මිතුරා සතුරා සහ අවස්ථාවාදියා හඳුනාගත නොහැකි මෛත්‍රීපාල රටක් පාලනය කරන්නේ කෙසේද?

-විශ්වමිත්‍ර දේශබන්දුගේ දේශපාලන සටහන

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.20, ප.ව‍‍‍‍.2.20) “ඔබ මේ මැතිවරණ ප්‍රතිඵලය ලබා නොදෙන්නට  මේ වෙනකොට මම  ඉන්ඩ තිබුනෙ අඩි හයක් යට.” සුවහසක් ජන ප්‍රාර්ථනා මත 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් ජය ලබා දීමෙන් පසු ප්‍රථම වරට සිය ගමරට බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වේ එහෙමය. 

එහෙම කියපු මෛත්‍රීපාල සිරිසේන මහතා  ඒ දැවැන්ත විප්ලවයට  වසර තුනක් පිරෙන්නටත්  පෙර  දැන් තමාගේම වල තමා විසින් ම කපාගනු ලබමින් සිටියි. ඔහු මේ වල කෙතරම් වේගයෙන් කපාගනිමින්  සිටින්නේ ද කියන්නේ නම් එය අඩි හයටත් වඩා ගැඹුරු වීමේ අවදානම දිනෙන් දින වැඩි වෙමින්  තිබේ. 

රටට සැබෑ යහපාලනයක් උදා කළ, රටේත් ලෝකයේත් ගරු බුහුමනට ලක් වූ  කීර්තිමත් රාජ්‍ය නායකයකු ලෙස - ආසියාවේ නෙල්සන් මැන්ඩෙලා ලෙස- ධූරයෙන් විශ්‍රාම ගැනීමේ ප්‍රබල අවස්ථාවක් ඔහුට ලැබී තිබුණි. එහෙත් රට  වෙනුවෙන් වූ න්‍යාය පත්‍රය වෙනුවට  තමාත් තම පවුල සහ ශ්‍රීලනිප හෙන්චයියනුත් වෙනුවෙන් වූ න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කිරීමට යොමුවීම නිසා ඔහු මෙලෙස තමාත් රටත් සීඝ්‍රයෙන් දැවැන්ත අගාධයක් වෙත රැගෙන යමින් සිටියි. 

බැලු බැල්මට මෙය පැහැදිලිය. 

අබැටක තරම් ප්‍රඥාවක් ඔහු සතු නම්, තම සනුහරේ හා පසුකාලීනව ඔහු වටකරගත් හෙන්චයියන් වෙනුවෙන්  නොව රට වෙනුවෙන් වූ අවංක න්‍යාය පත්‍රයක් ඔහු සතු නම් වහාම ජනවාරි 8 ට ආපසු හැරීමට ඔහු පියවර ගත යුතුය. 

සවන් ඇත්නම් සවන් දී මේ ගැඹුරු  වල කපා ගැනීම නැවැත්වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිහිකැඳවීම ඔහු එතැනට ගෙනා 62 ලක්ෂයේ වගකීමකි. අයිතිවාසිකමකි. මේ ලිපියද එම වගකීම ඉටුකිරීමට ගන්නා තවත් උත්සාහයකි.  

මෛත්‍රී සිය වල කපා ගනිමින් සිටින්නේ කෙසේද? 

මෑතකදීම  ඇති වූ සිද්ධි කිහිපයක් පමණක් මෙම ලිපියට විෂය කරගනිමු.  

