ජනාධිපති සිරිසේන මහා පාවාදීමේ තාර්කික අවසානයට පැමිණ ඇත -විසල්ගේ විග්‍රහය

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.23, ප.ව.1.40) මෛත්‍රීගේ බැඳුම්කර කොමිසමයම් නාඩගම එහි අවසන් අදිරයට පැමිණ ඇත. කොමිසම රැස්වෙද්දී දවසක් හැර දවසක් ජනාධිපතිවරයා හමුවූ සභාපති චිත්‍රසිරිට දැන් වාර්තාව හදද්දී දිනපතාම ජනාධිපතිවරයා හමුවීමට සිදුවනු ඇත. ප්‍රකාශයට පත්කර ඇති පළාත්පාලන මැතිවරණය ෆයිසර්ගේ ජල්තර වලින් වලක්වා ගැනීම ද සිදුකර ඇත. සිදුවීමට නියමිත දැවැන්ත පාවාදීමේ ඉම වෙත ගමන් කරමින් සිටින ජනාධිපතිවරයා තම පාවාදීමේ බර අඩු කර ගැනීම උදෙසා තමන්ව බලයට පත්කළ එජාපයට පහර ගැසීමට පොටක් පාදාගෙන ඇත. ඒ බැඳුම්කර කොමිසමයම යි. 

බැඳුම්කර නිකුතුව සහ එමගින් ඇතිකල බලපෑම ගැන කෙටියෙන් හෝ සලකා බැලිය යුතු වන්නේ මේ නිසාය. රාජපක්ෂ යුගයේ ට්‍රිලියන ගණන් බැඳුම්කර නිදහස් කර තිබුනේ ඍජු ක්‍රමයට එනම් කලින් තෝරාගත් ගැනුම්කරුවන්ටය. රාජපක්ෂලාගේ ගජමිතුරු ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් එනම් ප්‍රසිද්ධ වෙන්දේසියක් මගින් බැඳුම්කර නිදහස් කිරීම වඩාත් විනිවිද මෙන්ම වෙළඳ පොල හිතවාදී ය. ආණ්ඩුව හඳුන්වාදුන්  මෙම ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යන විට ඇතිවන තරඟකාරීත්වය මත වඩා පහසු පොළියක් මත බැඳුම්කර අලවිකර ගැනීමට රජයට හැකිවනු ඇතැයි පුරෝකථනය කිරීම නිවැරදිය.  පර්පර්චුවල් සමාගම පුණ්‍ය ආයතනයක් නොවේ. ඔවුන් ලාභ අපේක්ෂා සහිත බැඳුම්කර ගණුදෙනු වල මීට පෙරත් යෙදී ඇති සමාගමකි. නව  වෙන්දේසි ක්‍රමය මගින් හැකිතාක් බැඳුම්කර මිලදී ගැනීමට ඔවුන් ඉදිරිපත් වීමත් ඒ සඳහා ඔවුන්ගේ සම්බන්ධතා පාවිච්චි කිරීමත් මේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම ව්‍යාපාරික අවකාශයක සිදුවිය හැකි ස්වභාවික තත්වයකි. මේ හරහා පලමු වෙන්දේසියේදීම 60% ක් පමණ ප්‍රමාණයක් බැඳුම්කර තමන් සතුකර ගැනීමට ඔවුන් සමත්වී ඇත. නමුත් සලකා බැලිය යුතු විශේෂ කරුණක් වන්නේ තවත් සමාගම් කිහිපයක් 40% ක් ලබා ගැනිමට සමත්වීමය. බැඳුම්කර මගින් ලාභයක් ඉපැයීම හොර ජාවාරම් මගින් සිදුකරන කළු සල්ලි ඉපැයීමක් නොවේ. එය විනිවිද භාවයකින් යුතු වෙළඳ ගනුදෙනුවකි. පහසුවෙන් ගණනය කළ හැකි විගණනයට යටත් ලාභයකි. එම ලාභයෙන් බදු ගෙවීම පැහැර හැරීමකට ඉඩක් නැත. යමෙක්  වැඩි ලාභයක් ලැබුවේද  එයට වැඩි බදු මුදලක් රජයට ගෙවිය යුතුය. එම ලාභය පෙරලා ඵලදායී ලෙස ආයෝජනය කළේ නම් එය ආර්ථිකයට නව ජවයක් එකතු කරනු ඇත. ලාභය වැරදි දෙයක් හෝ වංචාවක් නොවේ. එය ආර්ථිකයේ ගාමක අවශ්‍යතාවයකි.  2014 වන විට පැවති 11.75% පොලිය අනුපාතයට වඩා අඩු පොලී අනුපාතයකට එනම්  11.73% ක පොලී අනුපාතයකට අදාල බැදුම්කරය ලබා ගත් බවට ප්‍රකාශිතය. අනෙක් සමාගම් බැදුම්කර මිලදී ගත් පොලී අනුපාතය මීට වඩා වෙනස් වන්නේ කෙසේදැයි විමසා බැලීමක් කළ යුතුය.

