සියල්ල අත හැරියද බලය බදා ගත යුතුය; ධනයට කෑදර චෝරවාදීන්ගේ බණ - ථෙරවාදයද? චෝරවාදයද? (අංක 31)

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.11, ප.ව.3.25)  සත්‍ය සොයා යන්නෙකු මුලින්ම අසත්‍ය හඳුනාගත යුතුය. වැරැද්ද කුමක්දැයි නොදැන නිවැරදි විය නොහැකිය. හුරුවිය යුතු වන්නේ සියල්ල අතහැර දැමීමට නොව සෙස්සන්ට කරදරයක් නොවන පරිදි අවශ්‍යතාවයන් පමණක් නිවැරදි ක්‍රමෝපායන් අනුව සපුරා ගැනීමටය. කුණු ලොරියට භාරදිය යුත්නේ ඉවත ලන දෑ පමණි. ප්‍රයෝගකාරී කූඨ මිනිසුන් අන්සතු ධනය කොල්ල කා මහේශාක්‍ය ජීවිත ගත කරති. තමන් මහ ධන සිටුවරුන්  වූයේ පෙර පිං මහිමයෙන් බව ඔවුහූ අපට කියති. ආගම ඔවුන්ට ආවඩයි. අප ලඟ ඉතිරිව ඇත්තේ බැහැර කළ යුතු කැළි කසළ පමණි. වටිනා කමක් ඇතැයි සිතෙන අන්තිම සොච්චම පවා පැහැරගෙන ගොසින්ය. ඔවුන් පොහොසත්ය අප දුප්පත්ය.  නින්දා ප්‍රශංසා, ලාභ අලාභ, යසස අයස, සැප දුක යන අට ලෝ දහම  සියළු දෙනා අතරම සමසේ බෙදී යා යුතු ධර්මතාවයන්ය. එහි හායන පක්ෂය පමණක් අපට භාරදීම ඉතා අසාධාරණය. බලය බෙදීමට එරෙහි වන්නේ ධනය බෙදී  යතැයි  යන බිය නිසාය. දිගු කලක් තිස්සේ  කිං සච්ච ගවේශීව කල්ගත කළ අපි දැන් අසත්‍යය හඳුනාගෙන සිටිමු. වරද නිවැරදි විය යුතු බව පිළි ගනිමු. ජාතිවාදී ආගම් වාදී කුණු කන්දල් සියල්ල ඒවා ප්‍රවාහනය කරන ගලි රථ වලට භාර දීමට පියවර ගෙන ඇත්තෙමු.  එවිට අපට අනවශ්‍ය කුණු කඳු ඔවුන්ගේ ස්ථානවල ගොඩ ගැසී පසු කලෙක ඔවුන්ටම ඒවා එපා වෙනු. අට ලෝ දහමේ ධනාත්මකය අපට ද හිමිවිය යුතුය

මිහිඳු මහ රහතන්වහන්සේ විසින් ලක්දිව ස්ථාපිත කළ බුදු සසුන ව්‍යාප්ත කිරීමේ ආරම්භක බලාධිකාරිය වූයේ මහා විහරික නිකායයි. පසුව අභයගිරි, ජේතවන (සාගලික) යනුවෙන් තවත් නිකායන් දෙකක් බිහිවිය. ආරම්භයේදී මහාවිහාරය මෙම බෙදීයාම් වලට විරුද්ධවුවත් ස්වාධිපත්‍ය රැක ගැනීමට ඔවුන්ට නොහැකි විය. වර්තමානයේද තත්වය එසේමය. කුලීන පැවිද්දට පමණක් සීමාවූ සියම් නිකායට  වැඩි කලක් තම ආධිපත්‍යය පවත්වා ගෙන යාමට අපහසු විය. පසුව බිහි වූ අමරපුර සහ රාමඤ්ඤ නිකායන් සියළුම කුලවලට පැවිදි දොරටුව විවර කර දී තිබේ. අනතුරුව සියම් නිකාය කොටස් පහකටද, අමරපුර නිකාය කොටස් විසි ගණකනටද බෙදී ගියේය.  කුල දරුවන් මහණ උපසම්පදා කිරීමේ පූර්ණ බලය ඒ ඒ නිකායන්ට පවරා දී තිබේ. මේ ආකාරයට බෙදී ගොස් ඇත්තේ සාසනික බලය මිස බුද්ධ දර්ශණය නොවේ. නිකායට අනුව භික්ෂුවගේ බාහිර වෙනස් කම්ද දකින්නට ලැබේ. සමහරු හිස සහ ඇහි බැමි බූගාති. සමහරු හිස පමණක් බූ ගාති. විවිධ පාට සිවුරු පොරවති. ගොටු අත්ත, කළු කුඩය, බුරුම කුඩය ආදී වශයෙන් ඉසලුම්ද විවිධ ය. එහෙත් සියලු දෙනා වහන්සේලාම දේශණාකරන්නේ එකම ත්‍රිපිටකයට අයත් ධර්ම කාරණාය. නිකායන් අතර බලය බෙදී ගියත් ධර්මය කොටස් කොටස් වශයෙන් බෙදා වෙන් කරගෙන නැත.