සිය ජීවිතය පවා පරදුවට තබමින් තමන් යහපාලන නායකත්වයට ගෙන එම සඳහා සියලු තර්ජන, ගර්ජන, අවමාන නොතකා තමන් කරේ තියාගෙන ගිය දැවැන්ත ජාතිමාමක බලවේගය මෛත්‍රීපාල සිරිසේන විසින් මේ වන විට පලවා හැර තිබේ. ඊට හේතුව සිය මිතුරන් කවුද සතුරන් කවුද යන්න ඔහුට අමතක වී ඇති නිසාය. ඔහු සතුරන් යයි දැන් සිතන්නේ ඔහුගේ සැබෑ මිතුරන්ය. දහ  දුක් විඳිමින් තමන් මෙම තනතුරට ඔසවා තැබුවේ තම සැබෑ මිතුරන් බව ඔහුට අමතක වී තිබේ.  2015 ජනවාරි 8 වැනිදා ඔහු  මෙම ධුරයට ඔසවා තැබු බහුතරය  ඔහුගේ  සාම්ප්‍රදායික දේශපාලන  පක්ෂය නොවේ. මෙම බහුතරය ඔහු මෙතනට ඔසවාගෙන ආවේ කිසිදු වරදානයක් හෝ වරප්‍රසාදයක් හෝ අපේක්ෂාවෙන්ද  නොවේ. සිය  බඩ හෝ රැකියාව හෝ පිණිස නොවේ. ඔවුන්ගේ අපේක්ෂා දින 100 වැඩපිළිවෙල නමැති පොත් පිංචේ පැහැදිලිව සඳහන් වී තිබේ. 

එහෙත් එම  අපේක්ෂා ඉටු කරනු වෙනුවට ජනාධිපති සිරිසේන මහතා ජනාධිපති ධූරය සිය බූදලයක් බවට හරවා ගනිමින් එදා තමන් වටා නොසිටි කෑදරයන් පිරිසක් පිනවමින් සිටීම නිසා මෙම 62 ලක්ෂය තුළ සාධාරණ වේදනාවක් හා කෝපයක් හටගෙන තිබේ. සැබෑ මිතුරන්ගෙන් ඈත්වීම බියකරු  අනතුරකට අත වැනීමකි.  

සිරිසේන මහතා ප්‍රාණ සම මිතුරන් යයි සිතන්නේ ඒ තීරණාත්මක 2014 නොවැම්බර මාසයේ සිට 2015 ජනවාරි 8 වැනිදා දක්වා ඔහුගේ වල කපමින් සිටි සතුරු බලවේගයයි. 2009 දී මහින්ද රාජපක්ෂ පාලනයට අභියෝග කල, යුද්ධය ජය කරා මෙහෙය වූ සෙන්පතියා අසත්‍ය චෝදනා මත කුරිරු ලෙස සිරගත කරන  ලද  අන්දම සිරිසේන මහතාට මේ වන විටත් අමතක  වී ඇතැයි  සිතිය නොහැකිය.අද සිරිසේන මහතා වටා  සිටින එකෙකුවත් ඒ සෙන්පතියා වෙනුවෙන්  කටක් සෙලවූයේ නැත. ඊට එරෙහිව හඬ නගන්නට උත්සාහ කළ ත්‍රෛනිකායික මහානායක හිමිවරුනට වෙන්නට ගිය අනතුර ද ඔහු හොඳ හැටි දනියි. උන්වහන්සේ වෙනුවෙන් වත් එම නඩයේ කට ඇරුනේ නැත. ජනවාරි 8 වැනිදා ජාති  මාමක බලවේගය  විසින්  පරාජය කරන ලද රට විනාශ මුඛයට ඇද දැමූ මෙම හොර මැර නඩය තමා වටා සිටිමින් කරන්නේ කල් බැලීමක් පමණක් බව සිරිසේන මහතා වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. 

අද සිරිසේන මහතා ‘දඬුවම්’  කරමින් සිටින්නේ ඔහුගේත් රටේත් සැබෑ මිතුරන්ටය. ආරක්ෂා කරන්නේ ඔහුගේත් රටේත් සැබෑ සතුරන්ය. 

අලුත්ම  උදාහරණය ලංකා ඊ නිව්ස් තහනම ය. 

