අයවැයෙන් පාසැල් අධ්‍යාපනය නොසලකා හැරලා: මුදල් ඇමැති කළ ප්‍රෝඩාව ලංකා ගුරු සංගමය හෙලි කරයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.19, ප.ව‍‍‍‍.9.00) මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කළ මංගල සමරවීර ඇමතිවරයා අධ්‍යාපන පද්ධතියට අදාළ කිසිදු අලුත් යෝජනාවක් සිදු නොකළ අතර, පෙර යෝජනා වී පැවති එහෙත් ක්‍රියාත්මක නොකළ එම යෝජනා මෙවර අයවැය තුළට ඇතුළත් කර තිබීම බරපතල තත්වයකි. 

පසුගිය අයවැය ඉදිරිපත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේ  ස්මාට් පන්ති කාමර වෙනුවෙන් රුපියල් මිලියන 6500 ක් ද, උසස් පෙළ සිසුන් 175000 කට සහ උසස් පෙළ ගුරුවරු 28000 කට නොමිලේ ටැබ් ලබාදීමට රුපියල් මිලියන 5000 ක් වෙන් කළ බවයි. මෙවර අයවැය මංගල සමරවීර මුදල් අමත්‍යවරයා ඉදිරිපත් කරන විටත් එම ටැබ් පරිගණක කිසිවෙකුට ලබාදී නොතිබුණි. නමුත් අයවැය යෝජනා අංක 158 යටතේ මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රකාශ කොට ඇත්තේ ටැබ්ලට් පරිගණ ලබාදීමෙන් දුන් පොරොන්දු ඉටු කළ බවයි. මේ තුළින් මංගල සමරවීර මුදල් ඇමැතිවරයා අධ්‍යාපනයට කර ඇති ප්‍රෝඩාව සම්බන්ධයෙන් මනා වැටහීමක් ලබාගත හැක. 

එසේම 13 වසර දක්වා අධ්‍යාපනය මෙවර අයවැයෙන් සාකච්ඡා කළ ද මෙය අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම අග‍්‍රාමාත්‍යවරයාද පසුගිය කාලය පුරාම ප‍්‍රකාශ කළ කරුණක් වූ අතර පසුගිය අයවැයේද මේ පිළිබඳ යෝජනා කර රුපියල් මිලියන 5000 ක් වෙන් කළ බව ප‍්‍රකාශ කර තිබුණි. එම කටයුත්තද මේ දක්වා විධිමත්ව සිදුවී නැත.  අයවැය තුළ ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, ඊ පෙළ පොත්, ජාතික අධ්‍යාපන ආයතනය ප‍්‍රතිසංවිධානය කිරීම, නව ගුරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම වැනි දේ ඇරුණු කොට පාසල් අධ්‍යාපනයට සම්බන්ධ නව යෝජනා කිසිවක් නැත. ඉහත යෝජනා ද පෙර සිටම ක්‍රියාත්මක තලයේ පවතින ඒවාය. 

2014 වසරේ නිකුත් කරන ලද නව ගුරුසේවා හා විදුහල්පති සේවා ව්‍යවස්ථාවලට අනුව උසස්වීම් සකස් කොට හිඟ වැටුප් ලබා දී නොමැති තත්වයක ඒ සඳහා ප‍්‍රතිපාදන වෙන් කර නැත. ගුරුවරු හිඟ වැටුප් හා උසස්වීම්වලට අදාළ වැටුප් නොලැබීමෙන් බරපතල පීඩාවකට පත්ව ඇත. මහනුවර සිරිමල්වත්ත විදුහලේ වහල කඩා වැටීමෙන් පසු සමස්ත පාසල් පද්ධතියේ අන්තරාදායක ලෙස ඇති වහලවල් පිළිබඳව තොරතුරු සෙවූ බව අධ්‍යාපන ලේකම්වරයා පැවසුවද එවැනි පාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද කිසිදු යෝජනාවක් අයවැයෙහි නොමැත. පාසල් ළමුන් බරපතල පානීය ජල අර්බුදයක සිටින අතර, සනීපාරක්ෂක පහසුකම් ද පාසල්වල අවම මට්ටමක පවතී. ඒ සම්බන්ධයෙන් වූ නව යෝජනාවක් හෝ ප‍්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කොට නැත. විදුහල්පතිවරුන්ට ලැබෙමින් පැවති තීරුබදු රහිත වාහන බලපත‍්‍රය 1998 සිට අහෝසි කරන ලද අතර එය නැවත ලබාගැනීමට කරන ලද ඉල්ලීමද මෙම අයවැයෙන් නොසලකා ඇත. 

වත්මන් රජය බලයට පැමිණීමට පෙර ප‍්‍රකාශ කළ අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම මෙවර අයවැයෙන් මුළුමනින්ම අමතක කර දමා තිබීම කනගාටුදායක තත්වයකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දිගින් දිගටම අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි අවස්ථාවක් ලබාදෙන බව ප‍්‍රකාශ කළ ද ඒවා හුදු ප‍්‍රකාශ පමණක් බව මෙවර අයවැය යෝජනා විසින් මනාව පෙන්නුම් කොට ඇත

ජෝසප් ස්ටාලින්

ප‍්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය

---------------------------
by     (2017-11-19 15:59:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more