මුදල් ලේකම් සමරතුංග ඉහගෙන කන භාණ්ඩාගාරය හා 60 පැන්න රාජ්‍ය සේවය.!

නිලදරුවාගේ කොලම

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.15, පෙ.ව.8.15) රටක රාජ්‍ය සේවය යනු රටක කොඳු නාරටිය ලෙස අවිවාදයෙන් යුක්තව පිළිගනු ලබන ප්‍රකාශයකි. දේශපාලනඥයින් ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාරව ඒවා ක්‍රියාත්මක කිරීමද පැවරී තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන් මතය. ඔවුන් ඒවා සිදු කිරීමේදී නීතිරීති, රෙගුලාසිවලට යටත්ව සිදු කිරීමට වගබලා ගත යුතුය. නිවැරදිව රාජකාරි කරන නිලධාරීන්ගේ හිඟකම හා දූෂිත නිලධාරීන් අධික වීම රටේ සංවර්ධනය අඩාල වීමට මෙන්ම රට ආපස්සට ගමන් කිරීමට හේතු වී තිබෙන බවද අවිවාදිතය. මේ තත්වය හමුවේ වත්මන් රජය බලයට පත් වීමේදී දුන් පොරොන්දු අතර රාජ්‍ය සේවය නගා සිටුවීමද එක් පොරොන්දුවක් විය. නගා සිටුවීම කෙසේ වෙතත් හිතවත් නිලධාරීන් නගා සිටුවීම නම් සිදුවිණ. දූෂිත නිලධාරීන්ට ඉණිමං බැඳීම ප්‍රමුඛ කරගත් මෙම රජයත් පසුගිය රජය මෙන්ම හැකියාව ඇති ජවය ඇති නිලධාරීන් පසෙක තබා හිතවතුන් නඟා සිටුවීමේ හා ඔවුන්ට තනතුරු පිදීමේ නිරත විය. මෙහිදී අප අවධානය යොමු කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම සේවය වන ශ්‍රී ලංකා පරිපාලන සේවය හා එහි නිලතල කිහිපයක් සම්බන්ධයෙන්ය.

නව රජය බලයට පත්වූ පසු ජනාධිපති ලේකම්ධූරයේ සිට අමාත්‍යංශ ලේකම්ධූරයන් දක්වා පත්වූයේ නව රජයේ ප්‍රබලයින්ගේ හිතවතුන්ය. ඒ අතරින් බහුතරය වයස අවුරුදු 60 සීමාව ඉක්මවා හෝ ඉක්මවීමට ආසන්නයේ පසුවූවන් වේ. ඒ අතරින් ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හා මුදල් අමාත්‍යංශයේ ලේකම් යන තනතුරු විශේෂිතය. ජනාධිපතිවරයා සිය ලේකම්ධූරයට පත් කරගනු ලැබූවේ සිය හිතවත් ලේකම්වරයෙකු වූ පත් කිරීමේදීම වයස 60 සීමාව ඉක්මවා සිටි පී.බී. අබේකෝන් මහතාය. අගමැති ලේකම්වරයා ලෙස අගමැතිවරයා විසින් පත්කරවා ගත්තේ විපක්ෂ නායක ලේකම් ලෙස සිටි සමන් ඒකනායක මහතාය. වයස අවුරුදු 70ද ඉක්මවා සිටින නිලධාරියෙකි.

මෙලෙස පත්වී සිටින වයස්ගත නිලධාරීන් කිසිවෙකුගෙන් රටට සිදුවී ඇති සේවය කුමක්දැයි ප්‍රශ්න කළ යුතුය. එහිදී එය ආරම්භ කළ යුත්තේ මුදල් අමාත්‍යංශයෙනි. එහි ලේකම්වරයාගේ තත්වය මෙසේය. රටේ වැදගත්ම අමාත්‍යංශයක් ලෙස සැලකෙන මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්. එච්. එස් සමරතුංග මහතාද ලේකම්ධූරයට පත්වන විට විශ්‍රාම යාමට ආසන්නව සිටි අතර මේ වන විට විශ්‍රාම වයස ඉක්මවා මාස 6න් 6ට දීර්ග කරමින් ධූරයේ රැඳී සිටී. සමරතුංග මහතා උගතෙකු බව නොකිවමනාය. නමුත් ඔහු සිය ධූරය අවභාවිතා කරමින් සිදු කර ඇති කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද, අගමැතිවරයාද, විෂයභාර ඇමතිවරයාද නිහඩය.