රාජපක්ෂ පවුල නීතියේ ආධිපත්‍යය සිය සපත්තු වලින් පාගා පොඩි කර දමමින්, සිත් සේ රටේ සම්පත් තම සනුහරයට අයිති කර ගනිමින්, තම හෙන්චයියනට සිය මේසයෙන් වැටෙන මස් කටු විසිකරමින්, රට මුළුමනින්ම පාහේ චීනයට කුණු කොල්ලයට පාවා දෙමින් ගෙන ගිය පාලනයට එරෙහිව එම වනචර දශකය තුළ තනිව මාධ්‍යයක් ලෙස  හඬ නැගුවේ ලංකා ඊ නිව්ස් ය. අද සිරිසේන මහතා වටා සිටින සියලු මාධ්‍ය එම කාලය තුළ කළේත් එම වනචර පාලනය යුක්ති සහගත කිරීමය. අවස්ථාව ලද විට ලංකා  ඊ නිව්ස් ප්‍රගතිශීලි   ජාතිමාමක බලවේගය වෙනුවෙන් පෙනී සිටිමින්, ජනාධිපතිවරණ සමයේ එම දුෂ්ට පාලනය කරන්නට තැතැනූ කුමන්ත්‍රණ  හෙළි කරමින් ජනතා  අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට මුළු ශක්තියෙන් සහය දුන්නේ ය. මෙම ජයග්‍රහණයෙන් ඊ නිව්ස් පෞද්ගලික වරදාන හෝ වරප්‍රසාද අපේක්ෂා නොකළ බව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ එම වෙබ් අඩවියේ හැසිරීම මනාව තහවුරු කරයි.   එහෙත් 62 ලක්ෂය විසින් ඉල්ලා සිටි වැඩපිළිවෙල එය පොරොන්දු වූ සිරිසේන මහතා විසින්ම  පරාජය කරනු ලබමින් තිබීම ගැන සාධාරණ කෝපයක් හා වේදනාවක් ඊ නිව්ස් වෙත තිබෙන බව ගත වූ මාසයක පමණ කාලය තුළ  පළවූ ප්‍රවෘත්ති හා විචාර වලින් පැහැදිලිය. 

මේවා කියවන   ජනාධිපතිවරයා තුළ අබැටක් පමණ හෝ ප්‍රඥාවක් ඇත්නම් ඔහු කළ යුතුව තිබුණේ  මේ විනාශකාරී  ගමන නවතා ආපසු හැරීමයි. ඒ වෙනුවට ඔහු කර ඇත්තේ  ඕනෑම ඒකාධිපතියකු ගේ ප්‍රථම ආයුධය වන මාධ්‍ය මර්දනයට අත තැබීමයි. ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු, “තර්ජන නිසා විදේශ ගත වී සිටින සියලුම මාධ්‍යවේදීන්ට මම ආරාධනා කරනවා ආපහු ලංකාවට එන්න කියල. දැන් නිදහසේ මාධ්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්” යයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා ම ද මේ? වැරදී ඇත්තේ කාටද? 

ලංකා ඊ නිව්ස් තවමත් සිටින්නේ 2014 නොවැම්බරයේ දී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් ප්‍රමුඛ ප්‍රගතිශීලි බලව්ගය සිටි ස්ථානයේය. එම දැක්මේ ය. ඒ මාර්ගයේය. ඒ වෙනුවට තමාට මග වැරදී ඇති බව සිරිසේන මහතා තේරුම් ගත යුතුව තිබේ. ඒකාධිපති ආයුධ තෝරා ගැනීමට සිදුවන්නේ මග වැරදුනු දුෂ්ඨ පාලකයන්ටය.  

“මේ යන්නේ කොයි පාරේ? - මරා-ගෝරා ගිය පාරේ….” ?

දූෂණය පිටු දැකීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ දෙමළ ජනයා  ඇතුළු සුළු ජාතික සුළු ආගමික ශ්‍රී ලාංකික පුරවැසියන් ගේ  අයිතිවාසිකම් තහවුරු කිරීම 2015 ජනාධිපති ව්‍යාපාරයේ ප්‍රමුඛ සටන් පාඨයක් විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔහුගේ එක ආත්මාර්ථකාමී ක්‍රියාවකින් ඒ පොරොන්දු සඳහන් කොලය ඉරා ගුලි කොට කුණු බක්කියට විසිකර තිබේ. එනම් එකම එක සේවා දිගුවකින් හෝ තොරව, හුදෙක් මාස දෙකකින් පසුව ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට කීර්තියක් ගෞරවයක් ගෙන එමින් සිටි නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා විශ්‍රාම යැවීමයි.  