බලය බෙදී ගියද අත්තනෝමතිකව ක්‍රියා කිරීමේ හැකියාවක් භික්ෂුවකට නැත. ජාතිවාදීයෙකු ලෙස හැසිරුන ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ බුදුවරයෙකු හැටියට පෙනී සිටි පිටිදූවේ සිරිධම්ම හිමියන් කිසියම් පාළනයකට යටත් කිරීමට මහානායක හිමිවරුන්ට හැකිවිය. බලය අයුතු ලෙස යොදා ගැනීමේදී එය මැඬ පැවත්වීමේ බලයක් ද නිර්මාණය කර තිබේ.

සාමාන්‍ය දානයකට වඩා සාංඝික දානය මහත් ඵල මහානිසංස බව කියවේ. “ඉමං භික්ඛං සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම“ යන  පාලි පාඨය කීමෙන් සියළු දාන වස්තු අතීත, වර්තමාන, අනාගත තුන් කල්හීම වැඩවසන්නා වූ සියළු භික්ෂූන් වහන්සේලාට අයත්වේ. බුදුන් වහන්සේ කියා දී ඇත්තේ බදාගෙන ‍කෑමට නොව බෙදාගෙන කෑමටය. අද එවැන්නක් නැත.  සමහර කටවල් වලින් ඇසෙන්නේ  “ මහිය්‍යමෙව දේතබ්බං මහිය්‍යමේව දේතබ්බං“ මටම දීපන්, මටම දීපන් යන හඬ ය. ඔවුහු තවත් අයෙකුගේ ලැබීම නොඉවසති. බලය බෙදීයාමෙන් ධනය ද බෙදී යයි. සුළු පිරිසක් අතට පමණක් ගොඩ ගැසීම නවතී.  

මල්වතු මහනා හිමියෝ මේ ඇත්ත ඇති සැටියෙන් දකිති. මෑත භාගයේ අප රටෙහි පහළ වූ පරහිතකාමී යතිවරයාණ කෙනෙකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් ද නොයෙකුත් ආකාරයෙන් මේ පිළිබඳව කරුණු කාරණා ගෙනහැර දක්වති.

හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහා බලසම්පන්නයෙකි. රටේ සංවර්ධනයට ද යම් දෙයක් කළේය. තමා පරාජය වූයේ සුළු ජාතීන්ගේ ඡන්දය නොලැබුන නිසා බව ඔහු කියයි. එය ඇත්තක් නම් රටේ මහ ජාතියට ඇති බලය කුමක්ද? දේශපාලන පක්ෂ විශාල සංඛ්‍යාවක් බලයට පොරකති. බලය බෙදීමට අකමැත්තෝද ඒ අය අතර වෙති. එසේ වන්නේ ඇයි.? දේශපාලනික වශයෙන් වුවද බලය අර්ථවත් වන්නේ යුක්ති සහගත වූ තරමටය. යුක්තිය නොදන්නා බලවතාගෙන් රටට පලක් නැත. බලය බෙදිය යුතුයැයි  කියන්නේද මේ කාරණය මතය. බල විභජනයද දක්ෂ පාලකයෙකු සතුව තිබිය යුතු යුක්ති ධර්මයකි. වසර තිහක් තිස්සේ අප රටේ පැවති යුද්ධය මෙණෙහි කරමින් තවමත් අපි භීතියට පත්වන්නෙමු. දුක් වන්නමු. නැවත එවැනි අඳුරු යුගයක් ප්‍රතික්ෂේප කරන්නෙමු. සියළු කල්හීම තුවක්කුවෙන් රටක් නිහඬ කළ නොහැකිය. 