1. රටේ නැති මුදල් ලේකම්

මුදල් අමාත්‍යංශයේ බොහෝ විට සේවය කරනු ලබන්නේ වැඩ බලන ලේකම්වරයෙකි. ඊට හේතුව වන්නේ ලේකම්වරයා රටේ සිටින්නේ හදිසි අවස්ථා වලදී පමණක් වන බැවිනි. ජනාධිපතිවරයාට හා හිටපු හා වර්තමාන මුදල් අමාත්‍යවරුන්ට පින් සිදුවන්නට ඔහු සිටින්නේම එතෙර ඇති උත්සව හා රැස්වීම් යනාදිය තුළය. ඉඩක් ලැබුණොත් පමණක් ගෙදරදොර බැලීමට ශ්‍රී ලංකාවට පැමිණේ. එසේ පැමිණ සිටින්නේද දින කිහිපයක් පමණක් බැවින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විදේශීය පුද්ගලයෙකුදැයි අමාත්‍යංශ සේවකයන්ට ගැටලුවක් මතුව තිබේ. 

2. විදෙස් සංචාරවලදී ගෙවනු ලබන දීමනා වැඩිකර ගැනීම

සිය ධූරය අවභාවිත කරමින් මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා නිලධාරීන්ට විදෙස් ගත වීමේදී ගෙවනු ලබන දීමනාව ඉහළ දමාගෙන තිබේ. ඒ ඔහු නිතර විදේශගත වන බැවිනි. ඉන්පසු ඔහු සිතුමතේ විදෙස්ගත වන අතර ජනාධිපතිවරයාද ඊට අදාළ අනුමැතිය කිසිදු පැකිලීමකින් තොරව ලබා දීමට රාජ්‍ය නිලධාරීන් අතර උපහාසයට ලක් වෙමින් තිබේ. අමාත්‍යංශ ලේකම්වරයෙකු විදෙස්ගත වීමේදී විෂයභාර අමාත්‍යවරයා ලංකාවේ සිටිය යුතුය. විෂයභාර අමාත්‍යවරයා විදෙස්ගත වීමට නම් ලේකම්වරයා රාජකාරියේ නිරතවිය යුතුය. දෙදෙනාටම එකවර විදෙස්ගත වීමට ඉඩක් ලබා දෙන්නේ සහභාගී වීම අනිවාර්ය වන අවස්ථාවකදී පමණි. නමුත් මුදල් අමාත්‍යංශයේදී එය ක්‍රියාත්මක නොවේ. බොහෝ විට ඇමතිවරයා විදෙස්ගත වන විටද ලේකම්වරයාත් විදෙස්ගත වෙයි. ඇමතිවරයා විදෙස්ගත නොවන අවස්ථා වලදීද ලේකම්වරයා විදෙස්ගත වේ.
 
2018 වර්ෂයට අදාළ අයවැය සම්පාදනය කරද්දී, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා හා අයවැය දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙකුද එක්ව අයවැය වාර්තා සම්පාදනය කරමින් සිටි අතර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රැසක් සිටියේ සහ දැනටත් සිටින්නේ විදේශගතවය. අයවැයක් ගෙන එද්දී නිලධාරීන් විදෙස්ගතව සුරසැප විඳිමින් සිටීම කෙතරම් ජුගුප්සාජනක තත්වයක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.

3. වැරදි උපදෙස් හා වැරදි තීරණ

හිටපු මුදල් අමාත්‍යවරයා ගනු ලැබූ බොහෝ තීරණ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මත ගත් තීරණ වේ. ඒවා බොහෝවිට වැරදි සහගත වූ අතර පසුව සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට සිදුවිය. උදාහරණ වශයෙන් මීට පෙර මෙම ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ බොහෝ යෝජනා පසුව සමාජයෙන් පැමිණි විරෝධය හමුවේ අකුලා ගැනීමට හෝ සංශෝධනය කිරීමට සිදුවිය. එයින් ආණ්ඩුව පත් වූ අපහසුතාවය තේරුම් ගැනීමට අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට හැකියාවක් නොතිබුණි. නැතිනම් තේරුම්ගෙන සිටියද වෙනත් හේතුවක් මත නොතේරුණා සේ සිටීමට වගබලා ගත්තා විය හැක.

මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ රජයට අතිවිශාල පාඩුවක් සිදු කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර ඇත. ඊට අනුව මෙතෙක් රජයට වාහන මිලදී ගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් එම ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හදුන්වා දුන්නේය. නව ක්‍රමයට අනුව රජයට වාහන මිලදී ගැනීමේ හැකියාවක් නැත. රජයට කළ හැක්කේ වාහන කුලියට ගැනීම පමණි. එම ක්‍රමය අනුව වාහනයේ මිලට වඩා වැඩි මිලක් රජය විසින් ගෙවනු ලබන අතර අවසානයේදී එම වාහනය රජයට හිමි නොවේ.එය හිමිවන්නේ පුද්ගලික ආයතනයකටය. මෙතෙක් කලක් තිබූ ක්‍රමය අනුව ලීසිං කර වාහන මිලදීගෙන ඒවා රාජ්‍ය ආයතන සතු දේපල බවට පත් වූ අතර නව ක්‍රමය යටතේ මෙහෙයුම් කල්බදු ක්‍රමයෙන් වසර 5ක කාලයකට කුලියට වාහන ලබා ගැනීම සිදු කරයි. මෙහිදී ලක්ෂ 75ක වාහනයකට ලක්ෂ 90ක් පමණ ගෙවිය යුතු අතර අවසානයේදී එම රථයේ අයිතිය හිමිවන්නේ සේවාව සැපයූ පුද්ගලික ආයතනයටයි. එහිදී මාසිකව ලැබෙන්නේ කිලෝ මීටර් 3000ක සීමාවක් වන අතර බොහෝ විට රාජ්‍ය ආයතන එම ප්‍රමාණය ඉක්මවයි. ඉන් එහාට එක් කිලෝ මීටරයක් වෙනුවෙන් රු. 50කට ආසන්න මුදල් රජය විසින් ගෙවිය යුතුය. මෙම කාලය තුළ ඉන්ධන හා රියදුරු වෙනුවෙන්ද වෙනම පිරිවැයක් රජය විසින් දැරිය යුතුය. 

මෙහිදී එම වාහන කුලී පදනම මත ලබා ගත යුත්තේද මුදල් අමාත්‍යංශය විසින් නම් කරනු ලබන ආයතනයකින් වීමද විශේෂත්වයකි. එයින් මෙම නිලධාරීන්ට ලැබෙන කොමිස් මුදල තක්සේරු කරගත නොහැකි තරම්ය.

මෙම ක්‍රමය තුළින් අවසානයේ සිදු වන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පුද්ගලික ආයතනයකට වාහන මිලදී ගැනීමයි. මෙම ක්‍රමය යටතේ ලබා ගන්නේ ලියාපදිංචි නොකල රථ හා ලියාපදිංචි කර කිලෝ මිටර් 1000ට අඩු රථ වන අතර වසර 5කින් එම රථ අවසන් වන්නේ නැති අතර අදාල පුද්ගලික ආයතනයට වටිනා මෝටර් රථයක් ලැබීම සිදු වේ.

මෙලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා රජයට සිදු කර ඇති පාඩුව මැනිය නොහැකි තරම්ය. රාජ්‍ය සේවයේ නිලධාරීන් අතර දක්ෂ හා අවංක රාජ්‍ය නිලධාරීන් කොතෙකුත් සිටියදී මෙවැනි නිලධාරීන් තනතුරුවලට පත් කිරීමෙන් සිදුවන්නේ දක්ෂ නිලධාරීන්ගෙන් රටට වැඩක් ගැනීමට ඇති අවස්ථාව අහිමි වී යාමයි. අවසානයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මාරු කිරීමට පැමිණි අවස්ථාවේදී පවා එය සිදු කරේ නැත.

මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශ එක් කිරීමේදී බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ වැනි නිලධාරියෙකු මෙම තනතුරට පත් වනු ඇති බවයි. ඔහු නීතිඥවරයෙකු, ගණකාධිකාරිවරයෙකු මෙන්ම පරිපාලන සේවා නිලධාරියෙකු ද වූ අතර ඔහුව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කර සමරතුංග මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කිරීම එම අවස්ථාවේදී බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. 