ඔහු කළ වරද කුමක් ද? නාවික හමුදාවේ නිර්දේශ හේතුවෙන් රාජපක්ෂ පාලනය විසින් පවා ප්‍රතික්ෂේප කෙරුණු මහරාජා ගේ රුසියානු යුද නැව් ‘ඩීල්’ එක අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීමයි. 

තමන් දැරූ හමුදා නිලයට ගෞරවයක් හා  කීර්තියක් වූ මෙම හමුදා නිලධාරියා විශ්‍රාම යැවීමෙන් ජනාධිපති සිරිසේන මහතා සිය සියොලඟම දුෂණයේ අසූචි තවරාගෙන තිබේ. නාවික හමුදාව විසින් ප්‍රතික්ෂේප කෙරෙන ගනුදෙනුවක් සිය අභිමතය අනුව අනුමත කරන්නට තරම් ජනාධිපතිවරයාට ඇති කැක්කුම කුමක්ද?

තමන් යළිත් ජනාධිපතිවරණයකට නොයන බවට මහනුවර ශ්‍රී දළදා හාමුදුරුවන් අබියස සිට ජනතාවට පොරොන්දු වූ,  ජනාධිපති ධුරය අහෝසි කරන බවට සෝභිත හිමියන්ගේ දේහය අසල සිට යලිත් සපථ කළාවූ  සිරිසේන මහතා  ඒ සියලු පොරොන්දු කඩ කරමින් තවත් ජනාධිපතිවරණයකට යන්නට සැරසෙන බව පෙනේ. ඒ බව නව ව්‍යවස්ථාව අරභයා ඔහුගේ පක්ෂයේ යෝජනාවලියේ අපූරුවට සඳහන් වේ. එනම් විධායක ජනාධිපතිධූරට තවදුරටත් තබා ගැනීමට ශ්‍රීලනිපය කරන යෝජනාවයි.  ඔහු ඊට සම්බන්ධ නැතැයි කියන්නේ නම් ඔහු ශ්‍රීලනිප නායකයා නොවිය යුතුය. මහරාජා සමග ඩීල් එකකට එළැඹ ඇත්තේ එම මැතිවරණයේ දී තමන් වෙනුවෙන් ප්‍රචාරය ලබා ගැනීමේ අරමුණින් බව පැහැදිලිය. 

මහරාජා 2014 නොවැම්බරයේ සිටියේ කොහේද?

වනචර දශකයේ දෙවැනි භාගයේ දී මහරාජා කොන්දේසියකින් තොරව රාජපක්ෂ පාලනය ආරක්ෂා කළ බව ජනතාවට අමතක නැත. ලසන්තලා මරාදමනු ලබද්දී, එක්නැළිගොඩලා අතුරුදන් වෙද්දී, ලංකා ඊ නිව්ස් ගිණි තබද්දී බොහෝ ස්වාධීන මාධ්‍යවේදීන්ට රට අතහැර පලායන්නට සිදු වෙද්දී මහරාජා රටේ බෞද්ධ සංස්කෘතිය පවා වනසන ඉන්දීය ටෙලි ප්‍රචාරය කරමින් යහතින් වර්ධනය වුයේ රාජපක්ෂ පාලනය ආරක්ෂා කිරීමේ ආනිශංසනි. සිරිසේන මහතා  පොදු අපේක්ෂකත්වයට එන බවක් මහරාජා දැන  සිටියේ නැත. ඔහුගේ මාධ්‍ය ජාලය මුළු ශක්තියෙන් වෙර දරමින් සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට පැමිණීම වැලැක්වීමට ය. ඒ අරමුණින් මාධ්‍ය වේදීන් ලෙස තමන් හඳුන්වා ගනිමින් මාධ්‍ය වෘත්තියට පවා නිගරු කරන මහරාජා ගේ කීකරු සුනඛ පෝතකයන් ගැසූ මඩ කන්දරාව මේ රටේ ජනයාට අමතක නැත. (අදත් එය වෙනස්ව නැත). 

රනිල් වික්‍රමසිංහ මහතා ගේ ද සහයෝගයෙන් සහ ආශීර්වාදයෙන් පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියට ගෙන එන ලද විට මහරාජා තක්කු මුක්කු වූ හැටි අපට අමතක නැත. 