තමන් මහා බල සම්පන්නයෙකු බව සිතා සිටි වල් අලියෙකු පුංචි කැටකිරිලියක විසින් විනාශ කර දැමූ හැටි අපි අසා ඇත්තෙමු. තම පැටවුන් සහිත කූඩුව පයින් පාගා පොඩිකළ  නපුරු වල් අලියා කන්දකින් හෙලා මරා දැමීමට කැටකිරිල්ලිය සමත් විය. ඇය ඒ සඳහා සහාය කරගත්තේ  කපුටෙකු මැඬියෙකු සහ ඉහඳ මැස්සෙකු පමණි. මෙය කථාන්තරයක් වුවත් තිස් අවුරුදු යුද්ධය තුල ක්‍රියාත්මක වූයේද නොසලකා හැරිය යුතු තරමේ මෙවැනි නොවැදගත් මිනිසුන්ය.

භික්ෂුන් වහන්සේලාට නිකාය වලට බෙදී ධර්මයට අනුව  ස්වයං තීන්දු ගැනීමේ අයිතියක් තිබේ නම් රටේ ජන කොටස් වලට ඒ අයිතිය අහිමි කිරීම සාධාරණය කළ හැකිද? බලය බෙදා දීමට යෝජනා වන්නේ උතුරට සහ නැගෙනහිරට පමණක් නොවේ. සෙසු පළාත් හතටම ය. මෙය රට කෑලි කෑලි වලට කැඩීමක් ලෙස හඳුන්වන්නේ කෙසේද? 

ජාතිවාදී කැළි කසළ කුණු ලොරිවලටම පටවා යුක්ති සහගතව බලය විමධ්‍යගත කිරීමේ වගකීම ඇත්තේ ජනතාවටය. මන්ද බලය ඇත්තේ ඔවුන් අත නිසාය. බලය හැර අන් සියල්ලම අත හැරිය යුතුය කියන චෝරවාදි බණ පදය ධනයට ඇති තණ්හාව නිසා  ඔවුන් විසින්ම අටවා ගත් බොරුවකි.  විශේෂයෙන් සියම් නිකායේ කුලවාදයෙන් තවමත්  බැටකන අමරපුර සහ රාමඤ්ඤ නිකායන්ද මෙම බොරුව අනුමත කිරීම මහා විහිළුවකි. අප රටෙහි සියළු කුලයන් බුදු සසුන තුල පැවිදිව සමානයන් බවට පත්වූයේ ඔය නිකාය දෙක නිසා බව මතක් කරදෙනු කැමත්තෙමු. බලය හැර අන් සියල්ල අතහරින්නැයි ඔබ වහන්සේලා නොදෙසන්නේ නම් යහපති.

ආර්. ජී. ධර්මදාස විසිනි

[email protected]

පෙර ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය
http://www.lankaenews.com/category/38 

---------------------------
by     (2017-11-11 10:40:27)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  1 discussion on this news

ධර්මාදාස මහතා විසින් කියනා කරැන අපට නම් වැටහේ. එහෙත් ඔය ගනගෙඩියන්ට නම් වැටහෙයි කියා නම් මා නොසිතමි. පොත් වල ඇති කරැනු බුදු දහම යැයි ගිරවුන් සේ කටපාඩම් කරගෙන හැමදාම එකම පොතේ බන ටික ග්‍රැමපෝන් තැටියක් මෙන් කරකවමින් බුදු දහම ගල් කර මරා දමා ඇත්තේ ඔය හාමුදුරැවරැන් විසිනි. ඇත්තේ එක දහමක් සහ සත්‍යයක් නම් ඒ සත්‍ය දේශනා කිරීමට නිකායවල් හැටයුට හමාරක් කුමකටද? සංඝ ශාසනය කෑලි කෑලි වලට කැඩු කුල බේදය ශාසනය තුලට වැද්දගත් ඔය නිකායවල් පසුපස යෑම බුද්ධ වචනය තේරැම් ගැනීමට බාධාවකි. පොත් පත්වලින් අද දියුනු ලෝකයේදි බුදු දහම දැනගත හැකිය. අතරින් පතර හොඳ හාමුදුරැවරැන්ද සිටී. මට හිතෙනා ආකරයට බුදු දහමේ ප්‍රගමනය සඳහා සංඝයාගෙන් සදුවූ මෙහෙවර අවසන්වී ගෙන යයි. අපට අලුතෙන් පටන් ගැනීමට සිදුවී ඇත. කව්රැන් හෝ කෙනෙකු රහත් භාවයට පැමින මේ සියලු දේ පැහැදිලි කල යුතුව ඇත. සංඝ ශාසනය යනු අතීත බුදු දහමේ නෂ්ඨාවෙශ්ෂයක් පමනි.
-- by silva on 2017-11-11

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more