ලංකා ඊ නිව්ස් වාරණය සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි: වහාම ඉවත්කරනු..! - විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.16, ප.ව‍‍‍‍.1.20) ලංකාවේ ප්‍රධාන පෙළේ පැරණිතම රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය‘ (Centre for Policy Alternatives) පසුගියදා ලංකා ඊ නිව්ස් වාරණයට එරෙහිව බරපතල ඝනයේ නිවේදනයක් නිකුත් කර තිබිණ. එහි සිංහල පරිවර්තනය සම්පූර්ණයෙන් මෙසේය.

ලංකා ඊ නිව්ස් වාරණය..

2017 නොවැ 13 කොළඹ ශ්‍රී ලංකාව

ලංකා ඊ නිව්ස් අන්තර්ජාල වෙබ් අඩවිය වෙත 2017 නොවැ 08 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ දී ප්‍රවේශ වීමට නොහැකි වීම පිලිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තම බලවත් අවධානය යොමු කර තිබේ. ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට ලංකා ඊ නිව්ස් වෙත ප්‍රවේශ වීම අවහිර කරනු ලැබ ඇත්තේ අන්තර් ජාල සේවා සපයන ආයතන වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම විසින් දෙන ලද නියෝගයක් පරිදිය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සාමාජිකයෙකු වන ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ඔහු විසින් ‘නීති විරෝධී‘ යයි විශ්වාස කරනු ලබන මෙම වෙබ් අඩවිය අවහිර කරනු ලැබීමේ තීරණයෙහි දැඩි ලෙසම එල්බ ගෙන සිටින බවය. අන්තර් ජාල බාධාවන් පිලිබඳ විවෘත නිරීක්ෂකයන් (OONI) විසින් පවත්වාගෙන යනු ලබන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් මෙහෙයවන අන්තර් ජාල ක්‍රියාකාරිත්වය විසින් ද ලංකා ඊ නිව්ස් දිවයින තුල අවහිර කර ඇති බව සනාථ කර තිබේ. 

විධායකයේ නියෝගයක් මගින් හෝ විදුලි සංදේශ නියාමන කොමිසමේ ඒකපාර්ශවික තීරණයක් මගින් හෝ ලංකා ඊ නිව්ස් අවහිර කිරීමේ දී එවැන්නක් සිදු කිරීම සඳහා වූ නිසි ක්‍රියා පිලිවෙතක් අනුගමනය කර නැති බවත්, එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ස්වභාවයේ ක්‍රියාවක් බවත්, පෙනී යයි. එසේම පෙනී යන තවත් කරුණක් නම් මෙම පියවර ගනු ලැබුවේ රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිවරයා විවේචනය කරන කරුණු ඇතුලත් හෝ අපහාසාත්මක භාෂාවක් භාවිතා කරන සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කිරීමෙන් පසුවය.

මෙම ආසන්නම සිදුවීමත් ආණ්ඩුවේ බලධාරීන්ගේ සහ ඇමැතිවරුන්ගේ ප්‍රකාශත් යහපාලනයේ මූලික පදනම වන දේශපාලන නායකත්වය සහ නිල ප්‍රතිපත්ති විවෘතව ප්‍රශ්න කිරීමට එරෙහි ඍජු සහ සැබෑ තර්ජනයන් ය. අනීතික ලෙස වෙබ් අඩවි අවහිර කිරීමෙන් පෙනී යන්නේ තමන් අපහසුවට පත් කෙරෙන සත්‍යයන් මර්දනය කිරීම සඳහා රාජපක්ෂ රෙජීමය විසින් අනුගමනය කරන ලද උපාය මාර්ග නැවත ක්‍රියාත්මක වී ඇති බව ය. එසමයෙහි රාජපක්ෂ රෙජීමය ජාතික සහ ජාත්‍යන්තර විමර්ශකයන්ගේ චෝදනාවට නිරන්තරයෙන් ලක්වූයේ සෙසු හිංසා කාරී ක්‍රියාමාර්ග වලට අමතරව අන්තර්ජාල වාරණය ඔස්සේ ප්‍රවෘත්ති සහ තොරතුරු නිදහසේ ගලා යාම පාලනය කිරීම සම්බන්ධව ය. 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අවධාරණය කරන්නේ ඕනෑම ආකාරයක සාවද්‍ය, අසත්‍ය හෝ අපහාසාත්මක කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී නීත්‍යානුකූල සහ විධිමත් නිසි ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ යුතු බවය. අත්තනෝමතික සහ අනීතික ලෙස වෙබ් අඩවි අවහිර කිරීම වූ කලී වෙනස් මත, විවාද සහ සංවාද සුරැකීම ශක්තිමත් කිරීම සඳහා වත්මන් රජය වෙත 2015 ජනවාරියේ දී ජනතාව දුන් ජන අනුමැතියට එරෙහිව යාමකි. අන්තර් ජාල වාරණය බොහෝ විට ඇතිකරනු ලබන්නේ එහි අපේක්ෂිත අරමුණට සපුරා පටහැනි ප්‍රතිඵලයක් වූ සැඟවීමට හෝ දැන ගැනීමට අපහසුතාවයට පත් කරනු ලැබූ දෙය වඩාත් දෘෂ්‍යමාන සහ විශ්වාසනීය බවට පත් වීමේ අනපේක්ෂිත ප්‍රතිඵලයයි. 

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයට වැඩිදුරටත් අනතුරු අඟවා සිටින්නේ අන්තර් ජාලයට මුරකාවල් දැමීම සහ වාරණය විසින් ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය තැති ගැන්වෙන තත්ත්වයක් නිර්මාණය කෙරෙන බවය. එම ප්‍රතිඵලය හේතුවෙන් මෑතකදී අග්‍රාමාත්‍ය වරයා යෝජනා කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අන්තර් වාර වාර්තාව පිළිබඳ අන්තර් ජාල මත විමසුම වැනි ඉතා වැදගත් හා කාලෝචිත යෝජනාවක් පවා අසාර්ථක වීමේ සහ ප්‍රතික්ෂේප වීමේ අනතුරකට ලක්වීමට ඉඩ තිබේ. 

අප ආණ්ඩුවෙන් සහ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ලංකා ඊ නිව්ස් අවහිර කිරීම වහාම අත්හිටුවන ලෙසයි. අන්තර් ජාලය ඔස්සේ නිදහසේ තොරතුරු ලබා ගැනීමට තම ගනුදෙනු කරුවන්ට ඇති අයිතීන් උල්ලංඝනය කෙරෙන රාජ්‍යයේ අත්තනෝමතික නියෝගයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් තම මුළු ශක්තියෙන් නීතියේ ආවරණය ලබා ගත යුතුය. ඒසේම වැරදි සහගත තොරතුරු සහ අසත්‍ය ප්‍රවෘත්ති පැතිර යෑමට එරෙහිව ඵලදායී සහ කල්පවත්නා මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අපි වැඩි දුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. 

අධ්‍යාපනය සහ දැනුවත් කම මිස වාරණය කිරීම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයකට දොර විවර නොකරයි. 

---------------------------
by     (2017-11-16 07:52:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more