ඒ සමගම එජාපයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා “දෑත් ශක්තිමත් කිරීමට” බල්ටි ගැසූවේය. තක්කු මුක්කු වී  සිටි  මහාරාජා මෙම බල්ටිය හොඳ හොද්දක් කර ගැනීමට මාන බැලුවේය. එම මාධ්‍ය ජාලය කලේ සිරිසේන මහතාට සහය දීමට වික්‍රමසිංහ මහතා ගත්  තීරණයත් අත්තනායක මහතා ගේ බල්ටියෙන් පසුව එජාපය තුළ ඇති වූ කැළඹීමත් උපයෝගී කරගනිමින් එම පක්ෂය තුළ තවත් කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ දැරූ බව අපට අමතක නැත. 

එය සාර්ථක වුයේ නම්, වික්‍රමසිංහ මහතා අද අගමැති නොවනවා පමණක් නොව සිරිසේන මහතා අද ජනාධිපති වන්නේ ද නැත. මහරාජාගේ එම ප්‍රචාරක උත්සාහය සාර්ථක වුයේ නම්  ඇතැම් විට 2015 ජනවාරි 8 වන්නටත් පෙර සිරිසේන මහතා අඩි  හයක් යට යන්නට ඉඩ තිබිණි. ඒ මොහොතේ එජා පාක්ෂිකයන්  කැළඹී සිටි බව ඇත්තය. එහෙත් එජාපයටත් ඒ මොහොතේ රට තුළ ඇතිවෙමින් තිබූ වෙනසටත් හානියක් කරන්නට මහරාජා ගේ මෙම  කැත මාධ්‍ය සංදර්ශන සමත් වූයේ නැත. සිය පක්ෂයට ප්‍රබල නායකත්වයක් දෙමින් පාක්ෂිකයාගේ ආකල්ප වෙනස් කරමින් සිය ප්‍රධාන පසමිතුරු පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද පොදු අපේක්ෂයා ජයග්‍රහණය කරා මෙහෙයවන්නට වික්‍රමසිංහ මහතා සමත්විය. (මෙම කාරණයෙහි ලා වික්‍රමසිංහ මහතා තුළ  වූ ප්‍රබල නායකත්ව ලක්ෂණත් එජාපය රට වෙනුවෙන් කළ කැපවීමත් වෙනම සාකච්ඡා කළ යුත්තකි).

මේ අනුව ජනාධිපති සිරිසේන මහතා මේ කරුණ සිහි තබා ගත යුතුය. එනම් ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මුල දී මහරාජා ඔහු සමග නොසිටි බවය. ඔහු පොදු අපේක්ෂකයා ලෙස තෝරාගත් ජනතා බලවේගය සමග නොසිටි බවය.  මේ ගමනට වෙට්ටු දමන්නට උත්සාහ කළ බවය. අද මහරාජා කරන්නේ එදා පක්ෂයට කාලෝචිත දක්ෂ නායකත්වයක් දෙමින් පක්ෂයේ සහය මෛත්‍රීපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයාට  ලබා දෙමින් ඔහු “යහපාලන ජනාධිපති” කිරීමට සියලු කැපවීම් කළ රනිල් වික්‍රමසිංහ මහතාට දිගින් දිගටම පහර දීමය. මෙය ජනාධිපතිවරයා ද දැනුවත්ව කරන්නක් බව ඉතා පැහැදිලි වේ. ජනාධිපතිවරයා මහාරාජාට මිලියන ගණනක් වටිනා  FM සංඛ්‍යාත අත යටින් ලබා දී මෙම රුසියානු යුද නැව් ඩීල් එකද ලබා දුන්නේ මේවා නොදැන යයි සිතිය නොහැකිය. මිතුරා සහ සතුරාත් අවස්ථාවාදියාත් හඳුනාගත නොහැකි නායකයකු රටක් පාලනය කරන්නේ කෙසේද?

