ඊ නිව්ස් වාරණය ගැන විදුලි සංදේශ කොමිසමේ නිහඬතාවය ප්‍රශ්නයක්: ජනමාධ්‍ය නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරක් -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි

(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.09, ප.ව.5.00) ලංකා ඊ නිව්ස් වාරණය ගැන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිහඬතාවය ප්‍රශ්නයක් බවත්, මේ මගින් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවත් ලංකා ඊ නිව්ස්ට එරෙහි අවහිර ඉවත් කරන ලෙස ඉල්ලා 25 වසරක් පැරණි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි කැඳවුම්කරු දොඩාවත්ත මහතාගේ සහ දිලීෂා අබේසුන්දර ලේකම්වරියගේ අත්සනින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.   

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කිරීම මඟින් එම වෙබ් අඩවියට එරෙහිව නිල නොවන වාරණයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණය කරයි. 

මෙම ක්‍රියාවෙහි වගකීම් පැවරෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අමතා තොරතුරු විමසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය උත්සාහ කළ නමුත් ප්‍රතිචාරයක් නොලැබුණි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එම නිහඬතාව මගින්ද කොමිසම මෙම චෝදනාවට පිළිගැනීමක් ලබා දී තිබේ. වගකිව යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේ විදුලි සංදේශ නියාමන කොමිසම වහා මේ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ප්‍රකාශයක් නිකුත් කළ යුතු බව අපගේ අදහසයි. 

චෝදනාව සත්‍ය නම් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරයෙන් රජය පෙන්නුම් කර ඇත්තේ ඉදිරියේ දී වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද අත්තනෝමතිකව ක්‍රියා කිරීමට තමන් තුළ ඇති සූදානමයි. එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.

එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය තිස්සේ ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ක්‍රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක්‍රියාමාර්ගය සැළකිය හැකිය. 

රජයේ මෙම අත්තනෝමතික මර්දනකාරී නැඹුරුව වහා නිවැරදි කර ගනිමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව පනවා තිබෙන වාරණය අහෝසි කරන ලෙසද ජනමාධ්‍ය නිදහසෙහි හා ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම සහතික කරන ලෙස ද දැඩිව ඉල්ලා සිටිමු.

                                                                        
සී. දොඩාවත්ත
කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර
ලේකම්    

---------------------------
by     (2017-11-09 12:02:37)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more