දින 3 ට කඩුවලින් කැපිලි 8 යි; ආවා කල්ලියට එරෙහිව විනිසුරු ඉලන්චෙලියන් සහ ඇමැති සාගල සටනට

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.17, ප.ව‍‍‍‍.2.30) යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියළුම කල්ලි ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතා යාපනයේ පොලිස් ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ඉලන්චෙලියන් මහතාගේ ආරාධනයකට අනුව උතුරු පලාත් සභාවේ නියෝජ්‍ය ලේකම් නාගරත්නම් නිශාන්තන්, උතුරු පලාත බාර ජෙයෂ්ඨ නියෝජ‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කීප දෙනෙකුම සහභාගි වී තිබේ.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි සිද්ධීන් වලට සම්බන්ධ වන පුද්ගලයින්ට ඇප ලබාදීමට පොලීසිය මැදිහත් නොවන ලෙසයි.

යාපනයේ සාමාන්‍ය ජනජීවිතයට හානි පමුණුවන හා ඊට බාධාකරණ මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කරණ ඕනෑම පුද්ගලයෙකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති ඉලන්චෙලියන් විනිසුරුවරයා පසුගිය දින කීපයේම යාපනයේ විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයින් වහාම අත් අඩංගුවට ගන්නා මෙන් වාර කීපයක්ම පොලීසියෙන් ඉල්ලා තිබිණ.

යාපනයේ වැසියන්ට මේ අවස්ථාවෙදී සාධාරණ සමාජයක ජීවත්වීමේ අවශ්‍යතාවයක් ඇති බව සියළු දෙනාම පිලිගත යුතු කාරණයක් බවත් ඊට හානි පමුණුවන පිරිස් වලට නිදහසේ සැඟවී ජීවත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

මේ අතර නීතිය හා සාමය පිලිබඳ ඇමැති සාගල රත්නායක මහතා ප්‍රකාශයක් කරමින් උතුරේ ‘ආවා‘ නමැති පාතාල කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පැවසීය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල ඇමැතිවරයා, 

“උතුරු පලාතේ ක්‍රියාත්මක “ආවා”   නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තාවුණා. ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ .

පහුගිය දවස්  02 ඇතුලත මීට අදාළ සිද්ධි 08 ක් වාර්තාවුණා. ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ලයන් 06 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට අරන් තියෙනවා.

ඉතිරි සැකකරුවන් අල්ලන්න මේ වෙනකොට විශේෂ විමර්ශන සිදුකරනවා. ඒ විමර්ශන කටයුතු ඉක්මනින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වෙනවිට යාපනය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙනවා.

යාපනයේ විතරක් නෙවෙයි දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය අපි මේවන විටත් ආරම්භ කරලා ඉවරයි. විදේශවල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වන විට හඳුනාගෙන තියෙනවා. ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියලුම පියවර ගැනීම දැන් සිදුකරමින් ඉන්නවා.“ යැයි අමාත්‍යවරයා කීය.

දිනසේන රතුගමගේ විසිනි

---------------------------
by     (2017-11-17 09:11:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more