කෝලංගියා තබාගෙන සින්නයියා ගෙදර යැවීම 

දමිළ සම්භයකින් යුත් ට්‍රැවිස් සින්නයියා විශ්‍රාම යැවීම සුළු ජාතික ශ්‍රී ලාංකිකයන් තුළ සිංහල දේශපාලන  නායකයන් කෙරෙහි යලිත් සැකය හා කෝපය ඇති කිරීමට හේතු වනු නිසැකය. තමන් අඩි හයෙන් බේරා ගත් ප්‍රබල මිතුරු පාර්ශවයක් වූ උතුරේ හා නැගෙනහිර ජනයාට ජනාධිපතිවරයා සංඛේතාත්මකව හෝ කෘතගුණ සලකන්නේ මෙසේද? මෙම නිලධාරියා දූෂිත හෝ විනය විරෝධී පුද්ගලයකු වූවානම් මෙම තීරණය අනුමත කළ හැකිය. එහෙත් එය එසේ නොවේ. රණවිරුවෙකු හමුදාපතිවරයෙකු කර ඔහුව මාස දෙකකින් ගෙදර යැවීම ඔහුට කරන ලද නිග්‍රහයක් ලෙස ඕනෑම පුද්ගලයෙකු සලකනවා නිසැකය. මෙය දෙමළ ජනයාට කළ නිග්‍රහයක් ලෙස උතුරේ ජනතාවට වඩාත් සංවේදීව සිතීම වැළැක්විය නොහැකිය.   

ට්‍රැවිස් සින්නයියා විශ්‍රාම යවන ලද්දේ තක්කඩියකු සහ කෝලංගියකු බව ඇස්පනා පිට ඔප්පු වී ඇති පූජිත ජයසුන්දර තවමත් නිරුපද්‍රිතව පොලිස්පති ධුරයේ සිටියදීය. මේ තරම් විකාරයක් නිදහසින් පසු ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිදු වී නැත. එහෙත් යහපාලනයක් ගැන කියන ජනාධිපතිවරයා කොන්දේසියකින් තොරව මෙම තක්කඩි කෝලමා ආරක්ෂා කරමින් සිටියි. ඒ අතර නීතිගරුක ට්‍රැවිස් සින්නයියා වැනි මහත්වරුන්, සේවාවෙන් පලවා හරිමින් සිටියි. 

මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ දැන් උපදේශකයන් වී ඇත්තේ ඔහුගේ සැබෑ මිතුරන් වූ මැතිවරණ සමයේ ඔහු කර තබාගෙන පැමිණි ජන බලවේගයේ  නියෝජිතයන් නොවේ. යන මග නොදැන ඔහු බැදිවල යන්නේ ඒ නිසාය. ඔවුන්ට අවශ්‍ය යලිත් අවුල් නිර්මානය කොට භේදයක් ඇතිකොට බලය උදුරාගෙන රටේ සාරය යලි උරාබීමටයි. ඒ සඳහා 2015 ජනබලවේගයත්, 62 ලක්ෂයත් පරාජය කළ යුතු බව ඔවුන් අවබෝධ කරගෙන තිබේ. 

එහෙත් මෙම 62 ලක්ෂයත් 2015 ජනබලවේගයත් පරාජය කළහොත් එයින් බිහිවන යම් ආණ්ඩුවක් ඇත්නම් මෛත්‍රීපාල සිරිසේන මහතා එහි නායකයා නොවනු ඇති බව කියන්නට කේන්දර කාරයන් පස්සේ යන්නට උවමනා නැත. ඔහු එසේ නායකයා වූවත් එය කල් පවතිනු නොමැති බවද සහතිකය. මන්ද සිරිසේන මහතා මිතුරන් යයි සිතා සිටින්නන් තුළ තවමත් බුර බුරා නැගෙන කෝපයේ ප්‍රථම ගොදුර  බවට ඔහු පත්වීම නියත නිසාය. දණ්ඩෙන් පහර කෑ නයා සිය අවස්ථාව එළඹෙන තෙක් බලා සිටින්නේ කෙසේද, ඔව්හු ද එසේම බලා සිටිති. 

එසේ නම්, මෛත්‍රීපාල සිරිසේන මහතාට තෝරාගැනීමට වරණ දෙකක් තිබේ. එනම්, 

මහරාජලා සහ මිතුරු වෙසින් සිටින සතුරු උපදේශකයන්  හා එක්ව තමා ගේ වල තමා ම දිගටම කපා ගන්නවාද? 

