භාවනා පන්තියේ දී අප අත්හරින දෑ සියල්ල භාවනා පුහුණුකරුවෝ අහුලා ගෙන මල්ල පුරවා ගනිති -ථෙරවාදයද? චෝරවාදයද? (අංක 32)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.21, ප.ව‍‍‍‍.8.00) අපේ  භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු දැන් දැන් ගිහි ජනතාවට ඇලීම් ගැටීම් වලින් මිඳී සියල්ල අතහැරීමේ භාවනා ක්‍රම වැඩි වැඩියෙන් හුරු කරවමින්  සිටිති.  ඒ සඳහා සති අන්ත භාවනා පන්තිද පැවත්වේ.  පන්ති හතරටම අඛණ්ඩව සහභාගිවීමෙන් සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මවාචා, සම්මාවායාම, සම්මාකම්මන්ත, සම්මාආජීව  සම්මාසති, සම්මසමාධි යන අරි අටඟි මඟට අවතීර්ණ විය හැකිය. පසුව පංචෝපාදනස්ඛන්ධයන් ප්‍රහීනකොට චතුරාර්‍යසත්‍යාවබෝධයෛන් උතුම් වූ අමාමහා නිවන් සැප සාක්ෂාත් කරගැනීමට පිළිවන.   මෙය එතරම් අපහසු කටයුත්තක් නොවේ. උදක්ම සැළකිලිමත් වියයුත්තේ අප සතු සියල්ල අත්හැරීමටය. එසේ අත්හරින දෑ භාවනා පුහුණු කරුවන්ගේ ගිණුම් පොත්වලට බැර වීම කර්මානුරූප සිදුවීමකි. එයට හේතුව වන්නේ අප අත්හරින සියල්ල  ඔවුන් අහුලා ගැනීමය. අපි භාවනා කරමු. ඒ හේතුවෙන් සියල්ල අත හැරේ. එයින් තවකෙකුගේ මල්ල පිරේ.  ඉතින් හේතු ඵල වාදයට තවත් උපමා අවශ්‍යද?

ඇත්තටම ශ්‍රීලංකාවේ වෙසෙන සිංහල බෞද්ධ ජනතාවට රැකගැනීමට තවත්  යමක් ඉතිරිව ඇද්දැයි යන්න ප්‍රශ්ණයකි ඔවුන් දැනටමත් බොහෝ දේ අතහැරදමා තිබේ. එක්දහස් නමසිය හැටේ  දශකය පමණවන  තුරු අපි එ‍්රොප්පයෙන් ආ පරයන්ගේ සංස්කෘතිය වැළඳගත් තුප්පැහි කළු සුද්දන්ට එරෙහිව සටන් කළෙමු . අග නුවර උන්ගේ  බංගලාවල පවත්වන සාද, උන් අඳින   ඇඳුම්,  උන් කරන මෝස්තර,    උන්ගේ ඉංගිරිස් වචන,   උන්ගේ කුල වැද්දුම්  ආදී සකළවිධ පරගැතිකම් තොරතෝංචියක් නැතුව විවේචනය කළෙමු. පියදාස සිරිසේන නම් වූ   ජාතිමාමක ලේඛකයා  “ අපට වෙච්ච දේ“ හෙලිදරුව් කරන අතරේ පූජ්‍ය ඇස්. මහින්ද  හාමුදුරුවෝ කවියෙන් සිංහල ජාතිය අවදි කළහ.  එපමණක් නොව අනගාරික ධර්මපාල තුමා තම කුඩා බක්කි ලොරියෙන් ගම් දනව් සිසාරා සංචාරයකරමින්  සිංහල ජාතියත් බෞද්ධාගමත්  බේරා ගැනීමට දිවිහිමියෙන් සටන් කළහ. එතුමා සර් හෙන්රි ස්ටීල් ඕකට් තුමා සමඟ එක්ව  ඉන්දියාවේ මහන්තාලාගෙන් බුද්ධගයාව බේරා ගැනීමට කළ අරගලය මුළු ලොවම මවිත කරන සුළු විය .  වාදිභසිංහ මිගේට්ටු වත්තේ ගුණානන්ද  හිමියන් බුදු දහමට ඔච්චම් කළ මිසනාරීන් දුර්මුඛ කොට දණගැස්සුවේ මේ සියල්ලටම පෙරය. භාෂාන්තර සමයාන්තර මහා දැනුම් සම්භාරයකින් පෝෂිත වූ මෙවන් උගතුන් වියතුන් රැසක්ම එදා ජාතික ආගමික පුණර් ජීවනය වෙනුවෙන්  නැඟූ හඬ අකනිටා බඹ ලොවට වුවද ඇසෙන්නට ඇත. ඔවුගේ වෑයම මල් ඵල ගැන්වුනි නම් අද ලංකාව රහතුන්ගෙන් පිරීගිය පුණ්‍ය භූමියකි. සිංහල භාෂාව ලොවම ජයගෙන හමාරය. ලෝකයේ සතුටින්ම වෙසෙන මිනිසුන්  ජීවත්වන්නේ වන්නේ  භූතානයේ   නොව ශ්‍රී ලංකාවේය. ඒ සිංහල බෞද්ධයන් වන අපය. මෙතරම් අතහැර දැමීමක් කර ඇතත් අපි තවමත් දුකෙන් කණස්සල්ලෙන් කල් ගෙවන ජාතියක් බවට පත්ව සිටිමු.

