‘සම්බන්ධන්ට පුළුවනි නම් සර්වේස්වරන්ට බැරි මොකෝ..!‘ ජාතික ධජයට බෑ නම් ඇමැතිකමත් බෑ; උතුරේ පළාත් ඇමැති ජාතික ධජයට ගරු නොකිරීම ගැන දෙමළ දේශපාලනඥයෝම එරෙහි වෙති

(ලංකා ඊ නිව්ස් - 2017.නොවැ.19, ප.ව.4.30) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායකතුමාට ජාතික ධජයට ගරු කිරීමට හැකිනම් පළාත් සභා අමාත්‍යවරයෙකු වන සර්වේස්වරන්ට ගරු බුහුමන් දැක්වීමට නොහැකි යයි පවසන්නේ නම් ඔහු පිස්සකු බවත් ජාතික කොඩිය ඉදිරියේ දිව්රුම් දුන් ඔහුගේ ඇමැතිධූරයද අහොසිවිය යුතු බවත් කියමින් උතුරු පළාතේ අධ්‍යාපන ඇමැතිවරයාට එරෙහිව දෙමළ දේශපාලනඥයන්ගෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.  

පසුගියදා වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති සර්වේස්වරන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම ආන්දෝලනයකට තුඩු දුන්නේය. දකුණේ සිංහල ජාතිවාදීන්ට සිද්ධිය රස මසවුලක් විය.

තමන් එසේ කෙළේ 1956 සිට කිසිදු දෙමළ දේශපාලනඥයෙකු හෝ දෙමළ විද්වතෙකු මේ රටේ ජාතික ධජය පිළිගැනීමට  සූදානම් නොමැති නිසා තමන්ද ඒ මතයේ සිටින නිසා යැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරන් 11 දා යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් යාපනයේ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කල අවස්ථාවේදීය.

ඔහු මේ පිළිබදව තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ  ශ්‍රී ලංකාවේ ජාතික ධජය තුල සිටින සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් එහි ඇති බොහෝ සලකුණු වලින් බෞද්ධ ආගම පිලිබිඹු වීමත් නිසා මේ ධජය සිංහල බෞද්ධ ජාතික ධජයක් පමණක් බවයි.

එවැනි ධජයකට දෙමළ ජනතාව ගරුබුහුමන් දැක්වීමට ඇති අකමැත්ත නිසාම 1956 වර්ෂයේ සිට දෙමළ දේශපාලාන්ඥයින් මෙම ජාතික ධජය වෙනස් කරණ මෙන් ඉල්ලීම් ගණනාවක්ම කොට ඇති බව කියන අමාත්‍යවරයා චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියගේ කාලයේදී ඒ සඳහා විශාල ඉල්ලීමක් කල බවද ප්‍රකාශ කොට තිබේ.

ඉන් පසුව අවස්ථා ගණනාවකදීම මේ රටේ දෙමළ ජනතාවටද පිළිගත හැකි අන්දමේ ජාතික ධජයක් නිර්මාණය කරණ මෙන් ඉල්ලීම් කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවලද එම ඉල්ලීමට විශේෂ තැනක් දී ඇතැයි කියා සිටියි.

සිංහල ජාතිය පමණක් ඉස්මතු වන අන්දමට නිර්මාණය කොට ඇති ජාතික ධජයක් මේ රටට අනවශ්‍ය බවත් එවැනි ධජයකට ගරු බුහුමන් දැක්වීමට දෙමළ ජනතාව සූදානම් නොමැති බවත් අමාත්‍යවරයා යාපනයේ මාධ්‍යවේදීනට පවසා ඇත.

ඔහුගේ ප්‍රකාශට විරෝධය දක්වමින් අදහස් පල කොට ඇති උතුරු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්. කුරුකුලරාජා පවසා අත්තේ දෙමළ ජාතික සන්ධානය ජාතික ධජය ප්‍රතික්ෂේප කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි. මෙම ධජයේ සිංහයා ඉවත් කොට යම් සංශෝධනයක් සිදු කරණ මෙන් ඉල්ලා ඇති සිද්ධිය සත්‍ය නමුත් එවැන්නක් සිදුවන තුරු ශ්‍රී ලංකාවේ සිටින ජාතියක් වශයෙන් ඊට ගරු කිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් බවද කුරුකුලරාජා පවසයි.

දෙමළ ජාතික සන්ධනයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායකතුමාට එම ජාතික ධජයට ගරු කිරීමට හැකිනම් පළාත් සභා අමාත්‍යවරයෙකු වන සර්වසෙන්ට ඊට ගරු බුහුමන් දැක්වීමට නොහැකි බව පවසන්නේ නම් ඔහු පිස්සකු බව කියන කුරුකුලරාජා  තත්ත්වය එසේ නම් එම ධජය යටතේ දිවුරුම් දුන් අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරයද  වලංගු නොවන බවද කියා සිටියි.

වවුනියාව පැරකුම් විද්‍යාලයේදී සිදු වු මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත පැමිණිලි කීපයක්ම ලැබීමෙන් පසුව ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රියා කල හැකි අන්දම පිළිබදව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

දිනසේන රතුගමගේ

---------------------------
by     (2017-11-19 11:11:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more