නැතහොත්, 
 
2014 නොවැම්බරයේ  දී මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ නායකත්වයෙන්, සියලු මිතුරු දේශපාලන පක්ෂ, සිවිල් බලවේග, යොවුන් හා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්, වෘත්තීය සමිති වැනි විවිධ අංශවල එකමුතුවෙන් රට තුළ ඇති වූ ප්‍රබෝධය හා නව රටක් සඳහා වූ අපේක්ෂාවල දැවැන්ත බලයත් එහි ආස්වාදයත්  යළි වැළඳගෙන ඊට අවංකව නායකත්වය දෙනවා ද? 

විශ්වමිත්‍ර දේශබන්දු විසිනි 

---------------------------
by     (2017-11-20 10:16:17)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

The 5th number from thirteen, twenty nine, 22, 30 and twenty two is?

  7 discussion on this news

මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තවත් සුුළු වෙලාවක් ඉතුරු වෙලා තියෙනව ඕන නං....
-- by latha on 2017-11-20

සක්+කිිලී මහරාජට උවමනාව තියෙන්නෙ නායකයො දෙන්න කොටවන්න. නායකයො අතර අසමගියක් ඇති කරොත් පමණයි මහරාජා වගේ පාදඩ මුදලාලියෙකුට අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන් වෙන්නෙ. මේ වගේ අමනයෙකුට අයිති සියලු ව්‍යාපාර විනාස කර දැමිය යුතුයි!
-- by සිංහලේ on 2017-11-20

මෛත්‍රී විසින්. මහරාජලා සහ මිතුරු වෙසින් සිටින සතුරු උපදේශකයන් හා එක්ව තමා ගේ වල තමා ම කපා ගනිමින් සිටිනවාද?
-- by රංජිත් on 2017-11-20

රාජපක්ෂලාට අවස්ථාව ලැබෙන පලවෙනිි විනාඩියෙදිම ඔවුන් මෛත්‍රීපාල ඇතුළු කණ්ඩායමට අමරණීය පාඩමක් උගන්නාවි. ඒක වලක්වන්න පුළුවන් එකම කන්ඩායම 62 ලක්ෂයේ බලවේගය පමණයි!
-- by රෝනි on 2017-11-20

සිංහල බෞද්ධ සංස්කෘතිය අමු අමුවේ විිනාස කරන ‘සිරස‘ කාලකන්නි චැනලය අයිති, කොටින්ට ආයුධ සැපයූ දේශද්‍රෝහියෙක්ද වන කිලීි මහරාජා කියන දකුණු ඉන්දියානු තක්කඩියා තමයිි අද මෛත්‍රීපාලගෙ හොදම උපදේශක!
-- by හසන් on 2017-11-20

ජනවාරි 8 වැනිදා ජාති මාමක බලවේගය විසින් පරාජය කරන ලද රට විනාශ මුඛයට ඇද දැමූ මෙම හොර මැර නඩය තමා වටා සිටිමින් කරන්නේ කල් බැලීමක් පමණක් බව සිරිසේන මහතා වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. අද සිරිසේන මහතා ‘දඬුවම්’ කරමින් සිටින්නේ ඔහුගේත් රටේත් සැබෑ මිතුරන්ටය. ආරක්ෂා කරන්නේ ඔහුගේත් රටේත් සැබෑ සතුරන්ය.
-- by mahinda on 2017-11-20

2014 නොවැම්බරයේ දී මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ නායකත්වයෙන්, සියලු මිතුරු දේශපාලන පක්ෂ, සිවිල් බලවේග, යොවුන් හා ජ්‍යෙෂ්ඨ කලාකරුවන්, වෘත්තීය සමිති වැනි විවිධ අංශවල එකමුතුවෙන් රට තුළ ඇති වූ ප්‍රබෝධය හා නව රටක් සඳහා වූ අපේක්ෂාවල දැවැන්ත බලයත් එහි ආස්වාදයත් යළි වැළඳගෙන ඊට අවංකව නායකත්වය දෙනවා ද?
-- by Sobithawathara on 2017-11-20

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more