ජාතිය සහ  ආගම වෙනුවෙන් සටන් කරන  බවක් පෙනුනත් අප ඒ දෙකම අතහැර දමා බොහෝ කල්ය.  ?  “බස නස්නේ රැසද නස්නේ “යැයි කුමරතුඟු මුනිදසුන් කියා තිබේ. මේ අපේ භාෂාව පෝෂණය කළේ යම් යම් කාර්‍යයන් සඳහා අප පරිහරණය කළ උපකරණ බඩු භාණ්ඩ සහ ආහාර පාන බේත් හේත් ආදී අපේ දෑ නිසාය. ගොවිතැන් කටයුතු වලදී අප භාවිත  කළ කමත් භාෂාව ඇතුළු    වචන  මාලාව අද ඇත්තේම නැත. ඒ නිසා ගොයම් කවි, පැල් කවි, කරත්ත කවි, නෙළුම් කවි, කමත් කවි අතීතයටම එක්විය. ඔරු පාරු පතල් සාහිත්‍යයද වියැකී ගියේය. කුස්සිය හැඩ කළ කුරහන් ගල, මිරිස් ගල, කොරහ, නෑඹිලිය, වට්ටිය, වං ගෙඩිය, කුල්ල  යනාදිය කෞතුක භාණ්ඩ බවට පත් විය.   ආප්පය, පොල් රොටිය, පිට්ටු කෑල්ල පවා කඩෙන් මිළදී ගන්නා ත්තවයට ඇද වැටී ඇති අපි බොහෝ විට අප ගිල දමන ආහාර පාන වල නමවත් එහි අඩංගු දෑ වත් නොදනිමු. උණක් කැස්සක් සෙම් ප්‍රතික්ෂාවක්  පණු අමාරුවක් වැනි අසනීපයකට එදා අත් බෙහෙත් දුන්නේ අම්මාය. ස්ත්‍රීයාවක්  දරු ප්‍රශූතියකදී වුවද  නිරුවත් වූවේ වින්නඹු මවට සහ  පවුලේ කිට්ටුවර වැඩිහිටි කාන්තාවන් කිහිප දෙනෙකුට පමණි. අද ගැහැණු දරුවෙකු මව්  කුසෙන්  මෙලොවට බිහිව මිය යන තුරු බොහෝවර  බොහෝ දෙනා හමුවේ නිරුවත් වෙති. අතපත ගෑම් වලට ලක් වෙති. ලැජ්ජාවක් නැත. ඉතින් ලැජ්ජාව පවා අත්හැර දැමුවා මිස අප ඉතිරි කරගත්තේ කුමක්ද ?

