අගමැති ගිංතොට යයි; ආරක්ෂාව දිගටම; සිද්ධිය ගැන වාර්තාවක් ඉල්ලයි; වගකිව යුත්තන්ට බුරුලක් නෑ

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.19, ප.ව‍‍‍‍.3.20) ගිංතොට  පසුගියදා ඇතිවූ තත්වය මේ වනවිට සම්පුර්ණයෙන්ම පහව ගොස් තිබුනද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම දිගටම පවත්වාගෙන යාමට රජය තීරණයකර තිබේ.

එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනු අගමැතිවරයා ආරක්ෂාව තව දුරටත් ඒ අයුරින්ම පවත්වාගෙන යන ලෙස නීතිය හා සාමය ඇමැතිවරයාට සහ පොලිස්පතිවරයාට නියෝග දුන්නේය. 

සිද්ධිය සම්බන්ධයෙන් තමාට විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයිද අග්‍රාමාත්‍ය වරයා පොලිස්පතිට නියෝග කළේය.

කෙසේවෙතත් තමා නැවත දැනුම්දෙනතුරු ගින්තොට ප්‍රදේශයේ ආරක්ෂාව ඉවත් කිරීම හෝ ලිහිල් කිරීම නොකළයුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

"වසර ගණනාවක් තිස්සේ සමගියෙන් හා සාමයෙන් ජීවත්වූ ප්‍රදේශවාසීන් අතර අනවශ්‍ය ගැටුමක් ඇති කළ සියළු බලවේග හඳුනාගෙන ඔවුනට දැඩි දඬුවම් පමුණුවන ලෙසත්, ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්වයට පත් වනතුරු ආරක්‍ෂාව තර කරමින්, නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසත්” මහජනතාව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 

වික්‍රමසිංහ මහතා ප්‍රදේශවාසී ජනතාව සමග සාකච්ඡා කරමින් තත්වය සමනය කොට සමගිව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

තමන් මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීම් පිළිබඳවත්, අනාගතයේ ඒවා වළක්වාලීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳවත් ප්‍රදේශවාසීහු කරුණු පෙන්වා දුන්හ.

මේ අවාසනාවන්ත සිදුවීම් සඳහා මුල් වූ ඇත්තේ සාමාන්‍ය සිදුවීමක් බවත්, එවැනි සිදුවීම් ප්‍රදේශයේ ජනතාවටම විසදා ගැනීමට හැකි සුළු කරුණක් බවත් අවධාරණය කළ ප්‍රදේශවාසීහු, පිටස්තර පුද්ගලයන් පැමිණ මේ සිද්ධියට මැදිහත්වීම නිසා උණුසුම් පරිසරයක් නිර්මාණය වූ බව ද පෙන්වා දුන්හ.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසූයේ දෙපාර්ශවයේම සිටින අන්තවාදීන් මෙවැනි සිද්ධීන්ගේ මුවාවෙන් ජාතික අසමගිය ඇති කොට යම් යම් වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවය. ඒ අන්තවාදීන් ස්වල්ප පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සාමය හා සමගිය ආරක්‍ෂා කිරීම සඳහා හැකි ශක්ති ප්‍රමාණයෙන් කැපවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදේශයට අවශ්‍ය පූර්ණ ආරක්‍ෂාව නිරන්තරයෙන් ලබා දෙන ලෙස වික්‍රමසිංහ මහතා ආරක්‍ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

 "2005 ජනවාරියේ මේ රටේ බහුතර ජනතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කොට, යහපාලන රජයක් පිහිටවූයේ ජාතික සමගිය හා සංහිදියාව ශක්තිමත් හා තහවුරු කිරීමේ අරමුණින්. ඊට විරුද්ධ බලවේග හැම විටම උත්සාහ දරන්නේ ජාතීන් අතර අසමගිය ඇති කොට තම තමන්ට වාසි ලබා ගැනීමටයි. අප ඒ පසුබිමද අවබෝධ කරගත යුතුයි.
 
මේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියළු දෙනාම එකට එක්ව සමගි සම්පන්නව ජීවිත් වීමටයි. ඔවුන් වසර ගණනාවක් තිස්සේ එකට ජීවත් වෙන අසල්වැසියන්. මිත්‍රයන්. සමහරු අතර නෑකම්ද ඇතිවී තිබෙනවා.

සිදු වූ අවාසනාවන්ත තත්වයට වගකිවයුත්තන් අපේ ආරක්‍ෂක අංශ විසින් නීතිය ඉදිරියට පමුණුවාවි. අප ඔවුන්ට කිසිදු බුරුලක් දෙන්නේ නෑ.

මේ සිද්ධිය අවස්ථාවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමහර පුද්ගලයන් අසත්‍ය ආරංචි පතුරවමින් රට ගිනි තැබීමට උත්සාහ කළා. බොරු දුරකථන ඇමතුම් දෙමින් ජනතාව ඇවිස්සීමට ක්‍රියා කළා. මේ ප්‍රදේශයේ ජනතාවත් ඒ පිළිබඳව මට කරුණු ඉදිරිපත් කළා. ඒ බොරු ප්‍රචාර පතුරවන්නන්ටත් නීතිය ක්‍රියාත්මක කරනවා.

මේ ප්‍රදේශයේ සමහරුන්ගේ දේපල හානි සිදු වී තියෙනවා. ඒ සියල්ල පිළිබඳව පැමිණිලි ඔබේ නිවෙසටම පැමිණ සටහන් කර ගැනීමේ ක්‍රමවේදයක් සකසා තියෙනවා. ඒ වගේම සිදු වූ පාඩු තක්සේරු කිරීම සඳහා නිලධාරීන් යොදවා තිබෙනවා. සිදුවූ හානි සම්බන්ධයෙන් වන්දි ලබා දීම සම්බන්ධව ද අප ක්‍රියා කරනවා.” යැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු ශක්තිමත් හා ක්‍රියාකාරී කිරීමේ වැදගත් කම පිළිබඳව ද ප්‍රදේශයේ ජනතාව අගමැතිවරයා ඉදිරියේ අදහස් පළ කළහ. දැනටමත් ඒ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඒ අවස්ථාවේ පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද, ආරක්‍ෂක අංශ උසස් නිලධාරීහු ද සහභාගී වූහ.

---------------------------
by     (2017-11-19 10:02:44)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more