දැන් කාලය එළැඹ තිබෙන්නේ මෙවැනි වැදගත් තනතුරු සඳහා 60 පැන්න නිලධාරීන් පත් කිරීම පසෙක දමා පරිපාලන සේවයටද කොටු නොවී වෙනත් රාජ්‍ය සේවයන්ගෙන් (ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය, සැලසුම් සේවය වැනි) හා පුද්ගලික අංශයෙන්ද ඉදිරියට පැමිණ සිටින දක්ෂ හා අවංක තරුණ නිලධාරින්ට අවස්ථාව ලබා දී ඔවුන්ගෙන් රටට ගත හැකි සේවය ලබා ගැනීමයි. නමුත් එය අහිමි කරගනිමින් මෙම රජයද සිදු කරන්නේ පසුගිය රජය විසින් සිදුකළ දෑ වීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ. 

- නිල දරුවා ලියයි-

---------------------------
by     (2017-11-15 03:02:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  3 discussion on this news

This crook Sec. is working to Colombo University fake and bogus PhD factory and passing his henchmen and give PhDs. As soon as possible close down and invalid PhDs awarded by this bogus factory in Colombo University.
-- by Nawodha on 2017-11-15

අපේ කතිරෙ ගහල ආණ්ඩුවක් හැදුව, කොහේවත් ඉන්න නිලධාරී බල්ලො යහපාලනෙත් විනාස කර කර කෝටි ගණන් කොමිස් කනව තක්කඩි මුදලාලියොත් අල්ලගෙන. මුන්ට සුදුසුම දඬුවම ප්‍රසිද්ධියෙ වෙඩි තබා ඝාතනය කිරීමයි.
-- by සිංහලේ on 2017-11-15

මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ රජයට අතිවිශාල පාඩුවක් සිදු කිරීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර ඇත. ඊට අනුව මෙතෙක් රජයට වාහන මිලදී ගැනීමට තිබූ අවස්ථාව අහිමි කරමින් එම ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හදුන්වා දුන්නේය. නව ක්‍රමයට අනුව රජයට වාහන මිලදී ගැනීමේ හැකියාවක් නැත. රජයට කළ හැක්කේ වාහන කුලියට ගැනීම පමණි. එම ක්‍රමය අනුව වාහනයේ මිලට වඩා වැඩි මිලක් රජය විසින් ගෙවනු ලබන අතර අවසානයේදී එම වාහනය රජයට හිමි නොවේ.එය හිමිවන්නේ පුද්ගලික ආයතනයකටය. මෙතෙක් කලක් තිබූ ක්‍රමය අනුව ලීසිං කර වාහන මිලදීගෙන ඒවා රාජ්‍ය ආයතන සතු දේපල බවට පත් වූ අතර නව ක්‍රමය යටතේ මෙහෙයුම් කල්බදු ක්‍රමයෙන් වසර 5ක කාලයකට කුලියට වාහන ලබා ගැනීම සිදු කරයි. මෙහිදී ලක්ෂ 75ක වාහනයකට ලක්ෂ 90ක් පමණ ගෙවිය යුතු අතර අවසානයේදී එම රථයේ අයිතිය හිමිවන්නේ සේවාව සැපයූ පුද්ගලික ආයතනයටයි. එහිදී මාසිකව ලැබෙන්නේ කිලෝ මීටර් 3000ක සීමාවක් වන අතර බොහෝ විට රාජ්‍ය ආයතන එම ප්‍රමාණය ඉක්මවයි. ඉන් එහාට එක් කිලෝ මීටරයක් වෙනුවෙන් රු. 50කට ආසන්න මුදල් රජය විසින් ගෙවිය යුතුය. මෙම කාලය තුළ ඉන්ධන හා රියදුරු වෙනුවෙන්ද වෙනම පිරිවැයක් රජය විසින් දැරිය යුතුය. ============= මෙහිදී එම වාහන කුලී පදනම මත ලබා ගත යුත්තේද මුදල් අමාත්‍යංශය විසින් නම් කරනු ලබන ආයතනයකින් වීමද විශේෂත්වයකි. එයින් මෙම නිලධාරීන්ට ලැබෙන කොමිස් මුදල තක්සේරු කරගත නොහැකි තරම්ය.
-- by asad on 2017-11-15

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more