්තනෝමතික වැරදි ක්‍රියාමාර්ග කිසිසේත්ම අනුමත නොකළ යුතුයි කියලා අපි හිතනවා. ඔහුට මේ ගකීම දරන්න අයිතියක් නැහැ. ඔහු මේ විෂය දරණ ප්‍රධාන ඇමතිවරයා වීමට කිසිදු හැකියාවක් ඔහුට නැහැ. මොකද ඔහු වැරදි ගැසට් නිකුත් කරලා. ඔහුම මැතිවරණය කල් දානවා. ඒ නිසා අපි ඉදිරියේදි ෆයිසර් මුස්තාපා ඇමතිවරයා මේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිම සඳහා විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.“

---------------------------
by     (2017-11-23 14:12:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

Which of sixty eight, twenty four, 30, 93, forty six or 32 is the biggest?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more