ආගම ගැනද කිව යුතුව ඇත්තේ මේ ටිකමය. එදා භික්ෂුව ගමන් බිමන් ගියේ පයින්ය. හැදෑරුවේ සිංහල පාලි සංස්කෘත යන භාෂා විෂයයන්ය. සිවුරු පඬු පෙව්වේ කසට පොතුවලින්ය. ගමට පණිවිඩ දුන්නේ ගණ්ඨාරය හැඬවීමෙන්ය. සිවුරු මසා ගත්තේ තමන්මය. දානය වැළඳුවේ බිම වාඩි වෙලාය. දායකයෙකු අසනීප වූ විට ඔහුගේ නිවසට ගොස් පිරිත් ටිකක් කියා  නූලක් බැඳ සෙත් පැතීමට අමතක නොකළේය.  පංසල ආවාස ගෙයට, බුදු මැඳුරට, බෝධියට, ධර්ම ශලාවට  සහ චෛත්‍යයට සීමා විය. ඒ සඳහා රුපියල් කෝටි ගණන් වියදම් කළේද නැත. මේ දශක පහකට හයකට පමණ පෙර අපේ ගම්මානවල වැඩ විසූ භික්ෂුවගේ සහ පංසලේ ස්වභාවයෙන් බිඳකි. එහෙත් අද  භික්ෂුවගේ ඇවතුම් පැවතුම් රටාව, පරිහරණය කරන උපභෝග පරිභෝග වස්තූන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය,  අධ්‍යාපනය, සමාජ සම්බන්ධතා, ධර්ම දේශණා විලාශය ආදී  සියල්ල වෙනස්ය. වෙනත් වචනවලින් කියන්නේ නම් බොහෝ භික්ෂූන් ගිහියන්ගෙන් වෙන්කොට හඳුනා ගත හැකි වන්නේ සිවුරක් හැඳ සිටින නිසා පමණි. හිස රැවුල් කපා සිටින්නේද ගිහියන්ට සමානවය. ඔවුන් කොපමණ නම් අතහැර දැමීම කර ඇත්ද..?

මෙසේ කලින් කලට රටක සමාජයක සිදුවෙන වෙනස් කම් අපට අතින් අල්ලා නතර කළ නොහැකියැයි තවකෙකු තර්ක කළ හැකිය. “පැවත්මට සහ ඉදිරියට යාමට නම් වෙනස්වීම් වලට අනුගත  විය යුතුය. අද අප රටේ ජීවත්වන සිංහල බෞද්ධ ජනතාව ද සෙසු ජාතීන්ටත් වඩා වේගයෙන් නවීන ලෝකයට සරිලන පරිද්දෙන් පමණටත් වඩා වෙනස් වෙමින්  සිටිති. දශක ගණනාවකට පෙර පියදාස සිරිසේන, කුමාරණතුංග මුනිදාස, ටිබෙට් ජතික ඇස් මහින්ද හිමියන්  වැන්නන් ජුගුප්සාවෙන් පිළිකෙව් කළ සංස්කෘතිය අද අපි ඉතා කැමැත්තෙන් ගොඩ නඟාගෙන ඇත්තෙමුයි කියමින් ඔවුන් වාදාවතීර්ණ වීමටද බැරි නැත.  එනයින් සිදුවද  අපගේ දුකට කණස්සල්ලට ප්‍රධාන හේතුව වන්නේ  මෙම කාලීන වෙනස්වීම්  අනිත්‍ය ප්‍රතිසංයුක්ත භාවයෙන් යුතුව පිළිගැනීමට අප තුල ඇති අකමැත්ත නිසා බව පෙන්වාදෙනු කැමත්තෙමු. බුදු හිමියන් දේශණා කළ හේතු ඵල වාදය ලොව ඇති සියළු සජීවී අජීවී වස්තුන්ට පොදු වූ සාධාරණ ධර්මතාවයකි. එම නිසා ජාතිය ආගම පමණක් නිත්‍යයැයි ගෙන කටයුතු කිරීම බරපතල මුලාවකි. අන් සියල්ල සමඟ ජාති වාදය සහ ආගම් වාදය ද අතහැර දමන්නේනම් ශ්‍රී ලංකාව වචනයේ පරිසමාප්තාර්ථයෙන් පුණ්‍ය භූමියක් වනු ඇත. ඒ සඳහා අවකාශ නොදෙන්නේ කාසාය වස්ත්‍රධාරී චෝරවාදීන් සහ උන්ට දායක කාරකකම් කරන දේශපාළුවන් බව අපි  හොඳාකාරවම වටහාගෙන සිටින්නෙමු. අන්‍යාගම්වලද මෙවැනි දුෂ්ඨ චේතනා දරන මිනිසුන් නැත්තේම නොවේ. ගිංතොට ගිනිවිජ්ජුම්බරය ආසන්නම උදාහරනයයි.

අත්හැරීම පරිපූර්ණ වීමට නම්  ජාතිය වාදය ආගම් වාදය කෙරෙහි ඇති ඇලීම් වලින්ද අප මුළුමණින්ම  නිදහස් විය යුතුය. එවිට ගැටීමක්ද නැත. එහෙත් චෝරවාදියෝ මේ කථාව කියන්නට බිය වෙති.  ඒ ගිහියන් විසින් ඔවුන්ද අතහැර දමතැයි ඇති බිය නිසාය.

ආර්. ජී. ධර්මදාස

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38

---------------------------
by     (2017-11-21 15:11:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

What is nine hundred and twenty as digits?

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more