මෙහිදී සලකා බැලිය යුතු වන්නේ ඒකාබද්ධයේ එවුන් මෙන්ම මෛත්‍රීගේ වාචාලයෝ කියන ලෙස බැංකු මංකොල්ලයක් හෝ වංචාවක් සිදුවී තිබේද, සිදුවූයේ නම් එය කෙසේ සිදුවේද යන කාරණයයි. බැඳුම්කර මගින් වැඩි මුදලක් ලබා ගැනීමට සිදුවූ කාරණා ගැන සාධාරණ සහ පිලිගත හැකි පිලිතුරක් එනම් රජයට ඇති වූ අත්‍යාවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සාක්ෂිය මගින්  පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන් කිසිම විරෝධයක් හෝ අභියෝගයක් කවර පාර්ශවයකින් හෝ ඉදිරිපත් කර නැති බවද සැලකිය යුතුය. එබැවින් තවදුරටත් වැඩි අගයකිත් යුතු බැඳුම්කර නිදහස් කිරීම ගැන කතා කිරීමෙන් පලක් නැත. රජය විසින් හිතාමතා සැලසුම් සහගත ලෙස වැඩි බැඳුම්කර නිදහස් කළ බවට කිසි ලෙසකින් ඔප්පු වන්නේ නැත.

ඇත්තටම සොයා බැලිය යුතු වන්නේත් සැකයන් ඇතිවන්නේත් පර්පර්චුවල් සමාගමට තරඟකාරී අන් සමාගම් වලට අහිමි වූ අයුතු වාසියක් වෙන්දේසියේදී ලැබුනේද යන කාරණයය. අනෙක් තරඟකාරි සමාගම් ද 40% ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බව සහ ඔවුන් වෙතින් පර්පර්චුවල් සමාගමේ ක්‍රියාකාරිත්වය ගැන විරෝධයක් එල්ල වී නොමැති බවද සැලකිය යුතුය. නමුත් කෝප් කමිටුවට ඉදිරිපත් වූ සාක්ෂි සහ තොරතුරු මත රාජ්‍ය ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිප දෙනෙකු වෙතින් වාසිදායක තොරතුරු පර්පර්චුවල් වෙත ලැබී අති බවට නිගමනය වී ඇත. නමුත් එය බැංකු වංචාවක් ලෙස කිසිම අයුරකින් නිර්වචනය කෙරී නැත. අගමැතිවරයා මාධ්‍යයට කියූ පිරිදි නව ක්‍රමය මගින් අඩුපාඩුවක් සිදු වී ඇති අතර නිවැරදි කළ යුත්තේ එයයි. නැතිව පරණ ගජ මිතුරු ක්‍රමයට බැඳුම්කර නිදහස් කිරීම නොවේ. 

කෝප් කමිටු වාර්ථාව කතානායකවරයා විසින් නීතිපති දෙපාර්තුමේන්තුවට භාරදුන් පසුව කළ හැකිව තිබූ සහ කළ යුතුව තිබූ ඉදිරි පියවර වූයේ වංචාවක් සිදුවූයේදැයි සොයා බලා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටය. නීතිපති සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ තප්පුලන්නන් කළ යුතුව තිබුනේ එයයි. එසේ වූයේ නම් අධිකරණය විසින් මේ වන විට චුදිතයින් සිටියේ නම් නඩු පවරා අවසන්වීමට ඉඩ තිබුණි. යම් අලාභයක් රජයට සිදු වූයේ නම් එය අයකර ගැනීමට කටයුතු කිරීමට ඉඩ තිබුණි. ඒ වෙනුවට කොමිසමක් පත් කිරිම මගින් අවශේෂ කරුණු කෙරේ වැඩි අවධානයක් යොමු වූ අතර අධිකරණ ක්‍රියාමාර්ගය යට ගියේය.  නීතිපති දෙපාර්තුමේන්තුවේ නීතිඥයින් අසික්කිත ලෙස බොරු ඉදිරිපත් කිරීමත් හිතාමතා පුද්ගලයින් ඉල්ලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමටත් පටන් ගත් අතර පෙරලා ඔවුන්ගේ පැටිකිරියද එළියට එන්න පටන් ගත්තේය. මෙය සත්‍ය සොයා බැලීමේ කොමිසමක් නොව නිර්ලජ්ජිත දේශපාලන මඩ නාඩගමක් බවට පත් කර ගත්තේය. විධිමත් ලෙස කටයුතු කළ කෝප් කමිටුවේ වාර්ථාව යටපත් වී ගොස් අවශේෂ කාරණා ඉස්මතු කළ තප්පුලන්නන්ගේ වාර්ථාව හෙට දින කරළියට පැමිණෙනු ඇත. නිසැක ලෙසම මෙම වාර්ථාව අධිකරණයක් තුල විහිළුවක් බවට පත්වනු ඇත.

තමන්ට චන්දය දී ජනාධිපති තනතුරට පත්කළ පිරිසට එක්වරම ආප්ප කැවීමට මෛත්‍රී තුල ඇති දෙගිඩියාව මේ දිනවල ඔහු කරන ප්‍රකාශ වලින් පෙනෙන්ට තිබේ. ඔහු නොසන්සුන් වී ඇත. හිතේ චකිතය එළිපිටට පැන ඇත. මහින්ද සමග නිදිවැදීම සාධාරණය කිරීමට එජාපයට සහ ජනවාරි 8 ව්‍යාපාරයට සහාය දුන් පිරිසට පහරදීමේ නින්දිත අරමුණෙන් ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. ශ්‍රීලනිප නායකත්වය කරට ගෙන සිදුකළ මහා පාවාදීමේ තාර්කික අවසානයට ඔහු පැමිණ ඇත. එය අවසන් වනු ඇත්තේ  මහින්ද සමඟ යහන් ගත වීමෙනි. බැඳුම්කර කොමිසමේ සැබෑ අරමුණ එවිට ඉබේම හෙලිදරව් වනු ඇත. 

විසල් කරුණාරත්න විසිනි

---------------------------
by     (2017-11-23 08:19:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The number of body parts in the list lion, eye and lion is?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more